සාපරාධී අපහාස නීතිය – දේශපාලනය හා ජනමාධ්‍යය

October 29, 2026
Publication:
A friend asks Ivan why he condemned the government's attempt on criminal defamation and scolded journalists in the same breath. His answer is that he finds the country's media culture as repellent as its politics, and that the one is a reflection of the other. From there he tells the history of the fight — Nadesan's case against the parliamentary privileges law, the four cases brought against himself under it, and the switch to criminal defamation when the privileges committee gave up acting as a court.

ආණ්ඩුව සාපරාධී අපහාස නීතියට නැවත පණ දෙන්නට උත්සාහ කළ අවස්ථාවේදී මා “සිරස” රූපවාහිනියට කළ ප්‍රකාශය පිළිබඳව මා කැමති පුද්ගලයෙක් මගෙන් ඒ ගැන ප්‍රශ්න කළේය.

““සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවකදී ඔයා කතා කරන දැඩි ස්වරය එදා තිබුණේ නැහැ. ඔයා ආණ්ඩුව කරන්නට හදපු දේ හෙළා දැක්කා. ඒ සමග ජනමාධ්‍යවේදීන්ටත් බණ කීවා. ඒ පෙන්නුම් කළ වෙනස තුළ සැඟවුණු කතාවක් තිබෙනවා. මොකද්ද ඒ කතාව?””

ඊට පිළිතුරු නොදී පළායාමේ හැකියාවක් මට නොවීය.

““මට රටේ දේශපාලනය ගැන තියෙන්නෙ පිළිකුලක්. රටේ ජනමාධ්‍ය සංස්කෘතිය ගැන තිබෙන්නෙත් ඒ හා සමාන පිළිකුලක්. රටේ ජනමාධ්‍ය සංස්කෘතිය දේශපාලන සංස්කෘතියේම ප්‍රතිබිම්බයක් ලෙසයි මට පෙනෙන්නේ.””

ඔහු එම තත්ත්වය තවදුරටත් පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටි නිසා මාගේ කරුණු පැහැදිලි කිරීම තවදුරටත් ඉදිරියට ගෙනයෑමට මට සිදුවිය.

““චන්ද්‍රිකාගේ පාලන කාලේ ඇගේ වෛරයට හේතුවූ පුවත්පත් කතුවරුන් දෙදෙනෙක් සිටියා. එක් අයෙක් මා. ඇය මටත් වඩා ලසන්තට වෛර කළා. මැරවරයන් යොදවා ඔහුට පහර දුන්නා. නිවසට වෙඩි තැබුවා. මුද්‍රණාලය සීල් කෙරෙව්වා. ඒ හැම අවස්ථාවකම මම ලසන්ත ආරක්ෂා කළා. ලසන්ත සමග මිත්‍රත්වයක් නොතිබියදී හා මා චන්ද්‍රිකා සමග මිත්‍රශීලී තත්ත්වයක සිටියදීත් ලසන්තට මැරවරයන් ලවා පහර දුන් අවස්ථාවේදී මම ලසන්ත වෙනුවෙන් පෙනී සිටියා. මා සමග ඇය ප්‍රශ්න ඇති කරගැනීමට මාගේ ඒ ප්‍රතිපත්තියත් බලපෑවා. ඇය ලසන්ත හඳුන්වන ලද්දේ පණුවකු ලෙසය. ලසන්ත ඇගේ දූෂිත ගනුදෙනු හෙළිදරව් කළේය. ලසන්තට අනුව ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙරකි. ඇය ජාතික ධනය මංකොල්ල කා සිය මඩිය තර කර ගත්තාය. එහෙත් ඇගේ ජනාධිපති භූමිකාව අවසන්වීමත් සමග ඊළඟට බලයට එන ජනාධිපතිවරයාට එරෙහිව කරන අරගලය සඳහා තමන් හෙරක් ලෙස අභිෂේක කළ කාන්තාව වීර වරියක් ලෙස නැවත අභිෂේක කිරීමට ලසන්තට සිදුවුණා.

මංගල

වීරයෙකු කිරීම

දැන් මා අනුගමනය කළ යුතු පිළිවෙත කුමක්දැයි මම මාගේ මිත්‍රයාගෙන් ප්‍රශ්න කළෙමි.

““දැන් ලසන්තට වඩා වැදගත් වී ඇත්තේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමය. තමා කැමති රනිල් වික්‍රමසිංහ හැකි ඉක්මණින් රජකමට ගෙන ඒමය. ඒ සඳහා චන්ද්‍රිකාගේ ශක්තිය පාවිච්චි කළ යුතුය. ඒ වෙනුවෙන් ඇගේ හොර මැරකම් අමතක කළ යුතුය. ඇය කොල්ලකාගත් ජාතික ධනය නිදහසේ භුක්ති විඳීමට ඇයට ඉඩ දිය යුතුය. එවැනි ව්‍යාපෘතියක මා කොටස්කරුවකු විය යුත්තේ ඇයිදැයි”” මම ප්‍රශ්න කළෙමි.

““ලසන්තගේ ස්ථාවරය සියලු ජනමාධ්‍ය සඳහා පොදු සාධකයක් ලෙස යොදා ගැනීම”” නිවැරදි නොවන බවට ඔහු තර්ක කළේය.

මා ඊට දෙන ලද පිළිතුර වූයේ ලසන්ත චන්ද්‍රිකා සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තියම ජනමාධ්‍ය මංගල සමරවීර සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබෙන බවය.

““චන්ද්‍රිකා පාලන යුගයේ ජනමාධ්‍ය මර්දනයේ සංකේතය බවට පත්ව සිටියේ මංගලය. එජාප විරෝධතා ව්‍යාපාරයක් වාර්තා කරන්නට ගිය ජනමාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවකට පීඑස්ඩීය ලවා පහරදීමේ මෙහෙයුම අරලියගහ මන්දිරයේ සිට මෙහෙයවන ලද්දේ මංගල විසිනි. රෝහණ කුමාර ඝාතනයේ වගකීම ඔහුගේ බිරිඳ පිට පටවන ලද්දේ මංගල විසිනි. අනෝජා වීරසිංහගේ ගේ ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියේදී හා රූකාන්ත-චන්ද්‍රලේඛා ගායක යුවළ හිංසාවට ලක් කළ සිද්ධියේදී ආණ්ඩුවේ ආරක්ෂාව සඳහා නිල අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කළේ මංගලය. ඔහු නිල බලය යොදා තමන් අකමැති පුවත්පත් ආයතන පීඩාවට පත් කළේය. තමා භාරයේ තිබූ පුවත්පත් මණ්ඩලය ලවා පුවත්පත් ආයතනවලට එරෙහිව නඩු පවරවා ඔහු තමන්ට අවශ්‍ය තීන්දු ප්‍රකාශයට පත් කරවා ගත්තේය. එවැනි පුද්ගලයකු කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව ජනමාධ්‍ය විසින් වීරයෙකු බවට පත් කොට තිබේ. මා එවැනි මෝඩ ප්‍රවාහයක රූකඩයක් බවට පත්විය යුත්තේ ඇයි?””

මාගේ මිත්‍රයා විසින් ඊට දෙන ලද පිළිතුර වූයේ මංගල වැනි අවස්ථාවාදී දේශපාලකයන් අනාවරණය කරන අතර, මහින්ද රාජපක්ෂ වැනි ජනාධිපතිවරයෙකුට එරෙහිව කරන අරගලය නොකඩවා ඉදිරියට ගෙන යා යුතු බවය.

ජනමාධ්‍යවලට අවශ්‍යව ඇත්තේ චන්ද්‍රිකා මංගල වැනි අයගේ ද සහාය ඇතිව ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කරන දේශපාලන අරගලයක් නම් එම අරගලය ජයග්‍රාහී ලෙස ඉදිරියට ගෙනයෑමට චන්ද්‍රිකා මංගල වැනි අය වීරයින් කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වේ නම්, ඔවුන් වීරයින් කරන්නට අර අඳින පුද්ගලයන් ප්‍රශ්න කරන ක්‍රියාමාර්ගයක් ඔස්සේ කරන දේශපාලන අරගලයක් ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් අනුමත කරනු ඇත්දැයි මා ප්‍රශ්න කළ විට මාගේ මිත්‍රයා දුන් පිළිතුර වූයේ සාපරාධී අපහාස නීතිය සමග චන්ද්‍රිකා හෝ මංගල පටලවා ගැනීම අවශ්‍ය නොවන බව හා ජනමාධ්‍යවේදීන් සටන් කොට බලරහිත කරවන ලද මර්දන නීතිය නැවත පණ ගැන්වීමට ඉඩ නොතැබිය යුතු බවය.

සාපරාධී අපහාස නීතිය ජනමාධ්‍යවේදීන් සටන් කොට පරාජය කරන ලද නීතියක් නොවන බව මම කීවෙමි.

““එහෙම කියන එක වැරදියි. කතුවරුන් විශාල ගණනකට එරෙහිව එම නීතිය යටතේ නඩු පැවරුවා.”” ඔහු කීවේය.

““කතුවරුන් ගණනාවකට එරෙහිව නඩු පවරපු බව ඇත්ත. ඔවුන් විත්තිකරුවන් ලෙස එම නඩුවලට මුහුණ දුන් බවත් ඇත්ත. ඔවුන් ඒ නඩුවලට පෙනී සිටියා මිස සාපරාධී අපහාස නීතියට එරෙහිව ඔවුන් මොනම අරගලයක්වත් කළේ නැහැ.””

““ඒගොල්ලො කළේ නැතුවට ඔයා කළානේ.”” ඔහු කීවේය.

““ඔව්. මම මට එරෙහිව පවරන ලද නඩුවලට මුහුණ දෙන අතර, සාපරාධී අපහාස නීතියට එරෙහිවත්, එම නීතියේ භාවිතයට එරෙහිවත් අවුරුදු 10කට ආසන්න කාලයක් පුරා නෛතික අරගලයක් කළා. සාපරාධී අපහාස නීතිය අහෝසි කෙරුණේ එම නෛතික අරගලය විසින් සාපරාධී අපහාස නීතියේ පැවැත්ම හිරකර තිබුණු අවස්ථාවක. මා ජනමාධ්‍යවේදියෙක් බව ඇත්ත. ඒත් සාපරාධී අපහාස නීතියට එරෙහිව මගේ අරගලය ඒක පුද්ගල අරගලයක් ලෙස මිස, ජනමාධ්‍යවේදීන්ගෙ පොදු අරගලයක් ලෙස සලකන්න බැහැ. එම අරගලයේ යහපතට හේතුවන මොනම දායකත්වයක්වත් ජනමාධ්‍යවේදීන්ගෙන් හෝ ජනමාධ්‍ය සංවිධානවලින් ලැබුණේ නැහැ. අඩුම වශයෙන් ජිනීවා තීන්දුවෙන් පසුවවත් එම තීන්දුව ක්‍රියාත්මක කරවීමටවත් ජනමාධ්‍යවේදීන් හෝ ජනමාධ්‍ය සංවිධාන කිසිම මැදිහත්වීමක් සිදුකර නැහැ. ඒ නිසා සාපරාධී අපහාස නීතියට එරෙහිව මා විසින් කරන ලද දිග්ගැසුණු නෛතික අරගලය ජනමාධ්‍යවේදීන්ගේ පොදු ගිණුමට බැර කරන්න මා කැමති නැහැ.””

මා අවසාන වශයෙන් දෙන ලද පිළිතුර ඔහු විශ්මයට පත් කිරීමට හේතු වූවා සේ ම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතිය ගැන කලකිරීමකින් කතා කරන තැනකට තල්ලු කිරීමට ද හේතුවිය.

එම සංවාදය උපුටා දැක්වීමට මට අවශ්‍ය වූයේ ඒ පිළිබඳව මට කියන්නට අවශ්‍ය වී තිබෙන වෙනත් කතාවකට එය පෙරවදනක් කරගැනීම සඳහාය.

වර්තමානයේ මා විශ්‍රාම යෑමට ආසන්න තත්ත්වයක සිටින පුවත්පත් කතුවරයෙකි. අදහස් පළකිරීමේ නිදහස කෙරෙහි බලපෑ මර්දන නීති දෙකකට අදාළව මාගේ අත්දැකීම් කතා කිරීමට මම බලාපොරොත්තු වෙමි. මගේ අරමුණ ඒ ආශ්‍රයෙන් රටේ පවතින ජනමාධ්‍ය සංස්කෘතිය පිළිබඳව මට පෙනෙන ඇත්ත ලියා තැබීමය. එය මගේ අත්දැකීම් ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතියේ ගමන් මග අළලා කෙරෙන ප්‍රශ්න කිරීමක් ලෙස ද සැලකිය හැකිය.

වරප්‍රසාද

නීතියට විෂ දත්

බලයට පත්වන ආණ්ඩු ඒවාහි දූෂිත ක්‍රියාකාරකම් විවේචනය කරන ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීම සඳහා සාපරාධී අපහාස නීතිය මහා පරිමාණයෙන් යොදා ගන්නට පෙරාතුව යොදාගනු ලැබුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියයි. සාපරාධී අපහාස නීතිය යොදා ගන්නට වූයේ පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය ජනමාධ්‍යවේදීන්ට එරෙහිව පාවිච්චි කිරීමට තිබෙන හැකියාව අහෝසිවීමත් සමගය.

ජේ.ආර්. ජයවර්ධන යුගයට පෙර ද පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියක් තිබුණ ද, එය පාර්ලිමේන්තුවේ කටයුතු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවේචනය කරන ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීම සඳහා යොදාගත හැකි නීතියක් නොවීය. ඒ යටතේ වරදකදී දඬුවම් ලබාදීමේ බලය ලැබී තිබුණේ අධිකරණයටය.

එහෙත් 1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව වරදකරුවන්ට දඬුවම් කිරීමේ බලය පාර්ලිමේන්තුවට ලබාදීමට නව අගමැති ජේ.ආර්. ජයවර්ධනට අවශ්‍ය වූ අතර, ඒ සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් හදිසි කරුණක් ලෙස සලකා විවාදයට ගෙන එක දිනකදීම සම්මත කරගන්නා ලදි. මෙය සිදුවූයේ 1978 පෙබරවාරි 1 වැනිදාය. පනත සම්මත කරගත් දිනයේදීම ඔබ්සවර් පුවත්පතේ සිදුවී තිබූ සරල හා අහිංසක අත්වැරැද්දක් අල්ලා ගෙන එම පුවත්පතේ කතුවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවා පාර්ලිමේන්තුව අධිකරණයක් බවට පත් කොට සාධාරණ නඩු ඇසීමකින් තොරවම ඔවුන් වරදකරුවන් කොට, ඔවුන්ට දඬුවම් කළේය. ““බලාගෙනයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට සමගාමීව දඬුවම් කිරීමේ බලය අපට ඇතැයි”” කියන සංඥාව ජනමාධ්‍යවේදීන්ට ලබාදීම එම රුදුරු මෙහෙයුමේ අරමුණ විය.

එහෙත් අවාසනාවකට අගමැති ජේ.ආර්. ජයවර්ධන විසින් සිදු කරන ලද එම නපුරු ක්‍රියාවට එරෙහිව ජනමාධ්‍යවේදීන් වෙතින් කිසිදු විරෝධයක් පළ නොවීය. ජේ.ආර්. ජයවර්ධනගේ එම හිතුවක්කාරී ක්‍රියාව “සන්” පුවත්පතට ලියන කොටස් හතරක ලිපි පෙළක් මගින් විවේචනය කිරීමට එදා පිට කොන්දක් තිබුණේ ප්‍රජා අයිතිවාසිකම් ආරක්ෂක පෙරමුණේ නිර්මාතෘ රාජ නීතිඥ එස්. නඩේසන්ට පමණය. නඩේසන්ගේ එම ලිපිය පළවන අවස්ථාව වන විට අගමැති ජේ.ආර්. ජයවර්ධන රටේ විධායක ජනාධිපති බවට පත්ව තිබුණි.

නඩේසන් මහතාගේ විවේචනාත්මක ලිපි හතරද පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට පත් කරන ලදි. එහෙත් වරප්‍රසාද කමිටුව ඔබ්සවර් කතුවරුන් දෙදෙනාට දඬුවම් කරන ලද ආකාරයට නඩේසන් මහතාට දඬුවම් කරන්නට ගියේ නැත. ඒ වෙනුවට නඩේසන් මහතාගේ පාර්ලිමේන්තු අපහාස නඩුව නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. නඩේසන් මහතා වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ එච්.එල්. ද සිල්වා මහතාය. රජ පස් කට්ටුවක් ඉදිරියේ අසන ලද මෙම නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නඩේසන් මහතා නිදහස් කළේය.

නඩේසන් මහතාගේ එම ක්‍රියාවලිය පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියට එරෙහිව එල්ල වූ පළමු අභියෝගය ලෙස සැලකිය හැකි අතර, තවත් වසර කිහිපයකට පසුව එම නීිතියට එරෙහිව ඊළඟට අභියෝගය එල්ල කරන්නට සිදුවූයේ මටය.

පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය යටතේ මට එරෙහිව අසන්නට නියමිතව තිබූ නඩු ගණන 4කි. විභාගයට ගැනීමට නියමිත පළමු පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ නීති උපදේශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එන්. චොක්සි මහතාය. අනෙක් පැමිණිලි ඉදිරිපත් කර තිබුණේ නියෝජ්‍ය කතානායක ගාමිණී ෆොන්සේකා, ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි හා කාලිංග ඔබේවංශ යන මන්ත්‍රීවරුන්ය.

පළමු පැමිණිල්ල විභාගයට ගන්නට පෙර වරප්‍රසාද කමිටුව පිළිබඳව වටපිටා අවබෝධයක් ලබාගැනීම සඳහා මම රාවයේ ප්‍රවෘත්ති කර්තෘ නිව්ටන් සෙනෙවිරත්න සමග පාර්ලිමේන්තුවට ගියෙමි. කමිටුවේ පැවති පරීක්ෂණයකට සහභාගි වීම සඳහා පැමිණ සිටි ලංකාදීපයේ කර්තෘ සිරි රණසිංහ, එම පුවත්පතේ ජනමාධ්‍යවේදියෙකු ලෙස ක්‍රියා කළ චූලවංශ සිරිලාල් එහිදී අපට හමුවිය. වරප්‍රසාද කමිටුවේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව එහිදී ඔවුන් දෙදෙනා සිය අත්දැකීම් අපට කියා දුන්නේය. ඉන්පසු අප දෙදෙනා වරප්‍රසාද කමිටුවේ ලේකම් හමුවීමට ගියෙමු. පරීක්ෂණයකදී චූදිතයකට තිබෙන අයිතිවාසිකම් මොනවාදැයි දැනගැනීමට මට අවශ්‍ය වී තිබුණි. ඊට අදාළව මා විසින් අසන ලද ප්‍රශ්නවලට ලැබුණු පිළිතුරු මා විශ්මයට පත් කළේය. එය විත්තිකරුවකුට විශේෂ අයිතිවාසිකම් කියා දෙයක් නැති කැන්ගරු උසාවි ක්‍රමයකි.

පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියට එරෙහිව

මෙම ක්‍රමයට එරෙහිව සටන් කරනවා හැර තෝරා ගැනීමට අන් විකල්පයක් නැති බව මට පෙනී ගියේය. ඒ සමග සටන් කළ යුතු ආකාරය පිළිබඳ දළ චිත්‍රයක් හිතේ ඇඳ ගත්තෙමි.

වරප්‍රසාද කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණයට සමගාමී බලතල තිබුණි. පරීක්ෂණයකදී වරදකරුවකු වන පුද්ගලයෙකු අවුරුද්දක් දක්වා වන සිරදඬුවමක් හෝ රුපියල් පන්දහසක් දක්වා දඩයක් හෝ ඒ දෙකම හෝ නියම කිරීමේ බලය තිබුණි. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ නීතියක් තිබුණ ද, අධිකරණයක් ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය නීතියෙන් නියම කළ අධිකරණ පටිපාටියක් නොතිබුණි. නීතියෙන් නියම කළ අධිකරණ පටිපාටියකින් තොරව අධිකරණයක් ලෙස ක්‍රියා කිරීම නීතියට පටහැනිය. එහෙත් එය නීතියෙන් නියම කළ අධිකරණ පටිපාටියකින් තොරව අධිකරණයක් ලෙස ක්‍රියා කර තිබුණි. මා වරප්‍රසාද කමිටුවේ ක්‍රියාකාරිත්වය අභියෝගයට ලක් කිරීමට සැලසුම් කර තිබුණේ එම තර්කයේ පිහිටාය.

සාමාන්‍යයෙන් එතෙක් ක්‍රියාත්මක වූ පිළිවෙත වූයේ වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවන ජනමාධ්‍යවේදීන් ඒ ඉදිරියට ගොස් චෝදනාවලට වරද පිළිගෙන සමාව ලබාගැනීම හෝ දෙනු ලබන දඬුවමක් නිහඬව බාර ගැනීමය. මේ පිළිවෙතින් ඉවත් වී ක්‍රමය අභියෝගයට ලක් කිරීමට මට අවශ්‍ය විය.

මා සැලසුම් කොට ගෙන තිබූ උපාය මාර්ගික වැඩපිළිවෙළ අනුව මා වරප්‍රසාද කමිටුවේ කැඳවීමට මා එහි නොයා යුතුය. ඒ වෙනුවට වරප්‍රසාද කමිටුව පවත්වාගෙන යන අධිකරණ ක්‍රමය නීතියට පටහැනි බව විස්තර කරන ලිඛිත විරෝධයක් වරප්‍රසාද කමිටුවට ලැබෙන්නට සැලැස්විය යුතුය.

එවැනි වැඩපිළිවෙළකින් මා අපේක්ෂා කළ අරමුණු ගණනාවක් තිබුණි. (අ) මා සටන් කරන්නට යන්නේ අවදානම බාරගැනීමට සූදානමින් බව වරප්‍රසාද කමිටුවට පෙන්නුම් කිරීම. (ආ) අරගලය ආරම්භ කිරීම සඳහා සුදුසු උණුසුම් පරිසරයක් ඇති කිරීම (ඇ) පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියට එරෙහිව මා කරන්නට යන අරගලයට ජන අවධානය හා ජාත්‍යන්තර අවධානය දිනා ගැනීම. (ඈ) තමන් කරන නීති විරෝධී කටයුත්ත පිළිබඳව කමිටු සාමාජිකයන් තුළ ලැජ්ජාවක් ඇති කිරීම.

එහෙත් වරප්‍රසාද කමිටුවට අවශ්‍ය නම් කමිටුවට අකීකරු වීමේ වරදට මට දඬුවම් කිරීමේ හැකියාව තිබුණි.

මා වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවන ලද දිනයේදී (1992 සැප්තැම්බර් 23) මා එහි යෑමෙන් වැළකී මාගේ මිත්‍රයෙකු ලවා කෙටුම්පත් කරවා ගන්නා ලද විරෝධතා ලියවිල්ල පණිවුඩකරුවකු අත වරප්‍රසාද කමිටුව වෙත යැවීමි. පසුබිම් විස්තරයක් සහිතව විරෝධතා ලියවිල්ලේ ඉංග්‍රීසි පරිවර්තනයක් අදහස් පළකිරීමේ නිදහස ගැන උනන්දුවක් දක්වන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සංවිධාන වෙත ද යවන ලදි. වරප්‍රසාද කමිටුව වෙත යවන ලද විරෝධතා ලියවිල්ල පාඨකයන්ගේ දැන ගැනීම සඳහා රාවය පුවත්පතේ ද පළ කරන ලදි.

වරප්‍රසාද කමිටුවේ ලේකම්වරයා විසින් එවන ලද ලිපියක් මගින් ඊළඟ දිනට නොපැමිණෙන්නේ නම් මට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව දැනුම් දෙන ලෙස වරප්‍රසාද කමිටුව නියම කරන ලද බව මා වෙත දැනුම් දෙන ලදි. දෙවැනි දිනයේදී හිතුවක්කාරී වීමේ වුවමනාවක් මට නොවීය.

දෙවැනි දිනයේදී කමිටුව වෙත මා යන අවස්ථාව වන විට මාගේ වාසියට හේතුවන දේවල් ගණනාවක් සිදුවී තිබුණි.

ජාත්‍යන්තර සහාය

පසුකලකදී භාණ්ඩාගාර ලේකම් පාස්කරලිංගම් මහතාගෙන් මට දැනගන්නට ලැබුණු වැදගත් තොරතුරු සමහරක් මෙසේය. මට එරෙහිව ආරම්භ කර තිබුණු වරප්‍රසාද පරීක්ෂණය පිළිබඳ අදහස් පළ කිරීමේ නිදහස ගැන උනන්දුවක් දක්වන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් ජනාධිපතිවරයා වෙත සිය විරෝධය පළකර තිබුණි. ලෝක බැංකුවේ නේවාසික නියෝජිතයාගේ විරෝධය ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබුණේ භාණ්ඩාගාර ලේකම්වරයා හරහාය. මට ලැබුණු ජාත්‍යන්තර සහාය ගැන ජනාධිපතිවරයා පුදුමය පළ කළ බව ද ඔහු කියා සිටියේය. මේ සියලු බලපෑම් මැද පාර්ලිමේන්තුව අධිකරණයක් ලෙස ක්‍රියා කිරීම සුදුසු නැති බව ජනාධිපතිවරයාගේ ද මතය වී තිබේ.

එකල විරුද්ධ පක්ෂවල ප්‍රධාන හඬ ලෙස ක්‍රියා කළේ රාවය පුවත්පතයි. ඒ තත්ත්වය යටතේ මට විරුද්ධ පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමග විශ්වාසදායී සම්බන්ධයක් තිබුණි. මාගේ අරගලයට සහාය පළ කරන නිවේදනයක් පළ කරන ලෙස මා ඇයගෙන් ඉල්ලා සිටියේය. ඇය ඊට එක පයින් එකඟ වූ අතර, සුදුසු ප්‍රකාශනයක් කෙටුම්පත් කර දෙන ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියාය. මා කෙටුම්පත් කර දුන් නිවේදනය ඇය නමින් පුවත්පත් ගණනාවක පළවූ අතර, එම නිවේදනය ද මගේ තත්ත්වය ශක්තිමත් කිරීමට හේතුවිය.

දෙවැනි දින (1992 ඔක්තෝබර් 8) කමිටුව ඉදිරියට ගිය අවස්ථාවේදී පළමු කැඳවීමට නොපැමිණි හේතු දක්වන ලෙස කමිටුවේ සභාපතිවරයා (රනිල් වික්‍රමසිංහ මහතා) මගෙන් ඉල්ලා සිටියේය. එවැනි ප්‍රශ්නයක් මතුවිය හැකි බව මා දැන සිටි අතර, ඊට දෙන්නට සුදුසු පිළිතුරක් ද මා සූදානම් කොට ගෙන තිබුණි.

පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය අනුව කැඳවීමේ ලිපියකට අත්සන් තැබිය යුත්තේ කමිටු ලේකම්වරයා නොව, පාර්ලිමේන්තු මහ ලේකම්වරයාය. එහෙත් මාගේ කැඳවීමේ ලිපියට අත්සන් තබා තිබුණේ වරප්‍රසාද කමිටුවේ ලේකම්වරයාය. එය නීතියට අනුව කෙරුණු කැඳවීමක් නොවන නිසා මා එදින නොපැමිණි බව කියා සිටි විට වරප්‍රසාද පනත පරීක්ෂා කිරීමෙන් පසු මා කී දෙය කමිටුව පිළිගත්තේය.

ඉන්පසු මාගේ විරෝධයට පදනම් වූ හේතූන් පිළිබඳව සරල විග්‍රහයක යෙදුණෙමි. පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියක් තිබූ පමණකින් පමණක් වරප්‍රසාද කමිටුවට අධිකරණයක් ලෙස ක්‍රියා කළ නොහැකි බවත්, ඒ සඳහා නීතියෙන් නියම කළ පටිපාටියක් ද තිබි යුතු බවත්, වරප්‍රසාද කමිටුවට එවැනි පටිපාටියක් ඇති බව මා නොදන්නා බවත්, එවැන්නක් ඇත්නම් එහි පිටපතක් මා වෙත ලබා දෙන ලෙසත්, ඉන්පසු ඒ මත පිහිටා මා පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවත් ප්‍රකාශ කළෙමි.

වරප්‍රසාද කමිටු සාමාජිකයන් මට නොඇසෙන ලෙස කෙටි අදහස් පළකර ගැනීමකින් පසුව මාගේ විරෝධය පිළිබඳව තීන්දුවක් ලබා දෙන තෙක් දින නියමයකින් තොරව පරීක්ෂණය කල් තබන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය. වරප්‍රසාද කමිටුව විසින් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව නඩු අසන ලද අවසාන අවස්ථාව එය විය.

එහෙත් යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ ජනාධිපති ප්‍රේමදාසගේ ඝාතනයෙන් පසු දකුණු පළාත් සභා මැතිවරණය මුව විට තිබෙන අවස්ථාවක මා කමිටුව ඉදිරියට කැඳවීමකින් තොරවම කාලිංග ඔබේවංශ මන්ත්‍රීවරයා ගැන පළ කරන ලද ප්‍රවෘත්තිය පිළිබඳව කණගාටුව පළ කරන ලෙස වරප්‍රසාද කමිටුව මා වෙත ලිඛිතව දැනුම්දීමක් කරනු ලැබීය. මා ඔවුන්ගේ එම දැනුම්දීම පළ කරන අතර, කමිටුවේ හිතුවක්කාරී තීරණය විවේචනය කොට ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක් ද ඒ සමග පුවත්පතේ පළ කළෙමි. එය දකුණු පළාත් සභා මැතිවරණය ඉලක්ක කොටගෙන කාලිංග ඔබේවංශ මන්ත්‍රීවරයාගේ ඇඟේ තැවරී තිබුණු මඩ සෝදා හැරීම සඳහා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළක් විය. එය එම අධිකරණ ක්‍රමයේ අවසානයට පෙර රඟ දක්වන ලද අවසාන ජවනිකාව විය.

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අධිකරණයක් ලෙස ක්‍රියා කිරීමේ වැරදි සම්ප්‍රදාය අත්හැරීමත් සමග ජනමාධ්‍යවේදීන්ට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය වෙනුවට සාපරාධී අපහාස නීතිය යොදා ගන්නා තත්ත්වයකට මාරුවිය. මාගේ ඊළඟ අරගලය කරන්නට සිදුවූයේ ඊට එරෙහිවය. පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියට එරෙහිව කරන්නට සිදුවූ පළමු අරගලය සේ ම ඊට පසු සාපරාධී අපහාස නීතියට එරෙහිව කරන ලද දෙවැනි අරගලය ද කරන ලද්දේ ජනමාධ්‍යවේදීන්ගේ හෝ ජනමාධ්‍ය සංගම්වල පෙළඹවීමකින් තොරව හා ඔවුන්ගෙන් ලැබෙන බලවත් සහායකින් තොරවය. ඒ අර්ථයෙන් ඒ අරගල දෙකම ඒක පුද්ගල අරගල ලෙස සැලකිය හැකිය.

(ලිපියේ අවසන් කොටස

ලබන සතියේ පළවේ.)