පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන ඩියුටි ෆ්‍රී වාහන පිළිබඳ විවාදය මහජන උනන්දුවට හේතු වී තිබෙන විවාදයක් බවට පත් වී තිබේ.
හෙළ උරුමයේ මන්ත්‍රී භික්ෂූන් වහන්සේලා තමන්ට ලැබුණු ඩියුටි ෆ්‍රී බලපත්‍ර විකුණා ඇති බව වාර්තා වූ විට හෙළ උරුමය පක්ෂය වෙනුවෙන් කොටකදෙනිය මහතා කීවේ අවුරුදු පහකට පසුව හිමිකම් පැවරෙන ලෙස වාහන බලපත්‍ර විකුණා ඉන් ලක්ෂ 30 බැගින් වූ මුදලක් මන්ත්‍රීහිමිවරුන්ට දී සෙසු මුදල් පක්ෂ අරමුදලට බැර කරන ලද බවය. විවාදය තව දුරටත් දුර දිග ගිය විට දැන් ගම්මන්පිල මහතා කියන කථාව කොටකදෙනිය මහතා පළමුව කී කථාවට වඩා බොහෝ වෙනස්ය.
වැදගත්ම ප්‍රශ්නය ඩියුටි ෆ්‍රී පදනමකින් මන්ත්‍රීවරුන්ට ලැබෙන වාහන විකිණීම, අන්සතු කිරීම, පැවරීම හා තෑගි දීම පවා නීතියට පටහැනි වීමය. ඒ ඕනෑම ක්‍රියාවකදී රේගු නීතිය අනුව අත්හරින ලද බදු ආණ්ඩුවට ගෙවිය යුතුය. වැදගත්ම දේ ඩියුටි ෆ්‍රී පදනමකින් ලබාදෙන වාහනවලදී කපාහරින බදුවල වටිනාකමය. ඕමල්පේ සෝභිත හිමි ගෙන්වා තිබෙන මර්සිඩිස් බෙන්ස් රථයේ CIF වටිනාකම රුපියල් 3711922 කි. ඒ හිමියන් තමන්ට ලැබුණු වාහනයට ගෙවා තිබෙන මිල රුපියල් තිස්හත් ලක්ෂ නමසිය විසි දෙකකි. රේගු ලේඛන අනුව රේගුව විසින් ගණනය කරන ලද බදුවල වටිනාකම එක් කෝටි තිස් හතර ලක්ෂ හතලිස් හතර දහස් අටදාස් හාරසිය හතලිස් හතරකි. (134,448,444 කි) එවිට ඒ හිමියන්ට වාහනයේ CIF වටිනාකම හා බදු වටිනාකම යන අංග දෙක පමණක් එකතුකළත් වාහනයේ වටිනාකම එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයකි. වෙළඳපළ වටිනාකම තීරණය කිරීමේදී ඊට ආනයනය කරුගේ ලාභයද එකතු විය යුතුය. ලාභය ආනයන වියදමෙන් 20% ක් ලෙස සලකතොත් එම බෙන්ස් රථයේ වෙළඳපළ වටිනාකම රුපියල් දෙකෝටි හාරලක්ෂයකි. එවිට මන්ත්‍රීවරයෙකු වශයෙන් ඒ හිමියන්ට රුපියල් ලක්ෂ 37 කට ලැබී තිබෙන්නේ රුපියල් ලක්ෂ 204 ක වාහනයකි. මන්ත්‍රීවරයාට ලැබෙන ඩියුටි ෆ්‍රී බලපත්‍රය රුපියල් ලක්ෂ 50-100 දක්වා වන මිලකට විකිණීමට පුළුවන් කම ලැබී තිබෙන්නේ මෙම ලැබෙන මිල හා ඇත්ත මිල අතර තිබෙන මෙම විශාල පරතරය නිසාය. ගිහියන් පමණක් නොව පැවිද්දන් පවා මන්ත්‍රීවරුන් වීමට ලොල් කරන්නේ මන්ත්‍රීවරයෙකුට ද්‍රව්‍යමය වශයෙන් ලැබෙන වරප්‍රසාදවල තිබෙන මෙම විශාල වටිනාකම නිසාය.
මේ වැරැද්ද කරන්නේ හෙළ උරුමය පක්ෂය පමණක් නොවේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු එසේ කරති. මෙහි තිබෙන එකම වෙනස ගිහියන් කරන වරද පැවිද්දන් විසින්ද කිරීමය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරන්නේ තම පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලැබුණු එක වාහන බලපත්‍රයක් හෝ විකුණා ඇත්නම් තම පක්ෂය වහාම විසුරුවා හැරීමට සූදානම් බව ය. ජවිපෙ මන්ත්‍රීවරුන් මෙවර ගෙන්වන ලද වාහනවල වර්ග හා ඒ වාහන වෙනුවෙන් කපා හැර තිබෙන බදුවල වටිනාකම හැකිනම් ප්‍රසිද්ධ කරන ලෙස අපි ජ.වි. පෙරමුණට අභියෝග කරමු. ඔවුන් මොන මොන වර්ගයේ වාහන ගෙන්වා ඇද්දැයි දැන ගැනීමේ අයිතියක් ඔවුන්ගේ පාක්ෂිකයන්ට පමණක් නොව මහජනතාවට ද ඇත්තේය. අප දන්නා තරමින් මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ගේ හැර අන් අයගේ ලිපි ගොනු අදාළ අමාත්‍යාංශවල නැත. ඒවා අභිරහස් ලෙස අතුරුදහන් වී තිබේ.
දැන් අපට මේ විවාදයේදී කේන්ද්‍රීය ප්‍රශ්නයට ආ හැකිය. තමන්ට වාහන අවශ්‍ය බව මන්ත්‍රීවරු කියති. එහෙත් මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 200ක තරම් වෙළෙඳපළ වටිනාකමක් ඇති වාහනයක්ම අවශ්‍යද? අනෙක් අතට හය අවුරුදු කාලයක් සඳහා එක වාහනයක් වෙනුවට වාහන දෙකක් ලබා දිය යුත්තේ ඇයි. වෙළඳපළ වටිනාකම ලක්ෂ 50 ක් තරම් සීමාවකට යටත් කොට අවුරුදු 6 නිල කාලය සඳහා වාහන බලපත්‍ර දෙකක් වෙනුවට එක බලපත්‍රයක් ලබා දෙන ක්‍රමයක් යොදා ගැනීමෙන් රටට ඉතිරි කර ගත හැකි ධනස්කන්දයේ ප්‍රමාණය කොතරම් විශාලද? මේ සියලු දෙනාට එකට එකතු වී එවැනි සරල ක්‍රමයක් සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගත නොහැක්කේ ඇයි? •