එල්ටීටීඊයට ගුවන් ධාවන පථයක් තිබෙන බව ආරක්ෂක අංශ කිසියම් දීර්ඝ කාලයක සිට දැන සිටියේ ය. සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ ප්‍රධානියා ද ඔවුන්ගේ ගුවන් ධාවන පථය සියැසින් දුටු බව වරක් පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය. ඉන්දියානු ආරක්ෂක විචාරකයකු ප්‍රකාශ කර ඇත්තේ එල්ටීටීඊයට අවුරුදු 9 ක් තරම් කාලයක සිට සැහැල්ලු ගුවන් යානා කිහිපයක් තිබූ බව ය. 1998 දී එල්ටීටීඊ විරු සමරුවක දී එම විරුවන්ගේ ස්මාරක තිබූ කනත්තට එල්ටීටීඊ ගුවන් හමුදාව සැහැල්ලු ගුවන් යානාවකින් ගුවනේ සිට මල් හෙළන ලද බව එකල සමහර පුවත්පත්වල පළවී තිබුණි.
එල්ටීටීඊයට ගුවනින් පහරදීමේ හැකියාවක් තිබූ බව ආරක්ෂක අංශවල විශ්වාසය වී තිබූ බව ද පෙනේ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පාලන බලයේ සිටියදී ඇයගේ ආරක්ෂාව පිණිස අරලියගහ මන්දිරය අවට ගුවන් ප්‍රහාරක ආරක්ෂක උපකරණ ජාලයක් සවි කළේ ය. තවත් කාලයකට පසුව එවැනි ආරක්ෂක ජාලයක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට ද සවි කළේ ය. ඉන් පෙනෙන්නේ ගුවනින් පහරදීමේ ශක්‍යතාවක් එල්ටීටීඊයට තිබෙන බව ආරක්ෂක අංශ දැන සිටි බව ය.
එහෙත් පුදුමයකට මෙන් එල්ටීටීඊය කටුනායකට පහර දුන් අවස්ථාවට පෙර කිසිම අවස්ථාවක දී ගුවනින් පහරදීමක් කර නැත. අත්‍යවශ්‍ය ම අවස්ථාව එන තෙක් මෙම වටිනා තුරුම්පුව පාවිච්චි නො කිරීමට ඔවුන් මහත් ඉවසීමෙන් වග බලා ගත් බව පෙනේ. අවසාන තුරුම්පුව පාවිච්චි කිරීමෙන් කඩා වැටෙමින් තිබූ එල්ටීටීඊ මානසිකත්වයට නැවත අතිවිශාල ප්‍රබෝධයක් ලබාදෙන්නට හැකිවන්නට ඇතත්, ශ්‍රී ලංකාවේ වාසනාවකට දෝ ඒ මහා තුරුම්පුව පාවිච්චි කිරීමෙන් ඇති කළ විනාශය අතිවිශාල නැත. සැහැල්ලු ගුවන් යානා තුරුම්පුව එක වරක් හෝ දෙවරක් මිස දිගින් දිගට පාවිච්චි කළ නො හැකි ය. එහෙත් මොන හේතුවක් නිසා හෝ ඔවුන් ද වඩා විශාල විනාශයක් කළ හැකි ඉලක්කයක් සඳහා එම තුරුම්පුවෙන් පහරදීමක් කිරීමට පුළුවන්කම තිබියදී සංකේතාත්මක වැදගත්කමක් ඇති ඉලක්කයක් තෝරා ගෙන නැති බව ද පෙනේ. ඒ මගින් එල්ටීටීඊය දෙන්නට යන පණිවුඩය කුමක් වුවත්, මුළුමණින් යුද්ධයට පමණක් බර තබා ක්‍රියා කරන ප්‍රතිපත්තිය විනාශකාරී බව දෙපක්ෂය විසින් ම තේරුම් ගත යුතු ය.
එල්ටීටීඊය නිරායුධ කරනවාට අතිරේකව නො විසඳුණු ජනවාර්ගික ප්‍රශ්නයක් ද ඇති බව ආණ්ඩුව අමතක නො කළ යුතු වනවා සේ ම වෙනම රාජ්‍යයක් හෝ කොන්ෆෙඩරේෂන් විසඳුමක් ඉලක්ක කොටගෙන පවත්වාගෙන යන ප්‍රති යුද්ධයක් වාර්ගික අර්බුදයට විසඳුමක් නොවන බව එල්ටීටීඊය ද තේරුම් ගත යුතු ය. •