එල්ටීටීඊ ගුවන් ප්‍රහාරය

October 29, 2026
Publication:
What does the raid on Katunayake signal? Ivan puts the LTTE's light aircraft at five on Iqbal Athas's count, notes that two flew from the Wanni, bombed the base and returned untouched, and reaches for the IRA's mortar attack on Heathrow as the comparison — an attack that did no damage and changed how London's business community understood its own risk. His conclusion is that this is a moment to act together rather than to score off each other.

කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ටීටීඊය ගුවනින් එල්ල කළ ප්‍රහාරවලින් දෙනු ලබන ඇඟවීම් මොනවාද?

එල්ටීටීඊයට සැහැල්ලු ගුවන් යානා කිහිපයක් තිබෙන බව රටට රහසක් නොවීය. ආරක්ෂක විචාරකයෙකු වූ ඉක්බාල් අතාස්ට අනුව එල්ටීටීඊයට තිබෙන සැහැල්ලු ගුවන් යානා සංඛ්‍යාව 05කි. ඉන්දියානු ආරක්ෂක විචාරකයන්ගේ මතය අනුව අවුරුදු 09ක් තරම් කාලයක් තිස්සේ සැහැල්ලු ගුවන් යානා කිහිපයක් ඔවුන් සතුව තිබුණි. එහෙත් ඔවුන් පහරදීමක් සඳහා එම සැහැල්ලු ගුවන් යානා යොදා ගත් පළමු අවස්ථාව මෙය විය.

ඔවුන්ගේ සැහැල්ලු ගුවන් යානා දෙකකට වන්නියේ සිට ගුවනින් කටුනායකට පැමිණ ගුවන් හමුදා කඳවුරට බෝම්බ හෙළා නිරුපද්‍රිතව ආපසු වන්නිය බලා යාමට හැකිවී තිබේ.

එල්ටීටීඊයට නිත්‍ය යුද්ධ හමුදාවකට හා නාවික හමුදාවකට අතිරේකව ප්‍රමාණයෙන් පුංචි විය හැකි වුවත්, ගුවන් හමුදාවක් ද තිබෙන බව මේ ගුවන් ප්‍රහාරය නිසා ඔප්පු වී තිබේ.

එල්ටීටීඊය සිදුකර තිබෙන මෙම ගුවන් ප්‍රහාරය තේරුම් ගත යුතුව තිබෙන්නේ කෙසේද?

ඔවුන්ට ගුවන් හමුදාවට වෙනුවට ගුවන් තොටුපළට, වරායට පහරදීමේ හැකියාවක් තිබුණි. ගුවන් තොටුපළට, කොළඹ වරායට පහර දුන්නේ නම් රටට සිදුවිය හැකිව තිබුණු විනාශය වඩා විශාල වන්නට ඉඩ තිබුණි. ඔවුන් ගුවන් තොටුපලට, කොළඹ වරායට පහර නොදී ගුවන් හමුදා කඳවුරට පහර දුන්නේ ඇයි? තෝරා ගැනීම අහඹුවක් ද නැතිනම් හිතාමතා කරන ලද්දක්ද? ගුවන් තොටුපලට පහරදීමේ හැකියාව තිබියදී එසේ නොකොට ගුවන් හමුදා කඳවුරට පහර දුන්නේ හිතාමතා නම් එය එසේ කරන ලද්දේ ඇයි?

මීට පෙර ගුවනින් මෙවැනි පහරදීමක් කිරීමට හැකියාව තිබියදී ගුවන් ප්‍රහාරවලින් වැළකී මෙම අවස්ථාව පමණක් ගුවන් ප්‍රහාරයක් සඳහා තෝරා ගත්තේ ඇයි? යුද පෙරමුණේ ලැබී තිබුණු අවාසිදායක බල තුලනයේ වෙනසක් ඇතිකර ගැනීමට යොදා ගැනීමට තිබුණු එකම තුරුම්පුව එය වූ නිසාද? නැතිනම් ඒ කෙරෙහි බලපෑ වෙනත් හේතු මොනවාද?

මෙය ගුවනින් එල්ල කරන ලද ප්‍රහාරයක් වුවත්, ඒ මගින් ඇති කළ විනාශයේ තරම ත්‍රීවීල් බෝම්බයකින් එල්ල කෙරෙන ප්‍රහාරයකින් සිදුවන විනාශයේ ප්‍රමාණයටත් වඩා අඩුය. එවැනි ප්‍රතිඵලයක් සඳහා ගුවනින් එල්ල කරන ප්‍රහාරයක් වැනි ලොකු තුරුම්පුවක් යොදාගනු ලැබුවේ ඇයි? වෙනදා යුද හමුදාව ඔවුන්ගේ බල ප්‍රදේශ අතික්‍රමණය කෙරෙන ප්‍රහාරවලදී සිරිතක් වශයෙන් ඔවුහු කොළඹ නගරයේ තෝරාගත් තැන්වලට විශ්මයට හේතුවන තරම් විශාල පහරදීම් කළහ. එහෙත් වර්තමානයේ කෙරෙන යුද්ධයේදී එවැනි පහරදීම් සඳහා දරන ලද උත්සාහයන් සාර්ථක වූයේ නැත. මෙම ගුවන් ප්‍රහාරය එම අඩුව සපුරා ගැනීම සඳහා කරන ලද ප්‍රහාරයක්ද?

අයර්ලන්තයේ අයි.ආර්.ඒ. ව්‍යාපාරය 90 දශකය ආරම්භයේදී එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත එල්ල කරන ලද මෝටර් ප්‍රහාරයක් උතුරු අයර්ලන්ත අර්බුදයේ දේශපාලන ගමන් මගේ අලුත් වෙනසක් ඇති කිරීමට හේතුවිය. අයි.ආර්.ඒ. ව්‍යාපාරය හීත්‍රෝ ගුවන් තොටුපළට මෝටාර්වලින් පහර දුන්නේ ගුවන් තොටුපළේ තිබෙන ගුවන් යානාවලට හෝ මගීන්ට කිසිදු අනතුරක් සිදු නොවන ආකාරයටය. එහෙත් එම පහරදීම නිසා යුරෝපයේ ප්‍රධාන වානිජ මධ්‍යස්ථානයක් වශයෙන් පැවති ලන්ඩන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව මහත් සසලවීමකට ලක්විය. ඔවුන් ගුවන් යානාවලට පහර නොදුන්න ද, අවශ්‍ය නම් ගුවන් යානාවලට පහරදීමේ හැකියාවක් ඔවුන්ට ඇති බව ලන්ඩන්වල වානිජ ප්‍රජාව පළමුවරට තේරුම් ගත්තේ එදාය. ලන්ඩන් නගරයේ එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ලන්ඩන් වානිජ මධ්‍යස්ථානය මහත් අර්බුදයකට තල්ලු විය හැකි බව තේරුම් ගත් වානිජ ප්‍රජාව එවැනි තත්ත්වයක් ඇතිවීම වළකා ගැනීම සඳහා උතුරු අයර්ලන්තයේ අර්බුදයට ඉක්මන් සාමකාමී විසඳුමක් ලබාදෙන ලෙසට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට බල කරන්නට වූහ. බ්‍රිතාන්‍ය ආණ්ඩුව උතුරු අයර්ලන්ත අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා ක්‍රියාකාරී ලෙස මැදිහත් වන්නේ හීත්‍රෝ ගුවන් තොටුපළට එල්ල වූ එම ප්‍රහාරයත් සමගය. ප්‍රභාකරන් මෙම ප්‍රහාරයෙන් අපේක්ෂා කරන්නේ එවැනි දෙයක් ද? නැත්නම් තමුසෙලාට ගුවනින් පහරදීමේ හැකියාව තිබෙනවා සේ අවශ්‍ය නම් ඒ දේ කිරීමේ හැකියාව තමන්ටත් ඇති බව පෙන්වීමේ අදහසින්ද?

මෙම ගුවන් ප්‍රහාරය ගුවනින් කරන ලද මරාගෙන මැරෙන පහරදීමක් නොවීය. පහරදී ආපසු යන්න බලාගෙන කරන ලද පහරදීමක් විය. ඔවුන්ට ගුවන් යානා ඇත්නම් ඒ බලය වෙනත් ආකාරවලින් ද යොදාගත හැකිය. වරාය වැනි ආර්ථික වැදගත්කමක් ඇති මධ්‍යස්ථානවලට බෝම්බ හෙළිය හැකිය. නැතිනම් තෝරාගත් ඉලක්ක සඳහා කෙරෙන මරාගෙන මැරෙන පහරදීම් සඳහා ද සිය ගුවන් යානා යොදාගත හැකිය.

ප්‍රභාකරන්ගේ ගුවන් හමුදාව පහර දුන්නේ ගුවන් තොටුපළට නොවූවත් එම පහරදීම ගුවන් තොටුපළ කෙරෙහි සේ ම සමස්ත ආර්ථිකය කෙරෙහිත් විනාශකාරි ලෙස බලපානු නොවැළැක්විය හැකිය. පළමු දිනයේම කැතේ පැසිෆික් ගුවන් සමාගම තාවකාලික ලෙස ශ්‍රී ලංකාවට එන ගුවන් ගමන් නතර කළේය. ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ශ්‍රී ලංකාවට එන ඕස්ට්‍රේලියානු සංචාරකයින්ට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගුවන් ප්‍රහාරයත් සමග විදේශ ආයෝජකයන් ද ශ්‍රී ලංකාව සලකනු ඇත්තේ ඉතාමත් අනාරක්ෂිත හා අවදානම් සහගත රටක් ලෙසය.

මින්පසු එල්ටීටීඊයේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව සිටින ප්‍රභූ දේශපාලකයින්ට සිය ආරක්ෂාව සඳහා බංකර්වල ජීවත්වීමට සිදුවනු ඇත්තේය. ඒ සමග යුද්ධය ද තාක්ෂණයටම බර තැබූ නවීන තාක්ෂණික යුද්ධයක් බවට මාරුවිය හැකිය. බෝම්බ වෙනුවට මිසයිල් පාවිච්චි කරන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.

මෙම අර්බුදය ජයගත යුතුව තිබෙන්නේ කෙසේද? මුළු වැර යොදා යුද්ධ කරන ප්‍රතිපත්තියකින් පමණක් මේ අර්බුදය ජයගත හැකිද? සන්සුන්ව දේවල් දැකීමේ හා විශ්ලේෂණය කිරීමේ හැකියාවක් දේශපාලකයින්ට තිබේද?

එල්ටීටීඊයට තිබෙන ගුවන් බලයට බියවී ඔවුන් ඉල්ලා සිටින වෙනම රාජ්‍යයට හෝ කොන්ෆෙඩරේෂන් විසඳුමට ඉඩදිය යුතුද? එවැනි විසඳුමක් මේ ප්‍රශ්නයට සැබෑ විසඳුමක් වේද? සන්නද්ධ හමුදා පවත්වාගෙන යෑමේ අයිතිය නැති දේශපාලන විසඳුමකට එල්ටීටීඊය එකඟ කරගැනීමේ ඇත්ත හැකියාවක් තිබේද? ආණ්ඩුවට, තෝරා ගෙන ඇති යුද මාවත අතහැර සාකච්ඡා මගින් දේශපාලන විසඳුමක් ඇති කරගන්නා මාවතකට මාරුවීමේ හැකියාවක් තිබේද? එවැනි ගමනක් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සහාය විරුද්ධ පක්ෂය ලබාදෙයිද?

මෙය පෞද්ගලික අර්ථයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විනාශය අපේක්ෂා කරන බලවේගයන්ට සතුටුවිය හැකි අවස්ථාවක් වුවත්, එල්ල වී තිබෙන අභියෝගය බලපාන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහි පමණක් නොව සමස්ත රට කෙරෙහිය. මෙය දේශපාලන වශයෙන් කුලල් කාගත යුතු අවස්ථාවක් නොව එකට එකතු වී ක්‍රියාකළ යුතු අවස්ථාවකි. අර්බුදය එහි සංවර්ධනයේ වඩා ඉහළ අවධියකට වර්ධනය වී ඇති බව තේරුම් ගනිමින් රටේ පොදු යහපත සඳහා මෙම අර්බුදය ජයගත යුතු ආකාරය පිළිබඳව ප්‍රධාන ධාරාවේ සිටින සියලු දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවක් ඇති කරගැනීම වැදගත්ය. එල්ටීටීඊ ගණන්කාරකම්වලට බිය විය යුතු නැතත්, එම ගණන්කාර භූමිකාව පසුපස දෙමළ ජනතාවගේ සාධාරණ දුක්ගැනවිලි ඇති බව තේරුම් ගනිමින් එම දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදෙන පොදු වැඩපිළිවෙළක් ඉදිරියට ගැනීමට හැකි වෙතොත් එවැනි විසඳුමකට එකඟවීමට හෝ එකඟ නොවී විනාශ වීමට හෝ එල්ටීටීඊයට සිදුවනු ඇත්තේය. •