පාරිසරික ඇමතිට පිළිතුරක්

October 29, 2026
Publication:
Champika Ranawaka told Hiru radio and the Asian Tribune that Ravaya had misrepresented him. Ivan sets out what actually happened: the paper collected comments on a poster reading 'Identify the peace tigers, the media tigers, the left tigers. Destroy them. Save the country', the minister's own were recorded as he gave them, and five media organisations then condemned what he said. He ends by reminding a minister with bitter experience of this subject not to forget his own past.

පාරිසරික ඇමති චම්පික රණවක මහතා 19 වැනි දින “හිරු” ගුවන් විදුලියටත් 20 වැනි දින ඒෂියන් ට්‍රිබියුන් සඟරාවටත් රාවය පිළිබඳව මහජනයා නොමග යවන වැරදි ප්‍රකාශයක් කර තිබුණි.

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය කොළඹ නගරයේ ප්‍රදර්ශනය කර තිබූ අපූරු පෝස්ටරයක් පිළිබඳව තෝරාගත් විවිධ පුද්ගලයින්ගේ අදහස් දැක්වීමක් “රාවය” පුවත්පතේ පළකර තිබුණි. පෝස්ටරයට ඇතුළත් පාඨ වූයේ “සාම කොටි, මාධ්‍ය කොටි, වාම කොටි හඳුනා ගනිමු. විනාශ කරමු. රට බේරාගමු.”” යන්නයි. පාරිසරික ඇමති චම්පික රණවක මහතාගෙන් ද ඒ ගැන දරන අදහස් විමසා තිබූ අතර, සමහරවිට ඔහු කෝපයෙන් පළකළ අදහස් ඒ ආකාරයෙන්ම සටහන් කර තිබුණි.

චම්පික රණවක මහතා “රාවය”ට එල්ල කරන එක් චෝදනාවක් වනුයේ තමා පළ කළ අදහස් විකෘති කොට වාර්තා කර තිබෙන බවය. මෙම විශේෂාංගය ලියා තිබුණේ නිදහස් මාධ්‍යවේදියෙකු වන කේ. විජේසිංහය. මෙම පෝස්ටරය පිළිබඳව කෙරෙන අදහස් විමසීමට චම්පික රණවක මහතා තෝරාගෙන තිබුණේ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය හෙළ උරුමය පක්ෂයට අනුබද්ධ සංවිධානයක් ලෙස සලකාය.

චම්පික රණවක මහතා හිරු ගුවන් විදුලියට ඒ ගැන ප්‍රකාශයක් කර ඇති බව 19 වැනිදා හිරු ගුවන් විදුලියෙන් දැනගැනීමෙන් පසු එම සටහන ලියූ විජේසිංහ අතින් අසාධාරණයක් සිදුවී ඇත්ද යන්න දැනගැනීම සඳහා ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. ඒ වන විට ඇමතිවරයා හිරු ගුවන් විදුලියට එවැනි ප්‍රකාශයක් කර තිබුණු බව විජේසිංහ දැන නොසිටියේය. ඔහු දුරකතන කතා සටහන් කළ සටහන් පොත මම පරීක්ෂා කළෙමි. ඔහුගේ අකුරු නොපැහැදිලි තත්ත්වයක තිබුණෙන් එහි ඇති සටහන් කියවන ලෙස මම ඉල්ලා සිටියෙමි. ඔහු ඇමතිවරයාගෙන් ලබාගත් ප්‍රකාශය මට කියවූයේය. සටහන් පොත පරීක්ෂා කිරීමේදී අනෙක් අයගෙන් ලබා ගත් ප්‍රකාශ ද එහි සටහන් කර තිබුණි.

චම්පික රණවක මහතාගේ එම ප්‍රකාශය පළ කළ පුවත්පත වෙළෙඳපොළට මුදාහරින ලද්දේ පෙබරවාරි 16 වැනිදාය. පෙබරවාරි 19 වැනිදා එම ප්‍රකාශය හෙළා දකින නිවේදනයක් ජනමාධ්‍ය සංවිධාන 5ක් ඒකාබද්ධව නිකුත් කර තිබුණි. චම්පික රණවක මහතා සිය අදහස් රාවය පුවත්පත විකෘති කොට පළ කර තිබෙන බව හිරු ගුවන් විදුලියට කියා ඇත්තේ චම්පික රණවක මහතාගේ අදහස් පළකිරීම හෙළා දකින බව ඒකාබද්ධ නිවේදනය පළවීමෙන් පසුවය.

චම්පික රණවක මහතා ඇමති තනතුරක් දරන වගකිවයුතු දේශපාලකයෙකි. රාවය විසින් ඔහුගේ අදහස් පළකිරීම විකෘති කොට තිබුණේ නම් ඒ බව ප්‍රකාශ කිරීමට ඔහුගේ ප්‍රකාශයට එරෙහිව නිවේදනයක් නිකුත් කරන තෙක් දින තුනක් බලා සිටියේ ඇයි? ඔහු ඒ බව රාවයට දැනුම් දිය යුතුව තිබුණි. නැතිනම් වෙනත් ජනමාධ්‍යයකට දැනුම් දිය යුතුව තිබුණි.

ඇත්තටම සිදුවී තිබෙන බව පෙනෙන්නේ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය පළ කළ පෝස්ටරය පිළිබඳව චම්පික රණවක මහතාගෙන් කරුණු විමසීමේදී එවැනි කරුණු විමසීමක් කිරීම ඔහුගේ කෝපයට හේතුවී ඒ කෝපයෙන් යුතුව අදහස් පළ කිරීමය. සමහරවිට තමා ඇමතිවරයෙකු බව ද කෝපය නිසා ඒ මහතාට අමතක වූවා විය හැකිය.

එහෙත් 19 වැනිදා ජනමාධ්‍ය සංවිධාන පහක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතාගේ අදහස් පළකිරීම හෙළා දැකීමෙන් නොනැවතී චම්පික රණවක මහතා දැන් කැබිනට් ඇමතිවරයෙකු වන නිසා ඒ අදහස් පොදුවේ ආණ්ඩුව දරන අදහස් දැයි ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු බව එහි සඳහන් කිරීම හේතු කොටගෙන ඇමතිවරයෙකු නොකළ යුතු දෙයක් තමන් අතින් සිදුවී ඇති බව තේරුම් ගනිමින්, සිදුකර තිබෙන වරදින් බේරීම සඳහා පහසු උත්තරයක් සොයාගෙන ඇති බව පෙනේ. පුවත්පත තමාගේ අදහස විකෘති කොට දක්වා ඇතැයි කීම ඊට දිය හැකි හොඳම පිළිතුරකි.

චම්පික රණවක මහතා තමන් දරන තනතුරට නොගැලපෙන ප්‍රකාශයක් කිරීමේ වරද රාවය මත පැටවීමෙන් නොනැවතී රාවය විත්තිකරුවකු කිරීම සඳහා අභූත චෝදනාවක් ද ඉදිරිපත් කරයි. එල්ටීටීඊ පුහුණුව ලැබූ කණ්ඩායමට ඇතුළත් පුද්ගලයින් අතර රාවයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ද සිටින බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇති බව ද ඔහු කියයි.

තමන් අතින් සිදුවී ඇති වරදක් නිවැරදි කරගැනීමට චම්පික රණවක මහතා වැන්නෙකු එතරම්ම පහත් තත්ත්වයකට පත්වීම කෙතරම් ඛේදජනකද?

රාවයට දේශපාලන ප්‍රචණ්ඩත්වය ගැන පැහැදිලි මතවාදයක් තිබේ. මේ රටේ විනාශය කෙරෙහි බලපා තිබෙන එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විටෙක දකුණේත් උතුරේත් ඇතිවූ ප්‍රචණ්ඩ ව්‍යාපාරය. ප්‍රචණ්ඩ අරගල මාවතේ ඇති හිස් බව, අවිචාරවත් බව හා විනාශකාරී බව ගැන රාවය තරම් කිසිම පුවත්පතක් කතා කර නැත. රාවය පිළිගත් නිල දේශපාලන වීරයා ලෙනින්වත්, චේ ගවේරාවත් සුභාෂ් චන්ද්‍ර බෝස්වත් ශ්‍රී ලංකාවේ විජේවීරවත්, ප්‍රභාකරන්වත් නොව ඉන්දියාවේ මහත්මා ගාන්ධිය.

රාවයට විවිධ පුද්ගලයෝ අදහස් පළ කරයි. ලියති. චම්පික රණවක මහතා ද රාවයට ලීවේය. අදහස් පළ කළේය. රාවයට ලියන හෝ අදහස් පළ කරන කවුරුන් හෝ කරන වරදකට රාවය වගකිව යුතු නැත.

රාවයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අතර ප්‍රචණ්ඩ දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයින් ඇතැයි මම විශ්වාස නොකරමි. එකතු වී සිටියත් ඒ වරද රාවය පිට පැටවිය නොහැකිය.

ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ඊට සම්බන්ධ අය ජනමාධ්‍ය ආයතනවල සිටියහ. සමහරුන් අද ජීවතුන් අතර ද නැත. එහෙත් එවැනි කෙනෙකු සිටි පමණකින් එම ජනමාධ්‍ය ආයතන කැරැල්ලට සම්බන්ධ ආයතන ලෙස සැලකුණේ නැත.

චම්පික රණවක මහතා ද මෙම විෂයට අදාළව තිත්ත අත්දැකීම් ඇති පුද්ගලයෙකි. එවැනි පුද්ගලයෙකු තනතුරක් ලැබූ පමණකින් අතීතය අමතක නොකළ යුතුය.