මංගල හා ශ්‍රීපති ජනාධිපතිවරයා වෙත එල්ල කරන ප්‍ර හා ර ය දේශපාලන අර්ථයෙන් සැලකිය හැක්කේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙසය. තමන් දේශපාලන වශයෙන් විනාශවෙමින් ජනාධිපති ද දේශපාලන වශයෙන් විනාශ කිරීම එම ප්‍රහාරයේ අරමුණ වූ බව පෙනේ.
චෝදනා එල්ල කිරීමේ දී හොඳින් සාකච්ඡා කොට විෂයයන් අනුව කරුණු බෙදාගෙන පහර දෙන තැනකට ගිය බව ද පෙනෙන්නට තිබේ. යුද්ධය ගැන කතා කිරීම ශ්රීපතිට භාරදී මංගල තෝරාගත් කාරණා කිහිපයකට පමණක් සීමාවූ බව පෙනේ. එය ඊසොප්ගේ භාෂාවෙන් රටට කීවේ ජනාධිපති කිසිම ඉදිරි දර්ශනයක් නැති, ගුණමකු, රටේ පොදු යහපත වෙනුවට පවුලේ යහපත ගැන පමණක් හිතා ක්‍රියා කරන අන්ත දූෂිත පුද්ගලයෙකු බවය. යුද්ධයෙන් ජනාධිපති සිංහල ජනතාව අතර අත්පත් කරගෙන තිබෙන කීර්තිය වාෂ්ප කිරීම ශ්‍රීපතිගේ ප්‍රහාරයේ ප්‍රධාන අරමුණ විය. ජනාධිපති එල්ටීටීඊය සමග රහසේ ගනුදෙනු කරන අතර, එල්ටීටීඊයට එරෙහිව ව්‍යාජ යුද්ධයක් කරන බව ඔහු කියා සිටියේය. ප්රභාකරන් සතුටු කිරීම සඳහා කරුණා ඝාතනය කරන්නට සැලැස්මක් තිබෙන බව ද කියා සිටියේය.
ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් වුවත්, එම ප්‍රහාරය මෙහෙය වූ දේශ පාලනයේදී ප්රභාකරන්ගේ කාර්ය භාරය ඉටු කරන්නේ කව්ද යන්න නොපැහැදිලිය.
එල්ල කරන ලද චෝදනා ඉතා බරපතළය. එහෙත් එම චෝදනා මහින්ද රාජපක්ෂ පාලනයට පමණක් සුවිශේෂී යැයි කිව නොහැකිය. එවැනි චෝදනා හැම පාලන යුගයක් තුළම අඩු වැඩි වශයෙන් අසන්නට ලැබුණු චෝදනා ලෙස සැලකිය හැකිය.
පවුල්වාදය පිළිබඳව චෝදනාව හැම පාලනයකට එරෙහිවම අසන්නට ලැබුණු චෝදනාවක් විය.
නිදහසින් පසු 1956 දක්වා රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂය සැලකුණේ මාමා බෑණා පක්ෂය ලෙසය. ආණ්ඩුවේ ප්රමුඛ තනතුරු දරන්නන්ගෙන් වැඩි පිරිසක් එකම පවුල් කණ්ඩායමකට අයත් විය. ජ්‍යෙෂ්ඨයින් සිටියදී තමා මරණයට පත්වුවහොත් අගමැතිකම තම පුතාට (ඩඩ්ලි සේනානායක) දිය යුතු බවට අගමැති ඩී.එස්. සේනානායක ආණ්ඩුකාරවරයාට දැනුම් දී තිබුණි. ඒ අනුව පියාගේ මරණයෙන් පසුව අගමැති ධුරයට පත්වීමේ වාසනාව තරුණ ඩඩ්ලි සේනානායකට හිමිවිය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක රට පාලනය කළ කෙටි කාලය තුළ පවුල්වාදයක අවලස්සන ලක්ෂණ පෙනෙන්නට නොතිබුණ ද බණ්ඩාර නායකගේ ඇවෑමෙන් පක්ෂ නායකයා වීමට සී.පී. ද සිල්වාට තිබූ අයිතිය අහිමි කරමින් දිවංගත අගමැතිගේ වැන්දඹු බිරිඳ ඒ තැන හිමි කරගත්තාය. සිරිමා බණ්ඩාරනායක යුගය පවුල්වාදය ඉහවහා ගිය යුගයක් ලෙස සැලකිය හැකිය. 77 මැතිවරණයේදී පවුල් ගහේ කතාව එජාපය වැදගත් දේශපාලන තුරුම්පුවක් ලෙස පාවිච්චි කළේය.
ජේ.ආර්. ජයවර්ධන බලයට පැමිණියේ එම ඔටුණු පළන්ඳන්නට කුමර කුමරියන් නැති බව කියමින් වුවත් ඒ යුගයේදී ද එම පවුල් කණ්ඩායමට විශේෂ අනුග්‍රහය ලබාදෙන පිළිවෙතක් ක්‍රියාත්මක විය. රනිල් වික්‍රමසිංහට නායක පෝලිමේ කිසියම් වැදගත් තැනක් අත්පත් කරගන්නට හැකිවූයේ ද ඔහු ජේ.ආර්. ගේ බෑණා වීම හේතු කොටගෙනය. ප්‍රේමදාස යුගයේදී ද යම් පමණක පවුල් වාදයක් රට තුළ ක්‍රියාත්මක විය. ඉන්පසු එළඹෙන චන්ද්‍රිකා යුගය තුළ පවුල්වාදය මිශ්‍ර වාදය සමග මුසුවූ මිත්‍ර වාදයක් ක්‍රියාත්මක විය. රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩු යුගයේදී ද පවුල්වාදයේ හා මිත්රවාදයේ මිශ්‍රණය අපූරු ආකාරයකින් ක්‍රියාත්මක විය.
මංගල සමරවීර මහතාට අමතක වී ඇතත්, චන්ද්‍රිකා යුගයේදී ද කුස්සි කැබිනට්ටුව තුළ දේශපාලකයින් නොවන සමීපතමයින් පිරිසක් සිටියේය. සනත් ගුණතිලක, ටාරා ද මැල් වැනි අය කැබිනට් ඇමතිවරුන්ටත් වඩා බලවත් වූහ.
බලතල බෙදාදීමේ කණ්ඩායමේ සාමාජිකයින් අතර උපරිම ලෙස බලතල බෙදාදෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූයේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී පමණය. ඉන්පසු එළඹෙ හැම දේශපාලන යුගයකම අඩු වැඩි වශයෙන් වන් මෑන් ෂෝ, වන් වුමන් රංගනයක් විය. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ආණ්ඩු යුගයේදී පවා බලතල නැති, නමට පමණක් ඇමතිවරු විශාල ගණනක් සිටියහ.
දූෂණය හා භීෂණය ද මේ හැම යුගයකම ආවේණික පොදු ලක්ෂණයක් විය. මංගලගේ ප්‍රියතම යුගය ලෙස සැලකිය හැකි චන්ද්‍රිකා පාලන යුගය තුළ ද භීෂණය සේ ම දූෂණය ද රජ කළේය. ඒ යුගයේදී ද මහා පරිමාණයේ ඡන්ද මංකොල්ල සිදුවිය. නන්නාඳුනන මිනිසුන්ගේ මළ සිරුරු බේරේ වැවේ පාවෙන යුගයක් තිබුණි. රෝහණ කුමාර, කුමාර් පොන්නම්බලම් වැනි විවේචකයෝ ඒ යුගයේදී ඝාතනයට ලක්වූහ. අනෝජා වීරසිංහ, රූකාන්ත-චන්ද්‍රලේඛා වැනි ප්‍රතිපිලේ කලාකරුවන් නොමරා මරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. චන්ද්‍රිකාගේ පී.එස්.ඩී. මාෆියාව රඟපෑ බිහිසුණු භූමිකාව රටට අමතක විය නොහැකිය. රටේ පාලිකාව උපරිම ලෙස වස්තුව කොල්ලකෑවාය. පී.එස්.ඩී.ය යොදා ජනමාධ්‍යවේදීන් විශාල පිරිසකට පහරදීමේ අශෝභන ක්‍රියාවලියට එදා මංගල ද දායක වූයේය.
කිසිම වරදක් නොකළ තමා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ සාහසික ප්‍රතිපත්තිය ආණ්ඩුව කඩාගෙන ගිය එස්.බී. සම්බන්ධයෙන්වත් චන්ද්‍රිකා ජනාධිපතිනිය අනුගමනය නොකළ බව මංගල කියා සිටී. එස්.බී. එහිදී අනුගමනය කළ ප්‍රතිපත්තියේ හරි වරද කුමක් වුවත්, චන්ද්‍රිකා ජනාධිපතිනිය ඔහු සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය ඉතා අහිංසක එකක් වේ යැයි කිව නොහැකිය. මැතිවරණයේදී ඔහු මරා දැමීම සඳහා චන්ද්‍රිකා විශේෂ කණ්ඩායමක් හඟුරන්කෙතට යැවීය. එම කණ්ඩායම ළඟ තිබූ අවි ආයුධ අතර තර්මෝ බැරල් ආයුධයක් ද විය. එස්.බී. ට අයථා ලෙස ඉඩමක් අත්පත් කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම හා අනුග්‍රහය ලබාදී තිබුණේ චන්ද්‍රිකාය. චන්ද්‍රිකා එස්.බී. හිරේ යැවීමට එම වරද අවියක් ලෙස පාවිච්චි කිරීමට උත්සාහ කළාය. එස්.බී.ගේ ප්‍රජා අයිතිය අහිමි කොට ඔහු හිරගෙට යවන ක්‍රියාවලිය පිටුපස සිටියේ ද චන්ද්‍රිකාය.
මෙම ආරාවුල නායක දෙපළකගේ අරමුණු අතර පවත්නා පරස්පරතාව නිසා හටගත් ආරාවුලක් ලෙස විග්රහ කළ හැකිය. මංගලගේ දේශපාලන අරමුණ රටේ රජවීමය. එවැනි අරමුණකින් ක්‍රියාකිරීම වරදක් ලෙස හෝ අපරාධයක් ලෙස සැලකිය නොහැකිය. මංගල මහින්ද අභිබවා රජවීමට අපේක්ෂා කළේය. එහෙත් මහින්ද ඔහු අභිබවා රජ වූයේය. මහින්ද ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීමෙන් පසු රජවීමේ අරමුණ තාවකාලිකව අතහැර මහින්ද රජකරවීමට දායකවීමට මංගලට සිදුවිය. එහෙත් ඔහු සිය අරමුණ අත් නොහැරියේය. මහින්ද ජේවීපී යේ දේශපාලන සිරකරුවකු බවට පත් කොට සුදුසු අවස්ථාවලදී ජේවීපීයේ සහාය ඇතිව රජවීම මංගලගේ අපේක්ෂාව විය. එහෙත් මහින්ද එජාපයෙන් එක්වූ පිරිසක් ආණ්ඩුවට එකතු කරගනිමින් ජේවීපීය මත රඳා පැවතීම අත්හැරියේය. ජනාධිපතිගේ ඒ ක්‍රියාව මංගලගේ අනාගත අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තිබෙන ඉඩ සීමා කළේය. ජේවීපීය මත රඳා නොපවතින ශ්රීලනිපයක් තුළ තමාට අනාගතයක් නැති බව මංගල දනී. ඒ තත්ත්වය ඉදිරියේ මහින්ද විරෝධී බලවේගයක් සමග එකට එකතු වී මහින්ද පරාජය කිරීමේ සටන් ක්‍රියාමාර්ගයකට තල්ලුවීමට මංගලට සිදුවිය.
මංගල ඇතුළු මහින්ද විරෝධී බලවේගයන්ගේ ගණන් බැලීම් අනුව මහින්ද පරාජය කිරීමට ශක්තිමත් අවකාශයක් පවතී. පාර්ලිමේන්තුවේ තිබෙන්නේ පහසුවෙන් වෙනස් කළ හැකි බල සංයුතියකි. ජේවීපීයට සිටින මන්ත්‍රීන් සංඛ්‍යාව 38කි. යූඑන්පීයට 43කි. දෙමළ සන්ධානයට 22කි. දැන් මංගල හා ශ්‍රීපති සිටින්නේ ද නොනිල වශයෙන් විරුද්ධ පක්ෂයේය. එවිට විරුද්ධ පක්ෂයට සිටින මුළු සංඛ්‍යාව 105කි. පාර්ලිමේන්තු බල තුලනයේ වෙනසක් ඇති කිරීමට අවශ්‍ය වනුයේ 8 දෙනෙකු පමණය. ඒ ගණන සොයා ගැනීම දුෂ්කර නොවන බව ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.
1964දී කක්කුස්සි කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූයේ ද මේ සමාන ආකාරයටය. බලයේ සිටි ශ්‍රී ලංකා සමසමාජ ආණ්ඩුවට එරෙහිව ආණ්ඩු පක්ෂයේ පිරිසක් විරුද්ධ පක්ෂය සමග ඡන්දය දීම නිසා එම ආණ්ඩුව බිඳ වැටුණි. එදා එම ආණ්ඩු පෙරළන වැඩසටහනේ මොළකාරයා ලෙස ක්‍රියා කළේ රනිල්ගේ පියාය. මංගලගේ පියා ද එම වැඩපිළිවෙළේ කොටස් කරුවකු ලෙස ක්‍රියා කළේය.
දැන් මංගල දකින ආණ්ඩු පෙරළන සිහිනය ද එදා රනිල්ගේ පියා දුටු සිහිනයට බොහෝ දුරට සමානය. එදා සියලු ආණ්ඩු විරෝධී බලවේග (අන්ත සිංහල ජාතිවාදී පක්ෂයක් වූ කේ.එම්.පී. රාජරත්නගේ ජාතික විමුක්ති පෙරමුණේ සිට චෙල්වනායගම් පෙඩරල් පක්ෂය දක්වා) එකට ඒකරාශී කලා සේම ආණ්ඩුව පරාජය කොට හත් හවුල් ආණ්ඩුව වැනි ආණ්ඩුවක් ගොඩ නැගීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙන බව පෙනේ.
එහෙත් එදා පැවති දේශපාලන ක්‍රමය හා අද පවතින දේශපාලන ක්‍රමය එක සමාන නැත. එදා තිබුණේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයට සමාන ආණ්ඩු ක්රමයකි. එහෙත් අද තිබෙන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් සහිත විධායක ජනාධිපති ක්රමයකි.
පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් පමණක් විධායක ජනාධිපතිවරයෙකු බලරහිත කළ නොහැකිය. එහෙත් දෝෂාභියෝගයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට තිබෙන බලය සීමාසහිත කාලයක් සඳහා අහිමි කළ හැකිය. එවැනි වැඩපිළිවෙළක් පවා සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ හැකිවනු ඇත්තේ බහුතර බලයට අතිරේකව කතානායකගේ හා අධිකරණයේ සහාය ලැබේ නම් පමණය.
මහින්ද විරෝධී බලවේගයන්ට අධිකරණයේ සහාය ලැබේ නම් මේ මොහොතේ වුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආණ්ඩුව බිහිසුණු අර්බුදයකට තල්ලු කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය වනු ඇත්තේ එජාපයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වී සිටින මන්ත්‍රීවරුන්ගේ මන්ත්රීකම් අහිමි කරන හා මංගලගේ හා ශ්‍රීපතිගේ මන්ත්රීකම් ආරක්ෂා කර දෙන අධිකරණ තීන්දුවක් පමණය. එවිට ආණ්ඩු පක්ෂය ඉබේම පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂයක් බවට පත්වන්නේය. ඒ සමග තමන්ට පක්ෂපාත කතානායකවරයෙකු පත්කර ගැනීම මගින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ආරම්භ කොට, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තාවකාලිකව අහිමි කළ හැකිය. මහින්ද විරෝධී බලවේගයක් එවැනි ගණන් බැලීමක් කර තිබෙනවා විය හැකිය. එහෙත් එවැනි සටකපට වැඩපිළිවෙළක් පවා පවතින විධායක ජනාධිපති ක්‍රමය තුළ තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑම දුෂ්කරය.
මංගල හා ශ්‍රීපති ආරම්භ කර තිබෙන දේශපාලන අරගලයේ අවසානය කුමක් වුවත්, ඉක්මණින් හෝ තරමක් ප්‍රමාද වී හෝ පාර්ලිමේන්තුව හා විධායක ජනාධිපති යන ආයතන දෙක අතර මහා ගැටුමක් ඇතිවිය හැකිය. ඒ ගැටුමෙහි ඇතිවිය හැකි ප්‍රතිඵල මෙසේය.
(1) සමස්ත දේශපාලන ක්රමයම තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි අවුල් ජාලාවක් බවට පත්වීම.
(2) විධායක ජනාධිපති ක්‍රමය දරුණු ඒකාධිපති පාලන ක්‍රමයක් බවට පරිවර්තනය වීම.
(3) විධායක ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයක් බවට පරිවර්තනය වීම.
මෙම ආයතන දෙක අතර, මෙවැනි ගැටුමක් ඇති කරගන්නා තැනකට යනවාට වඩා විධායක ජනාධිපති ක්‍රමය ඇතුළු සමස්ත දේශපාලන ක්‍රමය ශිෂ්ටසම්පන්න තැනකට ගැනීම සඳහා පොදු එකඟතාවක් ඇති කරගත හැකි නම් එය පොදු යහපතට හේතුවිය හැකිය. •