පාර්ලිමේන්තුවේ රාජ්‍ය පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව රාජ්‍ය ආයතන 26 ක් අළලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වාර්තාව අනුව පෙනීයන්නේ සමස්ත රාජ්‍ය ආයතන ක්රමයම දූෂණයෙන් කුණුවී තිබෙන බව ය.
කාරක සභාවේ සභාපතිවරයා පුවත්පතකට දෙන ලද සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය පරිපාලනය මුළුමණින් ම ජරාජීර්ණ වී ඇති බව ය. හැම ආයතනයක් ම වංචාවෙන් පිරී ඇති බව ය. ඇමතිවරුන් අතින් ඵලදායී කාර්ය භාරයක් සිදු නොවන බව ය.
ඔහු ජල කළමනාකරණ මණ්ඩලය හඳුන්වා ඇත්තේ හොර ගුහාවක් ලෙස ය. ආයෝජන මණ්ඩලයට දෙන්නට තමන්ට අර්ථ නිරූපණයක් නැති බවත්, එම ආයතනය ඒ තරමට ම දූෂිත බවත් ප්‍රකාශ කර තිබේ. රටේ ආයෝජන මණ්ඩලයක් නොතිබුණේ නම් මේ රටේ සංවර්ධනය මීට වඩා දහ ගුණයකින් ඉහළ යන්නට ඉඩ තිබෙන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
රාජ්‍ය ආයතනවල තත්ත්වය මේ තරම් ම නරක නම් එම තත්ත්වය වෙනස් කරන්නේ කෙසේ ද කියා පාර්ලිමේන්තුව ඵලදායී සාකච්ඡාවකට යා යුතු ය. අනෙක් අතට අපේ රටේ දූෂිත, රාජ්‍ය ආයතන පමණක් ද? දේශපාලන ක්‍රමය කොතරම් දූෂිත ද?
ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක තත්ත්වයකට පත්ව ඇති බව අපි දිගින් දිගට කියා සිටින්නේ සමස්ත දේශපාලන ආයතන ක්‍රමය ම දූෂණයෙන් කුණුවී තිබෙන නිසා ය. දූෂණය එක තැනකට සීමාවී නැත. එය හැම තැනක් ම ආක්‍රමණය කොට ගිලගෙන තිබේ. ඉතා උස් තැන් පවා එහි ග්‍රහණයට හසුවී තිබේ.
දූෂණ ගැන සොයා බැලීමට ගොඩ නගා තිබෙන ආයතන ද දූෂිත ය. පාර්ලිමේන්තුව ද දූෂිත ය. යුක්තිය පසිඳලීමේ ආයතන ක්‍රමය ද දූෂිත ය. දේශපාලන පක්ෂ ක්‍රමය දූෂිත ය. ආගමික ආයතන ක්‍රමය පවා දූෂිත ය. දූෂණය නමැති පිළිකාව විසින් ආක්‍රමණය නොකළ ශුද්ධ වූ ලෙස සැලකිය හැකි එකම තැනක්වත් ඉතිරි වී නැති තරමට රට දූෂිත ය.
මේ තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සරල හෝ පහසු විය නො හැකි ය. මෙම තත්ත්වයෙහි යම් පමණක වෙනසක් දැකිය හැකිවනු ඇත්තේ දූෂණ සොයන්නන්ට එරෙහිව නොව දූෂිත ලොක්කන්ට එරෙහිව නීතිය අකුරට ම ක්‍රියාත්මක කරන පිළිවෙතකට යොමුවීමෙනි.
ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරීක්ෂාවට ලක් කරන පිළිවෙතක් මගින් අයුතු ලෙස ධනය රැස්කර ඇති අය සොයා ගැනීම අපහසු නැත. එහෙත් රටේ වත්කම් බැරකම් නීතිය පවතින්නේ ක්‍රියාවිරහිත තත්ත්වයක ය. ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන මහජනයාගේ පරීක්ෂාවට ලක්වන තත්ත්වයක් රටේ නො පවතී. නීතිය අනුව වත්කම් බැරකම් ප්‍රකාශ පරීක්ෂා කිරීමේ බලය මහජනයාට ඇතත්, ඒ බලය භුක්ති විඳීමට මහජනයාට ඉඩ දී නැත.
ඉහළ ම තනතුරු දරන්නන් සියදෙනෙකු තෝරාගෙන ඔවුන්ගේ වත්කම් බැරකම් ගෙන සොයා බලන තැනකට යා හැකි නම් ශ්‍රී ලංකාව වෙලා ගෙන තිබෙන දූෂිත බවේ තරම සොයා ගැනීමට හැකිවනු ඇත. එහෙත් එවැනි පරීක්ෂාවකට රටේ ඉඩක් තිබේ ද? එවැනි පරීක්ෂණයක් භාරදිය හැකි අවංක එක ආයතනයක් හෝ රටේ තිබේ ද? •