එජාපයෙන් සැලකිය යුතු මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එකතුවීමට නියමිතය. ඒ සමග ආණ්ඩුව ජවිපෙ මත රඳා පැවැත්ම ද අහෝසි වනු ඇත. එජාපයෙන් පිරිසක් ආණ්ඩුවට එකතු වන ක්‍රියාවලිය ශ්‍රීලනිපයේ තනතුරු දරන්නන් අතර අසහනයක් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. අනෙක් අතට එජාපයෙන් පිරිසක් හා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට එකතුවීම නිසා ආණ්ඩුවේ ගමන් මගෙහි ද වෙනස්කම් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.
එජාප තිබුණේ බිඳීමක් ඇතිවීම නොවැළැක්විය හැකි තැනකය. ආණ්ඩුවට එකතු වූ පිරිස තුළ තනතුරු ලබාගැනීමේ අභිලාෂයක් තිබුණා විය හැකි වුවත්, අත්‍යවශ්‍ය අභ්‍යන්තර ප්‍රතිසංස්කරණවලට ඉඩදෙමින් එම පක්ෂය ක්‍රියාකාරී හා සටන්කාමී විපක්ෂයක තත්ත්වයක තබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වී නම් මෙවැනි මහා පරිමාණයේ නායයෑමක් ඇති නොවන්නට ඉඩ තිබුණි.
රනිල් වික්‍රමසිංහ මහතා සමහර අංශවලදී දක්ෂ පුද්ගලයෙකු වුවත් දක්ෂ දේශපාලන නායකයකු ලෙස සැලකිය නොහැකිය. පක්ෂයක පැවැත්ම සඳහා පක්ෂ සාමාජිකයින් ක්‍රියාකාරී තත්ත්වයක තබා ගැනීම අත්‍යවශ්‍ය වුවත්, ඔහු පක්ෂ යාන්ත්‍රණය ක්‍රියාවිරහිත තත්ත්වයකට පත් කළේය. කොළඹ නගරයේ මැයි දිනයක්වත් පවත්වන්නට ඔහු කැමති නොවීය. පාර්ලිමේන්තුව තුළ නිරන්තර වාද විවාදවලට යෑමෙන් ඔහු වැළකී සිටියේය. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස වැනි නායකයින් විරුද්ධ පක්ෂයේ සිටි කාලයේදී නිරන්තරයෙන් දකින්නට ලැබෙන විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ පෙළපාලි, විරෝධතා රැස්වීම්, සත්යග්රහ ව්‍යාපාර වැනි ක්‍රියාකාරකම් ඔහුගේ කාලයේදී දකින්නට ලැබුණේ ඉතාමත්ම කලාතුරකින් අවස්ථාවක පමණය. ඔහු පක්ෂයට නිදාගන්නට ඉඩහැර විදේශ සංචාර සඳහා වැඩි කාලයක් ගත කළේය. තම නායකත්වයට අභියෝගයක් ඇතිවීම වළකනු පිණිස පක්ෂය භේද කොට පාලනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔහු වැඩ නොකොට පුවත්පත්වල පළවන දේශපාලන ඕපාදූප කොලම් මගින් ජනතාව අතර ජීවත් වන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. කවදා හෝ තමන්ට බලය ලැබෙන තෙක් ඔහු නිදාගෙන සිටියේය. එහෙත් බලය ලැබුණු පසුත් එය ආරක්ෂා කරගැනීමට නොදත්තේය. ජනාධිපතිනිය විසින් අමාත්‍යාංශ තුනක් තමන් වෙත පවරා ගත් අවස්ථාවේ පවා ඊට එරෙහිව මහජන බලයක් පෙන්වන තැනකට යෑමෙන් වැළකී සිටියේය.
ජනාධිපතිවරණය පැරදුණේ ද ළඟ ළඟ තරගයකිනි. අවසාන මොහොතේ ප්රභාකරන් විසින් කරන ලද බාධා කිරීම නිසාය. ප්රභාකරන්ගේ ව්‍යාපාරය සමග ළඟින් ගනුදෙනු කළ නායකයකු වශයෙන් එම තීරණාත්මක මොහොතේදී ප්රභාකරන් ඊට බාධා නොකරන තත්ත්වයක තබාගැනීමට ඔහු අසමත් වූයේය. ජනාධිපතිවරණයෙන් ලද පරාජයෙන් පසු නිල වශයෙන් ප්‍රතිඵල නිකුත් කෙරෙන උත්සවයට සහභාගි වී තමන්ට ආධාර කළ ජනතාවට ස්තුති කරමින් මුළු රටට ශක්තිමත් පණිවුඩයක් දීමට තිබුණු අවස්ථාව පවා ඔහු ප්‍රයෝජනයට නොගත්තේය.
ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු ඔහු පක්ෂ නායකත්වයෙන් විශ්‍රාම ගත්තේ නම්, ඔහු නැති අඩුව පුරවන්නට ඔහුට වඩා දක්ෂ පුද්ගලයකු නොසිටියා විය හැකි වුවත්, පක්ෂ ක්‍රියාකාරීත්වය වර්ධනය වන්නට ඉඩ තිබුණි. සමහරවිට පක්ෂය ප්‍රබෝධමත් ලෙස වර්ධනය වී නැවත නායකත්වය ගන්නා ලෙස පාක්ෂිකයින් රනිල් වික්‍රමසිංහ මහතාටම අඬගසන්නට ඉඩ තිබුණි.
එහෙත් ඔහු එවැනි ප්රතිපත්තියකට නොගොස් පක්ෂ නායකත්වයේ එල්ලී සිටියේය. තමන් පිළිබඳව විවේචනාත්මක ආකල්පයකින් බලන අය සතුරන් ලෙස සලකා ඇච්චන් බැච්චන් ලවා ඔවුන්ට පහර දෙන තැනකට ගියේය.
කරූ ජයසූරිය පක්ෂයේ නියෝජ්‍ය නායකකමට ගෙනාවේ රනිල්ය. ඒ නිසාම ඔහු කරුගෙන් අවිවේචනාත්මක පක්ෂපාතී භාවයක් අපේක්ෂා කළේය. රනිල් පෙරළාගෙන ඉදිරියට ආ හැකි අවස්ථා පැන නැගුණ ද කරූ ඒ කිසිදු අවස්ථාවක් තමන්ගේ වාසිය පිණිස ප්‍රයෝජනයට ගත්තේ නැත. ඒ නිසාම ඔහු පිටකොන්දක් නැති පුද්ගලයකුගේ තත්ත්වයක් ඇති කරගත්තේය. අවසානයේ කරූ ප්‍රතිසංස්කරණ ඉල්ලන තැනකට ගිය විට ඔහු ගුණමකු පුද්ගලයෙකු ලෙස හංවඩු ගසා ඇච්චන් බැච්චන් ලවා ඔහුට එළව එළවා පහර දෙන තත්ත්වයක් ඇති කළේය. ඔහුගේ නියෝජ්‍ය නායක ධුරය අහිමි කළා පමණක් නොව ආසන සංවිධායක ධුරයක් පවා දීමෙන් වැළකී සිටියේය. ඒ මගින් ඔහුට පක්ෂය අතහැර යායුතු තත්ත්වයක් නිර්මාණය කළේය.
දැන් පවතින තත්ත්වය තුළ එජාපයේ අනාගතය අඳුරුය. විරුද්ධ පක්ෂ නායකත්වය අහිමිවීමේ හැකියාවක් නැතත්, දිගු කාලයක් ගතවන හෝ ඊට වැඩි දුරකට යෑමේ හැකියාවක් නැත. එජාප විසින්ම ඇති කළ විධායක ජනාධිපති ක්‍රමය තුළ ජනාධිපතිවරයෙකු පරාජය කළ හැක්කේ ජනාධිපතිවරණයකදීම පමණය. දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයෙකු පරාජය කිරීමේ හැකියාවක් ඇත්තේම නැති තරම්ය. විධායක ජනාධිපති ක්‍රමය ගොඩනැගී තිබෙන ආකාරයට එක් ධුර කාලයක් සඳහා බලයට පත්වන ජනාධිපතිවරයෙකුට ධුර කාලයේ සිටියදී මරණයට පත් නොවේ නම් ධුර කාල දෙකක්ම රජ කළ හැකිය. මෙම ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට දරන කිසිම උත්සාහයකට රනිල් වික්‍රමසිංහ මහතා සහාය නොදැක්වූයේ ධුරයේ ඊළඟ උරුමක්කාරයා තමා වේ යැයි විශ්වාස කළ නිසාය. තමන්ට හිමි වාරයේදී එය ජයගන්නට ඔහු අසමත් වූ අතර, ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට පක්ෂ නොවීමේ වරදට දැන් වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේ ද ඔහුටමය.
ජවිපෙ ද විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව පෙනී සිටි ව්‍යාපාරයක් වුවත්, සන්ධාන දේශපාලනයට අවතීර්ණවීමත් සමග එම සටන අතහැර විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කොට පෝෂණය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව විසුරුවා හැරීමට විධායක බලය පාවිච්චි කරන ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට බල කරන ලද්දේ ජවි පෙරමුණය. ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පක්ෂ මාරු කරන ප්‍රතිපත්තියට ද අනුබල දුන්නේය. අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කරන කෑගැසීම ද අතහැර අධිකරණය විධායකයේ අතකොලුවක් ලෙස ක්‍රියා කරන පිළිවෙතට ප්‍රසිද්ධියේ ආධාර කරන පිළිවෙතක් අනුගමනය කළේය. දැන් ජවිපෙට ද ඒ සියලු දේශපාලන අවස්ථාවාදය වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවනු නොඅනුමානය.
චන්ද්‍රිකාගේ දේශපාලන අවතාරයට ද ඵලදායී වෙනසක් ඇති කිරීමේ හැකියාවක් නැත. වැඩිම වුවහොත් ඇයට කළ හැකිවනු ඇත්තේ ඉඳහිට ගොරවන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පමණය. ඇගේ අතීතය පවිත්‍ර නොවන නිසාම කවර තත්ත්වයක් යටතේ හෝ ජනාධිපතිවරයාට එරෙහිව බලවත් ලෙස අභියෝග කරන තැනකට යෑමේ හැකියාවක් ඇයට නැත.
දැන් දකුණේ දේශපාලනයේ සර්ව බලධාරි බලය ලැබී තිබෙන්නේ ජනාධිපතිටය. ඒ බලය ඔහු පාවිච්චි කරන්නට යන්නේ කෙසේද? මජර ගලන තරමට කුණුවී තිබෙන රට ඉන් ගොඩ නැගීමට ඔහු ඒ බලය පාවිච්චි කරයිද? ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දෙමින් අවුල් ජාලාවක් බවට පත්වී තිබෙන දේශපාලන ක්රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හැකිවේද? ඒ අරමුණ ජයගැනීමට ජනාධිපතිවරයා අසමත් වෙතොත්, කාලයාගේ ඇවෑමෙන් ජනාධිපතිවරයා ද රට සමග දේශපාලන වශයෙන් කුණුවෙන තැනකට පත්වනු නොවැළැක්විය හැකිය.
මහජාතියේ හා සුළු ජාතියේ
මහජාතික මානසිකත්වය
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 73%ක් වූ සිංහල ජනතාව තමන් සුළු ජාතියක් ලෙස ද රටේ ජනහගහනයෙන් 12%ක් වන උතුරු නැගෙනහිර දෙමළ ජනයා තමන් මහ ජාතියක් ලෙස ද කල්පනා කරති. සිංහල ජනතාව අතර පවත්නා මෙම සුළු ජාතික ආකල්පය කෙරෙහි දෙමළ ජනවර්ගයාට සාපේක්ෂව ලෝක ජනවර්ග අතර තමන්ට හිමි පුංචි බව බලපා තිබෙන අතර, දෙමළ ජනතාවගේ මහ ජාතික ආකල්පය කෙරෙහි සිංහල ජනවර්ගයට සාපේක්ෂව ලෝක මට්ටමෙන් තමන්ට තිබෙන විශාල බව බලපා තිබෙන බව පෙනේ.
ශ්‍රී ලංකාව නවීන රටක් බවට පරිවර්තනය වීම ආරම්භ වන්නේ 1833දී ඇති කළ කැමරන් කොල්බෘෘක් ප්‍රතිසංස්කරණ සමග වී යැයි කිව හැකිය. එම ප්‍රතිසංස්කරණ නිසා ආණ්ඩුවේ ඒකාධිකාරී ස්වරූපය ලිහිල් විය. ආණ්ඩුකාරවරයාට හිමිව තිබූ සර්ව බලධාරි තත්ත්වය කිසියම් විශාල ප්‍රමාණයකට අහෝසි කරන ලදි. රාජකාරි ක්‍රමය අහෝසි කොට කෘෂිකාර්මික හා වානිජ ව්‍යාපාර සඳහා ආණ්ඩුවට තිබූ ඒකාධිකාරි බලය ද අහෝසි කරන ලදි. පරිපාලන පද්ධති තුනක් යටතේ පැවති පාලන ක්‍රමය අහෝසි කොට මුළු දිවයින සඳහා තනි ඒකාබද්ධ ආණ්ඩු ක්‍රමයක් ඇතිවිය. මුළු දිවයින සඳහාම ඒකාකාර උසාවි ක්‍රමයක් හා අධිකරණ න්‍යායක් ඇති කොට අධිකරණය කෙරෙහි පැවති විධායක බලය අහෝසි කොට සියලු උසාවිවල පලාන බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පවරන ලදි. ඒ සමග වර්ණ, කුල, ආගම් භේදයකින් තොරව නීතිය ඉදිරියේ සියලු දෙනා එක සමාන ලෙස සලකන තත්ත්වයක් ඇතිවිය.
නවීන නියෝජිත ආණ්ඩු ක්‍රමයට මුල් පදනම වැටුණේ ද එම ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් වශයෙනි. කෝල්බෘෘක් කැමරන් ප්‍රතිසංස්කරණ නිසා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් රටට ලැබුණි. එම මණ්ඩලය නිලලත් සාමාජිකයින් (නිලධාරීන්) නව දෙනෙකුගෙන් ද නිල නොලත් සාමාජිකයින් සය දෙනෙකුගෙන් ද සමන්විත විය. නිල නොලත් සාමාජිකයින් හයදෙනාගෙන් තිදෙනෙක් 5000කටත් අඩු ජනගහනයක් සහිත යුරෝපීයන් සඳහා වූ අතර, ඉතිරි තිදෙනා දේශීය ජන කණ්ඩායම් තුන ලෙස සැලකූ බර්ගර්, සිංහලයින් හා දමිළයන් සඳහා විය. දේශීය ජන කණ්ඩායම්වලට නියෝජනයක් ලබාදීමේදී ප්‍රධාන ජනවර්ග තුනට එක නියෝජනයක් ලබා දුන්නා මිස සංඛ්‍යාව අනුව ඔවුන් අතර පැවති ලොකු කුඩා බව සැලකිල්ලට ගනු නොලැබීය.
ඉන්පසු නැවත 1910 දී ව්‍යවස්ථාදායක මණ්ඩලය පුළුල් කරන ලදි. මුළු සාමාජික සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ දමන ලදි. 12ක් නිලලත් සාමාජිකයන්ය. 10ක් නිල නොලත් සාමාජිකයන්ය. නිල නොලත් සාමාජිකයන්ගෙන් හතරදෙනෙක් තෝරාගන්නා ලද්දේ සීමිත ඡන්දයකිනි. සීමිත ඡන්දයකින් තෝරා ගන්නා නියෝජිතයන් හතර දෙනාගෙන් දෙකක් යුරෝපීන් සඳහා වූ අතර, ඉතිරි දෙක බර්ගර් හා උගත් ලාංකික නියෝජනය සඳහා විය. ඉතිරි හයදෙනා තෝරාගත්තේ ආණ්ඩුකාරවරයා විසින් සිය අභිමතය අනුවයි. එම ආයතන හයෙන් දෙකක් පහතරට සිංහලයින් (1ක් පහතරට ගොවි කුලයට, එකක් පහතරට කරාව කුලයට) සඳහාද තවත් දෙකක් ලාංකික දමිළයන් ( 1ක් දෙමළ හින්දු, 1ක් දෙමළ ක්‍රිස්තියානි) සඳහා ද ඉතිරි දෙක උඩරට සිංහල හා මුස්ලිම් යන ජන කණ්ඩායම් සඳහා විය.
1931 ඇති කරන ලද ඩොනමෝර් ප්‍රතිසංස්කරණ තෙක්ම ව්‍යවස්ථාදායක මණ්ඩලයට නියෝජිතයන් තෝරාපත් කෙරුණේ වර්ගයට බර තබන ක්‍රමයක් මගිනි. එහිදී වාර්ගික වෙනස්කම් විය. ඒ ඒ වර්ග නියෝජනය කරන ජනගහනයන්ගේ ප්‍රමාණයන් සැලකිල්ලට නොගන්නා ලදි.
1918 පමණ වන විට ප්‍රතිසංස්කරණ සඳහා වන නියෝජිත මූලධර්ම පිළිබඳව සිංහල හා දෙමළ නායකයින් අතර මතභේද ගොඩනැගී තිබුණි. සිංහල නායකයින් උනන්දුවක් දැක්වූයේ සුළු ජාතීන්ට බර තැබූ ප්‍රාදේශීය නියෝජිත ක්රමයකටය. එහෙත් දෙමළ නායකයන්ට දමිළයන් හා සිංහලයින් අතර එතෙක් පැවති සමබර නියෝජනය තවදුරටත් පවත්වාගෙන යෑමට අවශ්‍ය විය.
1920 දක්වා ව්‍යවස්ථාදායකය තුළ සිංහලයින්ට දමිළයින්ට සමාන මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිවී තිබුණි. 1920දී ඇති කළ ප්‍රතිසංස්කරණවලින් මේ තත්ත්වයෙහි යම් වෙනසක් ඇතිවී සිංහලයින්ට තරමක් විශාල නියෝජනයක් හිමිවිය. ඒ තත්ත්වය දෙමළ නායකයින්ගේ සැකයට හා විරෝධයට හේතුවිය.
මේ මතභේද නිසා 1921දී යාපනේ සංගමය ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී ද්‍රවිඩ මහජන සභාව නමින් නව සංවිධානයක් ඇති කර ගත්තේය. 1924දී උඩරට සිංහලයින් ද ජාතික සංගමයෙන් ඉවත් වී උඩරට ජාතික සංගමය ඇති කර ගත්තේය.
නියෝජන ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් තුළ දේශීය ජනගහනයෙන් 70%කටත් වැඩි පංගුවක් නියෝජනය කළ සිංහලයින්ට වැඩි නියෝජනයක් ලැබීම නොවැලැක්විය හැකි බව හා එය අසාධාරණ නොවන බව තේරුම් ගෙන සිංහලයින්ට බහුතර බලයක් ලැබෙන ආණ්ඩු ක්‍රමයක් තුළ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වීම සහතික කෙරෙන ක්‍රමයක් ඇති කරගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට දෙමළ නායකයෝ මුල සිටම අසමත් වූහ.
වර්ගවාදයට බර තබා පවත්වාගෙන ගිය නියෝජන ක්‍රමය ඩොනමෝර් කොමිසමේ දැඩි විවේචනයට හේතුවිය. ජාතිවාදී නියෝජන ක්‍රමය ස්වාර්ථයක්, සැකයක් හා වෛරයක් බෝ කරන දේශපාලන හැඟීම්වලට විස කවමින් ජාතික හැඟීමක් හා පොදු එකමුතුකමක් ඇතිවීම වළකන පිළිකාවක් බව එම කොමිසමේ මතය විය. සර්වජන ඡන්දය ලබාදීමෙන් මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වනු ඇතැයි කොමසාරිස්වරු කල්පනා කළහ. එහෙත් සර්වජන ඡන්ද බලය ලබා දෙන්නට ඒ.ඊ. ගුණසිංහ හැර අන් සියලු සිංහල නායකයන් විරුද්ධ වූවා සේ දෙමළ නායකයන් ද විරුද්ධ විය. ද්‍රවිඩ සංගමය වෙනුවෙන් සාක්ෂි දුන් පොන්නම්බලම් රාමනාදන් ලංකාව ස්වයං පාලනයකට තවමත් මෝරා නැති බව ප්‍රකාශ කළේය. ආණ්ඩුකාරයාට තිබෙන බලය මොනම ආකාරයකින් හෝ වෙනස් කරනවාට ඔහු විරුද්ධ විය. යාපනේ සංගමය වෙනුවෙන් සාක්ෂි දුන් ඩබ්. දොරේසාමි වාර්ගික නියෝජනය ආරක්ෂා කරගත යුතු අංගයක් උපාය මාර්ගයක් බව ප්‍රකාශ කළේය.
ඩොනමෝර් ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථාදායකයේදී අනුමත වූයේ යාන්තමටය. පක්ෂව ඡන්ද 19ක් ලැබෙන විට ඡන්ද 17ක් විපක්ෂයට ලැබිණ.
ඉන්පසු සෝල්බරි කොමිසම ඉදිරියේ ද මේ වාදය මතුවිය. ද්‍රවිඩ සංගමයේ ජී.ජී. පොන්නම්බලම් කොමිසම හමුවේ සමතුලිත නියෝජන ක්‍රමයක් ඉල්ලා සිටියේය. ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ආසන සකස් විය යුත්තේ එක් ජාතියකට තවත් ජාතියක් අභිබවා යා නොහැකි වන පරිදි බවට ඔහු තර්ක කළේය. ව්‍යවස්ථාදායක මණ්ඩලය ප්‍රාදේශීය ආසන 100කින් යුතුවිය යුතු බවත්, ඉන් ආසන 50ක් සිංහලයින්ට ලැබෙන විට ඉතිරි ආසන 50 සුළු ජාතීන්ට ලැබිය යුතු බවටත් ඔහු තර්ක කළේය.
දෙමළ නායකයන් ආරම්භයේ සිටම සිංහල ජනගහනයේ ප්‍රමාණයට සාපේක්ෂව තමන්ගේ පුංචිකම පිළිගන්නට කැමති නොවූ බව ඉන් පෙනී යයි. මේ ලක්ෂණය අද දක්වාම දෙමළ ප්‍රවේශය තුළ අන්තර්ගතවී තිබෙනු දැකිය හැකිය. පොන්නම්බලම් සමතුලිත නියෝජන ක්‍රමයක් ඉල්ලා සිටියේය. ප්රභාකරන් විකල්ප රාජ්‍යයක් ඉල්ලා සිටී. විය යුතුව තිබුණේ සිංහලයින්ගේ ලොකුකමට හා තමන්ගේ පොඩිකමට ගැලපෙන නියෝජන ක්‍රමයක් තුළ ලොකු පොඩිකම් නොසලකා සමාන අයිතිවාසිකම් සහතික කරන ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීමය. දෙමළ අරගලය තුළ අද දක්වාම පවතින එම වැරදි ප්‍රවේශය ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ඇති කරගැනීම දුෂ්කර කිරීමට හේතුවී තිබේ. •