තාමත් යුද්ධය ආණ්ඩුවේ වාසියට හේතුවන ලෙස පවත්වාගෙන යෑමට ආණ්ඩුව සමත් වී සිටී. එල්ටීටීඊයේ පසුබැසීම තාවකාලික එකක් ද, නැත්නම් ස්ථිර එකක් ද යන තීරණය වනු ඇත්තේ ඉදිරියේදීය. ඔවුන් යුදමය වශයෙන් හිමිකරගෙන සිටි සුපිරි තත්ත්වය කිසියම් විශාල ප්‍රමාණයකට අහිමි කරගෙන සිටින බව ද පෙනේ.
එල්ටීටීඊයේ දේශපාලන අපරිනතභාවය ඔවුන්ගේ පරිහානිය කෙරෙහි බලපා තිබේ. එක්කෝ ඔවුන් තමන් දේශපාලන ගනුදෙනුවක යෙදී සිටි රනිල් වික්‍රමසිංහ පරාජය නොකරන තත්ත්වයකින් ක්‍රියාකළ යුතුව තිබුණි. නැතිනම් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්රහණයෙන් පසුව දිගින් දිගට ක්ලේමෝ ප්‍රහාර එල්ල කරන තැනකට නොගොස් සාමකාමී වටපිටාවක් තහවුරු කිරීම මගින් දේශපාලන විසඳුමක් සඳහා බලකරන තැනකට යා යුතුව තිබුණි.
එහෙත් එල්ටීටීඊය ක්‍රියා කළේ දිවිනසා ගන්නා ආකාරයකටය. එල්ටීටීඊය රනිල් වික්‍රමසිංහ බලයට පත්වීම වැළකුවේය. ඉන්පසු නව ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම උතුරේ හමුදාවන්ට දිගින් දිගට ක්ලේමෝ ප්‍රහාර එල්ල කරන තැනකට තල්ලු වූයේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ආණ්ඩුව ප්‍රතිප්‍රහාර එල්ල කරන තැනකට තල්ලුවීමය.
කරුණා අම්මාන්ගේ වෙන්වීම එල්ටීටීඊයේ නැගෙනහිර ශක්තිය දුර්වල කළේය. එල්ටීටීඊයට සෙබළුන් සපයන ප්‍රධාන උල්පත ලෙස ක්‍රියා කළේ උතුර නොව නැගෙනහිරය. අනෙක් අතට ජයග්‍රාහී යුද්ධයකින් පසුව දීර්ඝ කලක් යුද්ධයෙන් පිටස්තරව ඉඳීමද එල්ටීටීඊයේ යුද ශක්තිය දුර්වල කරන සාධකයක් ලෙස ක්‍රියා කළේය.
දැන් එල්ටීටීඊය ඉන්නේ පහර දෙන තැනක නොව, ආරක්ෂාව සඳහා සටන් කරන තැනකය. මහා පරිමාණයෙන් වේගවත්ව හා විශ්මයජනක ලෙස තෝරාගත් ස්ථානවලට පහරදීමේ ක්‍රමය අතහැර මුල්කාලීන සටන් ක්‍රමවලට මාරුවීමට ඔවුන්ට සිදුවී තිබෙන බව ද පෙනේ.
එහෙත් යුද්ධය තවදුරටත් ආණ්ඩුවට වාසිදායක සාධකයක් ලෙස ක්‍රියාකරනු ඇත්තේ දිග්ගැස්සුණ තැනකට නොගොස් උපරිම මට්ටමකින් කෙටිකාලීන කළ හැකි නම් පමණය. දිග්ගැස්සුණ යුද්ධයක් රටේ යහපතට හේතු නොවනවා සේම උතුරු නැගෙනහිර ජනතාව කෙරෙහි ද පීඩාකාරී ලෙස බලපායි. එසේම රටේ මානව හිමිකම් තත්ත්වය කෙරෙහි සේම ආර්ථිකය කෙරෙහි ද විනාශකාරී ලෙස බලපායි. එවැනි යුද්ධයක් ආරක්ෂාව සඳහා ඉන්දියාවට පළායන්නන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීමට හේතුවී ඉන්දියානු බලපෑම් වර්ධනය කරන තත්ත්වයක් ඇති කළ හැකිය. අන්තර්ජාතික තලයේදී ද ප්‍රශ්න ඇති කිරීමට හේතුවේ.
යුද්ධයක් ජයග්‍රාහී වන විට ප්රතිපක්ෂය අවසාන වශයෙන් විනාශ කරන තෙක් ඉදිරියට යායුතුයි කියන හැඟීම පාලනය කිරීම අමාරුය. එහෙත් එල්ටීටීඊය අවසාන වශයෙන් පරාජය කිරීම ඉලක්ක කරගත් යුද්ධයක් දිග්ගැස්සුණු යුද්ධයක් බවට පෙරළෙනු නොවැළැක්විය හැකිය. යුද්ධයේ ඉලක්කය සාමකාමී දේශපාලන විසඳුමක් සඳහා එල්ටීටීඊය උපරිම පීඩනයක් ඇති කිරීම නම් එවැනි යුද්ධයක් කෙටිකාලීනව අවසන් කිරීම අමාරු නැත.
සාමකාමී විසඳුමකට ඉඩ ලැබෙනු ඇත්තේ වෙනම රාජ්‍යයක් පිළිබඳ එල්ටීටීඊය දරන දැඩි මතය අත්හැරීමෙන් පමණය. නිසි අවස්ථාවේදී යුද්ධය අතහැර සාමකාමී දේශපාලන අරගල මාවතට මාරු නොවන දේශපාලන සංවිධාන යුද්ධය තුළම වැනසෙන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. අචේ ගරිල්ලන් පරිපූර්ණ විනාශයකට යන්නට පෙර ආයුධ අත්හැර දේශපාලන අරගල මාවතට මාරුවිය. නේපාලයේ මාඕවාදී ව්‍යාපාරය ද සන්නද්ධ මාවත අතහැරියේය.
එල්ටීටීඊ දඩබ්බර ලෙස සන්නද්ධ මාවතේම ඇලී සිටින්නේ වෙනම රාජ්‍යයක් පිළිබඳව ඇති කරගෙන සිටින මනෝරාජික සිහිනය නිසාය. සමස්ත අරගලයේ පූර්ණ වෙනසක් ඇතිවීම සිදුවනු ඇත්තේ ඒ සිහිනය අත්හැරියදාටය.
එල්ටීටීඊයේ සන්නද්ධ අරගල ව්‍යාපාරය දෙමළ ජනතාවගේ ජීවිත කාලකණ්ණි කිරීමට හේතුවී තිබෙනවා මිස, ඔවුන්ගේ ජීවිත යහපත් කිරීමට හේතුවී නැත. සන්නද්ධ අරගලයක් ප්‍රතිපක්ෂයෙන් එල්ල වන මර්දන ව්‍යාපාරයක් ඇති කරයි. සිංහල ජනතාවගෙන් දෙමළ ජනතාවට බලවත් වරදක් සිදුවී තිබෙනවා සේ ම, දෙමළ ජනතාව ඒ වරදට දක්වන වැරදි ප්‍රතිචාරය තුළින් සිංහල ජනතාවට ද බලවත් වරදක් ද සිදුකර තිබේ. දෙපක්ෂයටම සිය වැරදි නිවැරදි කරගත හැකිවනු ඇත්තේ දැඩි මතවලින් වෙන්වීමෙන් පමණය.
එල්ටීටීඊ ප්රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයෙන් පමණක් ජයගන්නා මාවතක් සමහරවිට ජයග්‍රාහී විය හැකි වුවත්, එවැනි මගක් සිංහල-දෙමළ විරසකය වැඩි දියුණු කිරීමට මිස සමනය කිරීමට හේතු නොවන බව ආණ්ඩුව ද තේරුම් ගත යුතුය.