පසුගිය සිකුරාදා විද්වත් වෘත්තිකයන්ගේ සංගමය සඳහා පැවති නිලවරණයේදී සංගමයේ සභාපති ධුරයට තරග කළ එල්මෝ පෙරේරා, මහාචාර්ය ඉන්ද්‍රරත්න පරාජය කොට පහසු ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට සමත් විය. ඔහුගේ ජයග්‍රහණය වෘත්තීයවේදීන් රටටත්, අධිකරණයටත් දෙන ලද බලවත් සංඥාවක් ලෙස සැලකිය හැකිය.
අධිකරණයේ සමහර බලවතුන්ට එල්මෝ පෙරේරා නීතිඥ ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය වූයේ අධිකරණයේ සිදුවන අවලස්සන වැරදි ක්‍රියාකාරම්වලට එරෙහිව නොබියව නොකඩවා හඬ නගන පුද්ගලයා ඔහු වීම නිසාය. සිල්ක් කෝට් පැළඳගෙන සිටින පී.සී. වර්ගයේ නීතිඥයින් විශාල බහුතරයක් අධිකරණයේ ඇතිවී තිබෙන කුණුවීම ඉදිරියේ තමන්ගේ පෞද්ගලික වාසිය පිණිස ඇස්, කන් පියාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට නිර්භීතව උඩුගම් බලා පිහිනන්නට උත්සාහ කළ නීතිඥයින් කිහිපදෙනා අතර එල්මෝ පෙරේරා කැපී පෙනෙන තත්ත්වයක් හිමි කරගෙන සිටියේය. ඔහු සිය ප්‍රධානීන් සතුටු කිරීම පිණිස තමන්ට දැනෙන ගඳ, සුවඳක් ලෙස සලකා ප්‍රශංසාවට ලක් නොකළේය. අධිකරණයේ කුණුවීම කෙරෙහි බලපා තිබෙන සාධකය දෙස ඇඟිල්ල දිගු කොට එම සාධකය අධිකරණ දේහයෙන් කපා ඉවත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
නීතිඥ මණ්ඩලයේ නාමධාරී පුද්ගලයින් අධිකරණයේ සිදුවෙමින් තිබුණු බරපතළ වැරදි ඉදිරියේ ඇස්, කන් පියාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය නොකොට වැරදි ගල් වීමෙන් සිදුවන හානිය තේරුම් ගෙන ඒ වැරදි නිවැරදි කිරීම පිණිස ක්‍රියා කළේ නම් ශ්‍රී ලංකාවේ අධිකරණය මෙතරම්ම ජරාජීර්ණ තත්ත්වයකට ඇද නොවැටෙන්නට ඉඩ තිබුණි. එහෙත් නාමධාරීන් බොහෝ දෙනා බාහිර පෙනුමෙන් ගාම්භීර වුවත්, අභ්‍යන්තර හරයෙන් ගාම්භීර අය නොවූහ. ඔවුන් තම තමන්ගේ වාසිය පිණිස අනුගමනය කළ නිවට බයාදු හා ආත්මාර්ථකාමී ප්‍රතිපත්තිය නිසා ජනතාවගෙන් වැදුම් පිදුම් ලැබිය යුතු තත්ත්වයක තිබිය යුතු ආයතනයක් කුණු ගඳ ගසන තැනක් බවට පත්විය. පාර්ලිමේන්තුව හා එය නියෝජනය කරන දේශපාලන පක්ෂ ද උත්තරීතර ආයතනයකට සිදුවෙමින් තිබුණ විනාශය තේරුම් ගෙන ඒ තත්ත්වය නිවැරදි කිරීම පිණිස ක්‍රියාකිරීමට අසමත් විය. අවසානයේ ඒ සියලු දෙනා විසින් අත්හල බර තනිව කරගසන්නට වූයේ එල්මෝ වැනි නිර්භීත කිහිප දෙනෙකුටය. සුරංජිත් හේවමාන්න වැනි විශිෂ්ට ගණයේ මිනිසුන්ට අකාලයේ මියයන්නට සිදුවූයේ ද ඒ අරගල ක්‍රියාවලියේ නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් වශයෙනි. අවසානයේ යුක්තිය සඳහා සටන් කරන තමන්ගේ කෙනෙකුට වෙන්නට යන අසාධාරණය පිළිබඳව නීතිඥ සංගමයට ඇති නොවූ කැක්කුමක් විද්වත් වෘත්තීයවේදීන්ට ඇතිවී නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ යුක්තිය සඳහා කරන අරගලයන්ට තවමත් රටේ ඉඩක් තිබෙන බවය. මෙම තීරණාත්මක මොහොතේදී විද්වත් වෘත්තීයවේදීන් දක්වා ඇති සංවේදීභාවයට ජනතාවගේ ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුය.
සාම කතා කොයිබටද?
සාම කතා අවසන් වූයේ ඊළඟ සාකච්ඡා සඳහා දින නියම කරගැනීමකින් පවා තොරවය. සාම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙනයෑමට නම් ඒ නයින් මාර්ගය විවෘත කළ යුතු බව එල්ටීටීඊය තරයේ ප්‍රකාශ කර සිටියත් ආණ්ඩුව ඊට එකඟ වූයේ නැත.
ආණ්ඩුවට වහාම “ඒ නයින්” මාර්ගය විවෘත කිරීමේ යෝජනාවට එකඟවීමේ හැකියාවක් නොතිබුණි. වහාම අංශක 90ක වෙනසක් පෙන්නුම් කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නොතිබුණි. එහෙත් ඒ නිසා සමස්ත සාකච්ඡා ක්‍රියාවලිය බිඳ වැටී යුද්ධයෙන්ම ගනුදෙනු බේරගන්නා තැනකට මෙම දෙපක්ෂයම යොමුවනු ඇතැයිද සිතිය නොහැකිය. සමහරවිට දින ගණනක් ගතවන්නට ඉඩ හැර එල්ටීටීඊය වෙත ද කොන්දේසි පනවමින් ඒ නයින් මාර්ගය විවෘත කරන තැනකට යා හැකිය. එසේ නැතහොත් වෙනත් ආකාරයකින් එකඟත්වයක් ඇති කරගන්නා තැනකට යා හැකිය.
මතභේද තිබියදීත් ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය සමග ඇති කරගත් එකඟතාව එල්ටීටීඊයේ පැසසුමට හේතුවිය. ඒ මගින් ආණ්ඩුවේ ගමන් මගෙහි වෙනසක් එල්ටීටීඊය ද අපේක්ෂා කරන බව පෙනේ. ආණ්ඩුවට වහාම තමන් සිටි පැරණි ස්ථාවරයෙන් අංශක 90ක වෙනසක් පෙන්නුම් කිරීමේ හැකියාවක් නැතත්, ජේවීපීය මත යැපෙන තත්ත්වයෙන් ඉවත් වීමම ගමන් මගෙහි වෙනසක් ඇති කරගැනීමට තිබෙන කැමැත්ත පෙන්නුම් කිරීමක් ලෙස සැලකිය හැකිය.
එල්ටීටීඊය ඉල්ලා සිටින හැම දේකටම ආණ්ඩුව එකඟ නොවනු ඇතත්, බලය බෙදාහැරීමේ විසඳුමකට එකඟ වනු ඇතයි සිතිය හැකිය. එහෙත් අවසාන විසඳුමක් ඇතිකර ගන්නා තෙක් යුද්ධයෙන් තොර තත්ත්වයක ඉඳීමට අන්තර්කාලීන විසඳුමක් අවශ්‍ය වනු ඇති අතර, ඒ සඳහා ආණ්ඩුව යොදාගන්නට යන්නේ කුමන ක්‍රමවේදයක් ද යන්න පැහැදිලි නැත.
දෙපාර්ශ්වයටම අන්තර්ජාතික මතය මුළුමනින් නොසලකා ක්‍රියාකිරීමේ හැකියාවක් නැත. අන්තර්ජාතික ප්‍රජාව දෙපාර්ශ්වයේ ක්‍රියාකාරකම් දෙස බලාගෙන ඉන්නේ විවේචනාත්මකවය. පොදු එකඟතාවක් ඇති කරගැනීමට නොහැකි වී නැවත දෙපාර්ශ්වය යුද්ධ කරන තැනකට ගියහොත් අන්තර්ජාතික මැදිහත්වීමක් ඇතිවන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.
අන්තර්ජාතික මැදිහත්වීමක් ශ්‍රී ලංකාවේ අර්බුදයට තිබෙන හොඳම විසඳුම විය නොහැකිය. අපේ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව අපට තිබිය යුතුය. එහෙත් අපේ ප්‍රශ්න විසඳා ගැනීමට අපට නොහැකි වී නැවත දෙපාර්ශ්වය එකිනෙකාට එරෙහිව යුද්ධ කරන තැනකට තල්ලු වුවහොත් අන්තර්ජාතික ප්‍රජාව අපට බල කරන විසඳුමක් භාර ගැනීමට අපට සිදුවනු ඇත්තේය.
උතුරේ දෙමළ ජනතාවගේ මානුෂික ආධාර ප්‍රශ්නය දැනට නොවිසඳී තිබෙන පුපුරණසුළු ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද පවතින්නේ ද විශ්වාස කරන්නට බැරි තරම් ඉහළ මට්ටමකය. ඔවුන් බලාගැනීමේ මූලික වගකීම ඇත්තේ එල්ටීටීඊයට නොව, රජයට බැවින් ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නවලට ඉක්මන් විසඳුමක් ලබාදීම ආණ්ඩුවේ වගකීමකි. එම සීමිත අරමුණ සඳහාවත් දෙපාර්ශ්වය අවබෝධයෙන් ක්‍රියා කරන තැනකට යා යුතුය.
සේකර