සාම සාකච්ඡා අත් නොහැර ඉදිරියට යා යුතුයි

October 29, 2026
Publication:
The government and the LTTE, which had been at war with each other, went back to talking — and could not even agree at those talks on holding the next ones. The LTTE came without conditions and then set one: the A9 road must be opened. Ivan's point is that the humanitarian problems piling up in the north have no connection with the A9, and that the LTTE will not give a guarantee of safety for the ships that could carry the goods.

එකිනෙකාට එරෙහිව යුද්ධ කරන තැනක සිටි ආණ්ඩුව හා එල්ටීටීඊ ය නැවත සාකච්ඡා කරන තැනකට ගියේ ය. එහෙත් ඒ කෙරුණු සාකච්ඡාවේ දී ඊළඟ සාකච්ඡා සඳහා එකඟතාවක්වත් ඇති කරගත නො හැකි විය. එල්ටීටීඊය සාකච්ඡාවට ආවේ කොන්දේසි පැනවීමකින් තොරව වුවත්, ඊළඟ සාකච්ඡා සඳහා කොන්දේසි පැනවීමක් සිදු කළේ ය. ඊළඟ සාකච්ඡාවට සහභාගිවීමට නම් “ඒ නයින්” මාර්ගය විවෘත කළ යුතු බව ඔවුන් පැනවූ කොන්දේසිය විය.

උතුරේ ගොඩ ගැසී තිබෙන මානුෂික ප්‍රශ්නවලට ඒ නයින් මාර්ගයේ සම්බන්ධයක් ඇති බව කිව නො හැකි ය. ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබාදෙන්නේ නම්, උතුරට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ අවශ්‍ය තරම් මුහුදෙන් ලබාදිය හැකි බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද, එවැනි වැඩපිළිවෙළකට එල්ටීටීඊය කැමති වූයේ නැත. ඊට ප්‍රධාන හේතුව ඒ නයින් මාර්ගය ඔවුන්ට ආදායම් ලබාදෙන ප්‍රධාන මාර්ගය වී තිබීමය.

එල්ටීටීඊය සමග සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගන්නා තැනකට යාම අවශ්‍ය නම් ඔවුන්ට සංවිධානයක් වශයෙන් පවතින්නට ඉඩදීමට ආණ්ඩුවට සිදුවන්නේය. ආරාවුල් බේරාගන්නා තෙක් ඔවුන්ගේ පාලන ප්‍රදේශ පවත්වාගෙන යන ආධිපත්‍යය ද පිළිගන්නට සිදුවේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්මවලට පටහැනි විය හැකි වුවත්, එම යථාර්ථය පිළිගැනීමෙන් තොරව සාකච්ඡාමය විසඳුමක් සඳහා ඉදිරියට යා නො හැකි ය.

සිය පාලන ප්‍රදේශවලට ඇතුළුවන හා ඒ හරහා යන මගීන්ගෙන් හා මගී වාහනවලින් බදු අයකර ගැනීමට ඉඩ දෙන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ ගෞරවයට හේතු නො වනු ඇතත්, ඉතාමත් සීමිත ආකාරයකින් හෝ ඔවුන්ට ඔවුන්ගේ පාලන ප්‍රදේශ ඇති බව අප පිළිගනිමු නම් හා එහි පැවැත්ම වෙනස් කළ යුත්තේ සාකච්ඡාමය විසඳුමක් ඔස්සේ නම් අවසාන විසඳුමක් ඇති කරගන්නා තෙක් ඔවුන්ට බදු අයකර ගැනීමට තිබෙන අයිතිය ද තාවකාලික වශයෙන් හෝ පිළිගැනීමට අපට සිදුවන්නේ ය.

අපි තෝරාගන්නේ යුද්ධයේ මාවත නම් මේ කිසිවක් තැනීමේ අවශ්‍යතාවක් නැත.

එහෙත් තෝරාගෙන ඇත්තේ යුද්ධයේ මාවත නොවන නිසා එවැනි කාරණා කෙරෙහි සංවේදීව ක්‍රියාකිරීමට අපට සිදුවන්නේ ය. ඕනෑම රාජ්‍යයක් එහි පැවැත්ම සඳහා යන වියදම් බදු වශයෙන් සිය පුරවැසියන්ගෙන් ලබාගන්නේ ය. එකම රාජ්‍යයක් තුළ රාජ්‍යයන් දෙකක් තිබිය හැකි ද කියන ප්‍රශ්නයක් ඇතත්, ඩිපැන්ටෝ අර්ථයෙන් හෝ ඔවුන් ද රාජ්‍යයක් පවත්වාගෙන යමින් සිටින්නේ ය. එහි පැවැත්ම එක්කෝ දේශපාලන විසඳුමක් මගින් අහෝසි කළ යුතු ය. නැතිනම් යුද්ධයෙන් අහෝසි කළ යුතු ය. අප තෝරාගෙන ඇත්තේ සාකච්ඡා මාර්ගය වන නිසා අවසාන විසඳුමක් ඇති කරගන්නා තෙක් සිය පාලන බල ප්‍රදේශය තුළ බදු අයකර ගැනීමේ අයිතිය ඔවුන්ට ලබාදීමට සිදුවනු ඇත්තේ ය. එසේ නොවේ නම් සාකච්ඡා මාර්ගය අතහැර යුද්ධයේ මාවත තෝරා ගැනීමට අපට සිදුවනු ඇත්තේ ය.

එල්ටීටීඊය අපට කොන්දේසි ඉදිරිපත් කරන ආකාරයට අපිදු ඔවුන්ට කොන්දේසි ඉදිරිපත් කරමින් හෝ එක්තරා ප්‍රමාණයකට අපගේ කොන්දේසි පිළිගැනීමට ඔවුන්ට බලකරමින් ද, තවත් ප්‍රමාණයක ඔවුන්ගේ කොන්දේසි පිළිගනිමින් ද සාකච්ඡාමය ක්‍රියාවලිය තර්කානුකූල අවසානයක් දක්වා ඉදිරියට ගෙන යා යුතු ය.

වැරදිලාවත් කොයි පක්ෂයක් හෝ යුද්ධ මාවතට තල්ලු වුවහොත් බිහිසුණු යුද්ධයක් ඇතිවනු නො වැළැක්විය හැකි ය. එසේම එසේ ඇතිවන යුද්ධයක් වහාම නවතා නැවත සාකච්ඡා කරන තැනකට ගැනීම ද ඉතා අපහසු ය.

අනෙක් අතට නැවත යුද්ධයක් ඇතිවුවහොත් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇතිවීම ද නො වැළැක්විය හැකිවනු ඇති බව අප අමතක නො කළ යුතු ය. එය සිංහල, දෙමළ, මුස්ලිම් යහපතට හේතු නො වනු ඇතිවා සේ ම, රටේ යහපතට ද හේතු නො වනු ඇත.

ප්‍රශ්න ඇති කරගැනීම පහසු වුවත් ප්‍රශ්න විසඳා ගැනීම දුෂ්කර ය. රටේ පවතින වාර්ගික අවුල බේරා ගැනීම පහසු නැතත්, එය ශිෂ්ටසම්පන්න ලෙස බේරා ගැනීම අපේ වගකීමකි. අර්බුදයට සම්බන්ධ හැම පාර්ශ්වයක්මත් මේ රටේ පුරවැසියන් බව හා අනාගතයෙත් පුරවැසියන් ලෙස ජීවත් විය යුතු බව අපි අමතක නො කළ යුතු ය.