ගිවිසුමට සුභ පැතුම් සමග

October 29, 2026
Publication:
An understanding between the two main parties, made in recognition that things which do the country good need common agreement, is a good step forward. But common agreement is needed only in what does the country good: in what does it harm there should be no common agreement — and while the country has no political culture of agreeing on the good, all the parties have managed to agree on a fair number of the other kind.

රටේ යහපතට හේතුවන කාරණාවලදී පොදු එකඟතාවකින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පිළිගනිමින් ඒ සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුමක් ඇති කිරීම ඉතා යහපත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි ය. එහෙත් පොදු එකඟතාවක් අවශ්‍ය වනුයේ රටේ පොදු යහපතට හේතුවන කාරණවල දී පමණ ය. රටේ අයහපතට හේතුවන කාරණාවල දී පොදු එකඟතාවක් නො තිබිය යුතු ය.

රටේ යහපතට හේතුවන කාරණාවල දී පොදු එකඟතාවකින් ක්‍රියාකිරීමේ දේශපාලන සංස්කෘතියක් රටේ නැතත්, රටේ අයහපතට හේතුවන සමහර කාරණාවල දී සියලු පක්ෂ පොදු එකඟතාවකින් ක්‍රියා කරන තත්ත්වයක් රටේ පවතී.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කිරීමේ දී සියලු දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් පොදු එකඟතාවකින් ක්‍රියා කළේ ය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමිසම සඳහා සාමාජිකයින් පත් කිරීමෙන් වැළකී සිටි අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂය පමණක් නො ව, අන් සියලු දේශපාලන පක්ෂ ද බලවත් ලෙස විරෝධය පෑමකින් තොරව නිහඬව බලා සිටින ප්‍රතිපත්තියක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට පත්වූහ. ඉන්පසු ව්‍යවස්ථා සභාවේ කාලය අවසන්වීමෙන් පසු ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත් කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියේ දී ද අඩු වැඩි වශයෙන් සියලු දේශපාලන පක්ෂ ඒ වරදේ කොටස්කරුවන් පිරිසක් ලෙස ක්‍රියා කළේ ය. නැවත ව්‍යවස්ථා සභාව නො සලකා කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේ ක්‍රියාවලියේ දී ද සියලු දේශපාලන පක්ෂ නිශ්ශබ්දව බලා සිටින ප්‍රතිපත්තියක් මගින් ඒ වරදේ කොටස්කරුවන් පිරිසක් බවට පත්වූහ.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද වැරදි ප්‍රතිපත්ති ද නිවැරදි කිරීමට පොදු එකඟතාවකට ඒම යහපත් ය. එහෙත් එම පොදු එකඟතාව ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ ශක්තිමත් කරන්නක් මිස, දියාරු කරන්නක් නොවිය යුතු ය. එම ව්‍යවස්ථා සංශෝධනය පරිපුර්ණ කිරීම අවශ්‍ය වුවත්, එය සිදුකළ යුත්තේ රාජ්‍ය සේවය නිර්දේශපාලන කිරීමේ අවංක අරමුණ ඇතිව ය.

අධිකරණයේ ඇතිවී තිබෙන අතිවිශාල පරිහානියට ද පොදුවේ සියලු දේශපාලන පක්ෂ වගකිව යුතු ය. අධිකරණය වැනි ප්‍රමුඛ වැදගත්කමක් ඇති ආයතනයක බරපතළ වරදක් සිදුවන විට ඒ ගැන කරුණු සොයා බලා වරද නිවැරදි කිරීම ව්‍යවස්ථාදායකයේ වගකීමකි. එහෙත් අගවිනිසුරු ආශ්‍රයෙන් අධිකරණයේ මතුවී තිබුණු ආරාවුල ඉදිරියේ සියලු දේශපාලන පක්ෂ නිශ්ශබ්දව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළා විනා වරදක් සිදුවී තිබේ ද යන්න සොයා බලා වරදක් සිදුවී ඇත්නම් එය වහා නිවැරදි කරන පිළිවෙතක් අනුගමනය කළේ නැත. එහි අවසාන ප්‍රතිඵලය වූයේ අධිකරණය කුණුවූ තත්ත්වයකට පත්වීම ය.

පෞද්ගලිකකරණයේදී ද හැම ආණ්ඩු පාලන කාලයක් යටතේ ම මහා පරිමාණයේ දූෂණ හා වංචා සිදුවිය. ප්‍රීමා පිටි ගිවිසුම රාජ්‍ය මට්ටමෙන් මහා පරිමාණයෙන් සිදුවන ගනුදෙනුවල ඇති දූෂිතභාවය සඳහා දැක්වීම එක් නිදර්ශනයකි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යුගයේ ඇති කරගත් ගිවිසුම් දෙක විරුද්ධ පක්ෂයේ දැඩි විවේචනයට හේතුවී තිබුණි. එහෙත් විරුද්ධ පක්ෂය බලයට පැමිණීමෙන් පසු චන්ද්‍රිකා පාලනය තුළ රටට හිමිවිය යුතුව තිබුණු පිටි කම්හල ප්‍රීමා සමාගමට තවදුරටත් තිරිඟු පිටි සඳහා ඒකාධිකාරී අයිතියක් පවත්වාගෙන යා හැකි ආකාරයට නැවත පවරා දුන්නේ ය.

ජාතික වැදගත්කමක් ඇති සම්පත් පෞද්ගලිකකරණයේ දී ඒවා තියුණු පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් රටේ තිබිය යුතු ය. ශ්‍රී ලංකා රක්ෂණ සමාගම (සංස්ථාව) පෞද්ගලිකකරණයේ දී දේවල් සිදුවී තිබෙන ආකාරය කොතරම් නින්දාසහගත ද යන්න දැන් රටට රහසක් නො වන්නේ ය. සමස්ත පෞද්ගලිකකරණ ක්‍රියාවලිය තුළ ම ඒ ලක්ෂණ අඩු වැඩි වශයෙන් දැකිය හැකි ය.

බලයට පත්වන කිසිම දේශපාලන පක්ෂයකට මේ රටේ වස්තුව කොල්ලකෑමට ඉඩ නො ලැබිය යුතු ය. ඒ සඳහා වන ක්‍රමවේදයක් සඳහා ද දේශපාලන පක්ෂ දෙක අතර පොදු එකඟතාවක් ඇති කර ගැනීම වැදගත් ය.