නැවත සාම සාකච්ඡා වහා ම ආරම්භ කිරීමට දෙපාර්ශ්වය ම එකඟ වී තිබේ. “කොන්දේසි විරහිතව” යන යෙදුමට ආණ්ඩුවට මතභේද ඇතත්, ඉක්මණින් ආණ්ඩුව සාකච්ඡා කරන තැනකට යෑමේ අවශ්‍යතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන්නේ නැත. අපි දෙපාර්ශ්වයට ම සුභ පතමු.
ආරාවුල් ඇතත්, එම ආරාවුල් විසඳා ගත යුතුව තිබෙන්නේ ශිෂ්ටසම්පන්න ආකාරයකට ය. ප්‍රචණ්ඩත්වය ප්‍රශ්න විසඳා ගැනීමට තිබෙන ශිෂ්ටසම්පන්න මාවත නොවේ.
සංඛ්‍යා බලයෙන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පාගා දැමීම හෝ යටපත් කිරීම යුක්තිසහගත හෝ ශිෂ්ටසම්පන්න නොවන බව මහ ජාතිය තේරුම් ගත යුතු ය. එසේම සංඛ්‍යා බලයෙන් එල්ල වන පීඩනය ජයගැනීමට තිබෙන හොඳ ම මාවත ප්‍රචණ්ඩ මාවත නො වන බව දෙමළ ජාතිය ද තේරුම් ගත යුතු ය.
ශ්‍රී ලංකාව ප්‍රචණ්ඩත්වයේ විශම චක්‍රයකට හසුවී සිටින්නේ ය. එයින් වඩාත් ම පීඩාවට පත් ව සිටින්නේ සාමාන්‍ය ජනයා ය. වාර්ගික ආරාවුල ආශ්‍රයෙන් ඇතිවී තිබෙන ප්‍රචණ්ඩ ගැටුම් නිසා මේ වන විට මරණයට පත්ව සිටින අයගේ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න විය හැකි ය. අනාථ භාවයට පත්ව සිටින අයගේ සංඛ්‍යාව දශ ලක්ෂයකටත් වඩා වැඩි ය. පසුගිය කෙටි කාලය තුළ ඇතිවූ ගැටුම් නිසා පමණක් අලුතෙන් අනාථභාවයට පත් ව සිටින අයගේ සංඛ්‍යාව දෙලක්ෂයකට ආසන්න ය.
රජයට සේ ම එල්ටීටීඊයට ද සටන් කරන්නට සිදුවී තිබෙන්නේ පිටස්තර සතුරකු සමඟ නො ව රටේ අභ්‍යන්තර කණ්ඩායමක් සමඟ ය. යුද බිමේ දී හමුදා සෙබළුන්, එල්ටීටීඊ සෙබළුන් හා එම ගැටුමට මැදිවී මියයන, තුවාල ලබන හෝ අනාථභාවයට පත්වන සියලු දෙනා ශ්‍රී ලංකාවේ ජීවත් වන රටවැසියෝ ය. එකම රටක සහෝදරත්වයෙන් හා ගෞරවයෙන් ජීවත් විය යුතු ජනතාවක් මෙසේ ඇණ කොටා මරා ගන්නා තැනකට තල්ලු වී සිටීම ගැන අපි ලජ්ජා විය යුතු ය.
ආවේගයන්ට යට නො වී සන්සුන් ව ආපසු හැරී බලන ලෙස අපි දෙපාර්ශ්වයේ ම නායකයින්ගෙන් ඉල්ලා සිටිමු. බිහිසුණු ගැටුමක් දක්වා වර්ධනය වී ඇත්තේ පහසුවෙන් විසඳාගත හැකි ව තිබුණු සරල ගැටලු, සාධාරණ ලෙස විසඳා ගැනීමට අසමත්වී ම නිසා ය. ඉංග්‍රීසි භාෂාවේ සිට ස්වභාෂාවන්ට මාරුවීමේ දී සිංහලට පමණක් සීමා නො වී දෙමළ ප්‍රදේශවල ජීවත් වන දෙමළ ජනතාවට ද දෙමළ භාෂාවෙන් ගනුදෙනු කරගැනීමට අවශ්‍ය ඉඩ ලබා දුන්නේ නම්, ශ්‍රී ලංකාවේ චිත්‍රය මෙතරම් අවලස්සන හෝ සාහසික නො වන්නට ඉඩ තිබුණි.
දෙමළ ප්‍රචණ්ඩත්වය කෙරෙහි සිංහල ප්‍රචණ්ඩත්වය බලපෑ බව අප අමතක නො කළ යුතු ය. 1983 දක්වා අපට ලැබෙන හැම අවස්ථාවක දී ම දෙමළ ජනතාවට හිංසා කළෙමු. ඔවුන් අපට පෙරළා පහර නොදී අප කරන හිංසා ඉවසාගෙන සිටියේ ය. එහෙත් 83 න් පසු ව ඔවුන් අපට ආපසු හැරී පහර දෙන තැනකට ගියේ ය. අප භීතියට පත්වන තරමට ම පහර දුන්නේ ය. එහෙත් ඔවුන් ද සිය පහරදීම්වලට තිබිය යුතු සීමා හඳුනා නො ගත්තේ ය. ප්‍රචණ්ඩත්වයෙන් ම සියල්ල විසඳා ගත හැකි වේ යැයි සිතන තැනකට තල්ලු වූයේ ය.
දැන්වත් මේ දෙපාර්ශ්වය ගණන්කාරකම් අතහැර ශිෂ්ටසම්පන්න ලෙස සාකච්ඡා කොට ප්‍රශ්න විසඳා ගන්නා තැනකට යා යුතු ය. සිංහල ජනතාව වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දෙමළ ජනතාවගෙන් ද, දෙමළ ජනතාව වෙනුවෙන් වේලුපිල්ලේ ප්‍රභාකරන් මහතාට සිංහල ජනතාවගෙන් ද අවංකව සමාව ගන්නා තැනකට යා හැකි නම් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට හැකිවනු නො අනුමාන ය.