ජනාධිපතිවරයා කොටි සංවිධානය සමඟ රහසිගත එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා උදයන් පුවත්පතේ කර්තෘ මගින් කොටි සංවිධානයේ නායකත්වය වෙත පණිවුඩයක් යවා තිබූ අවස්ථාවක කොටි සංවිධානය යුද්ධ හමුදාවේ තුන්වැනියාගේ ජීවිතය බිලිගැනීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපතිවරයාගේ එම ප්‍රවේශය පිළිගැනීමට ඔවුන් සූදානම් නැති බවය.
ජනාධිපතිවරයා 20 වැනි අඟහරුවාදා උදේ උදයන් පුවත්පතේ කොළඹ කාර්යාලයට දුරකතනයෙන් කතා කොට උදයන් පුවත්පතේ කර්තෘ එන්. විද්‍යාකරන් දුරකතනයට සම්බන්ධ කරගත්තේය. උදයන් පුවත්පතේ යාපනේ කාර්යාලය මීට ටික කාලයකට ඉහතදී පහරදීමකට ලක්වූ අතර, එය ආණ්ඩුවේ හමුදාවල සහාය ඇතිව අතුරු හමුදාවක් විසින් කරන ලද පහරදීමක් බවට කොටි සංවිධානය ආණ්ඩුවට චෝදනා කළේය.
මෙම දුරකතන සාකච්ඡාවේදී ජනාධිපතිවරයා උදයන් කර්තෘට කියා සිටියේ කොටි සංවිධානය හා යුද්ධ හමුදාව යුද්ධයකට සූදානම්වෙමින් සිටින බවත්, යුද්ධයක් ආරම්භ වුවහොත් තැළෙන්නට වෙන්නේ තමන්ට හා දෙපාර්ශ්වයේ ජනතාවට බැවින් එය වළක්වා ගැනීමට අවශ්‍ය බවත්ය. නෝර්වේ රාජ්‍යය මත නොයැපී ඍජු සාකච්ඡාවකින් යුද්ධයක් ඇතිවීම වළකා ගැනීම සඳහා එකඟත්වයක් ඇති කරගැනීමට තිබෙන කැමැත්ත ජනාධිපතිවරයා ප්රභාකරන් වෙත ප්‍රකාශ කර සිටියේය.
මෙවැනි සංවේදී කරුණක් දුරකතනයෙන් කතා කිරීම සුදුසු නොවන බව ප්‍රකාශ කළ විද්‍යාකරන් ඒ ගැන හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියේය. ඒ අනුව එදින සවස හතරට අරලිය ගහමැදුරට පැමිණෙන ලෙසට ඔහුට ආරාධනාවක් ලැබුණි.
අරලියගහ මන්දිරයට යන්නට පෙර විද්‍යාකරන් ලන්ඩනයේ ප්‍රතිකාර ලබන එල්ටීටීඊ න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම්ට කතා කළේය. ජනාධිපතිවරයාගෙන් ලැබුණු දුරකතන පණිවුඩය හා එහිදී ඇතිවූ සාකච්ඡාවත් සමඟ ජනාධිපතිවරයා හමුවන්නට යන ගමන ගැනත් ඔහු බාලසිංහම්ට දැනුම් දුන්නේය. අනාවරණය වී තිබෙන තොරතුරු අනුව ජනාධිපතිවරයාගේ ප්‍රවේශය ඇන්ටන් බාලසිංහම් ගේ කෝපයට හේතුවී තිබේ. ත්‍රිවිධ හමුදාවට අණදෙන ආඥාපතිවරයා ජනාධිපති නිසාත්, යුද්ධයක් සඳහා සියලු කටයුතු සූදානම් කෙරෙමින් තිබෙන්නේ ජනාධිපතිවරයාගේ අනුමැතිය යටතේ ජනාධිපතිවරයාගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ විසින් නිසාත් යුද්ධයට සූදානම් වීම ජනාධිපතිවරයා නොදැන සිදුවන්නේ කෙසේද යන්න ඔහු ප්‍රශ්න කර තිබේ. නෝර්වේ රාජ්‍යයට හොරා ගනුදෙනු කරන තැනකට යන්නට දක්වන උනන්දුව ද ඔහුගේ විවේචනයට හේතුවී තිබේ.
ඇන්ටන් බාලසිංහම්ගෙන් ද අවශ්‍ය උපදෙස් ලබාගැනීමෙන් පසු උදයන් කතුවරයා එම පුවත්පතේ ප්‍රකාශකයා ලෙස ක්‍රියා කරන ඊ. සරවනබවන් සමඟ සවස 4.00ට අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවිය. ජනාධිපතිවරයා සමඟ එහි ලූෂන් රාජකරුණානායක ද සිටියේය.
සති දෙකක කාලයක් ප්රචණ්ඩ ක්‍රියාවන්ගෙන් වැළකී සිටිය හැකි නම් හා එම එකඟතාව නොර්වේ රාජ්‍යය මත නොයැපී ඍජු ලෙස ඇති කරගත හැකි නම් ඒ නිසා ඇතිවන ප්‍රගතිය මත දෙපක්ෂයට තවදුරටත් එක්ව ක්‍රියාකළ හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. කරුණා පාර්ශ්වය නිරායුධ කිරීමේ හැකියාවක් තමන්ට නැතත්, අදාළ සති දෙකේ කාලය තුළ ඔහු කිසිවක් නොකරන තැනක තබාගැනීමට තමන්ට හැකි බවත්, ඉන්පසු හොඳින් කටයුතු සිදුවේ නම් කරුණා පාර්ශ්වය තවදුරටත් කිසිවක් නොකරන තැනක තබාගැනීමට තමන්ට හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
පැයකට ආසන්න කාලයක් තිස්සේ සිදුවී ඇති මෙම සාකච්ඡාවෙන් පසු උදයන් කතුවරයා එදින සවසම ජනාධිපතිවරයාගේ පණිවුඩය තමිල් සෙල්වන්ට දැනුම් දී තිබේ.
තමිල් සෙල්වන්ගේ පිළිතුර ඊට පසුදිනම එනම් ජූනි 21 වැනිදා උදයන් කතුවරයා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වෙත දැනුම් දී තිබේ. තමිල් සෙල්වන් ජනාධිපතිවරයාට දෙන ලද පිළිතුර කුමක්ද යන්න නොපැහැදිලිය. එහෙත් දැනගන්නට තිබෙන කරුණු අනුව නෝර්වේ රාජ්‍යය මගහැර කරන සාකච්ඡාවලට එල්ටීටීඊය තරයේ විරුද්ධය. නෝර්වේ එපා නම් ඒ බව ආණ්ඩුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු බවත්, ඉන්පසු අවශ්‍ය නම් ඍජු සාකච්ඡා ආරම්භ කළ හැකි බවත් එල්ටීටීඊය ආණ්ඩුවට දැනුම් දී තිබේ.
එහෙත් ඉන් දින පහකට පසුව කොටි සංවිධානය හමුදාවේ තුන්වැන්නාගේ ජීවිතය බිලිගැනීමෙන් පෙනී යන්නේ ජනාධිපතිවරයාගේ යෝජනාවට කොටි සංවිධානය එකඟ වී නැති බවය.
නොඑකඟතාවට බලපෑ හේතු සොයා බැලිය යුතුය. නෝර්වේ රාජ්‍යය සාම ක්‍රියාවලියෙන් පිටමං කිරීමට හේතුවන කිසිම වැඩපිළිවෙළකට එල්ටීටීඊය එකඟ වනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. මෙතෙක් දේවල් සිදුවූ ආකාරය අනුව ජනාධිපතිවරයා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබා ක්‍රියා කිරීමට ඔවුන් සූදානම් නැති බව ද පෙනේ.
අසාර්ථක වුවත් ජනාධිපතිවරයා විසින් දරන ලද මෙම උත්සාහයෙන් පෙනී යන්නේ තමන්ගේ ගමන් මාර්ගයේ වෙනසක් ඇති කරගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන බවය.
ජනාධිපතිවරයා හැම අතින්ම හිරවී සිටින බවක් පෙනෙන්නට තිබේ. ඔහු ජවි පෙරමුණේ බලපෑමට හිරවී සිටී. ඉන්දියාව දෙන සංඥාවලින් ද හිරවී සිටී. ජාත්‍යන්තර ප්‍රජාව නිසා ද හිරවී සිටී.
යුද්ධ හමුදාපතිවරයා ඉලක්ක කොට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයේදී ආණ්ඩුව ගුවනින් එල්ටීටීඊ ප්‍රදේශවලට පහර දෙනු ලැබීය. කැබතිගොල්ලෑව සිද්ධියෙන් පසුව ද පේසාලේට පහර දී තිබේ. ඒ ප්‍රතික්‍රියා නැති ප්‍රශ්න ඇති කළේය. ගුවන් ප්‍රහාර ඉන්දියාවේ විරෝධයට හේතුවිය. පේසාලේ සිදුවූ සිද්ධීන් ද ජාත්‍යන්තර අවධානයට ලක්විය. ඒ නිසා මෙවර මේජර් ජනරාල් පාරමී කුලතුංගගේ ඝාතනයෙන් පසුව ගුවනින් කෙරෙන පහරදීම් හෝ වෙනත් ප්‍රතික්‍රියා සිදුවූයේ නැත.
දැන් ලංකා ආණ්ඩුව සිටින්නේ තමන් කුමක් කළයුතුදැයි නොදන්නා තත්ත්වයකය. එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.