ශ්‍රී ලංකා රාජ්‍යය ඇතුළු එහි සමස්ත දේශපාලන ක්රමයම අවුල් ජාලයකට පත්ව තිබෙන තත්ත්වයක් තුළත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රමානුකූලව සිය බලය තහවුරු කරගනිමින් සිටින බව පෙනේ.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල අපේක්ෂකයා වශයෙන් වුවත්, ශ්‍රීලනිප නමැති දේශපාලන යාන්ත්‍රණය ඒ මහතා සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත සිරිමා බණ්ඩාරනායක යුගයේදී එම පක්ෂය ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියට සමානය. පක්ෂ නායිකාව කකුලෙන් අදින ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට මන්ත්‍රී කණ්ඩායමෙන් වැඩි පිරිසක් අනුගමනය කළේ ද, හොර ගල් අහුලන ප්රතිපත්තියකි.
ඒ තත්ත්වය ඉදිරියේ සිය හිතට විරුද්ධව වුවත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන යාන්ත්‍රණය ජනාධිපතිවරණය ජයගැනීමේ අරමුණ සඳහා යොදා ගැනීමට සිදුවිය. එහිදී ඒ අරමුණ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ යථාර්ථවාදී නොවන සියලු කොන්දේසි පිළිගන්නට ද සිදුවිය.
ජනතා විමුක්ති පෙරමුණ ඒ මොහොතේ මහින්ද රාජපක්ෂ මහතාට ආධාර කළේ ද 1988 ජනාධිපතිවරණයේදී සිරිමා බණ්ඩාරනායකට එරෙහිව ආර්. ප්‍රේමදාසට ආධාර කළ ආකාරයටමය. තමන්ගේ පැවැත්ම ශක්තිමත් කරන අපේක්ෂකයකුට ආධාර දී තමන්ගේ තත්ත්වය ශක්තිමත් කරගන්නා අතර, ඉන්පසු තමන්ගේ ආධාරයෙන් බලයට පත්වන ජයග්‍රාහකයා අර්බුදයට යවා තමන් බලයට පත්වීමේ අරමුණ ඇතිවය.
ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දේශපාලන අර්බුදයකට හසුවී සිටි අවස්ථාවක එම පක්ෂය ඇයට ආධාර කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානයක් ඇති කරගත්තේ ඇගේ දෙවැනි ධුර කාලය අවසන්වීමෙන් පසුව ශ්‍රීලනිපයේ බලය සිය ග්‍රහණයට ගනිමින් දුරගමනක් යාමේ අපේක්ෂාව ඇතිවය. ජනාධිපතිනියගේ දෙවැනි ධුර කාලය අවසන් වූ විට ඊළඟ අපේක්ෂකයා තීරණය කිරීමේ බලය තමන් වෙත හිමිකර ගනිමින් තමන්ට රිසි ලෙස නැටවිය හැකි ජනාධිපතිවරයෙක් බලයට ගනිමින් ශ්රීලනිපය තුළ බලය තහවුරු කරගැනීමේ ක්‍රියාවලිය පරිපූර්ණ කරගනිමින් රාජ්‍ය බලය සිය ග්‍රහණයට ගැනීම එම වැඩපිළිවෙළේ අරමුණ විය.
ඔවුන් එන්න යන්නේ මොකාටද කියා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැන සිටිය ද, ඒ මොහොතේ තමන් මුහුණ දී තිබුණු අර්බුදය ජයගැනීම සඳහා එම පක්ෂය සමඟ සන්ධානයකට යාම අත්‍යවශ්‍ය වේ යැයි කල්පනා කොට ඒ මොහොතේ පක්ෂයට ඉන් සිදුවන අලාභය නොසලකා ජවිපෙ සමඟ සන්ධානයක් ඇති කරගත්තේය. ඒ මගින් එක්සත් ජාතික පක්ෂයට තිබුණ පාර්ලිමේන්තු බලය පරාජය කිරීමට ඇය සමත් වුවත් ඒ නිසා ඇගේ පක්ෂයට තිබුණු පාර්ලිමේන්තු නියෝජනය කුඩා වී ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය කෘතිම ලෙස විශාල වූයේය. එහිම ප්‍රතිඵලයක් වශයෙන් භික්ෂූන් වහන්සේලා පිරිසකට ද කෘතිම පාර්ලිමේන්තු නියෝජනයක් ලැබී දේශපාලන චිත්‍රය සංකීර්ණ ස්වරූපයක් ගනු ලැබීය.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ පවත්වාගෙන යන හවුල් දේශපාලනයේදී ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමේ ක්‍රියාවලිය පාලනය කිරීමේ අරමුණක් ජේවීපීයට තිබුණ ද එම න්‍යාය පත්‍රය තුළ මහින්ද රාජපක්ෂ කෙනෙකුට කිසිම ඉඩක් තිබුණේ නැත.
එම ආණ්ඩුවේ අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමන ලද දෙයක් නොවූ අතර, බලහත්කාරයෙන් ලබාගන්නා ලද දෙයක් විය. අගමැති ධුරය ලැබිය යුත්තේ කාටද යන ප්රශ්නයේදී ද ජවිපෙට තමන්ගේම මතයක් තිබුණි. එම තනතුර මහින්ද රාජපක්ෂ මහතා අතට පත්වනවා දකින්නට ඔවුන් කිසිසේත් කැමති නොවීය. එහෙත් එසේ සිදුවීම වැළකීමට ද ඔවුන් සමත් නොවීය.
මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ද කැමැත්තෙන් ප්රදානය කරන ලද්දක් නොවීය. එය බලහත්කාරයෙන් ලබාගන්නා ලද්දක් විය. එය එසේ දී තිබුණේ ද ස්ථිර ලෙස නොව තාවකාලික ලෙසය. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2006 වසර අවසානයේ නිසා ක්‍රමය වෙනස් කොට හෝ තවදුරටත් බලයේ රැඳී සිටීම ජනාධිපතිනියගේ අපේක්ෂාව වී තිබුණි.
මහින්ද රාජපක්ෂ මහතාට නොකැමැත්තෙන් හෝ ජනාධිපති අපේක්ෂකත්වය දෙන අවස්ථාව වන විට ජවිපෙ සිටියේ ආණ්ඩුවෙන් පිටස්තරවය. ඒ නිසා ඊට බලපෑම් කිරීමේ හැකියාවක් ජවිපෙට නොතිබුණි. බලපෑමේ හැකියාවක් තිබුණේ නම් ජවිපෙ තේරීම වන්නට ඉඩ තිබුණේ මහින්ද නොව අන් කෙනෙකි.
අගවිනිසුරුවරයා හදිසියේ ජනාධිපතිනියට එරෙහිව යන්නට තීරණය නොකළේ නම් දේවල් සිදුවන්නට ඉඩ තිබුණේ මේ ආකාරයට නොව, මීට වෙනස් ආකාරයකටය. එහෙත් අගවිනිසුරුගේ තීරණය නිසා කිසිවක් කරගත නොහැකි ලෙස ජනාධිපතිනිය හිරවිය.
ඒ නිසා ජවිපෙට අවසාන විග්රහයේදී රනිල් ද, මහින්ද ද යන විකල්ප දෙකෙන් එකක් තෝරාගැනීමට බල කෙරිණි.
රනිල් ජයගතහොත් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින තත්ත්වයක් තුළ තමන්ට අවාසිදායක මැතිවරණයකට මුහුණ දෙන්නට සිදුවනවාට අතිරේකව ජනාධිපතිනිය සමග එකතු වී රනිල්ගේ පාර්ලිමේන්තු ආණ්ඩුව පෙරළා දැමීම වෙනුවෙන් ඔහු තමන්ගෙන් පළිගනු ඇති බව ජවිපෙ දැන සිටියේය. ඒ නිසා මහින්ද තමන්ගේ සතුටට හේතුවන පුද්ගලයෙකු නොවූවත්, රනිල් පරාජය කිරීමට මුළු වැර යොදා ක්‍රියාකරනවා හැර ජවිපෙට තෝරා ගැනීමට වෙනත් විකල්පයක් නොතිබුණේය.
මහින්ද සිටියේ ද අනාගතය කෙරෙහි ඇති කරන බලපෑමේ හොඳ නරක කුමක් වුවත්, ජවිපෙ ඒ මොහොතේ ඉදිරිපත් කරන ඕනෑම කොන්දේසියක් පිළිගෙන ඔවුන්ගේ ආධාරය අවශ්‍යයෙන්ම ලබාගත යුතු තත්ත්වයකය. ජනාධිපතිනියගේ තක්සේරුව වූයේ රනිල් දිනවා මහින්ද දේශපාලන ලෝකයෙන් පලවා හැර පක්ෂය කෙරෙහි සහ ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි තම පවුලේ ආධිපත්‍යය තවදුරටත් ආරක්ෂා කරගැනීමය. රනිල්ගේ ජයග්‍රහණය තහවුරු කර දෙන්නට ඒ මොහොතේ ඕනෑම දෙයක් කර දෙන්නට චන්ද්‍රිකා සැදී පැහැදී සිටියේය. රනිල්ට අවශ්‍ය නම් අවසාන මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වුවත් ඇය සූදානමින් සිටියේය. එය වැළකුණේ තමන්ගේ ජයග්‍රහණය නොවැළැක්විය හැකි වේ යැයි කල්පනා කළ රනිල් ඒ අයිතිය තමන් වෙත තබා ගැනීම සඳහා එවැනි පියවරක් ගන්නවාට විරුද්ධවීම නිසාය. දෛවයේ සරදමකට මෙන් ප්රභාකරන් ගනු ලැබූ තීන්දුවේ වාසිය ගියේ ද මහින්දටය. අවසානයේදී අවාසිදායක තරගයකින් ජයගැනීමේ වාසනාව මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය.
එහෙත් ලැබූ ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා සම්පූර්ණ කරගත යුතු දුෂ්කර කොන්දේසි ගණනාවක් තිබුණි. එක් අතකින් එල්ටීටීඊයෙන් එල්ල වන යුද්ධ තර්ජනයක් තිබුණි. එල්ටීටීඊය සමඟ ගනුදෙනු කරගන්නට සිදුවී තිබුණේ ජේවීපීයේ හා හෙළ උරුමයේ අභිලාෂයන් ද සැලකිල්ලට ගනිමිනි. ස්ථාවර පාර්ලිමේන්තු බලයක් නොතිබීම මුහුණ දෙන්නට සිදුවී තිබුණු තවත් සංකීර්ණ අභියෝගයක් විය. සැලකිය යුතු තරම් පාර්ලිමේන්තු නියෝජනයක් තිබූ ජේවීපීය ආණ්ඩුවේ හවුල්කරුවකු ලෙස ක්රියාකරන්නට කැමති නොවීය. එක් අතකට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හසුරුවන අතර, අනෙක් අතට ආණ්ඩුවේ විරුද්ධ පක්ෂය ලෙස රටේ පෙනී සිටීමට ද ජේවීපීයට අවශ්‍යව තිබුණි. ජනාධිපතිවරයා අන්තවාදී බලවේගයන්ගේ සිරකරුවකු බවට පත්ව සිටින්නේය යන්න බැලූ බැල්මට පෙනෙන්නට තිබූ චිත්‍රය විය. ජනාධිපතිවරයා අනාගනිමින් සිටින තත්ත්වයක් තුළ ඉක්මණින් ආණ්ඩුව කඩා වැටෙනු ඇති බව රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග වැනි නායකයින්ගේ මතය වී තිබුණි. අවිනිශ්චිතභාවය මන්ත්‍රීවරුන් කෙරෙහි පමණක් නොව ආර්ථිකය කෙරෙහි ද බලපෑවේය.
ජනාධිපතිවරයා තමන්ගේ වාසියට හේතුවන බලතුලනයක් ඇති කරගැනීම සඳහා තෝරාගත් මාධ්‍ය වූයේ යුද්ධයයි. එය ඉතාමත් වියදම් අධික හා අවදානම් සහගත සූදුවක් වී තිබියදීත් ඒ සූදුවෙන් මේ මොහොතේ ජයගැනීමට ජනාධිපති සමත් වී තිබේ. ජයගත්තේ සමස්ත යුද්ධය නොවන නිසාත්, එය යුද්ධයේ කිසියම් අධියරක් පමණක් නිසාත් ලැබූ ජයග්‍රහණයේ ස්වභාවය කුමක් වුවත්, එම ජයග්‍රහණය තාවකාලික ලෙස වුවත්, දේශපාලන බලතුලනය ජනාධිපතිවරයාගේ වාසියට හේතුවන ලෙස වෙනස් කළේය.
දැන් ජේවීපීයට කොන්දේසි පැනවීමේ හැකියාවක් නැත. එජා පක්ෂය පමණක් නොව එල්ටීටීඊය ද සිටින්නේ ප්‍රතිප්‍රහාර දිය හැකි තැනක නොව ආරක්ෂාව සඳහා සටන් කරන තැනකය. හිටපු ජනාධිපතිනියට ද රනිල් වික්‍රමසිංහ සමග එකතු වී බලය අල්ලා ගැනීම සඳහා ඇති කරගෙන තිබූ සැලසුම් තාවකාලික ලෙස වුවත්, හකුළා ගැනීමට සිදුවී ඇත්තේය.
ඇතිවී තිබෙන එම වාසිදායක බලතුලනය ජනාධිපතිවරයා පාවිච්චි කරන්නට යන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. ලැබී තිබෙන එම අවස්ථාව ප්‍රශස්ථ ලෙස ප්‍රයෝජනයට ගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවේ ගමන් මග තමන්ගේ ගෞරවයට හේතුවන ලෙසත්, රටේ යහපතට හා සුභ සිද්ධියට හේතුවන ලෙසත්, වෙනස් කිරීමේ හැකියාව ඇත්තේය. විරුද්ධ පක්ෂවලට තමන්ට ආධාර කරනවා මිස, අවහිර කළ නොහැකි තත්ත්වයක් ඇති කළ හැකිවනු ඇත්තේ ය. එල්ටීටීඊයට ද දෙමළ ජනයාගේ සාධාරණ අයිතිවාසිකම් පිළිබඳව දේශපාලන ගනුදෙනුවක යෙදෙනවා මිස, යුද්ධ කළ නොහැකි තත්ත්වයක් ඇති කර ගත හැකිවනු ඇත්තේය. ජාත්‍යන්තර ප්‍රජාවට ද ආධාර කරනවා හැර නිශ්ක්රීයව බලා සිටිය නොහැකි තත්ත්වයක් ඇති කළ හැකිවනු ඇත්තේය.
එහෙත් ඒ සියල්ල තීරණය වනවා ඇත්තේ ඊළඟට තෝරා ගන්නා මාර්ගය අනුවය. දුෂ්කර එහෙත් හොඳ ආරම්භක ක්‍රීඩාවකින් පසුව තවදුරටත් හොඳ මැද ක්‍රීඩාවකට අවතීර්ණ වී එය හොඳින් පවත්වාගෙන යාමට සමත් වුවහොත් ජනාධිපතිවරයාට සේ ම රටට ද ලැබෙන ප්‍රතිඵල ඉතා යහපත් වනු ඇත. එහෙත් ඉතා දුෂ්කර වුවත් හොඳ ආරම්භක ක්‍රීඩාවකින් පසුව මැද ක්‍රීඩාව නරක ලෙස ක්‍රීඩා කළහොත් එය ජනාධිපතිවරයාගේ විනාශයට සේ ම රටේ විනාශයට ද හේතුවිය හැකිය.
රටේ යහපත් වෙනසක් සමග යහපත් රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යාමට අවංක උනන්දුවක් ඇති රාජ්‍ය පාලකයකු අවශ්‍යයෙන්ම සැලකිල්ලට ගත යුතු මූලික කාරණා සමහරක් මෙසේය.
ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට කුණුවී තිබේ. එය නැවත ප්‍රතිනිර්මාණය කළ හැකි වනු ඇත්තේ දේශපාලන විප්ලවයකින් පමණය. එවැනි විප්ලවයක් පහළින් සිදුවීමට දැනට ඉඩක් නැත. එය සිදුවිය යුත්තේ ඉහළිනි. නැත්නම් එවැන්නක් කවර ආකාරයකින් හෝ සිදුවනු ඇත්තේ රට පූර්ණ දේශපාලන අරාජිකත්වයකට තල්ලුවීමෙන් පසුවය.
රට හා රාජ්‍යය නැවත අලුතෙන් ප්‍රතිනිර්මාණය කෙරෙන පූර්ණ විප්ලවයකට නායකත්වය දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සූදානම්ද? සූදානම් නැති නම් එවැන්නක් කවදා හෝ සිදුවනු ඇත්තේ රට පූර්ණ දේශපාලන අරාජිකත්වයට ගොදුරුවීමෙන් පසුවය. ලැබී තිබෙන මෙම අවස්ථාව ප්‍රශස්ථ ලෙස ප්‍රයෝජනයට ගැනීමට අසමත් වෙතොත් (සමත් වෙතොත් ජනාධිපතිවරයා ඉතිහාසයට එකතු වනු ඇත්තේ විනාශ මුඛයට පත්වූ ශ්‍රී ලංකාව බේරා ගත් නායකවා වශයෙනි.) රට සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පූර්ණ අරාජිකත්වය නමැති කුණු බක්කියට ඇද වැටෙනු ඇත.