මහින්ද, රනිල්, ජෙවීපීය හා සාමය

October 29, 2026
Publication:
There may be a contradiction between what was said on the presidential election platform about talks and what the president is doing now, but getting the LTTE to agree to talks, and getting the JVP to a place where it does not oppose them, is a real political victory. Ivan's argument is that people and parties can learn and change, and that when they change for the better they should be helped and not obstructed.

සාම සාකච්ඡා අරඹයා ජනාධිපතිවරණ වේදිකාවේ කෙරුණු කතා හා ජනාධිපතිවරයා දැන් කරමින් තිබෙන දේවල් අතර පරස්පරයක් තිබෙනවා විය හැකි වුවත්, යුද්ධයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවට පැවති බිය තුරන් කිරීමට හේතුවන ලෙස සාම සාකච්ඡා සඳහා එල්ටීටීඊය එකග කරවා ගැනීමට හැකිවීම ජනාධිපතිවරයා ලද වැදගත් දේශපාලන ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. ඉතාම වැදගත් දේ එල්ටීටීඊය එකගකරවා ගන්නවාට අතිරේකව ජවි පෙරමුණ ද ඊට විරුද්ධ නොවන තැනක තබාගැනීමට සමත්වීමය. කවර හේතුවක් නිසා හෝ දැන් කරුණා පාර්ශ්වය ද ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශ කරමින් එල්ටීටීඊයට පහරදිමෙන් වැළකී සිටින පිළිවෙතකට සහතික වී තිබේ.

සාම සාකච්ඡාවලට අදාළව රටේ දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය රනිල් වික්‍රමසිංහ මහතාගේ පමණක් සතුටට හේතුවී නැති බව ද පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරමින් තිබෙන සාම සාකච්ඡාවලට විරුද්ධ නොවී සිටීමේ පිළිවෙත රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි විවේචනයට හේතුවී තිබෙන අතර, එජාපයේ මන්ත්‍රීන් බිලිගන්නා පිළිවෙතක් ආණ්ඩුව අනුගමනය කරන්නේ නම්, ආණ්ඩුවේ සාම වැඩපිළිවෙළට සහාය දිමෙන් වැළකී සිටින බවට ද තර්ජනය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජවිපෙ පිළිබඳ ඇති කරගෙන තිබෙන විරෝධය තේරුම් ගැනීමට අමාරු නැත. රනිල් වික්‍රමසිංහගේ කාලයේදි රනිල් වික්‍රමසිංහ කරන හැම දේකටම ජවිපෙ විරුද්ධ වූයේය. රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව පරාජය කිරීමේ ක්‍රියාවලියේදි ජේවීපීය පෙරගමන්කරුවකු ලෙස ක්‍රියා කළේය. ඉන්පසු පසුගිය ජනාධිපතිවරණයේදි ද රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමේ අරගලයේදි ද වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. එහෙත් දැන් එම ගමන් මගෙහිම ගමන් ගනිමින් තිබෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඔවුන් කිසිදු අවහිරයක් කරන්නේ නැත. කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා සමග ඇති කරගත් එකගතා ගිවිසුමට පටහැනි වුවත්, ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එකම වචනයක්වත් කතා කරන්නේ නැත. ජවිපෙ ජනාධිපතිවරණයේදි කරන ලද කතා හා දැන් කරන ක්‍රියා අතර පරස්පරයක් තිබෙනවා විය හැකි වුවත්, රනිල් වික්‍රමසිංහ මහතා මුළු හදවතින් සාමයට කැමති නායකයෙක් වේ නම්, ජවිපෙ දැන් අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ මහතගේ නොසතුටට නොව සතුටට හේතුවිය යුතුය. ඔවුන් අතීතයේ කුමක් කීව ද, අඩුම වශයෙන් වර්තමානයේවත් යථාර්තවාදිව ක්‍රියා කරන්නේ නම් ඉන් රටට යහපතක් මිස අයහපතක් සිදුවන්නේ නැත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ගණන් බැලීම වූ බව පෙනෙන්නට තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින් සියල්ල අනාගනු ඇති බවත්, ඒ සමග ඇතිවන මහා යුද්ධයක අළු දූලි මත තමන්ට වැඩිකල් නොගොස් නැවත නැගී සිටීමේ හැකියාව ලැබෙනු ඇති බවත්ය. එහෙත් රටේ කටයුතු සිදුවෙමින් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂා කරන ආකාරයටම නොව, ඊට තරමක් වෙනස්වය. හැමදාමත් ජවිපෙ මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කීකරු ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇද්ද යන්න පැහැදිලි නැතත්, ජනතා විමුක්ති පෙරමුණ බලවත් ලෙස විරුද්ධ නොවන තැනක තබාගනිමින් සාම සාකච්ඡා සඳහා ඉදිරියට යාම වැදගත් ඉදිරි පියවරකි. එය ජවිපෙ දේශපාලන ආකල්ප තුළ ද සාධනීය පරිවර්තනයක් ඇති කිරීමට ද හේතුවිය හැකිය. ඔවුන් ද ඉගෙන ගනිමින් වෙනස් විය යුතුය. ඔවුන් තමන් තුළ යහපත් වෙනස්කම් ඇති කරගන්නේ නම් ඊට ආධාර කරනවා මිස අවහිර කළ යුතු නැත.

පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වී සාම සාකච්ඡාවලට අදාළව දැන් මහින්ද රාජපක්ෂ මහතා කරන දේ ම රනිල් වික්‍රමසිංහ මහතා කරන්නට ගියේ නම් ජවිපෙ වීථි බසින තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණේය. ප්‍රතිපත්තිමය අර්ථයෙන් ගත් විට ජවිපෙ එම භාවිතය තුළ අවස්ථාවාදයක් තිබෙනවා විය හැකි වුවත්, විරුද්ධවාදි ක්‍රියාකාරකම් මැද්දේ සාම සාකච්ඡා ඉදිරියට යනවාට වඩා එවැනි ක්‍රියාවලින් තොරව සාම සාකච්ඡා ඉදිරියට යාම යහපත්ය.

ව්‍යවස්ථානුකූලව පක්ෂ නායකයා වශයෙන් තමන්ට තිබෙන අතිවිශාල ඒකාධිපති බලතල යොදාගෙන සිය පක්ෂ නායකත්වය රැකගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත්වී ඇතත්, අර්බුදය විසඳගෙන තිබෙන ආකාරය එම පක්ෂය බෙලහීන කිරීමට මිස ශක්තිමත් කිරීමට හේතුවී නැත. දැන් රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ පක්ෂය අතහැර ආණ්ඩුවට එකතු වන අයට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවය. එහෙත් මීට පෙර පක්ෂය අතහැර ආණ්ඩුවට එකතු වූ කිසිවකුගේ මන්ත්‍රීකම් අහිමි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් නොවූ අතර, එම ආරාවුල් වලදි අධිකරණය අනුගමනය කළ පක්ෂවාදි පිළිවෙතට ශක්තිමත් ලෙස අභියෝග කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා අසමත් විය. එම තත්ත්වය තුළ දැනට ආණ්ඩුවට එකතු වී සිටින හා ඉදිරියේ ආණ්ඩුවට එකතු වන අයගේ ද මන්ත්‍රීකම් අහිමි කිරීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහ මහතාට නැත. වැරදි සම්ප්‍රදායක් තහවුරු වන්නට ඉඩදි ඒ ඉදිරියේ නිශ්ශබ්දව බලා සිටීමේ පිළිවෙත වෙනුවෙන් දැන් ඒ මහතාට වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේ වැල් පොළියක් ද එකතු වන ආකාරයටය.

මහින්ද රාජපක්ෂ මහතා ජනවාර්ගික අර්බුදය විසඳ ගන්නට යන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් බලය දිනාගැනීම සඳහා කියන ලද ජනප්‍රිය පාඨවලට වහල් නොවී ජවිපෙ වැනි දැඩි මතධාරි බලවේගයන්ගේ ද සහාය තවදුරටත් ලබාගනිමින් යථාර්ථවාදි පිළිවෙතක පිහිටා ක්‍රියාකරන්නට සමත් වෙතොත්, සාමකාමී විසඳුමක් ඇති කරගැනීම සඳහා වන ශක්තිමත් වටපිටාවක් ඇතිකර ගැනීමට සමත් විය හැකිය.