අධිකරණ සේවා කොමිසමේ අර්බුදය

October 29, 2026
Publication:
Both members of the Judicial Service Commission other than the chief justice have resigned, saying there is no room in it to act according to their consciences — Shirani Bandaranayake, the senior-most judge of the Supreme Court after the chief justice, and T.B. Weerasuriya, the senior-most career judge. Ivan's verdict on the chief justice is the harshest in the archive, and his advice to the new president is to drop him before the rot spreads.

අධිකරණ සේවා කොමිසම තුළ තමන්ගේ හෘද සාක්ෂියට එකගව ක්‍රියාකිරීමට ඉඩක් නැති බව ප්‍රකාශ කරමින් අධිකරණ සේවා කොමිසමෙන් අගවිනිසුරු හැර ඉතිරි සාමාජිකයන් දෙදෙනාම ඉවත් වී තිබේ. මෙසේ එම ධුරවලින් ඉවත් වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හා ටී.බී. වීරසූරිය යන විනිසුරුවරුන් දෙදෙනා ය. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුවරයාට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියයි. ටී.බී. වීරසූරිය මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින වෘත්තීය විනිසුරුවරුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයාය.

මෙය අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ අභ්‍යන්තරයෙන් එල්ල වූ දෝෂාභියෝගයක් ලෙස සැලකිය හැකිය. අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් අතර පැවති මතභේද අප්‍රකට නොවීය. අගවිනිසුරුවරයාගේ නීති විරෝධී හා අගතිගාමී ක්‍රියාකාරකම් සෙසු සාමාජිකයන් දෙදෙනාගේ විරෝධයට හේතුවී තිබුණු අතර, කොයි මොහොතක හෝ දරුණු පිපිරිමක් ඇතිවිය හැකි බව කරුණු දත් අය දැන සිටියහ.

අධිකරණ සේවා කොමිසමෙන් මෙම සාමාජිකයන් දෙදෙනා ඉවත්වීම ගැන අගවිනිසුරුවරයා ද ප්‍රසිද්ධ නිවේදනයක් මගින් සිය අදහස් පළකර තිබෙන අතර, ඒ මගින් ඔහු කොමිසමෙන් ඉවත් වූ විනිසුරුවරුන් දෙදෙනා විවේචනයට ලක්කිරිමෙන් නොනැවතී වඩා හොඳ හා පළපුරුදු විනිසුරුවන් දෙදෙනෙක් කොමිසමට පත් කරන බව ද ප්‍රකාශ කර තිබේ.

අගවිනිසුරුවරයා අධිකරණයේ ප්‍රධානියා වුවත්, අධිකරණ සේවා කොමිසමට සාමාජිකයන් පත්කිරීමේ බලයක් අගවිනිසුරුට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණ සේවා කොමිසමට සාමාජිකයින් නිර්දේශ කිරීමේ බලය ඇත්තේ ව්‍යවස්ථා සභාවටය. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කොමිසමේ එක් සාමාජිකධුරයක් හිස්ව තිබෙන අවස්ථාවක කොමිසමේ කටයුතු කරගෙන යෑමේ බලයක් කොමිසන් සභාවට ඇතත් (111 ඉ 4) තනි සාමාජිකයකුට පමණක් කොමිෂන් සභාවේ කටයුතු පවත්වාගෙන යෑමේ බලයක් නැත. ඒ අනුව මහාධිකරණයේ සිට ඊට පහළ අධිකරණයක් දක්වා විනය පාලනය, ස්ථාන මාරුවීම් හා උසස්වීම්වලට අදාළ කිසිම කටයුත්තක් කොමිසමේ පුරප්පාඩු නැවත පුරවන තුරු ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් නැත.

දැනට 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති ස්වාධීන කොමිෂන් සභාවලින් ක්‍රියාකාරි තත්ත්වයක තිබෙන්නේ අල්ලස් කොමිසම හා මානව හිමිකම් කොමිෂන් සභාව පමණය. ඒ යටතේ තිබෙන අන් සියලු කොමිෂන් සභා තිබෙන්නේ නිෂ්ක්‍රීය තත්ත්වයකය.

අගවිනිසුරු සරත් නන්ද සිල්වා තරම් විවාදයට හේතුවූ හා ප්‍රසිද්ධ විවේචනයට ලක්වූ චරිතයක් තවත් නැති තරම්ය. ඔහුට එරෙහිව ඉතාමත් බරපතළ චෝදනා ඇතුළත් දෝෂාභියෝග දෙකක් ද දියවන්නා ඔය අපචාර සිද්ධියේ ඇත්ත නැත්ත සොයා බැලීම සඳහා වන තේරිම් කාරක සභාවක් සඳහා වන යෝජනාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ නමුත්, ඒ කිසිදු චෝදනාවක් පාර්ලිමේන්තුව පරික්ෂාවට ලක් කර නැත.

රටේ උත්තරිතරම දේශපාලන ආයතනය ලෙස සැලකෙන පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට බදු ගෙවන රටේ මහජනතාව අතිවිශාල වියදමක් දරයි. එහෙත් මෙම විශේෂ ප්‍රශ්නයේදි පාර්ලිමේන්තුව ක්‍රියාකර ඇත්තේ ඇස් කන් නෑසෙන බිහිරකු ලෙසය. අගවිනිසුරුවරයාට එරෙහිව පාර්ලිමේන්තුව හමුවට ගෙනා චෝදනාවලියවත් පාර්ලිමේන්තුව පරික්ෂාවට ලක් නොකළේය. අධිකරණය කුණු වෙන්නට ඉඩ හැර බලා සිටියේය. ඒ කුණුවෙමින් තිබෙන අධිකරණයෙන් හැම දේශපාලන පක්ෂයක්මත් අයුතු ප්‍රයෝජන ගත්තේය. අධිකරණය කුණුවූ විට ඉන් රටට සිදුවන විශාල විනාශය තේරුම් ගැනීමට පාර්ලිමේන්තුව අසමත් විය.

මෙම පිල්ලිය විනාශකාරි පිල්ලියක් බව දැන දැනම තමන්ට ලැබෙන පටු වාසි සලකා ශ්‍රේෂ්ඨාධිකරණය මත එය පැල කරන ලද්දේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. ඇය අධිකරණය තුළ තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අගවිනිසුරුවරයෙකු අවශ්‍ය වී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභී තත්ත්වයක සිටි සරත් නන්ද සිල්වා මහතා එම තැනට ගෙනාවාය. ඇය ඔහු යටතේ තිබෙන අධිකරණය ආරක්ෂක පවුරක් ලෙස තබාගනිමින් උපරිම ලෙස පිස්සු නැටුවාය. රටේ ජනාධිපතිගෙන් පෙරළා තමන්ට ලැබුණු ආරක්ෂාව සලකා අධිකරණ නායකයා ද උපරිම ලෙස පිස්සු නැටුවේය.

ඔහු ජනාධිපතිනිය සතුටු කරනු පිණිස ඇයගේ සංවේදි විෂය ක්ෂේත්‍රවලදි දහස් ගණනකගේ මානව හිමිකම් බුල්ඩෝසර් කළේය. ඇය යටතේ තිබූ මහ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලද, ඇයට අයථා ලෙස කෝටි ගණනින් ධනය උපයා ගැනීමට ආධාර වූ පෞද්ගලිකකරණය කරන ලද සමාගම්වලද, සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරිම්වලදි අධිකරණය ක්‍රියාකර ඇත්තේ පහර කන්නට එරෙහිව පහර දෙන්නාට ආරක්ෂාව ලබාදෙන පොලිස්කාරයෙකු ලෙසය.

මෙම අගවිනිසුරු පිළිබඳ ප්‍රශ්නයේදි සියලු දේශපාලන පක්ෂ නායකයන් හා දේශපාලන පක්ෂ උරගා බැලීමකට ලක්වූ බව ද කිව හැකිය. මුස්ලිම් කොංග්‍රසය පළමු දෝෂාභියෝගයේදි අගවිනිසුරුගේ රැකවල් දූතයා ලෙස ක්‍රියා කළේය. එහෙත් පසුව එම පක්ෂයට එම පාපය වෙනුවෙන් විශාල වන්දි ගෙවීමක් කරන්නට සිදුවිය. දෙමළ සන්ධානය ද ඒ යුගයේදි අගවිනිසුරුවරයා අනියම් ලෙස ආරක්ෂා කරන පවුරක් ලෙස ක්‍රියා කළේය. ඒ වෙනුවෙන් එම පක්ෂයට ද පෙරළා විශාල වන්දි ගෙවීමක් කරන්නට සිදුවිය. ජනතා විමුක්ති පෙරමුණ පළමු දෝෂාභියෝගයේදි එහි උද්යෝගීමත් ආධාරකරුවකු විය. එහෙත් සන්ධාන ආණ්ඩු යුගයේදි අගවිනිසුරු සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට පත්විය. හෙළ උරුමය පළමු වටයේදි අගවිනිසුරුගේ සමීප ආධාරකරුවකු විය. ඊළග වටයේදි ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවූ විශාල වන්දිය හේතු කොටගෙන සැගවී පහර දෙන සතුරකුගේ තත්ත්වයට පත්විය. තුන්වැනි වටයේදි තමන්ට කරන ලද අලාභය වෙනුවෙන් අගවිනිසුරුගෙන් ලැබුණු අතිවිශාල වන්දිය සලකා නැවත අගවිනිසුරු සමග කල්ලි ගැසී ක්‍රියාකරන ආධාරකරුවකු බවට පත්විය. එජාප නායක රනිල් වික්‍රමසිංහ ද විමලා විජේවර්ධන මගින් අගවිනිසුරුට තිබුණු ඥාති සම්බන්ධය සලකා හෝ බටලන්ද සිද්ධියේදි තමන්ට ලැබුණු රැකවරණය සලකා හෝ නොදන්නා වෙනත් හේතු නිසා අගවිනිසුරුව අනියම් ලෙස ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළේය. එම අවශ්‍යතාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ද විශාල මිලක් ගෙවන්නට සිදුවිය.

මෙම පිළිලය රෝපණය කළ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ද අවසානයේ සිය ආරක්ෂකයාගෙන් බඩ කටපුරා කන්නට සිදුවිය. දිර්ඝ අනාගතයක් නැති ඇය ඊළග වසර සඳහා ආරක්ෂා කරන්නට ගියහොත් ඊටපසු බලයට එන්නේ කවරෙක් වුවත්, ඔහුගෙන් තමන්ට කන්නට සිදුවනු ඇති බව තේරුම් ගත් අගවිනිසුරුවරයා 2006 ජනාධිපතිවරණයක් සඳහා සිය ස්වාමි දුව සමග ඇති කරගෙන තිබූ එකගතාව අත්හරිමින් ඇය අන්ධකාර ප්‍රපාතයකට තල්ලු කොට ඊළගට තරග කරන අශ්වයින් දෙදෙනා අතරින් දිනන බව පෙනුණ අශ්වයාගේ කරමතට පැන ගත්තේය. ඔහු එහිදි ඉතාමත් දක්ෂ ලෙස දිනන අශ්වයා තෝරා ගැනීමට සමත් වූ බව ද කිවයුතුය. එහෙත් ඔහු එහිදි තමා ඉතාමත් ගුණමකු පුද්ගලයෙකු බව ද ඒ මගින් ලෝකයාට පෙන්නුම් කළේය. ඔහුගේ බෙල්ල හිරවී තිබෙන අවස්ථාවක ඉන් ඔහු බේරාගෙන අගවිනිසුරු පුටුවේ ඉන්දුවේ චන්ද්‍රිකාය. 2006 ජනාධිපතිවරණයක් ගැන සිහින මවන තැනකට ඇය ඇද දමා තිබුණේ ද ඔහුය. අලුතෙන් තෝරාගත් අශ්වයා තමාගේ පැරණි මිත්‍රයා වුවත්, ඒ තීරණාත්මක මොහොත දක්වා ඔහු ආධාර කළේ ඔහුට නොව ඇයටය.

අගවිනිසුරු සරත් නන්ද සිල්වා වෙනුවෙන් රට ගෙවා තිබෙන වන්දිය සුළුපටු නැත. අධිකරණයේ නායකයා වශයෙන් ඔහුගේ විෂම පැවැත්ම දේශපාලන ක්‍රමය කෙරෙහි විනාශකාරි ලෙස බලපා තිබේ. ස්වාධීන අධිකරණයක් තිබුණේ නම්, දේශපාලනඥයින්ට මේ තරම් පිස්සු නටන්නට ඉඩ ලැබෙන්නේ නැත. බලවත් වරදක් සිදුවන අවස්ථාවකදි අධිකරණයට ගොස් එය නිවැරදි කිරීමේ හැකියාව ජනතාවට ලැබෙන්නේ ය.

ප්‍රමුඛ වැදගත්කමක් ඇති මෙම ප්‍රශ්නය නව ජනාධිපතිවරයාගේ හොඳ නරක උරගා බැලෙන තීරණාත්මක ප්‍රශ්නයක් ලෙස ක්‍රියාකරනු ඇත. අගවිනිසුරුවරයා නව ජනාධිපතිවරයාට ආධාර කරන පිළිවෙතකට ගියේ සිය ආරක්ෂාව සඳහා ඒ හැර තෝරාගන්නට අන් විකල්පයක් නොතිබුණු නිසාය. ජනාධිපතිවරයා මේ මොහොතේ මේ කුණුවූ මිනිසා කරගසාගෙන ඉදිරියට යන්නට තීරණය කළහොත් එම මිනිසාගේ කුණුවූ දේහයෙන් ගලා හැලෙන ඕජස් ජනාධිපතිවරයාගේ ඇග මත බේරි එම ඇග ද කුණු ගඳ ගසන තත්ත්වයකට පත්වනු නොවැළැක්විය හැකිය.

අගවිනිසුරුවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පරික්ෂා කර බැලිය යුතුය. එය එක්කෝ පාර්ලිමේන්තුව විසින් කළයුතු අතර, නැතිනම් පාර්ලිමේන්තුව විසින් පත් කරන පිටස්තර පුද්ගලයන්ගෙන් (හිටපු දේශීය විනිසුරුවරුන් හෝ ජාත්‍යන්තර විනිසුරුවරුන් ඇතුළත්) සමන්විත කමිටුවක් මගින් සිදුකළ යුතුය. ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවලට ඔහු වරදකරුවකු නොවේ නම් ඔහුගේ නම පිරිසිදු කොට රටේ අධිකරණ නායකයා වශයෙන් ඔහුට අහිමි වී තිබෙන ගෞරවය ඔහුට ලබාදිය යුතුය. ඔහුට එල්ල වී තිබෙන චෝදනාවලට ඔහු වරදකරුවකු වේ නම් ඔහු අධිකරණ සේවයෙන් පළවා හැර ඔහුගේ විෂම පැවැත්ම අධිකරණය කෙරෙහි ඇති කර තිබෙන නින්දාවෙන් අධිකරණය මුදාගත යුතුය.