රට තිබෙන්නේ මහා විනාශයක් අත ළඟය

October 29, 2026
Publication:
The country is being pushed towards bloodshed, and it looks like the wish of the government as much as of the LTTE. Norway is close to withdrawing as facilitator and the donor group has given up hope. Ivan reads Soosai's speech as the sign that the LTTE has come to despair and is preparing to fight by dying — it cannot be defeated militarily, but a war fought in that spirit can destroy an enormous amount.

රට ලේ වැගිරෙන තැනකට තල්ලුවෙමින් තිබේ. එය එල්ටීටීඊයේ සේ ම ආණ්ඩුවේ ද අභිලාෂය වී තිබෙන බව ද පෙනේ.

නැවත ඇතිවන යුද්ධයක් විසින් ඇති කළ හැකි බිහිසුණු ප්‍රතිවිපාක ගැන ආණ්ඩුවට හරි තක්සේරුවක් තිබෙන බවක් පෙනෙන්නට නැත. දේවලට ඒ දේවලට කැමති ආකාරයට සිදුවන්නට ඉඩ දෙන ප්‍රතිපත්තියක පිහිටා ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බව ද පෙනේ.

නෝර්වේ රාජ්‍යය සිටින්නේ පහසුකම් සපයන්නාගේ භූමිකාවෙන් ඉවත් වන තත්ත්වයකය. ආධාර කණ්ඩායම සිටින්නේ ද බලාපොරොත්තු අත් හළ තත්ත්වයකය.

ප්‍රභාකරන් ඊළඟ යුද්ධය ගැන කල්පනා කරන ආකාරය පෙන්නුම් කරන අපූරු කතාවක් පසුගිය සෙනසුරාදා දයාන් ජයතිලක විසින් ඩේලි නිව්ස් පුවත්පතේ පළකර තිබුණි. එය විසිරයාමේ පෙළපාලියක් අමතා මුහුදු කොටි නායක සුසේ විසින් කරන ලද කතාවකි.

සුසේට අනුව ප්‍රභාකරන් මීළඟ යුද්ධය කරන්නට යන්නේ මීට පෙර යුද්ධ කරන ලද ආකාරයට වඩා වෙනස් ආකාරයකටය. ඔහු එය සමාන කොට ඇත්තේ හිට්ලර් දෙවන ලෝක යුද්ධයේදී ක්‍රියාවට නගන ලද ඊකසඑ“නරසැට පහරදීමේ පිළිවෙතටය. මුළු ශක්තිය යොදා ක්ෂණිකව එකවර, හැම අතකටම විහිදුණු දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීම ඔහුගේ අභිලාෂය වන බව එහි සඳහන් විය. එය මෙතෙක් දියත් කරන ලද ටිකෙන් ටික පියවරෙන් පියවර පහර දෙන පැරණි පිළිවෙතට වඩා මුළුමණින් වෙනස් වනු ඇති බවත්, පළමුවෙන් පහරදීමේ අවස්ථාව පවා එහිදී තමන් හිමිකර ගන්නා බවත්, සිංහල ජනතාවට විශේෂ භාෂාවකින් කතා කළහොත් මිස, සාමාන්‍ය භාෂාවෙන් කරන කතා නොතේරෙන බවත්, සුපිරි බලවතුන්ට තම ව්‍යාපාරය බිය නොවන බවත්, ලෝකයේ හතරවැනි සුපිරි බලවතා ද මුහුණ දුන් ආකාරයටම අනෙකුත් සුපිරි බලවතුන්ට මුහුණ දෙන්නට තම ව්‍යාපාරය සූදානම් බවත් ප්‍රකාශ කර තිබුණි.

සුසේගේ කතාවට ඇතුළත් ඊළඟ වැදගත්ම කාරණය වන්නේ මේ යුද්ධය තමන් කරන අවසාන යුද්ධය බව හා ඉන්පසු තම ව්‍යාපාරය යුද්ධ කිරීමට අදහස් නොකරන බව කියා තිබීමය. සුසේගේ කතාවෙන් පෙනෙන එක් වැදගත් ලක්ෂණයක් වනුයේ එල්ටීටීඊය අපේක්ෂාභංගත්වයට පැමිණ තිබෙන බවය. ඒ නිසාම මරාගෙන මැරෙන තැනකට යන්නට සූදානම් වන බවය.

එල්ටීටීඊය අලිමංකඩ හමුදා කඳවුර අත්පත් කරගත්තේය. ඉන්පසු ආර්ථික වේගය ඍණ බිංදුවක තැනකට ගෙන ඒමට හේතුවන ලෙස කටුනායක ගුවන් තොටුපළට පහර දුන්නේය. ඒවා යුද්ධය අර්ථයෙන් ගත්විට දැවැන්ත පහරදීම් ලෙස සැලකිය හැකි අතර, එවැනි තත්ත්වයක් දිනාගැනීමෙන් පසුත් තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට අසමත් වී නම් යුදමය වශයෙන් ඊට වඩා ජයග්‍රාහී තත්ත්වයක් දිනා ගැනීමට ඔවුන් සමත් වනු ඇතැයි සිතිය නොහැකිය.

දැන් ඔවුන් තල්ලුවෙමින් සිටින්නේ සිය ප්‍රතිපක්ෂයට දැවැන්ත විනාශයක් ඇති කොට අවශ්‍ය නම් තමන් ද විනාශ වූවාට කම් නැතැයි සිතන තැනකට විය හැකිය. ආශ්චර්යජනක දෙයකින් මිස ඔවුන් එවැනි තැනකට තල්ලුවීම වැළකීම පහසු නැතත්, ආශ්චර්යජනක දෙයකින් හෝ ඔවුන් එවැනි විනාශකාරී තැනකට තල්ලුවීම වළකා ගැනීම ආණ්ඩුවේ වගකීමකි. එහෙත් ඒ සඳහා අවශ්‍ය කරන සියුම් දැක්මක් ආණ්ඩුවට තිබෙන බවක් පෙනෙන්නට නැත.

එල්ටීටීඊයට ශ්‍රී ලංකා ආණ්ඩුව යුදමය වශයෙන් මුළුමණින් පරාජය කිරීමේ හැකියාවක් නැත. එහෙත් මරාගෙන මැරෙන දැක්මක් ඇතිව කරන යුද්ධයකින් අතිවිශාල විනාශයක් කිරීමේ හැකියාව එල්ටීටීඊය සතුය.

වෙනම රාජ්‍යයක් ඇතිකර ගැනීමට ඉන්දියාවෙන් ඉඩ නොලැබෙන බව එල්ටීටීඊය දනී. එසේම තමන්ගේ ආත්ම ගෞරවයට හානියක් නොවන ලෙස ශ්‍රී ලංකා රාජ්‍යයට එකතුවීමේ හැකියාවක් නැති බව ද ඔවුන් දනී. අපිට කිසිම විසඳුමක් නැතිනම් ඔවුන් ද විනාශ කොට ගෙන අපිදු විනාශ වෙන තැනකට යමුයයි ඔවුන් සිතනවා විය හැකිය. දැන් රට ගමන් ගනිමින් තිබෙන්නේ රටේ අර්බුදය බිහිසුණු හා විනාශකාරි තැනකට ගමන් ගන්නා තත්ත්වයකටය. සියලු දේ නැවත බිංදුවෙන් ආරම්භ කළ යුතු තැනකට රට ගමන් ගනිමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.