නීතියේ පාලනයක් නැතිකමට අධිකරණය වගකිව යුතුය

October 29, 2026
Publication:
Under the rule of law every act must conform to the law, nobody stands above it, and the power to settle what the law is rests with the courts. A judiciary's independence is not tested in ordinary litigation, Ivan writes, but in cases of political weight — in disputes between the citizen and the state — and it is the courts that prepared the ground, against the constitution, for what has happened to the independent commissions.

නීතියේ පාලනයක් තුළ කෙනෙකු විසින් කරනු ලබන හැම ක්‍රියාවක් ම නීතියට අනුකූල විය යුතු ය. හැම කෙනෙකු ම නීතියට යටත් වන අතර, නීතියට ඉහළින් කිසිවකුට සිටිය නො හැකි ය.

නීතිය පසිඳලීමේ බලය ලැබී තිබෙන්නේ අධිකරණයට ය. අධිකරණය එම වගකීම නිසි ආකාරව ඉටු නො කරන රටක නීතියේ පාලනයක් තිබිය නො හැකි ය.

අධිකරණයක ස්වාධීනත්වය උරගා බැලෙනුයේ සාමාන්‍ය නඩු කටයුතුවල දී නො ව, දේශපාලන වැදගත්කමක් ඇති නඩු කටයුතුවලදී ය. එනම් පුරවැසියන් හා පුරවැසියන් අතර ඇතිවන ආරාවුල් පිළිබඳව යුක්තිය පසිඳලන අවස්ථාවල දී නොව පුරවැසියන් හා රාජ්‍ය අතර, ඇතිවන ආරාවුල්වල දී යුක්තිය පසිඳලන අවස්ථාවල දීය.

විධායකයට අනිසි බලයක් ආරෝපණය කරගැනීමට ඉඩ නොදී පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය යහපත් තැනක තබාගැනීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ අධිකරණයට ය. එහෙත් ශ්‍රී ලංකාවේ අධිකරණය තමන් වෙත පැවරී තිබෙන එම භාරධුර වගකීම නිසියාකාරව ඉටු කිරීමට සමත් වී නැත. අධිකරණය රටේ පොදු යහපත නො සලකා හැමවිට ම බලයේ සිටින විධායකයේ අත්තනෝමතික ක්‍රියාකාරකම් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරයි. එම තත්ත්වය රටේ යහපත් පැවැත්ම කෙරෙහි විනාශකාරී ලෙස බලපා තිබේ.

නීතියේ පාලනයක පදනම ඇත්තේ ව්‍යවස්ථාවේ ය. රාජ්‍යය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති රේල් පීල්ලේ ගමන් කරන තැනක තබාගැනීමේ මූලික වගකීම පැවරී ඇත්තේ අධිකරණයට ය. එහෙත් ශ්‍රී ලංකාව දැන් කලක සිට තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නො සලකා ක්‍රියාකරන තැනකට තල්ලු වී සිටින අතර, එම ඛේදනීය තත්ත්වයේ මුළු වගකීම යා යුත්තේ අධිකරණයට ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීකම් අහිමි කරගැනීමකින් තොරව පක්ෂ මාරු කළ නො හැකි ය. එහෙත් මන්ත්‍රීකම් අහිමි කරගැනීමෙන් තොරව විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතුවිය හැකි ක්‍රමයක් ක්‍රියාත්මක වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඒ සඳහා අවශ්‍ය වටපිටාවක් සකස් කර දී ඇත්තේ අධිකරණය විසිනි. එම තත්ත්වය විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරීත්වය බෙලහීන කිරීමට හේතුවී, එය රාජ්‍ය පාලනය දුර්වල කිරීමට හේතුවී තිබේ.

17 වැනි සංශෝධනයට පටහැනිව ජනාධිපතිවරයා විසින් ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේ ක්‍රියාවට එරෙහිව විවිධ පුරවැසි සංවිධාන විසින් පවරන ලද නඩු අධිකරණයේ ස්වාධීනත්වය උරගා බැලීමකට ලක් කෙරුණු ආසන්නම අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය.

යහපත් ආණ්ඩුකරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය විසින් අභියාචනාධිකරණය ඉදිරියේ පවරන ලද නඩුවේ දී අධිකරණය දී තිබෙන තීන්දුව රට කෙරෙහි ඉතාමත් අයහපත් ඵලවිපාක ඇති කිරීමට හේතුවන තීන්දුවක් ලෙස සැලකිය හැකි ය. එයින් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන මුක්තිය නිසා විධායක ජනාධිපතිවරයා කරන කිසිම ක්‍රියාවක් අධිකරණයේ පරීක්ෂාවට ලක් නො කළ හැකි බව ය.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සරල පනතක් නො ව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම කොටසකි. මුක්තියේ ආධාරකයක් තිබූ පමණින් රාජ්‍ය පාලකයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ නො හැකි ය. රාජ්‍ය පාලකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නම්, එය වැළකීම අධිකරණයේ වගකීමකි. අධිකරණය එබඳු තීරණාත්මක අවස්ථාවක දී වරද නිවැරදි කරන ප්‍රතිපත්තියක් අනුගමනය නො කොට ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකාරකම්වලට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි නම්, එබඳු රටක අනාගතය යහපත් විය නො හැකිය.

රටක අධිකරණයක ගමන් මග නිවැරදි නො වන්නේ නම්, එහි ගමන් මග නිවැරදි කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථාදායකට ය. එහෙත් ව්‍යවස්ථාදායකය ද ඒ වගකීම ඉටු කිරීමට අසමත් වී තිබේ. ඊළඟට එම තත්ත්වය නිවැරදි කිරීමේ වගකීම පැවරෙන්නේ පුරවැසියන්ට ය. එහිදී එවැනි කරුණු පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීමේ වගකීම පැවරෙන්නේ ජනමාධ්‍යවලට ය. ජනමාධ්‍යය ද එම වගකීම ඉටු කිරීමට සමත් වී නැත.

මෙම ප්‍රශ්නය රටේ පවතින තීරණාත්මක ප්‍රශ්නයක් වන අතර, එම ප්‍රශ්නය රටේ ගෞරවයට හේතුවන ලෙස නිරාකරණය කරගැනීමට අසමත් වෙමු නම් මේ රට දඩාවතේ ගමන් කරන තත්ත්වයකට තල්ලු වනු නො වැළැක්විය හැකි ය. •