සිංහල-බෞද්ධ මනස තේරුම් ගැනීම

December 1, 2013
Publication:
Responding to Kusal Perera's 'In Search of the New Man', Ivan revisits two debates: Newton Gunasinghe's great and little traditions, which suggest Sinhala cultural narrowness belongs to the era of decline rather than all history, and Sarachchandra's claim, contested by Martin Wickramasinghe, that Buddhism does not see art as purifying. Europe escaped a similar world-denial through the Renaissance; Sri Lanka's revivals, independence movement and parties never produced one. Every movement from Dharmapala and Bandaranaike to Wijeweera and the JHU has pandered to the Sinhala-Buddhist mind, shaped by an island that kept its identity against India, rather than changing it.

රාවය සහයෝගිතා ව්‍යාපාරයට ප්‍රණාමය පළකරමින් නොවැම්බර් 10 වැනි දින රාවයට මා ලියන ලද කෙටි සටහන අවසන් කර තිබුණේ යහපත් හා විචාර බුද්ධියෙන් යුතු මිනිසුන් තනන සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනිමේ අවශ්‍යතාව අවධාරණය කරමිනි. එම සහයෝගිතා ව්‍යාපාරයේ සමාරම්භකයෙකු වූ කුසල් පෙරේරා විසින් ඊට ලියන ලද පූර්විකාවක් “නව මිනිසා සෙවීම” යන හිසින් නොවැම්බර් 17 වැනි දින රාවයේ පළකර තිබුණි. ඊට ඉක්මන් ප්‍රතිචාරයක් ලිවීමේ වුවමනාවක් මට තිබුණද චෝගම් ආශ්‍රයෙන් මතුවී තිබෙන ප්‍රශ්න ගැන ලිවීමට අවශ්‍යවීම නිසා කුසල්ගේ පූර්විකාවට ප්‍රතිචාර දැක්වීම තවත් සතියකින් කල්දමන්නට මට සිදුවිය.

කුසල් මෙම පූර්විකාව මගින් මා අතහැර තිබෙන්නේ පහසුවෙන් තරණය කළ නොහැකි වන සැතුන්ගෙන් ගහණ ඝන වනාන්තරයකටය. එහෙත් අපට අපේ ඈත ඉතිහාසය පිළිබඳ සාධාරණ දැක්මක් තිබිය යුතුය. ඔහුගේ පූර්විකාව හා ඊට ඉදිරිපත් වන ප්‍රතිචාර හා සංවාද ආශ්‍රයෙන් එවැනි දැක්මක් සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් ඇතිකර ගැනීමට හැකිවනු ඇතැ”යි විශ්වාස කරමි.

අපේ පටු බව කෙරෙහි සේ ම අසමත්භාවය කෙරෙහිද අප ඉතිහාසයෙන් රැගෙන එන සංස්කෘතික ඌනතා බලපා තිබෙන බව ඔහු කියයි. ලංකා ඉතිහාසය, මහා සම්ප්‍රදායන්ට හිමිකම් කියන ඉන්දියාව හා ලතින් ඇමරිකාව සමඟ සසඳමින් අපට එවැනි දැවැන්ත ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ඉතිහාසයක් නැති බවත් අපට අපේමයැ”යි කිවහැකි මහා සංගීත නාට්‍ය හෝ සාහිත්‍ය සම්ප්‍රදායක් නැති බවත් අපේ ජීවිත සම්ප්‍රදායන් හැදී තිබෙන්නේ ලෞකික සමාජයේ සෞන්දර්යය, රසවින්දනය හා සතුට ප්‍රහීන කිරීමේ අල්පේච්ඡ වටිනාකම් මත ලෞකික ජීවිතයේ සතුට ගැන නොදන්නා, ජීවන සතුට බෙදාගැනීමේ හුරුවක් නැති සමාජයක් ලෙස බවත්, ඉන්දියානු ආරේ නිදහස් ව්‍යාපාරයක් ඇතිකර ගැනීමේ නොහැකියාව කෙරෙහි සේ ම ලතින් ඇමරිකානු රටවල මෙන් ප්‍රමාද වී හෝ පුරෝගාමී ශක්තියක් ඇති ප්‍රබුද්ධ නායකයන් ඇති නොවීම කෙරෙහිද එම ඓතිහාසික උරුමය අපට බලපබා තිබෙන බවත් ඔහුගේ මතය වී තිබේ. එවැනි ඓතිහාසික වටාපිටාවකට හුරුවූ සමාජයක නව මිනිසා තනන්නේ කෙසේද යන්න ඔහු නගන මූලික ප්‍රශ්නය ලෙස හඳුනාගත හැකිය.

කුසල්ගේ ප්‍රවේශය ලංකාවේ පැවති වාද දෙකක් වෙත අප නැවත රැගෙන යයි. එක් වාදයක් ඇතිවූයේ චූල සම්ප්‍රදාය හා මහා සම්ප්‍රදාය ආශ්‍රය කොටගෙන ආචාර්ය නිව්ටන් ගුණසිංහ විසින් සිංහල අතීතය, අනන්‍යතාව හා සංස්කෘතිය පිළිබඳව කරන ලද විග්‍රහයන් මුල් කොටගෙනය. අනෙක් විවාදය පැන නැගුණේ බුදුසමය හා කලාව පිළිබඳවය. එදිරිවීර සරච්චන්ද්‍රගේ සිංහල ගැමි නාට්‍ය පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථයේ “නාට්‍ය හා සංගීතය මනුෂ්‍යයන්ගේ චින්තන පාරිශුද්ධියට තුඩුදෙන කලාවක් ලෙස බුදු සමය නොසලකන බවට වන සඳහනක් පදනම් කොටගෙනය. සරච්චන්ද්‍ර පළකර තිබූ එම අදහසට එරෙහිව බලවත් ලෙස නැගී සිටි පුද්ගලයා බවට පත්වුයේ මාර්ටින් වික්‍රමසිංහය. පළමු විවාදය ඇතිවූයේ 1984දීය. සරච්චන්ද්‍රයන්ගේ එම ප්‍රකාශයට එරෙහිව මාර්ටින් වික්‍රමසිංහ ප්‍රතිවිවේචනයක යෙදුණේ 1970දීය.

නිව්ටන්ගේ ප්‍රවේශය

නිව්ටන්ගේ ප්‍රවේශය නැවත සාකච්ඡාවට ලක්කිරීම වැදගත්ය. ඔහුට අනුව මහා සම්ප්‍රදායේ නිර්මාණ සදාතනිකය. අවුරුදු සියගණනකට පසුව වෙනස් වූ සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වයන් යටතේ වුවත් එම නිර්මාණයන්ට ලැබෙන අගය අඩුවන්නේ නැත. එහෙත් චූල සම්ප්‍රදායේ නිර්මාණවලට තිබෙන්නේ කාලීන වැදගත්කමක් පමණය. ඒවාට ලැබෙන අර්ථය හා කලාත්මක අගය ඒවා බිහිවූ සමාජ ආර්ථික දේශපාලන වටාපිටාව බිඳ වැටෙනවිට ඒවාද ඒ සමග බිඳ වැටෙන බවය. චූල සම්ප්‍රදායේ නිර්මාණ එදිනෙදා ක්‍රියාකාරීත්වය සමග සංයුක්ත ලෙස බැඳී පවතින විට මහා සම්ප්‍රදායේ නිර්මාණ ඊට වෙනස්ව එදිනෙදා ක්‍රියාකාරීත්වයෙන් වියුක්තව පවතී. චූල කලා නිර්මාණ සඳහා හොඳින් ප්‍රගුණ කළ විශේෂඥ කලා ඥානයක් අවශ්‍ය නොවෙතත් මහා සම්ප්‍රදායේ කලා නිර්මාණ සඳහා හොඳින් ප්‍රගුණ විශේෂඥ කලා ඥානයක් අත්‍යවශ්‍යය. පූර්ණකාලීනව නිරත විශේෂඥ කලා ඥානයක් ඇති ස්ථරයක් පවත්වාගෙන යෑමට එම ස්ථරය නඩත්තු කිරීමට අවශ්‍ය තරම් අතිරික්තයක් නිපදවීමේ හැකියාවක් ආර්ථිකයකට තිබිය යුතු බවත් ඒ නිසා මහා සම්ප්‍රදායන්ට අයත් කලා නිර්මාණ බිහිවූයේ එවැනි ආර්ථික හැකියාවක් ඇති සමාජවල පමණක් බවත්ය.

අවසාන වශයෙන් ඔහු මහනුවර යුගය ඉන්දියාව සමග සසඳමින් කීවේ ඉන්දියානු සමාජයද කුලභේදය පදනම් කොටගෙත් ශ්‍රම විභජන ක්‍රමයක් පැවති සමාජ ක්‍රමයක් වුවත් එම ආර්ථිකය විසින් ජනිත කරන ලද අතිරික්තය ප්‍රමාණවත් එකක් වූ හෙයින් පූර්ණකාලීන විශේෂඥ ශිල්පීය ඥානයක් ඇත්තවුන්ගේ සමාජ ස්ථරයක් නඩත්තු කිරීමේ හැකියාව ඉන්දියානු සමාජයට තිබුණු බවත් රාජස්ථානී චිත්‍ර කලාව රාගධාරී සංගීතය වැනි මහා සම්ප්‍රදායේ සම්භාව්‍ය කලා නිර්මාණ බිහිවූයේ ඒ නිසා බවත්ය. එහෙත් ඊට වෙනස්ව මහනුවර රාජධානි යුගයේ එවැනි පූර්ණකාලීන විශේෂඥ ශිල්පීය ඥානයක් ඇති ස්ථරයක් නඩත්තු කිරීමට අවශ්‍ය කරන ආර්ථික වටාපිටාවක් එයට නොතිබුණු බවත් ඒ නිසාම මහා සම්ප්‍රදායේ කලා කෘති නිර්මාණය කිරීමට අවශ්‍ය ද්‍රව්‍යමය, සාමාජික හෝ මතවාදී පදනම එම සමාජයට නොතිබුණු බවත්ය.

එහෙත් නිව්ටන් එම ප්‍රවේශය ලංකා ඉතිහාසයේ එක යුගයකට මිස සමස්ත ඉතිහාසයට අදාළ කරන තැනකට ගියේ නැත. සිංහලයන්ගේ සමෘද්ධිමත් යුග දෙක ලෙස සැලකිය හැකි අනුරාධපුර යුගය හා පොළොන්නරු යුගය ගැන නිව්ටන් විස්තරාත්මකව කරුණු සාකච්ඡා කරන තැනකට ගියේ නැතත් ඒ යුග දෙකේදීම ආර්ථික සංවිධාන මහා පරිමාණයේ වාරිමාර්ග පදනම් වූ ආර්ථික සංවිධාන වීම හේතු කොටගෙන ප්‍රමාණවත් අතිරික්තයක් ජනිත කිරීමට ආර්ථිකයට හැකියාව තිබූ බව ඒ යුගවලට අයත් ගොඩනැගිලි, ප්‍රතිමා හා ස්ථූපයන්ගේ නටඹුන්වලින් ඒ බව පෙනීයන බව ඔහු කියා සිටියේය.

නිව්ටන් ගුණසිංහගේ එම විග්‍රහය අප පිළිගන්නේ නම් ඉතිහාසයෙන් අපට උරුම වී ඇතැ”යි කියන පටු බව ඉතිහාසයේ හැම කාලයකටම අදාළ පොදු තත්ත්වයක් නොව එම ශිෂ්ටාචාරය පරිහානියට පත් කාලයට ආවේණික විශේෂ තත්ත්වයන් ලෙස සැලකිය යුතුය. සිංහල ශිෂ්ටාචාරය පරිහානිය කරා යන ගමන ආරම්භවන්නේ වියළි කලාපීය අත්හැර තෙත් කලාපයට මාරුවන්නටවීමත් සමගය.

සරච්චන්ද්‍රගේ ප්‍රවේශය

දෙවැනි විවාදයට හේතුවූ “නාට්‍ය හා සංගීතය චිත්ත පාරිශුද්ධියට තුඩුදෙන කලාවක් ලෙස බුදුසමය නොසලකන” බවට එදිරිවීර සරච්චන්ද්‍රයන් කර තිබෙන ප්‍රකාශය මා අතින් බුද්ධ ධර්මය හොඳින් ප්‍රගුණ කළ ශාස්ත්‍රඥයන් අතින් විචාරයට ලක්විය යුතු කරුණක් වේයැ”යි සිතමි. මට කිවහැක්කේ බැලූ බැල්මට පෙනෙන තත්ත්වය පමණය.

බුද්ධාගම සියලු ආගම් අතුරින් ඉතාමත් දියුණු ඥානමිමංසා ක්‍රමයක් තිබෙන ආගම ලෙස සැලකිය හැකිය. එම ආගමික දර්ශනයේ ජීවිතය සැලකෙන්නේ දුකක් ලෙසය. එහි විමුක්තිය ලෙස සැලකෙන්නේ ජාති ජරා මරණ නමැති සංසාර චක්‍රයෙන් ගැලවීමය. එවැනි දර්ශනයක් පදනම් කරගත් දහමකට කලාව පෙනෙනු ඇත්තේද තෘෂ්ණා විශේෂයක් ලෙසය. ඒ අර්ථයෙන් සරච්චන්ද්‍රයන් කර තිබෙන අර්ථකථනය වැරදි නැත.

මා හිතන අන්දමට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මෙම විෂය ගැන කතා කරන්නට සිටින සුදුසුම පුද්ගලයාය. ඔහු විසින් ලියා පළකොට ඇති “පුරවැසි මංපෙත්” නමැති කෘතියට මෙම විෂය ගැන වන විශ්ලේෂණයක් ඇතුළත්ය. නාට්‍ය හා සංගීතය මනුෂ්‍යයාගේ චිත්ත පාරිශුද්ධියට තුඩුදෙන කලාවක් ලෙස බුදුසමය නොසලකන බවට සරච්චන්ද්‍රයන් කර තිබෙන ප්‍රකාශය හා ඊට මාර්ටින් වික්‍රමසිංහගෙන් එල්ල වූ විරෝධය පිළිබඳ සටහනක් එම කෘතියට ඇතුළත්ව ඇතත් සරච්චන්ද්‍රයන් මතුකරන කේන්ද්‍රීය ප්‍රශ්නය සාකච්ඡාවට ලක්කර නැතත් ලංකා බුද්ධාගමේ මහා විහාර සම්ප්‍රදාය කුල හා කුල ක්‍රම තුළ කලාවට ලැබී තිබෙන අවමන්සහගත සැලකිලි පිළිබඳව කෙරෙන තියුණු විශ්ලේෂණයක් එම කෘතියට ඇතුළත්ය. එය සමාජ ව්‍යාපාරයක් ගැන සිහින දකින අය අවශ්‍යයෙන්ම කියවිය යුතුව තිබෙන පොතකි. කුසල් මතු කරන අපේ පසුගාමී ආකල්ප කෙරෙහි බලපා තිබෙන ලොකු ප්‍රශ්නයක් ලෙස ඔහු දකින අපේ ජීවන සම්ප්‍රදායන් හැදී තිබෙන්නේ ලෞකික සමාජයේ සෞන්දර්යය, රසවින්දනය හා සතුට ප්‍රහීන කිරීමේ අල්පේච්ඡ වටිනාකම් මත වීමය යන කාරණය ශ්‍රී ලංකාව හා එහි සිංහල සමාජය කෙරෙහි පමණක් නොව එක්තරා ඓතිහාසික කාලවකවානුවකදී මීට සමාන ආකාරයකින් යුරෝපා රටවල වෙසෙන ජනතාව කෙරෙහිද බලපෑවේය. ඒ ගැන වන සාකච්ඡාවක් මගේ “ජාතියේ ඛේදවාචකය” යන පොතට ඇතුළත්ය.

යුරෝපයේ පුනරුදය

යුරෝපයේ මධ්‍යතන යුගය ලෙස සැලකෙන 15 වැනි ශතවර්ෂය දක්වා වන අවුරුදු සීයක් තරම් කාලය සලකනු ලබන්නේ දේවධර්මය රජ කළ අන්ධකාර කාලපරිච්ඡේදයක් ලෙසය. එම අන්ධකාර යුගයේදී ඔවුන්ට දේවධර්මය උගන්වා තිබුණේද මෙලොව ජීවිතය මහා දුකක් ලෙසය. සෞන්දර්යය යක්ෂයාගේ පරීක්ෂාවක් ලෙසය. එලොව සදාකාලික ජීවිතය සැපවත් කරගැනීම සඳහා මෙලොව ජීවිතයේදී දුක් විඳීම අත්‍යවශ්‍ය බවය. මෙම පසුගාමී තත්ත්වය වෙනස් කරන ලද්දේ යුරෝපයේ ඇතිවූ පුනරුදය විසිනි.

එම පුනරුදය කෙරෙහි විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ඇතිවූ මහා ආක්‍රමණයන්ද ඒ ආශ්‍රයෙන් ශිල්පීය ක්‍රමවල හා ආර්ථික සංවිධාන ක්‍රමවල ඇතිවූ මහා වෙනස්කම්ද දේවධර්ම ආධිපත්‍යයට තිබූ පිළිගැනීම බිඳවැටීමද ඊට අනුරූපීව මතවාදී තලයේ හා දේශපාලන තලයේ ඇතිවූ මහා වෙනස්කම්ද බලපෑවේය. බර්ට්‍රන් රසල් කියා තිබෙන ආකාරයට මෙම පෘථිවි ගෝලය මරණින් පසු වෙනත් ලෝකයකට යෑමට තිබෙන දුක් කම්කටොලුවලින් ගහණ අතරමැදි වන්දනා ස්ථානයක් ලෙස සලකා ක්‍රියාකරන පුරුද්ද යුරෝපීය ජනයා අත්හරින ලද්දේ පුනරුදයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ සමග යුරෝපය විද්‍යාවට, සෞන්දර්යයට හා වික්‍රමයට බර තබා ක්‍රියාකරන යුරෝපයක් බවට පත්විය.

පුනරුදය ආශ්‍රයෙන් යුරෝපයේ ඇතිවූ මහා වෙනස්කම් දේවධර්මයට තිබූ අතිවිශාල ආධිපත්‍යය හීන කොට විද්‍යාව මහා බලවේගයක් ලෙස මතුකිරීමටද, රදළ වැඩවසම් ක්‍රමයට තිබූ ආධිපත්‍යය බිඳ වැටී ධනේශ්වර ක්‍රමය ඒ තැන ගැනීමද කෘෂිකර්මයට බර තැබූ ආර්ථික ක්‍රමයක් වෙනුවට කර්මාන්තවලට බර තැබූ ආර්ථික ක්‍රමයක්ද, යුරෝපීය ජනතාව වැඩවසම් ආකල්පවලින් ඉවත් කොට ඔවුන් අතර මහා නිදහස් වාදයක් ඇතිකිරීමටද හේතුවිය. මෙලොව ජීවිතය පරලොව සදාකාලික ජීවිතයක් ලබාගැනීම සඳහා දුක්විඳිය යුතු අතරමැදි නවාතැන්පොළක් ලෙස සලකන ආකල්පවලින් අත්මිදී ජීවිතය රසවිඳිය යුතු දෙයක් සලකන තත්ත්වයක් ඇතිවූයේද කලාව හා සාහිත්‍ය ජීවිතය රසවත් කරන හා ජීවිතයට අර්ථයක් ලබාදෙන දේවල් ලෙස සලකන තත්ත්වයක් ඇතිවූයේද එහි ප්‍රතිඵලයක් වශයෙනි.

පුනරුදයේදී යුරෝපය ග්‍රීක සම්භාව්‍ය පොත්පත් කියවීම සඳහා ග්‍රීක භාෂාව මහත් උනන්දුවෙන් හදාරණ තත්ත්වයකට යොමුවිය. ග්‍රීක මුල් පොත්වල ආරක්ෂකයා ලෙස ක්‍රියාකර තිබුණේ මුස්ලිම් ලෝකයයි. ඒ නිසා ඔවුන්ට ඒවා ලබාගන්නට සිදුවූයේ මුස්ලිම් ලෝකයෙනි. පුනරුදිය විසින් ඇති කරන ලද මෙම විශේෂ වටාපිටාව සංගීතය, ජනකලාව, මූර්ති, කාව්‍ය, නවකතා හා කෙටිකතා වැනි සෞන්දර්යාත්මක දේවලට යුරෝපීය ජනතාව යොමු කළ අතර එම විශේෂ වටාපිටාව කලාවට සම්බන්ධ ක්ෂේත්‍රවල අතිවිශාල ප්‍රබෝධයක් ඇති කිරීමට හේතුවිය.

එක වචනයේ දරුවන් වීම

අප ලෝකයේ කවර දේශයක ජීවත් වුවද, කවර වර්ගයකට හෝ ආගමකට අයත් වුවද එක ඓතිහාසික අවස්ථාවකදී ඒ සියලුදෙනාගේ මුතුන් මිත්තෝ එක මවකගේ දූ දරුවන් වූහ. ඒ දරුවන්ගෙන් පැවත එන්නන් විවිධ දේශවලට යමින් විවිධ භාෂාවන්ද, විවිධ ආගම් හා සංස්කෘතික අනන්‍යතාවන්ද ඇතිකර ගත්තේය. එම ජාතීන්ගෙන් සමහරෙක් විවිධ ඓතිහාසික යුගවලදී අන්‍ය ජාතීන්ට වෙනස්ව මහා සමත්කම් පෙන්වන ජාතීන් බවට පත්වූහ. ඒ කිසිවෙක් නොකඩවා අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. එක් ඓතිහාසික යුගයකදී ඉදිරිගාමී වන සමහර ජාතීන් තමන් ඓතිහාසික වකවානුවලදී පසුගාමී ජාතීන් බවට පත්වෙයි. පසුගාමී ජාතීන් ඉදිරි ගැමි ජාතීන් බවට පත්වෙති.

මට පෙනෙන අන්දමට අපි අතීතයේ කිසියම් කාලවකවානුවකදී එම කාලයට අනුරූපව දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන තත්ත්වයක සිටියේය. පසුව එම තත්ත්වය අහිමි කරගනිමින් දීර්ඝ කාලයක් එකතැන පල්වෙන තත්ත්වයකට පත්විය. ඉන්පසු බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදී මහා වෙනස්කම් ඇති වුවද ඒ වෙනස්කම් ඇතිවූයේ බාහිර බලපෑම නිසා මිස අභ්‍යන්තර වුවමනාවක් නිසා නොවේ. අවි නවීන වූයේද බාහිර වශයෙන් මිස අභ්‍යන්තරික වශයෙන් නොවේ. අපේ ආගමික පුනරුද ව්‍යාපාර අපේ පටු බව වැඩි කිරීමට මිස නැති කිරීමට හෝ අඩු කිරීමට හේතුවූයේ නැත. ඉන්පසු කරළියට එන නිදහස් ව්‍යාපාරයද අප තුළ සැබෑ පුනරුදයක් ඇති කිරීමට හේතු නොවීය. ඉන්පසු කරළියට එන වාමාංශික ව්‍යාපාරය, එක්සත්ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි දේශපාලන ව්‍යාපාරයක්ද අප තුළ සැබෑ පුනරුදයක් ඇති කිරීමට සමත්වූයේ නැත. අප බාහිර වශයෙන් නවීන වී තිබුණද අපට තිබුණේ වැඩවසම් අභ්‍යන්තරයකි. බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුණු ජාතික රාජ්‍ය ක්‍රමය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ඉදිරියට ගෙනයෑමට උත්සාහ කළේ එක්සත් ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමෙන් තොරවය. එම තත්ත්වය ජාතික රාජ්‍ය ක්‍රමය සේ ම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයද විකෘති කළේය. එක ලේ බිඳුවකුදු නොසෙල්වා නිදහස හිමිකරගත්තේ යැයි කියන රට කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත්විය. එසේ ඇතිවු ලේ වැගිරීම් කෙරෙහි ප්‍රමාණවත් තරමට නවීන නොවීම, එක්සත් ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමට අසමත්වීම වර්ගභේදය, කුලභේදය, ආගම්භේදය යන සාධක බලපෑවේය. ඒ ඇතිවූ මහා ඛේදවාචකයන්ගෙන් පසුව දැන් හෝ අප පුනරුදය සොයායන තැනකට යායුතුය. අපට සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය වී ඇත්තේ ඒ සඳහාය.

සිංහල බෞද්ධ මනසේ ප්‍රහේළිකාව

ඇත්ත සමාජ විපර්යාසයක් සඳහා ප්‍රධාන කොට වෙනස් කළ යුතුව තිබෙන සුළු ජාතික මනස් නොව මහා ජාතික සිංහල-බෞද්ධ මනස්ය. මෙතෙක් පැවති කිසිදු සමාජ-දේශපාලන ව්‍යාපාරයක් සිංහල බෞද්ධ මනස සමග අවිවේචනාත්මකව ඒකාග්‍රවීමට උත්සාහ දරා තිබෙනවා විනා ඒ මනසේ තිබෙන මළකඩ ලෙස ඔවුන්ගේ මනස් ඉවත් කිරීමට උත්සාහ දරා නැත. සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය ඔවුන්ගේ දේශපාලන අරමුණුවලට ගැළපෙන ලෙස සිංහල බෞද්ධ මනස වෙනස් කිරීමට උත්සාහ දරා ඇතත් සිංහල බෞද්ධ ජනයාට නිවැරදි ලෙස ආමන්ත්‍රණය කරන්නට ඔවුන් දැන නොසිටියේය. ඒ නිසා ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය. එම අසාර්ථකකභාවයෙන් පසුව සිංහල බෞද්ධ මනස සමග අවිවේචනාත්මකව අනුගතවී ක්‍රියාකරන තැනකට තල්ලු විය. සිංහල බෞද්ධ මනස සමග අනුගතවීම ඉතා පහසුය. එහෙත් එය වෙනස් කිරීම ඉතා දුෂ්කරය. අනගාරික ධර්මපාල කළේ සිංහල බෞද්ධ මනස සමග අනුගතවීමය. බණ්ඩාරනායක කළේද එයමය. විජේවීර වඩා විප්ලවකාරී ආකාරයකින් කරන්නට උත්සාහ කළේද එයමය. ජාතික හෙළ උරුමය වඩා විවෘත ආකාරයකින් කරමින් සිටින්නේද එයමය. ඒ මගින් ඒ සියලුදෙනා ජාතිය මහා ඛේදවාචකයකට තල්ලු කිරීමට එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් දායක වූ වගඋත්තරකරුවන් බවට පත්ව සිටින්නේයැ”යි කිව හැකිය.

සාම්ප්‍රදායික සිංහල බෞද්ධ මතය වෙනස් කිරීමට පහසු නැති ගල් ගැසුණු තත්ත්වයක පවතින්නේ ඇයි? ඒ කෙරෙහි බලපා තිබෙන හේතු පෙළගැස්වූ විට ලැබෙන්නේද උත්තරයක් නොව තවදුරටත් විසඳා ගතයුතු ප්‍රහේළිකාවකි.

හැදෙන ප්‍රහේළිකාවේ එක් කොටසක් රටේ පිහිටීමට අදාළය. අනෙක් කොටස වර්ගයාගේ ඇතිවීම හා පැවැත්මට අදාළය.

ලංකාව ඉන්දියානු සාගරයේ ප්‍රධාන මුහුදු මාර්ගයක හරිමැද පමණ ඉන්දියාවට ඉතාමත් කිට්ටුවෙන් පිහිටා තිබෙන දිවයිනකි. ලංකාව ඉන්දියාවේ දකුණු කෙළවරින් වෙන්ව ඇත්තේ මන්නාරම් බොක්කෙන් හා පෝක් සමුද්‍ර සන්ධියෙනි. රටේ නැගෙනහිර, බටහිර හා දකුණ යන තුන් දිසාවෙන්ම ලංකාවට ආසන්න රටක් නැත.

සිංහල වර්ගයාගේ ආදි මුතුන් මිත්තන් ලෙස සැලකිය හැකි මුල් පිරිස ලංකාවට ආවේ ඉන්දියාවෙනි. ලංකාවට ආසන්න දකුණු ඉන්දියාවෙන් නොව උතුරු හෝ නැගෙනහිර ඉන්දියාවෙනි. ඒ පිරිස ලංකාවට එන්නට පෙර මෙහි ජීවත් වූ වැදි ජනයා ලංකාවට පැමිණ තිබුණේද ඉන්දියාවෙනි. සිංහල වර්ගයාගේ ආරම්භකයන් කතා කළේ ආර්ය ගණයට වැටෙන භාෂාවකි. එම භාෂාව ඔවුන් රැගෙන ආවේද ඉන්දියාවෙනි. සිංහලයන්ගේ ප්‍රධාන ආගම වන බුද්ධාගම ලංකාවට ගෙනාවේද ඉන්දියාවෙනි. ජීවන ක්‍රම, කුල ක්‍රමය, ආණ්ඩුක්‍රමය වී ගොවිතැන යන හැම දෙයක්ම ලබාගෙන තිබුණේ ඉන්දියාවෙනි.

ළඟම අසල්වැසි රට ඉතා විශාල රටක් වුවද ලංකාව ඉන්දියානු ශිෂ්ටාචාරයේ අතුරු ඒකකයක්ව තිබියදීත් ඉන්දියානු මහා ප්‍රවාහය තුළ නොගිලී සිය අනන්‍යතාව රැකගැනීමට සමත්වීම ලංකාවේ සිංහල වර්ගයාට ආවේණික සුවිශේෂ ලක්ෂණය ලෙස සැලකිය හැකිය. සිංහලයන්ට බුද්ධාගම ලැබුණේ ඉන්දියාවෙනි. ලංකාව බුද්ධාගම ලබාගත්තේ ධර්මාශෝකගෙන් වුවත් එය ලබාගැනීමෙන් පසු සිංහලයන් එහි තමන්ගේම වන සිංහල අනුවාදයක් තනාගත්තේයැ”යි කිව හැකිය. ඒ මගින් සිංහලයන් බුද්ධාගම මේ රටේ ජීවත්වන වෙනස් වර්ගවලට අයිති නැති තම වර්ගයට පමණක් අයිති ආගමක් බවට පත්කර ගත්තේය. ඉන්දියාවේ ප්‍රධාන ආගම බවට පත්ව තිබූ බුද්ධාගම තවත් කලකදී ඉන්දියාවෙන් අතුරුදන්වී යමින් ශිව ආගම හා වෛෂ්ණව ආගම ඉන්දියාවේ ප්‍රධාන ආගම් බවට පත්විය. එහෙත් බුද්ධාගම ලංකාවේ ප්‍රධාන ආගම ලෙස රැකගැනීමට සිංහලයන් සමත් විය. ඉන්දියාවේ විටින් විට ඇතිවන මහා භාෂා රැලිවලට හසුවී සිංහල භාෂාව දියවී යන්නටද ඔවුන් ඉඩදුන්නේ නැත. භික්ෂූන්වහන්සේලා ධර්ම ග්‍රන්ථ සම්පාදනය සඳහා යොදාගත්තේ සංස්කෘතික භාෂාව නොව පාළි භාෂාවය. පාළි භාෂාවෙන් ලියවුණු ධර්මය වටහාගැනීම සඳහා භික්ෂූන්වහන්සේලාට අර්ථ කථා සාහිත්‍යයක් සම්පාදනය කරන්නට සිදුවිය. පසුව ඒ සියල්ල ග්‍රන්ථාරූඪ කරන්නට සිදුවූ අතර ඒ ක්‍රියාවලිය සිංහල භාෂාව හොඳින් හැඟීම් පළකළ හැකි දියුණු භාෂාවක් බවට පත් කළේය. බරපතළ සීමාසහිතකම් තිබියදීත් ඈත අතීතයෙන් පටන්ගෙන වර්තමානය දක්වා ඉතිහාස වංශ ලේඛන සම්ප්‍රදායකට හිමිකම් කියන එකම දකුණු ආසියානු රට වන්නේද ලංකාවය. මහාවංශය සිංහල හා බෞද්ධකමට බරතබා ලියන ලද වංශ කතාවක් බවට සැකයක් නැත. එහි බරපතළ සීමාසහිතකම් තිබෙනවා වුවත් එවැනි ලේඛනගත ඉතිහාසයක් ඇත්තේ දකුණු ආසියාවේ විවිධ ජනවර්ග අතුරින් සිංහලයන්ට පමණය. එම වංශ කතාව සිංහල බෞද්ධ මතය කෙරෙහි අතිවිශාල බලපෑමක් ඇති කිරීමට හේතුවී තිබෙන බවද පෙනේ. සිංහල භාෂාව එහි මුල් ස්වරූපයෙන් ඉන්දියාවේ භාවිතාවන්ට ඇති භාෂාවක් වනමුත් අද එය ඉන්දියාවෙන් අතුරුදන්වී ඉතිරිවී තිබෙන්නේ ලංකාවේ පමණය. ඉන්දියාවෙන් විටින් විට එල්ලවන ආක්‍රමණයන්ට මුහුණදෙමින් කිසිවිටෙකවත් පූර්ණ වශයෙන් ලංකාව යටත් කරගැනීමට ඉඩ නොදෙන තත්ත්වයක් පවත්වාගෙන යෑමට ඔවුන් සමත් වූහ. අවසාන විග්‍රහයේදී ලංකාව ඉන්දියානු ශිෂ්ටාචාරයේ අතුරු ඒකකයක්ව තිබියදීත් ඉන්දියාවෙන් එල්ල වූ මහා බලපෑම් තුළ ඊට යට නොවී සිය අනන්‍යතාව ආරක්ෂා කරගැනීමට සමත් විය. එය සරල හෝ පහසු දෙයක් ලෙස සැලකිය නොහැකිය. ඔවුන්ගේ පරිහානිය කෙරෙහි පවා එම දුෂ්කර උත්සාහය බලපා තිබෙන්නේයැ”යි කිව හැකිය. සිංහල බෞද්ධ ජනයාගේ ගල් ගැසුණු ආකල්ප කෙරෙහි ඔවුන්ගේ එම සුවිශේෂ ඉතිහාසය බලපා තිබෙන්නේයැ”යි කිව හැකිය. පෙනෙන්නට තිබෙන ලොකුම වැරැද්ද වනුයේ නූතන අවශ්‍යතාවන්ට අනුරූපව සිංහල වර්ගයා හා බුද්ධ ශාසනය වෙනස්වීමට අසමත්වීමය. පිළිතුරක් සොයා ගැනීමට අවශ්‍ය වී තිබෙනුයේ ඒ වෙනස කරන්නේ කෙසේද යන ප්‍රශ්නයටය.