චෝගම් ආශ්‍රයෙන් උගත හැකි පාඩම්

November 24, 2013
Publication:
CHOGM exposed the depth of Sri Lanka's crisis, Ivan argues: foreign lawyers were refused visas for a Bar Association event, when Param Cumaraswamy had once come freely to criticise the judiciary. The government cannot investigate war-time abuses because it fears the armed forces it now leans on, and Gotabaya Rajapaksa would not welcome it. Every insurrection and its suppression was brutal; Ivan judges the army's conduct against the LTTE less savage than in 1989 and rejects the 40,000 figure, yet accepts crimes such as the Trincomalee killings. Sirimavo Bandaranaike prosecuted Premawathie Manamperi's killers; Mahinda Rajapaksa has shown no such courage.

අප රටක් වශයෙන් මුහුණදී තිබෙන අර්බුදයේ තරම මෙහි පැවති පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ආශ්‍රයෙන් තේරුම්ගත හැකිය. මේ සමුළුව පැවති කාලයේදීම ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය අන්තර්ජාතික නීතිඥ සංගමය සමග එකතුවී නීතියට සම්බන්ධ වෘත්තිකයන් සඳහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කරගෙන සිටි අතර ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිඥයන් හා විනිශ්චයකරුවන් පිළිබඳව විෂය භාර ප්‍රධාන නිලධාරියා ලෙස ක්‍රියා කළ ඩාටෝ පරම්කුමාරස්වාමි හා වර්තමානයේ එම තනතුර දරන නිලධාරියා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගිවීමට නියමිතව තිබුණද ඊට සහභාගිවීමට සිටි සියලු විදේශීය නියෝජිතයන්ට වීසා බලපත්‍ර නිකුත් නොකිරීම නිසා එම වැඩමුළුව අවලංගු කිරීමට ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයට සිදුවිය.

ඉන් පෙනෙන්නේ අපේ රටේ අධිකරණය අන්තර්ජාතික තලයේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන තත්ත්වයක නොපවත්නා බවය. එම විෂය සාකච්ඡාවට ලක්වනවා දකින්නට ශ්‍රී ලංකා ආණ්ඩුව නොකැමති බවය. මෙය මීට පෙර කවදාවත් නොතිබූ තත්ත්වයකි.

මා විසින් හා තවත් පුද්ගලයන් දෙදෙනකු විසින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා එම තනතුරට පත්කිරීමට එරෙහිව නඩු පවරන ලද අවස්ථාවේදී ඒ නඩුව නිරීක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික නීතිඥ සංගමය කේරළයේ විශ්‍රාමලත් අගවිනිසුරුවරයකු ලංකාවට එවීය. සරත් නන්ද සිල්වා එම තනතුරට පත් කළ වහාම වාගේද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඩාටෝ පරම්කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකාවට පැමිණ එම පත්කිරීම ප්‍රසිද්ධියේ හෙළා දැක්කේය. ටෝනි එම්මානුවෙල් සිරගත කොට බන්ධනාගාරයේදී ඔහුට එල්ල වූ පහරදීමෙන් පසුවද රෝහල් ගතවී සිටි ටෝනි බලන්න පරම් කුමාරස්වාමි ලංකාවට පැමිණියේය.

ඒ කිසිම අවස්ථාවකදී ඒ කිසිවකුට ලංකාවට ඒමට අවහිර කිරීමක් සිදු නොකළේය. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේදී අධිකරණය පිළිබඳව කරන විවේචනයන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල කරන පහරදීමක් ලෙස සැලකුණේ නැත.

එහෙත් දැන් රටේ පවතින තත්ත්වය ඊට බොහෝ වෙනස්ය.

කැමරන් හා මහින්ද

සමුළුවට පැමිණ සිටියදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කරන ලද විවේචනය සේ ම ඊට ප්‍රතිචාර වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරන ලද ප්‍රතිවිවේචනයන්ද පෙනෙන්නේ රටක් වශයෙන් අප පත්ව සිටින අවුල්සහගත තත්ත්වයේ තරමය.

කැමරන් ඔහු දකින ලද හොඳ නරක යන දෙකම ගැන කතා කළේය. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව යුද්ධයෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුව ලොකු වැඩ කොටසක් කර තිබෙන බවද පිළිගත්තේය. එහෙත් යුද්ධය අවසාන කාලයේ සිදුවී තිබෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන සාධාරණ සොයා බැලීමක් කර නැති බැවින් මාර්තු මාසයට පෙර එසේ නොකරන්නේ නම් ඊළඟ මානව හිමිකම් සැසියේදී අන්තර්ජාතික පරීක්ෂණයක් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින්නට බ්‍රිතාන්‍යයට සිදුවන බවද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පසුදින ඊට ප්‍රතිචාර දක්වන ලද්දේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නම සඳහන් නොකොට වීදුරු ගෙවල්වල සිටින අය අන් අයට ගල් නොගැසිය යුතු බව කියා සිටිමිනි. ඉන් ජනාධිපතිවරයා අනියම් ලෙස කියන්නට උත්සාහ දරන ලද්දේ මානව හිමිකම්වලදී බ්‍රිතාන්‍යයේ කැරැට්ටුවද යහපත් නොවන බවය. ඉන් ජනාධිපතිවරයා මතකයට නගන්නට උත්සාහ කරන්නට ඇත්තේ බ්‍රිතාන්‍ය ඇමරිකාව සමග එකතු වී ඉරාකය සම්බන්ධයෙන් අනුගමනය කළ හිතුවක්කාරී ක්‍රියා කලාපය විය යුතුය. ජනාධිපතිවරයා කැමරන්ගේ ප්‍රකාශය අනියම් ලෙස විවේචනය කරන තැනකට ගියද යුද්ධය අවසාන කාලයේදී අපේ හමුදාවන් අතින් කිසිම මානව හිමිකම් උල්ලංඝනයවීමක් සිදුවූයේ නැතැ”යි කියන තැනකටද නොගියේය. ඒ වෙනුවට කීවේ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නැති බව හා ස්වාධීන පරීක්ෂණයක් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බවය. එවිට සාධාරණව කල්පනා කරන ඕනෑම කෙනකු තුළ මතුවන ප්‍රශ්නයක් වනුයේ යුද්ධය අවසාන කාලයේදී ආරක්ෂක හමුදාවන්වල කවර පිරිසක් අතින් හෝ කවර ප්‍රමාණයකට හෝ මානව හිමිකම් උල්ලංඝනයවීමක් සිදුවී ඇත්නම් මේ දක්වා ඒ ගැන සොයා බලන තැනකට නොගියේ ඇයිද කියාය.

ආරක්ෂක හමුදා

එහෙත් එය බැලූ බැල්මට පෙනෙන තරමට සරල හා පහසු ප්‍රශ්නයක් වන්නේ නැත. ප්‍රභාකරන් සමග ඔහුගේ ව්‍යාපාරය යුද බිමේදී පරාජය කරන ලද්දේ ආරක්ෂක හමුදාවන්ය. ඒ වෙනුවෙන් විශාල පිරිසක් දිවි දුන්නේය. සිවිල් ආරක්සක බලකායේ හිටපු ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙන ඇස්තමේන්තු අනුව සිව්වැනි ඊලාම් යුද්ධය වෙනුවෙන් දිවිදුන් ආරක්ෂක හමුදාවන්ගේ සංඛ්‍යාව 28,000කි. ඔහු තුවාල වූ අයගේ සංඛ්‍යාව ප්‍රකාශ කර නැතත් අනුපාතිකය 1-7ක් ලෙස සැලකුවහොත් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 196000කි. ඔවුන්ගෙන් සැලකිය යුතු කිසියම් පිරිසක් බරපතළ ලෙස තුවාල ලැබූ අය ලෙස සැලකිය හැකිය. ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ ව්‍යාපාරය පරාජය කිරීම සඳහා ජීවිතවලින් ගෙවා තිබෙන වන්දිය දැවැන්ත බව පෙනීයයි.

නිදහසින් පසු ලංකාවේ ඇතිවූ හැම කැරැල්ලක්ම පරාජය කරන ලද්දේ ආරක්ෂක හමුදාය. එම කැරලි ඔවුන් විසින් පරාජය කරනු නොලැබුවේ නම් සමහරවිට රටේ තත්ත්වය මීටත් වඩා අවාසනාවන්ත වන්නට ඉඩ තිබුණි. ප්‍රභාකරන් ඔහුගේ ව්‍යාපාරය පරාජය කිරීම සඳහා ආරක්ෂක හමුදා සිය ජීවිතවලින් ගෙවා තිබෙන වන්දිය ඉතා විශාල නිසාම යුද්ධයේදී ඔවුන් අතින් සිදුවූ සීමාන්තික ක්‍රියා පරීක්ෂා කරන තැනකට ගියහොත් එම තත්ත්වය ඔවුන්ගේ කෝපයට හේතුවී ඔවුන් ආණ්ඩුවට එරෙහිව නැගී සිටින තත්ත්වයක් ඇතිවනු ඇතැ”යි කියන බියක් ආණ්ඩුව තුළ තිබෙනවා විය හැකිය. නිල වශයෙන් ත්‍රිවිධ හමුදාවට අණදෙන ආඥාපතියා ජනාධිපතිය. ඒ නිසා ලොකු ජයග්‍රහණයක් හිමිකර දී තිබියදී යුද්ධයේදී ආරක්ෂක හමුදා අතින් සිදුවූ සීමාන්තික ක්‍රියා ගැන සොයා බලන පරීක්ෂණයකට යෑම ජනාධිපතිවරයාට සුවපහසු දෙයක් වන්නේ නැත. එවැනි ක්‍රියාමාර්ගයක් එම යුද්ධයේ මහ මොළකාරයකු ලෙස ක්‍රියා කළ ජනාධිපතිගේ සහෝදරයා වන ගෝඨාභයගේ සතුටට හේතුවන්නේ නැත. මෙම පරස්පර විරෝධී තත්ත්වය “ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී” කියන ප්‍රස්ථා පිරුළෙන් කියවෙන තත්ත්වයකට සමානය.

අනෙක් අතට මීට පෙර බලයට පැමිණි කවර ආණ්ඩුවක්වත් නැති තරමට මේ ආණ්ඩුව ආරක්ෂක හමුදාවන්ට බර තබන ලද කිසියම් විශාල ප්‍රමාණයකට ආරක්ෂක හමුදා මත යැපෙන තත්ත්වයකට පත්ව තිබීමද මේ ගැටලු ලිහාගැනීමට තිබෙන පුළුවන්කම තවදුරටත් සීමාකර තිබෙන්නේයැ”යි කිව හැකිය. මෙම ආණ්ඩුව විසින් රාජ්‍යයේ උසස් තනතුරුවලට පත්කර තිබෙන හමුදා නිලධාරීන්ගේ සංඛ්‍යාව විශාලය. ආරක්ෂක ලේකම්වරයා නගර සංවර්ධන කටයුතු සඳහා මුළුමනින් යොදාගනිමින් තිබෙන්නේද ආරක්ෂක හමුදාය. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මැඬලීම සඳහා පොලිසිය වෙනුවට ඍජු ලෙස හා අනියම් ලෙස ආරක්ෂක හමුදා යොදාගන්නා ආකාරයක්ද පෙනෙන්නට තිබෙන්නේය. මෙම තත්ත්වය ආණ්ඩුව කෙරෙහි වන මහජන විශ්වාසය බිඳ වැටෙන අවස්ථාවකදී ආරක්ෂක හමුදා මත බර තබා ක්‍රියාකිරීමේ සූදානමක් ආණ්ඩුවට ඇතැ”යි කියන හැඟීම අති කිරීමට හේතුවී තිබේ. ඒ ආකාරයට කිසියම් විශාල ප්‍රමාණයකට ආරක්ෂක හමුදා මත යැපෙන ආණ්ඩුවකට එවැනි පරීක්ෂණයකට යෑම සරල හෝ පහසු දෙයක් වන්නේ නැත.

ආරක්ෂක හමුදා රටේ ගැලවුම්කාරයන් ලෙස සලකන ආකල්පයක් හෝ හරියට දෙයක් කිරීමේ හැකියාව ඇත්තේ ආරක්ෂක හමුදාවන්ට පමණක්යැ”යි කියන ආකල්පයක් නිවැරදිවන්නේ හෝ රටේ පොදු යහපතට හේතුවන්නේ නැත. ත්‍රස්තවාදී ව්‍යාපාරවලින් එල්ල වන අභියෝග මැඬලීම ඔවුන් වෙත පැවරී තිබෙන රාජකාරිමය වගකීමකි. ඔවුන්ට එහිදී දරන්නට සිදුවන අවධානය සැලකිල්ලට ගෙන අන් අයට නැති විශේෂ ගෙවීම් ක්‍රමයක් ඔවුන් සඳහා ක්‍රියාත්මක වේ. සුදුසුකම් අනුව බලන විට ඔවුන්ට ගෙවන වැටුප් හා පහසුකම් සාපේක්ෂක වශයෙන් ඉහළ මට්ටමක පවතී. යුද්ධයකදී මියයන සෙබළුන්ට විශේෂ වන්දියක් ගෙවනවාට අතිරේකව ඔවුන්ගේ යැපෙන්නන්ට ඔවුන්ට ලැබිය යුතු උසස්වීම් සමග හිමි වැටුපද, ඉන්පසු විශ්‍රාම වැටුපද ගෙවනු ලැබේ. ඒ අර්ථයෙන් ඔවුන්ගේ රාජකාරී සේවාව සකස් කර තිබෙන්නේ රාජ්‍යයේ ආරක්ෂාව සඳහා මැරෙන්නට වුවත් සූදානමින් සිටින පුද්ගල පිරිසක් ලෙස සලකාය. ඔවුන් ආරක්ෂක හමුදාවන්ට එකතුවන්නේද දේශප්‍රේමය නිසා නොව ඉන් ලැබෙන වැටුප් හා පහසුකම් සලකාය. ආරක්ෂක හමුදා විටින් විට පැන නැගුණු කැරලි තුනක් පරාජය කිරීම වෙනුවෙන් මහජනයා ඔවුන්ට ස්තුතිවන්ත විය යුතු වුවත් ණයගැතිවන්නේ නැත.

සන්නද්ධ කැරලි

රාජ්‍යයට එරෙහිව ආණ්ඩුව සන්නද්ධව කැරලි ගසන තත්ත්වයක් ඇතිවූ විට ඒවා බලය යොදා මර්දනය කරනවා මිස ඒවාට වර්දනය වන්නට ඉඩහැර බලා සිටීමේ හැකියාවක් කවර ආණ්ඩුවකටවත් නැත. ඇතිවූ කවර කැරැල්ලක්වත් උපාසක හෝ ධාර්මික කැරලි නොවූවා සේ ම ඒවා ආරක්ෂක හමුදාවන් විසින් මර්දනය කෙරුණු ආකාරයද උපාසක හෝ ධාර්මික නොවීය.

රීතියක් ලෙස හැම ආයුධ සන්නද්ධ කැරැල්ලක්ම කුරිරුය. ඒවා මර්දනය කෙරන ආකාරයන්ද කුරිරුය. හැම කැරැල්ලක්ම හා මර්දනයක්ම කෘරත්වය මුදාහරින බලකණ්ඩායම් දෙකක් අතර කෙරෙන සටනක් ලෙස සැලකිය හැකි අතර එහිදී ප්‍රතිපක්ෂය අබිබවා උපරිම කෘරත්වයක් මුදාහැරීමේ ශක්තිය ඇති පක්ෂය ජයගනී.

1971දී කැරලි ගැසූ සටන්කාමී ග්‍රාමීය සිංහල තරුණයන් අතින් මානව හිමිකම් උල්ලංඝනයවීමක් සිදුවූවා සේ ම එම කැරැල්ල මර්දනය කළ ආරක්ෂක හමුදා අතින්ද ඊට වැඩි ප්‍රමාණයකින් මානව හිමිකම් උල්ලංඝනයවීමක් සිදුවිය. ඉන් තවත් කලකට පසුව එම පක්ෂය විසින් මෙහෙයවන ලද දෙවැනි තරුණ කැරැල්ලේදීද එම තරුණ කැරලිකරුවන් අතින් වඩා විශාල ප්‍රමාණයකට මානව හිමිකම් උල්ලංඝනයවීමක් සිදුවූ අතර කැරැල්ල මර්දනය කළ ආරක්ෂක හමුදා අතින්ද ඊටත් වඩා විශාල ප්‍රමාණයකින් මානව හිමිකම් උල්ලංඝනයවීමක් සිදුවීයැ”යි කිව හැකිය.

රටේ වාසනාවකට මෙන් එදා ජේවීපීය වෙනුවෙන් හඬ නගන්නට බලවත් සිංහල ඩයස්පෝරාවක් නොසිටියේය. එසේ වී නම් අඩු වැඩි වශයෙන් දැන් ඇතිවී තිබෙන අවුලට සමාන අවුලක් එදා ද ඇතිවන්නට ඉඩ තිබුණි. දෙවැනි කැරැල්ල මර්දනයේදී ආරක්ෂක හමුදාවන් අතින් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන හඬ නගන පුද්ගලයන් අතර වර්තමාන ජනාධිපතිවරයාද කැපී පෙනෙන තත්ත්වයක සිටියේය. ඒ ගැන වන පැමිණිලි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ගෙනගිය පුද්ගලයා වූයේද මහින්ද රාජපක්ෂ මහතාය.

කැරලි මර්දනය

ජේවීපී පළමු කැරැල්ල පහසුවෙන් පරාජය කළ හැකි වුවද ඔවුන්ගේ දෙවැනි කැරැල්ල පරාජය කරනු ලැබුවේ අමාරුවෙනි. එය පරාජ කරනු ලැබුවේ කැරැල්ල ජයගැනීමට ඔන්න මෙන්න කියන තත්ත්වයකටම වර්ධනය වී තිබියදීය. ආරක්ෂක හමුදා එහිදී ඒ කාර්යය ඉතාමත් විනයගරුක ආකාරයකින් සිදුකළේයැ”යි කිව නොහැකිය. අත්අඩංගුවට ගනු ලැබූ අතිවිශාල බහුතරයක් මරා දමනු ලැබීය. ඒ නිසාම ඒ කාලයේ දකුණේ සිංහල ජනතාව අතර ආරක්ෂක හමුදා පිළිබඳව ඇති කරගත් අප්‍රසන්නභාවයක් තිබුණේයැ”යි ද කිව හැකිය. එම කැරැල්ල පැවති කාලයේදී සිංහල ප්‍රදේශ පුරා ආරක්ෂක මුරපොළවල් හා තාවකාලික ආරක්ෂක හමුදා කඳවුරු තනනු ලැබුවද කැරැල්ල පරාජය කිරීමත් සමග ඒ සියල්ල ඉවත් කරගනිමින් ආරක්ෂක හමුදා බැරැක්කවලට සීමාකරන තත්ත්වයක් ඇතිවීයැ”යිද කිව හැකිය.

එල්ටීටීඊය පරාජය කෙරුණු යුද්ධයේදී ආරක්ෂක හමුදා එල්ටීටීඊයේ කෘරත්වයට එරෙහිව මුදාහරින ලද කෘරත්වයේ පරිමාව ජේවීපී දෙවැනි කැරැල්ල මර්දනයේදී ආරක්ෂක හමුදා විසින් මුදාහරින ලද කෘරත්වයේ පරිමාවට වඩා අඩු මට්ටමක පැවතියේය යන්න මගේ මතයයි. දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරීත්වය, ඒ නිසා ජාත්‍යන්තර ප්‍රජාව සෝදිසියකින් බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, එල්ටීටීඊය සටන් කළ ක්‍රමය හා ජවිපෙ සටන් කළ ක්‍රමය අතර තිබුණු වෙනස්කම් යන සාධක ඒ තත්ත්වයට බලපෑවේයැ”යි කිව හැකිය. එම යුද්ධයේදී ආරක්ෂක හමුදා එල්ටීටීඊය පසුපස හඹා ගියා විනා අහිංසක දෙමළ ජනතාවගෙන් පළිගන්නා පිළිවෙතක් අනුගමනය කළ බවක්ද පෙනෙන්නට නැත. හතළිස් දහසක් හෝ ඊට වැඩි සිවිල් ජනතාවත් මරා දමා ඇතැ”යි කියන කතාව මා පිළිගන්නේ නැත. එහෙත් යුද්ධයේ අවසාන කාලයේදී සේ ම ඊට පෙරද අපරාධ ගණයෙහිලා සැලකිය හැකි වැරදි කිසියම් ප්‍රමාණයක් සිදුවී තිබෙන බව පෙනෙන්නට තිබේ. ත්‍රිකුණාමලයේ තරුණයන් පස්දෙනාගේ ඝාතනය ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයකි. සුදුකොඩි කතාවේද ඇත්තක් තිබෙනවා විය යුතුය.

ඉතාමත් උත්ප්‍රාසජනක දේ වනුයේ සිදුවී ඇතැ”යි කියන සමහර අපරාධ පිළිබඳව කරුණු සොයා බැලීමට උනන්දුවෙන් ක්‍රියාකරන ජාත්‍යන්තර ආයතනවලට වැඩි හරියක්ම තොරතුරු හා ඡායාරූප, ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පුද්ගලයන් විසින් ලබාදී තිබීමය. එවැනි සමහර අය තමන්ට දකින්නට ලැබුණු දේවල් පිළිබඳව දිවුරුම් ප්‍රකාශද ලබාදී තිබෙන බව කියනු ලැබේ. එසේ කරනු ලැබූ සමහරෙක් මුදල් උපයාගැනීම පිණිස හෝ දේශපාලන රැකවරණය පිණිස එසේ කළා විය හැකිය. තවත් සමහරෙක් තමන්ට දකින්නට ලැබුණු දේවල් නිසා ඇතිවූ කම්පනය හා අප්‍රසාදය නිසාද එසේ කළා විය හැකිය. අවසානයේ ඒ සියලු දේවල් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශක්තිමත් පදනමක් ලබාදී තිබෙන අතර ප්‍රමාද කිරීමකින් තොරව දේශීය වශයෙන් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ නොකරන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භවීම නොවැළැක්විය හැකි දෙයක් බවට පත්ව තිබෙන්නේය.

ප්‍රභාකරන් පරාජය කිරීම

බෙදුම්වාදී අරමුණ වෙනස් කිරීමට කැමති නැති දරදඬු තත්ත්වයක සිටි බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකිය හැකි එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීම මුලුමනින් නිවැරදිය. එහි කීර්තිය ජනාධිපතිටත් ඔහුගේ ආණ්ඩුවටත් හිමිවිය යුතුය. ඉන්පසු අවසන් කෙරුණු යුද්ධය ආශ්‍රයෙන් පැන නැගුණු ප්‍රශ්නවලට මුහුණ දුන් ආකාරය ප්‍රශස්ත හෝ ප්‍රඥාවන්ත නැත. ඒ සඳහා යොදාගත් වැරදි හා අනුවණ ප්‍රතිපත්තිය හා ක්‍රියාමාර්ග ආණ්ඩුව කෙරෙහි පමණක් නොව රටද ජාත්‍යන්තර තලයේ අපකීර්තියට පත්කරන තත්ත්වයක් ඇති කළේය.

යුද්ධය පැවති කාලයේදී ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම්වලට යට නොවී දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීම නිවැරදිය. එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසුව එතෙක් පැමිණි ගියරය වෙනස් කළ යුතුව තිබුණේය. ප්‍රශ්න කරන ජාත්‍යන්තර බලවේගයන් සමග රණ්ඩු කරන හා ඔවුන්ට බැණ වදින ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට ඉවසීමෙන් හා තර්කානුකූලව කරුණු පැහැදිලි කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුව තිබුණි. ඒ සමග ජාතිය ගොඩනැගීම සඳහා වන අභිලාෂයන් පෙන්නුම් කළ යුතුව තිබුණා සේ ම මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට එල්ල වන චෝදනා පිළිබඳව කරුණු පරීක්ෂා කරන තැනකට යායුතුව තිබුණේය.

71 අප්‍රේල් කැරැල්ල පරාජය කිරීමෙන් පසුද මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙන බවට චෝදනා එල්ල විය. වඩාත්ම කතාබහට ලක්වී තිබුණු අනුවේදනීය සිද්ධිය බවට පත්ව තිබුණේ කතරගම රූ රැජින ප්‍රේමවතී මනම්පේරි නිරුවත් කොට මරා දැමීමේ සිද්ධියයි. සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය ඒ ගැන පරීක්ෂණයකට ගියේය. විත්තිකරුවන්ට එරෙහිව පවත්වන ලද විධිමත් නඩු විභාගයකින් පසුව අධිකරණය එම අපරාධයට සම්බන්ධ හමුදා නිලධාරීන්ට දැඩි දඬුවම් දුන්නේය. ඒ නිසා ආරක්ෂක හමුදා එම ආණ්ඩුවට එරෙහිව නැගී සිටින තැනකට ගියේ නැත. ඉන් ආරක්ෂක හමුදාවන්ට සිදුවූයේද යහපතකි. එම සාහසික අපරාධයෙන් ආරක්ෂක හමුදාවන්ට අපකීර්තියක් ඇතිවී තිබුණේ නම් ආණ්ඩුව අනුගමනය කළ එම ක්‍රියාමාර්ගය නිසා ආරක්ෂක හමුදාවන්ගේ ගෞරවය නැවත පිහිටුවාදීමක් සිදුවිය.

එල්ටීටීඊය පරාජය කිරීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉටුකර තිබෙන කාර්යභාරය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වුවද තමන්ගේ හමුදා අතින් සිදුවී තිබෙන වැරදි ගැන සොයා බැලීමේදී සිරිමා බණ්ඩාරනායක මැතිනිය පෙන්නුම් කරන ලද ධෛර්යට සමාන ධෛර්යයක් පෙන්නුම් කිරීමට ජනාධිපතිවරයා සමත් වී නැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ

එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කෙරුණු අවස්ථාවේදී මා ජනාධිපතිවරයා පිළිබඳව එදා කරන ලද ප්‍රසිද්ධ පුරෝකථනය අදටත් වලංගුය. මා එදා කීවේ එල්ටීටීඊය පරාජය කිරීම මගින් ජනාධිපතිවරයා නිදහසින් පසුව ලංකාව බිහිකළ ලොකුම වීරයා බවට පත්ව සිටින බවත් ඒ හිමිකරගත් වීරත්වය පරිපූර්න වීරත්වයක් බවට පත්කර ගැනීමට නම් බෙදී සිටින ජාතිය ප්‍රතිසන්ධානය කිරීම හා කුණුවී තිබෙන දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීම අත්‍යවශ්‍ය බවත්ය. එසේ නොවෙතොත් හිමිවී තිබෙන වීරත්වය ඉක්මනින් දියවී යනු ඇති බවය. දැන් සිදුවී තිබෙන්නේද එයයි.

නිදහසින් පසු බලයට පැමිණි සියලු නායකයන් අතුරින් ශ්‍රේෂ්ඨම නායකයකුවීමට වැඩිම අවකාශයක් හිමිකරගත් නායකයාවන්නේ මහින්ද රාජපක්ෂය. එහෙත් එම අවකාශය ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට ජනාධිපතිවරයා සමත් වූයේ නැත. ප්‍රභාකරන් හා ඔහුගේ ව්‍යාපාරය පරාජය කිරීමෙන් පසු ඊළඟට පනින්නට තිබුණු කඩුලු පනින ලද කඩුල්ලට වඩා හුඟාක් පුංචිය. සියලුදෙනාට සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවයක් ලබාදෙමින් බෙදී සිටි ජාතිය එක්සත් කිරීම හා මජර ගලන තරමට කුණුවී තිබුණු දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීම ඊළඟට පනින්නට තිබුණු ප්‍රධාන කඩුලු දෙක විය. එහෙත් වඩා දුෂ්කර කඩුල්ල පැනීමෙන් පසු ඒ කීර්තියෙන් පමණක් ඉදිරියට යා හැකිව තිබියදී තවත් කඩුල් පනින තැනකට යන්නේ ඇයිදැ”යි කල්පනා කරන තැනකට ජනාධිපතිවරයා තල්ලු විය. දැන් ජනාධිපතිවරයාට සේ ම රටටද විඳින්නට සිදුවී තිබෙන්නේ එම ආත්මාර්ථකාමයේ ප්‍රතිවිපාකය.

අපේ ජාතිය දුරදිග නොබලන ජාතියක් ලෙස සැලකිය හැකිය. කැරැල්ලක් ඇතිවූ විට ඒ කැරැල්ල මර්දනය කළ යුතුය. ඒ සමග කැරැල්ලක් ආවේ ඇයිද කියාද බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුය. කැරලි ගසන තැනකට ගියේ උතුරේ දෙමළ තරුණයන් පමණක් නොවේ. දකුණේ සිංහල තරුණයන්ද දෙවරක්ම කැරලි ගැසූහ. විටෙක දකුණේ සිංහල තරුණයන්ද, තවත් විටෙක උතුරේ දෙමළ තැණයන්ද තමන්ගේ ජීවිත පරදුවට තබා කැරලි ගසන තැනකට ගියෙ ඇයිද කියන ප්‍රශ්නයවත් බැරෑරුම් ලෙස සලකා බලන තැනකට ගියේ නම් මේ සමස්ත අවුලේ අක්මුල් රටට තේරුම්ගත හැකිවන්නට ඉඩ තිබුණි.

තෝරාගැනීමට තිබෙන මග

දැන් තිබෙන තත්ත්වය අනුව රටට සිදුවිය හැකි හානිය අවම කරගත හැකිවනු ඇත්තේ විශාල අත්දැකීම් ඇති රටක් ලෙස සැලකිය හැකි දකුණු අප්‍රිකාව සමග එකතු වී ඔවුන්ගේ වැඩසටහන සමග ඉදිරියට යෑම පමණය.

එහෙත් ඒ කිසිවක් මූලික වෙනසක් ඇති කිරීමට හේතුවනු ඇතැ”යි විශ්වාස කළ නොහැකිය. නිර්මාණශීලී ලෙස ක්‍රියාකිරීමට තිබෙන හැකියාව සාම්ප්‍රදායික දේශපාලන නායකයන් හා පක්ෂ විසින් ඇහිමි කරගෙන තිබෙන අතර ඓතිහාසික අර්ථයෙන් ඒ සියලුදෙනා වඳ තත්ත්වයකට පත්ව ඇතැ”යි කිව හැකිය. ඒ තත්ත්වය ඉදිරියේ තෝරාගැනීමට ඉතිරි වී තිබෙන විකල්පයවන්නේ මහජනාය. එය දුෂ්කරම මාර්ගයකි. ඒ මාර්ගය ජයගත හැකිවනු ඇත්තේ මහජනයාට බර තබන සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීමෙනි. නව ආකල්ප ඇති හොඳ පුරුෂාර්ථ ඇති හොඳ මිනිසුන් තනන දුෂ්කර ක්‍රියාමාර්ගයක් මගින් සමාජය යහපත් සමාජයක් බවට පරිවර්තනය කරගත යුතුය. මිනිසුන් බහුතරයක් හොඳ මිනිසුන් බවට පත් කළ හැකි නම් මතු මහලද ඊට සරිලන ලෙස වෙනස් වනු ඇත.