පසුගිය සෙනසුරාදා පැවති පළාත් සභා මැතිවරණ තුන හා ඉන් ප්රකාශ වී තිබෙන ප්රතිඵලවලින් මේ රටේ පවතින දූෂිත දේශපාලන ක්රමයේ වෙනසක් ගැන සිහින දකින අයට ඉගෙන ගතහැකි වැදගත් පාඩමක් ගණනාවක්ම ඇත්තේය.
මෙම දූෂිත දේශපාලන ක්රමය නිර්මාණය කර තිබෙන්නේම බලයට පත්වන පාලක පක්ෂයට පාලනයේ හොඳ නරක කුමක් වුවද දීර්ඝ කාලයක් බලය අල්ලාගෙන සිටීමට පුළුවන් වන ආකාරයටය. රටේ කොතරම් නරක දේවල් සිදුවුවත් කොතරම් ලේ වැගිරීම් හා කලකෝලාහල සිදුවුවත් දූෂණය දෝරේ ගලා යන තත්ත්වයකට පත්වුවත් ඒ කිසිවක් නිසා පාලන බලයේ වෙනසක් ඇති කිරීම පහසු නොවන ආකාරයටය. මේ ක්රමය තුළ පාලන බලයේ වෙනසක් ඇතිවිය හැක්කේ ඉතාමත් කලාතුරකිනි. ඉතාමත් අහම්බයෙන් පමණක් එකට එකතුවිය හැකි සුවිශේෂ හේතු ගණනාවක් එකට එකතු වූ අවස්ථාවකදී පමණය.
යූඑන්පී යුගයේ මැතිවරණ
ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී පරණ ක්රමයට පවත්වන ලද පාර්ලිමේන්තු අතුරු මැතිවරණ කිහිපයක් හැර පවත්වන ලද සියලු පළාත් පාලන මැතිවරණ සංවර්ධන සභා මැතිවරණ (යාපනේ හැර) පළාත් සභා ක්රමයක් ඇති කිරීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය හැර අන් සියලු පළාත් සභා මැතිවරණද ආණ්ඩු පක්ෂය ජයගත්තේය.
එම පක්ෂයෙන්ම රණසිංහ ප්රේමදාස බලයට පැමිණීමෙන් පසුද පවත්වන ලද සියලු පළාත් පාලන මැතිවරණ ආණ්ඩු පක්ෂය ජයගත්තේය. පාලක පක්ෂයේ මහා දෙකඩවීමක් ඇතිවීමෙන් පසුත් පවත්වන ලද පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව පරාජය වූයේ පළාත් සභා දෙකක් පමණය. ආණ්ඩු පක්ෂය මහා දෙකඩවීමකට ලක්ව තිබියදීත් අනෙක් සියලු පළාත් සභා ජයගැනීමට ආණ්ඩුව සමත් විය.
ඉන්පසු පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේදීද වඩා ආකර්ෂණීය නායකයකු කරළියට පැමිණ තිබූ අවස්ථාවකදී පවා පොදු පෙරමුණට එම මැතිවරණය ජයගත හැකිවූයේ එක පාර්ලිමේන්තු ආසනයකින් පමණය. විජේතුංග ජනාධිපතිවරයා මකියවේලි කියවා තිබුණේ නම් ඒ අවස්ථාවේදී පවා එම තත්ත්වය වෙනස් කිරීමට ඉඩ තිබුණි. ජයග්රහණයට ඉඩ දුන්නද ඒ අවස්ථාවේදී විජේතුංග ජනාධිපතිවරයා අගමැති ධුරයේ දිවුරුම්දීමට චන්ද්රිකා නොකැඳවා ඇගේ අම්මා කැඳවී නම් ඇතිවන්නට ඉඩ තිබුණු අවුල ලිහාගැනීම දුෂ්කර වන්නට ඉඩ තිබුණි. එවැනි තත්ත්වයක් ඇතිවීම වළකා ගැනීම සඳහා ඇය වහාම ජේ.ආර්. ජයවර්ධන හමුවන්නට ගියේය. අම්මා බලයට පත්වුවහොත් ඇය ජේ.ආර්. ජයවර්ධනගෙන් පළිගන්නා තැනකට යෑම නොවැළැක්විය හැකි නිසා තමාගේ තත්ත්වය තහවුරු කිරීමට හේතුවන ලෙස ක්රියාකරන ලෙස විජේතුංග ජනාධිපතිවරයාට අවශ්ය උපදෙස් ලබාදෙන ලෙස ඇය ඉල්ලා සිටියේය. ජේ.ආර්. ජයවර්ධනද සිරිමා බණ්ඩාරනායකට ඉඩ දුනහොත් ඉන් තමන්ට විය හැකි හානිය තේරුම් ගනිමින් චන්ද්රිකාට ආධාර කරන ලෙසට ජනාධිපති විජේතුංගට දුරකතනයෙන් උපදෙස් දුන්නේය. ඉන්පසු චන්ද්රිකා ජනාධිපති විජේතුංග හමුවී එම සංකීර්ණ අවුල විසඳා ගත්තාය. එහිදී විශ්රාම සුවයෙන් කල් ගෙවූ ජනාධිපති ජයවර්ධනට සේ ම ජනාධිපති විජේතුංගටද වැදගත් වූයේ එජාපයේ අනාගතය නොව තමන්ගේ පැවැත්ම හා ආරක්ෂාවය. රනිල් හා ගාමිණී අතර තිබූ කඹ ඇදිල්ලද චන්ද්රිකාගේ වාසියට වැඩ කළේය. එම අවස්ථාවේදී චන්ද්රිකා එම අවුල විචක්ෂණ ලෙස කළමනාකරණය කරගැනීමට අසමත් වී නම් පොදු පෙරමුණ හිමි කරගෙන තිබූ ජයග්රහණය මහා අවුලකට යන්නට ඉඩ තිබුණි. අනෙක් අතට ඒ අවස්ථාවේදී ජනාධිපති පදවිය අරක්ගෙන සිටි පුද්ගලයා විජේතුංග නොවී, ජේ.ආර්, ප්රේමදාස, ගාමිණී දිසානායක හෝ ලලිත් ඇතුලත්මුදලි වැනි විචක්ෂණ කෙනකු වී නම් පොදු පෙරමුණ ලැබූ ජයග්රහණය ආපසු හරවන තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂය එක දිගට අද දක්වාම පාලන බලයේ සිටින පක්ෂය වන්නටද ඉඩ තිබුණි.
පොදු පෙරමුණු යුගයේ මැතිවරණ
සියල්ල ආපසු කැරකෙන තත්ත්වයක් ඇතිවූයේ චන්ද්රිකා ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුවය. ඉන්පසු 2001 දෙසැම්බර්වලදී පැවති පාර්ලිමේන්තු මැතිවරණය එක්සත් ජාතික පෙරමුණ ජයගන්නා තෙක් පැවති හැම මැතිවරණයක්ම පොදු පෙරමුණ ජයගත්තේය. වයඹ පළාත් සභා ඡන්දය මහා කොල්ලයක් බවට පත්වුවද නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වී නම් එය ජය ලැබීමේ වැඩි හැකියාව තිබුණේද එජාපයට නොව ආණ්ඩු පක්ෂයටය.
2001 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ලැබූ ජයග්රහණය විධායක ජනාධිපති ක්රමයක් ඇති කිරීමෙන් පසු විධායක ජනාධිපති බලය එක් පක්ෂයක් අත තිබියදී වෙනත් පක්ෂයක් පාර්ලිමේන්තු බලය හිමි කරගත් පළමු අවස්ථාව විය. එය ක්රමයේ සාමාන්ය ගමන් මගට වෙනස්ව ඇතිවූ අසාමාන්ය තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. එය රනිල් වික්රමසිංහට අවශ්ය නම් පූර්ණ බලය අල්ලා ගැනීමට ලැබුණු අසාමාන්ය අවස්ථාවක් ලෙස සැලකිය හැකි අතර ඒ අවස්ථාව විචක්ෂණ ලෙස පාවිච්චි කිරීමට ඔහු අසමත් විය. එහෙත් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු බලය ලැබීමෙන් පසු පවත්වන ලද පළාත් පාලන මැතිවරණවලින් කැපී පෙනෙන ජයග්රහණයක් ලබාගැනීමට එක්සත් ජාතික පෙරමුණ සමත් විය. ශ්රීලනිපයේ ලොකුම දේශපාලන බලකොටුව ලෙස පැවති අත්තනගල්ල ප්රාදේශීය සභාව පවා එජා පෙරමුණ ජයගත්තේය.
රනිල් වික්රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුවට අවුරුදු දෙකකට ආසන්න කාලයක් දුවන්නට හැර ජනාධිපතිනි චන්ද්රිකා පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානයක් ඇතිකර ගනිමින් එම මැතිවරණයෙන් නැවත පාර්ලිමේන්තු බලය හිමිකර ගැනීමට සමත් විය.
2005 ජනාධිපතිවරණයේදී ළඟ ළඟ තරගයකින් ජයගැනීමේ වැඩි වාසිය හිමිව තිබුණේ රනිල් වික්රමසිංහටය. එහෙත් ජයග්රහණය සඳහා අවශ්ය සාධක විචක්ෂණ ලෙස කළමනාකරණය කරගැනීමට ඔහු අසමත් විය. අනෙක් අතට වඩා අවාසිදායක තත්ත්වයක සිටි මහින්ද රාජපක්ෂ රනිල් වික්රමසිංහ අබිබවා විචක්ෂණවීමට සමත්වීම මගින් ළඟ ළඟ තරගයකින් ජයගැනීමට සමත් විය.
යුද්ධය ජයගැනීමෙන් පසු
ඉන්පසු දේශපාලන තලයේ මහා වෙනස්කම් ඇති කරන සාධකය ලෙස ක්රියාකරනුයේ එල්ටීටීඊයට එරෙහිව දියත් කෙරෙන යුද්ධයයි. එහිදී විරුද්ධ පක්ෂවලට යුද්ධය පිළිබඳව යථා තක්සේරුවක් නොතිබුණි. එජාප යුද්ධයට එරෙහිව යන ප්රතිපත්තියකට නොගොස් විවේචනාත්මකව සහාය දෙන පිළිවෙතක් අනුගමනය කිරීමට සමත් වී නම් හා යුද්ධයේ ජයග්රහණයෙන් පසු 2010 පවත්වනු ලබන ජනාධිපතිවරණයකට තරග නොකොට යුද ජයග්රහණයෙන් වීරත්වයක් හිමි කරගෙන සිට මහින්ද රාජපක්ෂට නිතරගයෙන් ජය ලබාගැනීමට ඉඩදෙන ප්රතිපත්තියක් අනුගමනය කළේ වී නම් රටේ දේශපාලන චිත්රය මීට මුළුමනින් වෙනස්වන්නට ඉඩ තිබුණි.
නිතරග ජයග්රහණයක් සුළු කාලයකට ආශ්වාදජනක වන්නට ඉඩ තිබුණද එක්සත් ජාතික පක්ෂයට තිබුණු ජන පදනමේ මහා ඛාදනයක් ඇති කරන්නේ නැත. තරගයක් තිබීම නිසා හැමදාමත් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන ජනතාවගෙන් කිසියම් විශාල පිරිසක්ද කෘතගුණ සැලකීමක් වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂට ඡන්දය පාවිච්චි කරන තැනකට ගියේය. එසේ ගිය අය ආපසු පක්ෂයට ආවේ නැත. නිතරග ජයග්රහණයකට ඉඩදෙන පිළිවෙතක් මගින් එජාප ජන පදනමේ මහා ඛාදනයක් ඇතිවීම වළකාගත හැකිවන්නට ඉඩ තිබුණා සේ ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් මහා යෝධයකු වී අන් සියලු නායකයන් අඟුටුමිට්ටන්ගේ තත්ත්වයට පත් කරන ක්රියාවලියද කිසියම් දුරකට පාලනය කරගත හැකිවන්නට ඉඩ තිබුණි. අනෙක් අතට එල්ටීටීඊය පරාජය කිරීමෙන් කරන ලද සේවය සලකා නිතරගයෙන් බලයට එන්නට ඉඩදෙන ප්රතිපත්තියක් අනුගමනය කළේ නම් ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර අන්තර් සම්බන්ධය පසමිතුරු නොවී මිතුරු සම්බන්ධයක් බවට පත්වන්නට ඉඩ තිබුණේය. එය එසේ වී නම් විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට මන්ත්රීවරුන් එකතුවීම වළකන හෝ සීමා කරන හේතුවක් ලෙස එය ක්රියාකරන්නට ඉඩ තිබුණා සේ ම ආණ්ඩුව අධිකාරිවාදයක් කරා යන ගමන දුර්වල කොට දේශපාලන ප්රතිසංස්කරණ ඇති කිරීමට බලකෙරෙන සාධකයක් ලෙස ක්රියා කරන්නටද ඉඩ තිබුණි.
ශිරාල්ගේ උපන් දින සාදය
පළාත් සභා මැතිවරණය පැවති දිනයට දින කිහිපයකට පෙර ශිරාල් ලක්තිලකගේ 50 වැනි උපන්දිනය සඳහා පැවති ප්රිය සම්භාෂණයකට සහභාගිවීමේ අවස්ථාව මට ලැබුණි. ඔහු ඔහුගේ වයස් කාණ්ඩයට වැටෙන පුද්ගලයන් අතර සිටින වර්ණවත් පුද්ගලයෙකි. රාවයටද විශේෂ උදව් උපකාර කර තිබෙන පුද්ගලයෙකි. ඒ නිසා ඔහුගේ උපන් දින සාදයට ලැබුණු ආරාධනය නොසලකා සිටීමේ හැකියාවක් මට නොතිබුණි. ඔහු කලක් පොදු පෙරමුණේ බලවත් ආධාරකරුවකු වූ අතර පසුව එක්සත් ජාතික පක්ෂයට එකතුවෙමින් එහි ප්රබල ක්රියාකරුවකු බවට පත්විය. පසුව එම පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ සමග ගැටුම් ඇතිකර ගනිමින් රනිල් විරෝධී පිලේ ප්රබල චරිතයක් බවට පත්විය.
විය යුතු පරිදිම ඔහුගේ සම්භාෂණයට සහභාගි වූ අයගෙන් වැඩි පිරිසක් රනිල් විරෝධීන් වීයැ”යි කිව හැකිය. එසේ නොවන එක්සත් ජාතික පාක්ෂිකයන් කිහිප දෙනකුද එහි සිටි බවක් පෙනෙන්නට තිබුණි. ආණ්ඩු පක්ෂයේ විවිධ ප්රවණතා නියෝජනය කරන පිරිසක්ද එහි සිටියේය.
එක ප්රවණතාවකට අයත් නොවන මතවාදී වශයෙන් විවිධ අදහස් දරන කිහිපදෙනකු ඇතුළත් පුංචි කණ්ඩායමක් සමග අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව මට ලැබුණි. එහිදී සාකච්ඡාවට ලක්වූ ප්රධාන මාතෘකා දෙකෙන් එකක් වූයේ රනිල් වික්රමසිංහය. අනෙක් මාතෘකාව වූයේ පවත්වන්න නියමිත පළාත් සභා මැතිවරණ ගැනය.
පවතින මෙම දේශපාලන ක්රමය තුළ උතුරු පළාත හැර අනෙක් පළාත් සභා දෙක ආණ්ඩුව ජයගනු ඇතත් ඒ පළාත් සභා ඡන්ද දෙකේදී ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය වෙන කවරදාකවත් නැති තරම් පහළ මට්ටමකට වැටුණහොත් එම පළාත් සභා දෙක ආණ්ඩුව ජයගත්තද ආණ්ඩුවට ආත්ම විශ්වාසයෙන් යුතුව ඊළඟ මැතිවරණවලට මුහුණදීමේ හැකියාව දුර්වල කිරීමට හේතුවනු ඇති බව මම කීවෙමි. එහි සිටි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කෙනකු එහිදී තරයේ කියා සිටියේ ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය පහත වැටීමට කිසිම ඉඩක් නැති බවය. මෙවර එම පළාත් සභා මැතිවරණ දෙකට තරග කරන අයගෙන් කිසියම් විශාල පිරිසක් මැති ඇමතිවරුන්ගේ දරුවන් වන නිසා එය රාජකීයයන් අතර කෙරෙන රාජකීය තරගයක් බවට පත්වනු ඇති බවත් තරග කරන කුමාරවරුන්ගේ රාජකීය දෙමාපියන් හා ඥාති හිතවතුන්ද ඡන්ද ව්යාපාරයට සම්බන්ධ වන තත්ත්වයක් තුළ එය එම ප්රදේශ දෙකේ මහජනයාගේ උද්යෝගය කුළුගන්වන මැතිවරණයක් බවට පත්වනු ඇති බවත් ඒ නිසා ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකයේ ඉහළ නැගීමක් මිස පහළ වැටීමකට ඉඩක් නැති බවත් ඔහු කීවේය.
ඔහු ඒ ගැන කරන ලද විග්රහය හරියටම හරිය. එම පළාත් සභා මැතිවරණය දේශපාලකයන්ගේ දූ දරුවන් කරළියට ගැනීම සඳහා පවත්වන ලද මැතිවරණයක් ලෙස සැලකිය හැකි අතර ඊළඟට පැවැත්වෙන අනෙක් පළාත් සභා මැතිවරණවලදීද මේ දේ මීට සමාන ආකාරයකින් සිදුවනු ඇතැ”යි සිතිය හැකිය. ඒ ආශ්රයෙන් ලංකාවේ දේශපාලනය තුළ පවුල ඉටුකරමින් තිබෙන කාර්යභාරය ගැන යම් අදහසක් ඇතිකර ගත හැකිය.
දේශපාලන ක්රමය හා රනිල්
ඊළඟට සාකච්ඡාවට ලක්වූ උණුසුම්ම මාතෘකාව වූයේ රනිල්ය. දැන් රනිල් රඟපාමින් තිබෙන භූමිකාව 77-94 කාලයේදී සිරිමා බණ්ඩාරනායක රඟපෑ භූමිකාවට සමාන බවක් මෙම දූෂිත හා පීඩාකාරී දේශපාලන ක්රමය තුළ ඕනෑම විරුද්ධ පක්ෂ නායකයකු විකටයකුගේ තත්ත්වයට ඇද වැටීම නොවැළැක්විය හැකි බවත් රනිල් වික්රමසිංහ තුළ දුර්වලතා තිබිය හැකි වුවත් ඔහු ඇද වැටී සිටින හාස්යජනක තත්ත්වය එම දුර්වලතාවල ප්රතිඵලයකට වඩා මේ දේශපාලන ක්රමයේ නොවැළැක්විය හැකි ඵලයක් ලෙස තේරුම් ගත යුතුව තිබෙන බවත් මම කීවෙමි. සිරිමා බණ්ඩාරනායක වැනි ප්රතාපවත් නායිකාවක් පවා මේ ක්රමය විසින් දේශපාලන විකටයකුගේ තතත්වයට පත් කරන ලදි. මේ ක්රමය තුළ ආණ්ඩුවක පැවැත්ම දීර්ඝකාලීනය. විරුද්ධ පක්ෂයේ සිටින කවර දක්ෂ නායකයකුටවත් ඒ දීර්ඝ කාලය හොඳින් අල්ලා ගෙන සිටීම දුෂ්කරය. ඉක්මන් වෙනසක් අපේක්ෂා කරන අය තුළ අපේක්ෂාභංග තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. පාක්ෂිකයන් සතුටු කිරීම සඳහා නායකයාට හෝ නායිකාවට ඔවුන් තුළ බලාපොරොත්තු ඇති කිරීමට හේතුවන බොරු කියන්නට සිදුවන්නේය. අභ්යන්තර කැරලි ඇතිවීම නොවැළැක්විය හැකි බැවින් සිය පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා ඒකාධිපතියකු ලෙස ක්රියාකරන්නට නායකයාට සිදුවන්නේය. අසහනයට පත්වන අය පක්ෂය අතහැර ආණ්ඩු පක්ෂයට විටින් විට එකතුවීමද නොවැළැක්විය හැකිය. 1977-94 කාලයේදී විරුද්ධ පක්ෂයේ මන්ත්රීවරුන් දැන් මෙන් බුරුතු පිටින් ආණ්ඩුවට එකතු නොවූයේ ඔවුන්ගේ ප්රතිපත්තිගරුකභාවය නිසා නොව ආණ්ඩු පක්ෂයට හයෙන් පහක බලයක් තිබුණු තත්ත්වයක් තුළ අලුත් එකතු කරගැනීම් සඳහා කිසිදු ඉඩක් නොතිබුණු නිසාය.
මේ ක්රමය යටතේ පවත්වන මැතිවරණවලින් ජයගැනීමේ වැඩිම හැකියාව තිබෙන්නේද විරුද්ධ පක්ෂවලට නොව ආණ්ඩු පක්ෂයටය. පෙර පැවති පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය තුළ විරුද්ධ පක්ෂ නායකයකුට විඳ දරාගෙන සිටින්නට සිදුවූයේ වසර 5ක් පමණය. දැන් තිබෙන ක්රමය තුළ විරුද්ධ පක්ෂ නායකයකුට කේජු කෑල්ල ඩැහැ ගැනීමට දශක කිහිපයක් අල්ලාගෙන සිටීමට සිදුවන්නේය. තිබුණු පැරණි ආණ්ඩුක්රමය තුළ පැවැත්වෙන අතුරු මැතිවරණවලින් ජයගැනීමේ වැඩිම හැකියාවක් තිබුණේ ආණ්ඩු පක්ෂවලට නොව විරුද්ධ පක්ෂවලටය. එසේ ලබන මැතිවරණ ජයග්රහණය පාක්ෂිකයන් තුළ ප්රබෝධයක් ඇති කළේය. අනාගතයේ ලැබෙන ජයග්රහණය කෙරෙහි විශ්වාසයක් ඇති කළේය. එහෙත් දැන් පවතින දේශපාලන ක්රමය තුළ ජනාධිපතිවරණ දෙකක් අතර කාලය තුළ පැවැත්වෙන මැතිවරණවලින් ජය ලැබීමේ හැකියාව තිබෙන්නේ ආණ්ඩු පක්ෂයටය. එනිසා එසේ ලැබන මැතිවරණ පරාජයන් විරුද්ධ පාක්ෂිකයන් අතර පරාජිත හැඟීම් ඇති කිරීමට හේතුවේ. කෙළවරක් නැති තරමට පැවැත්වෙන මැතිවරණ නඩත්තු කිරීම සඳහා පක්ෂයකට දරන්නට සිදුවන වියදමද අතිවිශාලය. ඒ නිසා ප්රධාන විරුද්ධ පක්ෂවලට තෝරාගත් කළු සල්ලිකාරයන් කිහිපදෙනකු මත මුළුමනින් රඳා පවතින්නට සිදුවී තිබෙන්නේය.
සිරිමා බණ්ඩාරනායක ශ්රීලනිප නායිකාව වී සිටියදී පවත්වනු ලබන සියලු මැතිවරණවලින් ශ්රීලනිප පරාජය විය. විරුද්ධ පක්ෂ අතර සමගියක් නොතිබුණු අතර ඔවුන් එකිනෙකා අතර පැවතියේ කුළල් කාගන්නා තත්ත්වයකි. විරුද්ධ පක්ෂ අතර සමගියක් ඇති කිරීමේ ඇත්ත හැකියාවක්ද නොතිබුණි. සමගියක් ඇතිකර ගැනීමට අවශ්යවන්නේ ජයග්රහණයක් සඳහාය. සමගිය ඇති කරගත් පමණකින් ඉක්මන් ජයග්රහණයකට ඉඩක් නැත්නම් ඒ සමගිය ආස්වාදයට හේතුවන්නේ නැත.
මැතිවරණ ක්රමය
මේ ආණ්ඩුක්රමය සකස් කර තිබෙන්නේම පාලක පක්ෂයට දීර්ඝ කාලයක් බලය අල්ලාගෙන සිටිය හැකි ආකාරයටය. මැතිවරණ ක්රමය සකස් කර තිබෙන්නේද පාලක පක්ෂයට මැතිවරණ ජයගැනීමේ වැඩිම හැකියාව ලැබෙන ආකාරයටය.
1977ට පෙර පැවතියේ සරල හා පහසුවෙන් ආණ්ඩු වෙනස් කළ හැකි ක්රමයකි. මැතිවරණයක් සඳහා කළයුතු වියදම විශාල නොවූ අතර මැතිවරණ වියදම් පාලනය කරන සීමා නීතිද තිබුණි. පූර්ණ අධිකාරී බලය උසුලන ලද්දේ පාර්ලිමේන්තුව විසිනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග නිදහස් හා සාධාරණ මැතිවරණයකට පූර්ණ අවකාශය ඇති වටාපිටාවක් බිහිවන තත්ත්වයක් තිබුණි. සිරිතක් වශයෙන් හැම මැතිවරණයකදීම ආණ්ඩු වෙනස්වීම නිසා මැතිවරණ කටයුතු භාර නිලධාරීන්ට හෝ පොලිසියටද පක්ෂපාතව ක්රියාකිරීමේ හැකියාවක් නොතිබුණි. 77න් පසු ඇති කර තිබෙන ක්රමය තුළ රාජ්යයේ සකලවිධ බලය එක් පුද්ගලයකු අත කේන්ද්ර කර තිබෙනවාට අතිරේකව අධිකාරි බලය දරන දේශපාලන ආයතන ක්රම හතරක්ද (ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතන) ගොඩනැගී තිබේ. මේ දේශපාලන ක්රමය ගොඩනගා තිබෙන්නේ මෙම ආයතන ක්රම හතරේම බලය එක් පක්ෂයක් හෙවත් ආණ්ඩු පක්ෂයට හිමිවන ආකාරයටය. එක් ආයතන ක්රමයක ඡන්ද විමසීමක් පැවැත්වෙන විට අනෙක් ආයතන තුනෙන් ඊට බලපෑම් එල්ලවීම වළකන ක්රමයක් මේ ඡන්ද ක්රමය තුළ නැත. ඒ නිසා එක ආයතන ක්රමයක් සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙන විට අනෙක් ආයතන ක්රම තුනම එම ආයතන ක්රමවලින් ලැබෙන බලය හා සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව ඒ ආයතනවලට ලැබී තිබේ. පසුගිය පළාත් සභා මැතිවරණයේදී ජනාධිපතිද පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ද සෙසු පළාත් සභාවල පළාත් සභා මන්ත්රීවරුන්ද, පළාත් පාලන ආයතනවල සභිකයන්ද ඔවුන්ගේ ආයතනවල උපරිම ශක්තිය එම පළාත් සභා මැතිවරණ තුන සඳහා යොදා ගත් ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබුණි. පාර්ලිමේන්තු මැතිවරණවලදී ජනාධිපති, පළාත් සභාවල මහ ඇමතිවරුන් හා මන්ත්රීවරුන්ද, ප්රාදේශීය සභාවල සභාපතිවරුන් හා සභිකයන්ද තමන් නියෝජනය කරන ආයතනවල පුර්ණ බලතල සහිතව මැතිවරණ කටයුතුවල නිරත වෙති. මේ විශේෂ වටාපිටාව නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඉඩ දෙන්නේ නැත.
පාලක පක්ෂයේ පැවැත්ම දීර්ඝකාලීන බව පෙනෙන විට රාජ්ය නිලධාරීන්ට සාධාරණව අපක්ෂපාතව ක්රියාකිරීමට තිබෙන හැකියාව සීමාවේ. මැතිවරණයක් පවතින කාලයකදී ඒ මැතිවරණය කෙරෙහි බලපාන රාජ්ය මැදිහත්වීම් නතර කළ යුතුය. එහෙත් මේ මැතිවරණ කාලයේදී මැතිවරණ පැවැත්වෙන ප්රදේශවල රාජ්ය මට්ටමෙන් නිල උත්සව පවත්වනු ලැබූ අතර ඒවාට ජනාධිපති සේ ම මැති ඇමතිවරුන්ද සහභාගි විය. එවැනි දේවල් සිදුවීම වැළකීමට මැතිවරණ කොමසාරිස්වරයා පවා උත්සාහ කළ බවක් පෙනෙන්නට නැත. දීර්ඝකාලීන පැවැත්මක් ඇති ආණ්ඩුවක් සමග ගැටුම් ඇති කරගත් විට වද වේදනා විඳින්නට සිදුවන බව රාජ්ය නිලධාරීන් දන්නේය. මේ දේශපාලන ක්රමය තුළ මැතිවරණවලදී මහජනයා හැසිරෙන විශේෂ ක්රමයක්ද පවතී. බලය වෙනස් කිරීමට හේතු නොවන මැතිවරණවලදී බලයේ සිටින ආණ්ඩුවෙන් හා තරග කරන අපේක්ෂකයන්ගෙන් මොන මොන හෝ වාසි ලබාගැනීමට ඔවුහු උත්සාහ කරති. 1977න් පසු පැවති එවැනි මැතිවරණවලින් හැමදා ජය ලැබුණේ ආණ්ඩු පක්ෂයටය.
ඒ නිසා පළාත් සභා දෙකෙන් ආණ්ඩුව ජයලැබීම හෝ විරුද්ධ පක්ෂ පරාජය වීම පුදුමයට හේතුවක් කරගත යුතු නැත. වී තිබෙන්නේ අලුත් දෙයක් නොව හැමදාමත් සිදුවන දේය. විරුද්ධ පක්ෂය (එජාප) කනගාටුවනවා නම් කනගාටුවිය යුත්තේ ලැබූ පරාජය ගැන නොව තමන් බලයේ සිටියදී ප්රතිපක්ෂයට අටවන ලද උගුලට තමන් හසුවී සිටීම ගැනය.