නූතන ශ්රී ලංකාව බිහිකරන ලද පරමාදර්ශී වීරයන් දෙදෙනකුගේම ගුණ සැමරීම් යෙදී තිබුණේ ගෙවී ගිය සැප්තැම්බර් අවසන් සතියටය. ඒ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරගේ හා මහාචාර්ය සේනක බිබිලේගේය. සමහරවිට දේශපාලන තලයෙහි ශ්රී ලංකාව බිහිකර තිබෙන පරමාදර්ශී වීරයකු ලෙස සැලකිය හැකි එකම පුද්ගලයා කන්නන්ගර පමණක් විය හැකිය. අනෙක් අතට මහජන සෞඛ්ය විෂයෙහි ශ්රී ලංකාව බිහිකර තිබෙන පරමාදර්ශී වීරයන් කිහිපදෙනා අතර ප්රමුඛයා සේනක බිබිලේය.
සේනක බිබිලේ ගැන මීට සති කිහිපයකට පෙර නාලක ගුණවර්ධන සිය කොලමේ ලියා තිබුණි. ඔහු එහිදී බිබිලේ ගැන පමණක් නොව බිබිලේගේ ඖෂධ ප්රතිපත්තිය ජාත්යන්තර තලයේ බිබිලේටත් වඩා දුරක් ගෙන ගිය ඒ විෂයෙහි ශ්රී ලංකාව බිහිකර තිබෙන දෙමළ පරමාදර්ශී වීරයකු ගැනද (ආචාර්ය කුමාරයියා බාලසුබ්රමනියම්) ඔහු ලියා ලියා තිබුණි. ඒ නිසා මා මේ ලිපියේ බිබිලේ ගැන කතාකරන්නේ අඩුවෙනි. වැඩියෙන් කතා කරන්නට බලාපොරොත්තුවන්නේ කන්නන්ගර ගැන හා ඔහුගේ නිදහස් අධ්යාපන ක්රමය ගැනය.
මා මේ පුද්ගලයන් දෙදෙනාම පරමාදර්ශී වීරයන්ගේ ගණයට ඇතුළත් කරන විට පරමාදර්ශී වීරයා සඳහා වන මගේ මිනුම් දඬු මොනවාදැ”යි පළමු කොට පැහැදිලි කළ යුතුය. පරමාදර්ශී වීරයකු ලෙස මා අදහස් කරන්නේ පොදු යහපත සඳහා වන ලොකු සිහිනයක් තිබූ පුද්ගලයකුටය. ඒ සිහිනය ලොකු විය යුතුවා සේ ම එය ක්රියාත්මක කිරීම ඉතා දුෂ්කර එහෙත් ප්රායෝගිකව ක්රියාත්මක කළ හැකි යථාර්ථවාදී සිහිනයක් විය යුතුය. එම සිහිනය සපුරාගැනීම සඳහා ක්රියාවට නගන ක්රමවේදයද විනාශකාරී නොවන යහපත් එකක් විය යුතුය. ඒ ආකාරයෙන් තම උදාර සිහිනය සැබෑ කිරීම සඳහා ක්රියාකිරීමේදී මුහුණ දෙන්නට සිදුවන දුෂ්කරතාවන්ට එඩිතර ලෙස හා අධිෂ්ඨානශීලී ලෙස මුහුණදෙමින් ඒ සිහිනය සැබෑ කරගත් හෝ සැබෑ කරගැනීම සඳහා දරන උත්සාහය තුළ මියයන්නා පරමාදර්ශී වීරයකු ලෙස සැලකිය හැකිය. ඒ අර්ථයෙන් කන්නන්ගර හා බිබිලේ යන දෙදෙනාම පරමාදර්ශී වීරයන් ලෙස සැලකිය හැකිය.
බිබිලේගේ ඖෂධ ප්රතිපත්තිය
ඖෂධ වෙළෙඳපොළේ සංකීර්ණ ස්වභාවය ඖෂධ නිපදවන සමාගම්වලට රෝගීන් ගසාකෑමට ශක්තිමත් හා පහසු පදනමක් ලබාදී තිබුණේය. ඖෂධ වෙළෙඳපොළ සරල කිරීම මගින් ඖෂධ සමාගම්වලට රෝගීන් අයථා ලෙස ගසාකෑමට තිබෙන ඉඩ තදබල ලෙස සීමා කිරීම බිබිලේගේ අභිලාෂය විය. යහපත් සෞඛ්ය සේවාවක් පවත්වාගෙන යෑම සඳහා අවශ්ය කරන ඖෂධ මොනවාද යන්න ගැන ඔහු සොයා බැලීමක හා ගණන් බැලීමක යෙදුණේය. එකම ඖෂධය වෙළෙඳනාම විශාල ගණනකින් වෙළෙඳපොළේ තිබෙන්නේය. ඒවාහි මිල ගණන්ද විවිධය. ඖෂධ සමාගම් අතර තරගයේදී නිෂ්පාදනයන්ගේ ප්රවර්ධනය සඳහා වෛද්යවරුන්ට කප්පම් ගෙවා ඔවුන් පාවිච්චි කරන ක්රමවේදයක් වර්තමානයේ මෙන් එදාද ක්රියාත්මක විය. වෛද්යවරයකු ලෙස සේවය කරන අතර රහසේ ඖෂධ සමාගමක හෝ සමාගම් කිහිපයක ප්රවර්ධන සහායකයකු ලෙස ක්රියාකිරීම මගින් වෛද්ය වෘත්තියෙන් උපයාගන්නා ආදායම තරම්ම විශාල ආදායමක් උපයාගැනීමේ හැකියාව අද මෙන් එදාද වෛද්යවරුන්ට ලැබී තිබුණි. ඖෂධ මාෆියාව ලෙස හැඳින්වෙන්නේ එම ක්රියාදාමයමය. මේ තත්ත්වය උඩයට පෙරළා රෝගීන්ට සාධාරණ මිලකට ඖෂධ ලබාගත හැකි ශක්තිමත් වටාපිටාවක් ඇති කිරීම සේනක බිබිලේගේ සිහිනය විය. ඒ අරමුණ ජයගැනීම සඳහා යහපත් හා ප්රායෝගික වැඩපිළිවෙළක් ඔහුට තිබුණි. ඖෂධ නියාමනය සඳහා ආයතන ක්රමයක් ඇති කොට රටට අවශ්ය ඖෂධ ගෙන්වා බෙදාහැරීම රජයේ වගකීමක් බවට පත්කරමින් ඒවා විවිධ වෙළෙඳ නාමයන්ගෙන් වෙනුවට ඖෂධ නාමයන්ගෙන් පමණක් නිකුත් කිරීම ඔහු ඒ සඳහා යොදාගත් ක්රමවේදය විය.
සේනක බිබිලේ රටට සුදුසු ඖෂධ ප්රතිපත්තියක් සකස් කිරීම සඳහා 1970 බලයට පත් සමඟි පෙරමුණු ආණ්ඩුව ඇති කළ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස ක්රියා කළේය. එම කොමිසමේ අනෙක් සාමාජිකයා වූයේ දොස්තර එස්.ඒ. වික්රමසිංහය. එම කොමිෂන් සභාවේ නිර්දේශ අනුව ඖෂධ නියාමනය සඳහා ඇති කළ රාජ්ය ඖෂධ සංස්ථාවේ ප්රථම සභාපති ලෙස බිබිලේ ක්රියා කළේය. ඔහු එම ආයතනයේ සභාපති වශයෙන් ක්රියාවට නගන ලද වැඩසටහන ඖෂධ සමාගම්වල උදහසට හේතු වුවද ඉන් රෝගීන්ට සිදුවූ සේවය අතිවිශාලය. ඔහුගේ මෙම වැඩපිළිවෙළ නිසා වෛද්යවරුන් සහ සැලකිය යුතු පිරිසක් වෛද්යවරුන් රෝගීන්ට ඖෂධ නියම කරන ලද්දේ වෙළෙඳ නාමයන්ගෙන් නොව ඖෂධ නාමයෙනි. ඖෂධ ගෙන්වා බෙදාහැරීමේ ඒකාධිකාරී අයිතිය රාජ්ය ඖෂධ සංස්ථාව වෙත හිමිවී තිබුණි. රටේ තිබෙන ෆාමසි ඒවාට අවශ්ය ඖෂධ මිලදී ගත්තේ ඖෂධ සංස්ථාවෙනි. සංස්ථාව රටට අවශ්ය ඖෂධ ගණනාවක් රටේ නිපදවන ලද අතර ඒ වැඩසටහන පුළුල් කිරීමේ ප්රායෝගික ඉදිරි දර්ශනයක්ද සංස්ථාවට තිබුණේය. බිබිලේ ඖෂධ සංස්ථාවේ සභාපති ලෙස වැඩ කරන අතර තමන් හෙබවූ විශ්වවිද්යාල මහාචාර්ය තනතුරේද වැඩ කළේය. එහෙත් රාජ්ය ඖෂධ සංස්ථාවේ සභාපති වශයෙන් ඔහු කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබා නොගත්තේය. අඩුම වශයෙන් තනතුරට හිමි නිල වාහනයක්වත් පාවිච්චි නොකළේය.
බිබිලේගේ ඖෂධ ප්රතිපත්තිය ලෝක සෞඛ්ය සංවිධානයේ පිළිගැනීමට හේතුවී ලෝක සෞඛ්ය සංවිධානය 1997 අප්රේල්වලදී ඔහුගේ එම වැඩපිළිවෙළ වෙනත් රටවල ක්රියාත්මක කරවන අත්හදා බැලීමේ වැඩපිළිවෙළක් සඳහා ඔහු ජේයෂ්ඨ උපදේශක තනතුරකට පත් කළේය. ඔහු එය භාරගනිමින් මැලේසියාව, ඇෆ්ඝනිස්තානය හා නේපාලය යන රටවල් සඳහා ඖෂධ ප්රතිපත්තියක් සකස් කර දුන්නේය. ඒ වසරේ අගෝස්තුවලදී කැරබියන් දූපත් සඳහා ඖෂධ ප්රතිපත්තියක් සකස් කරදීම සඳහා සිය බිරිඳ සමග ඝානාවේ බාබර්ඩෝස්වලට ගියේය. එහිදී වෛද්යවරයෙකුගේ බිරිඳක් බිබිලේගේ බිරිඳට බිබිලේ පිළිබඳව අනතුරු ඇඟවීමක් කරන ලද බව කියනු ලැබේ. මෙහි සිටින ඖෂධ ජාවාරම්කරුවන් ඔබේ ස්වාමිපුරුෂයා මරා දමනු ඇති බැවින් වහා ආපසු යන ලෙස ඇය බිබිලේගේ බිරිඳට කියා තිබේ. ඇගේ එම අනාවැකිය සනාථ කරමින් මේ දෙදෙනා රාත්රී භෝජන සංග්රහයකට සහභාගිවෙමින් සිටියදී බිබිලේට හදිසි හෘදයාබාධයක් ඇතිවී රෝහල් ගතකරන ලැබ එහිදී නිසි ප්රතිකාර නොලැබීම නිසා මරණයට පත්විය. ඔහුගේ මරණයත් සමග බලයට පත්වන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඔවුන් කරළියට ගෙනා විවෘත ආර්ථික ප්රතිපත්තිය වෙනුවෙන් මෙහි ක්රියාත්මකවෙමින් තිබූ බිබිලේගේ ඖෂධ ප්රතිපත්තියද මරා දමනු ලැබීය.
බිබිලේ සිය ප්රාථමික හා ද්විතීයික අධ්යාපනය ලබාගෙන තිබුණේ මහනුවර ත්රිත්ව විද්යාලයෙනි. අධ්යාපනයේදී විශිෂ්ට කුසලතා පෙන්නුම් කරමින් වෛද්ය විද්යාලයට ඇතුළු වී 1946දී පළමු පන්තියේ ගෞරව උපාධියක් හිමිකර ගත්තේය. 1947දී ලංකා විශ්වවිද්යාලයට එකතු වී එඩින්බරෝ විශ්වවිද්යාලයෙන් 1952දී ආචාර්ය උපාධියක් ලබාගත්තේය. 1958දී ඖෂධවේදය පිළිබඳව ලංකාවේ පළමු මහාචාර්යවරයා බවට පත්විය. ඔහු ඌවේ වැදි නායක පරපුරකින් පැවත එන්නකු වූ අතර උග්ර සමසමාජකාරයෙකුද විය. බිබිලේ කන්නන්ගරගේ නිදහස් අධ්යාපන ක්රමයේ දීප්තිමත් ඵලයක් ලෙසද සැලකිය හැකිය.
කන්නන්ගරගේ සිහිනය
ශ්රී ලංකාව මෙතෙක් බිහිකර තිබෙන සියලු දේශපාලනඥයන් අතරින් මහජනයාට වැඩිම සේවයක් කළ ඒ නිසාම මහජනයාට පහසුවෙන් අමතක කළ නොහැකි මහජනයාගේ වඩාත්ම ගෞරවයට හේතුවී සිටින දේශපාලනඥයා ලෙස සැලකිය හැක්කේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරය. අධ්යාපන විෂයෙහි පරමාදර්ශී අර්ථයෙන් ශ්රී ලංකාව බිහිකර තිබෙන ලොකුම වීරයා වන්නේද ඔහුය.
මීට ටික කලකට ඉහතදී නිදහස් අධ්යාපන ක්රමයක් ඇති කිරීම පිළිබඳ මුල් අදහස කාගේද යන ප්රශ්නය මුල් කොටගෙන ඉංග්රීසි පුවත්පතක වාද ලිපි පෙළක් පළවිය. එක් පාර්ශ්වයක මතය වූයේ මුල් අදහස ඒ. රත්නායකගේ බවත් කන්නන්ගර ඒ අදහස ඒ. රත්නායකගෙන් ලබාගෙන ක්රියාවට නගන ලද අදහසක් බවත්ය. අනෙක් පාර්ශ්වය කියා තිබුණේ එය කන්නන්ගරගේම මතයක් වූ බවය. ඇන්.ඇම්. පෙරේරා තුළද ඒ ගැන වන විශේෂ අදහස් සමුදායක් තිබූ බව ඔහු ඒ ගැන ලියා තිබෙන දේවලින් පෙනීයයි. මුල් අදහස කාගේ වුවද ඒ අදහස විධිමත් සිහිනයක් බවට පත්කර ගනිමින් ඒ සිහිනය ප්රායෝගික කරනු ලැබූ තැනැත්තා කන්නන්ගරය. එය බලවත් සතුරු බලවේගයන්ගෙන් එල්ල වන බාධා කිරීම් මැද්දේ ඉදිරියට ගෙනගිය ව්යාපාරයක් ලෙස සැලකිය හැකිය. කන්නන්ගරගේ ඒ කිසිදු බලවේගයකට යට නොවී සිය අරමුණ සපුරා ගැනීම සඳහා පෙන්වා තිබෙන ධෛර්යය හා අධිෂ්ඨානය සුවිශාලය.
එකල පාසල් අධ්යාපනයෙහිලා කතෝලික සභාවට හා වෙනත් ක්රිස්තියානි සභාවන්ට තිබුණු බලය අතිවිශාලය. ඔවුන් පවත්වාගෙන ගිය අධ්යාපන ක්රමයේ සමහර සීමිතකම් තිබියදීත් පාසල් අධ්යාපනයේ ව්යාප්තියට ඔවුන් අතින්ද විශාල සේවාවක් සිදුවී තිබුණි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් අධ්යාපනය කෙරෙහි කතෝලික හා ක්රිස්තියානි සභාවන්ට තිබූ ආධිපත්යය වෙනස් වී අධ්යාපනය හා පාසල් ක්රමය රජයේ පාලනය හා මගපෙන්වීම අනුව සිදුවන දෙයක් බවට වෙනස්විය යුතුව තිබුණේය. එහෙත් එවැනි වෙනසක් ඇතිවනවා දකින්නට කතෝලික හෝ ක්රිස්තියානි සභා කැමති නොවීය. කන්නන්ගරගේ නිදහස් අධ්යාපන ක්රමයට එරෙහිව නැගී සිටින ප්රධාන බලවේගය බවට පත්වූයේ ඔවුන්ය. බ්රිතාන්ය පාලනයක් පැවති ඒ යුගයේ ක්රිස්තියානින් හා කතෝලික සභාවන්ට අතිවිශාල බලයක් තිබූ අතර කන්නන්ගරට නිදහස් අධ්යාපන ක්රමයක් වෙනුවෙන් සටන් වදින්නට සිදුවූයේ එම බලවත් බලවේගයන් සමගය. කතෝලික හා ක්රිස්තියානි සභාවන්ගෙන් එල්ල වූ බලපෑම් නිසා රාජ්ය මන්ත්රණ සභාවේ ඇමති මණ්ඩලයේ ප්රධානියා ලෙස ක්රියා කළ ඩී.ඇස්. සේනානායකද කන්නන්ගරගේ වැඩපිළිවෙළට අවහිර කරන පුද්ගලයකු බවට පත්ව සිටියේය. කන්නන්ගරගේ තිබෙන විශිෂ්ටභාවය ඒ කිසිවකුගේ බලපෑමට ඔහු යට නොවීය.
දෙවන ලෝක යුද්ධයේ ආශිර්වාදය
දෙවැනි ලෝක යුද්ධයක් ඇති නොවී නම් ලංකාවේ නිදහස් අධ්යාපන ක්රමයක්ද ඇති නොවන්නට ඉඩ තිබුණේයැ”යි කිව හැකිය. කන්නන්ගරට එක දිගට අවුරුදු 16ක් තරම් දීර්ඝ කාලයක් අධ්යාපන ඇමතිකමේ රැඳී සිටින්නට හැකිවූයේ දෙවැනි ලෝක යුද්ධය නිසාය. 1936 පත්වූ දෙවැනි රාජ්ය මන්ත්රණ සභාව 1941 විසුරුවා හැරිය යුතුව තිබුණද යුදමය තත්ත්වය නිසා පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයක් ඇති කොට 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විසුරුවන තෙක්ම 1936 රාජ්ය මන්ත්රණ සභාවට තේරී පත්වූවන්ට තමන් දරන තනතුරුවල රැඳී සිටීමේ හැකියාව ලැබුණි. එසේ නොවී මැතිවරණ පවත්වන තත්ත්වයක් පැවතියේ නම් කන්නන්ගර නැවත තේරී පත් නොවන්නට ඉඩ තිබුණු අතර තේරී පත්වූවද අධ්යාපන ඇමතිකමට තේරී පත් නොවන්නට ඉඩ තිබුණි. එසේ වී නම් නිදහස් අධ්යාපන ක්රමය බොඳවූ සිහිනයක් බවට පත්වන්නට ඉඩ තිබුණේය. නිදහස් අධ්යාපන පනත නීතිගත කරන තෙක්ම එක දිගට අවුරුදු 16ක් කන්නන්ගරට අධ්යාපන ඇමතිකමේ රැඳී සිටීමට හැකිවීම ඔහුගේ නිදහස් අධ්යාපන සිහිනය සැබෑ කරගැනීමට හැකිවීම කෙරෙහි බලපෑ ප්රබල හේතුවක් ලෙස සැලකිය හැකිය.
නිදහස් අධ්යාපන ක්රමයට එරෙහි වූ අය මුලදී නිදහස් අධ්යාපන පනත අවුල් කිරීමට උත්සාහ කළේය. එසේ කළ නොහැකි වූ කල එය නීතිගත වීම ප්රමාද කිරීමට උත්සාහ කළේය. එයද සාර්ථක නොවූ කල පනත නියම අර්ථයෙන් ක්රියාත්මක වීම වැළැක්වීමට උත්සාහ කළේය. කන්නන්ගර අධ්යාපන ඇමති ධුරයේ සිටින තෙක් නිදහස් අධ්යාපන ක්රමය අපේක්ෂා කළ තරමටම නොවූවත් විශාල ප්රමාණයකට ආරක්ෂා කරගැනීමට ඔහු සමත් විය. එහෙත් නිදහස ලැබීමෙන් පසු නිදහස් අධ්යාපන ක්රමයේ නිර්මාතෘවරයා පාර්ලිමේන්තුවට තේරී පත් නොවීම මගින් ඇතිවූ හිඩැස ප්රයෝජනයට ගෙන නිදහස් අධ්යාපන ක්රමය විකෘති කිරීමට හා බෙලහීන කිරීමට පසමිතුරු බලවේගයන් කිසියම් ප්රමාණයකට සමත්වීයැ”යි කිව හැකිය.
කන්නන්ගර නව පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ තත්ත්වයක් තුළ නිදහස් අධ්යාපන ක්රමය කන්නන්ගර අපේක්ෂා කළ ආකාරයටම ඉදිරියට ගෙනයෑමට අවශ්ය වී නම් අධ්යාපන ඇමතිකම භාරදිය යුතුව තිබුණේ ඒ. රත්නායකටය. නිදහස් අධ්යාපන ක්රමයට වැඩිම ලේ නෑකමක් තිබූ හා කන්නන්ගරගේ වැඩපිළිවෙළේදී කන්නන්ගර සමග කිට්ටුවෙන්ම වැඩ කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ඔහුය. තමන්ට ඇමතිකමක් දෙන්නේ නම් අධ්යාපන ඇමතිකම දෙන ලෙස රත්නායක අගමැති ඩී.එස්. සේනානායකගෙන් ඉල්ලා ඇතත් අගමැති ඒ වෙනුවට රත්නායකට වෙනත් ඇමතිකමක් දී නිදහස් අධ්යාපන ක්රමය බලවත් හැඟීමක් නැති පුද්ගලයකු අධ්යාපන ඇමතිකමට පත් කළේය. කේ.එම්.එච්. සුමතිපාල ඒ ඇමතිගේ කාලය විස්තර කොට ඇත්තේ ක්රියාත්මකවීමට නියමිතව තිබූ ප්රතිසංස්කරණ ක්රියාත්මක නොවූ අතීසරණයෙන් හා නිශ්චලතාවයෙන් යුතු කාලවකවානුවක් ලෙසය.
පාසල් අධ්යාපනය සඳහා මව් භාෂාව යොදාගැනීම හා ප්රාථමික, ද්විතීයික, තෘතීයික අධ්යාපනය නොමිලේ ලබාදීම ඔහු ඇති කළ නිදහස් අධ්යාපන ක්රමයේ වැදගත්ම ලක්ෂණ වීයැ”යි කිව හැකිය. ඔහු ඇති කළ ක්රමය තුළ රටේ සමාජ, ආර්ථික හා දේශපාලන ජීවිතයේ ඉතාම පහත් තත්ත්වයකට සිට උස්ස තත්ත්වයන්ට එකතුවීමේ හැකියාව සමාජයට ලැබුණි. නිදහස් අධ්යාපන ක්රමය නිසා අධ්යාපනයේ අතිවිශාල හා ශීඝ්ර ව්යාප්තියක් ඇතිවිය. 1931 රටේ ජනගහනය 5372548ක් වනවිට පාසල් යන ශිෂ්ය සංඛ්යාව 593179කි. සාක්ෂරතාව පිරිමි සඳහා 62%ක් ද ගැහැනු සඳහා 30.2%ක්ද වූ අතර ජාතික සාමාන්යය 40.9%කි. ඉන් අවුරුදු 79කට පසුව 2010 වසරේදී රටේ ජනගහනය 2065300ක් වනවිට පාසල් යන ශිෂ්ය සංඛ්යාව 4112000කි. සාක්ෂරතාව පිරිමි සඳහා 90%ක්ද, ගැහැනුන් සඳහා 92.8%ක්ද වනවිට සාක්ෂරතාවේ ජාතික සාමාන්යය 91.4% දක්වා ඉහළ නැග තිබේ. මේ සීමිත දත්ත කිහිපය ආශ්රයෙන් පමණක් වුවත් අධ්යාපනයේ ඇතිවී තිබෙන ශීඝ්ර ප්රසාරණය තේරුම් ගත හැකිය. මා හිතන අන්දමට නිදහස් අධ්යාපන ක්රමයේ ඇති සීමිතකම ඇත්තේද එතැනය. කන්නන්ගරගේ නිදහස් අධ්යාපන ක්රමය අධ්යාපනයේ ගුණයට අවශ්ය තරම් බර නොතබා ඕනෑවට වඩා ප්රමාණයට බර තබන අධ්යාපන ක්රමයක් බවට පත්වී ඇතැ”යි කිව හැකිය. ඒ නිසාම නිදහස් අධ්යාපන ක්රමයෙන් අපේක්ෂා කළ වැදගත්ම ඉලක්ක සපුරාගැනීමට අසමත්ව ඇතැ”යිද කිව හැකිය. එය කන්නන්ගරගේ සුන්දර සිහිනය තුළ දක්නට තිබෙන සීමිතකමක් ලෙස සැලකිය හැකිය.
1936 නිදහස් අධ්යාපන ක්රමයක් වෙනුවෙන් පත් කළ කොමිෂන් සභා වාර්තාවේ නිදහස් අධ්යාපන ක්රමයෙන් අපේක්ෂා කරන අරමුණු අතර වාර්ගික ජන කණ්ඩායම් තර තිබෙන භේද තුනී කොට එක්සත් ජාතියක් ඇතිකර ගැනීමට හේතුවන සමාජ වටාපිටාවක් ඇති කිරීම ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමය සාර්ථක කරගැනීමට අවශ්ය කරන දැනුමත් හා විචාරවත් ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කිරීම නිදහස් අධ්යාපනයේ අරමුණු අතර ප්රධාන අරමුණු දෙකක් ලෙස සඳහන් වේ. ඒ කෙරෙහි ඩොනමෝර් කොමිෂන් සභාව සිය වාර්තාවෙන් එම කාරණා දෙක කෙරෙහි දක්වා තිබූ දැඩි අවධානයද බලපාන්නට ඇතැ”යි සිතිය හැකිය.
එහෙත් නිදහස් අධ්යාපන ක්රමයක් ක්රියාත්මක වී අවුරුදු 66ක් තරම් දීර්ඝ කාලයක් ගෙවී ඇතත් අද දක්වා එක්සත් ජාතියක් ඇතිකර ගැනීමට හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇතිකර ගැනීමට අප සමත් වී නැත. එක්සත් ජාතියක් වෙනුවට රටේ ගොඩනැගී තිබෙන්නේ වර්ග භේදයෙන්, ආගම් භේදයෙන් හා කුල භේදයෙන් අපවිත්ර වූ එවැනි භේද නිසා ඇතිවන ගැටුම්වලින් ලේ තැවරුණු භේදබින්න වූ සමාජයකි. ප්රජාතන්ත්රවාදී අර්ථයෙන්ද රට තිබෙන්නේ සතුටුවිය හැකි තත්ත්වයක නොව ලැජ්ජා වියයුතු තත්ත්වයකය. මේ දක්වා අපේ රටේ හැම ආණ්ඩුක්රම ව්යවස්ථාවක්ම ඇති කරගෙන තිබෙන්නේ ශීලාචාර ආකාරයකට නොව අශීලාචාර ආකාරයකටය. සාක්ෂරතාව ඉතාම පහළ තත්ත්වයක තිබූ යුගයේ තිබූ පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයට වඩා සාක්ෂරතාව ඉහළම මට්ටමක පවතින වර්තමානයේ පවතින විධායක ජනාධිපති ආණ්ඩුක්රමය වඩා දියුණු ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමයක් ලෙස සැලකිය නොහැකිය. පාසල් අධ්යාපනයට යොමුවී සිටින ශිෂ්ය සංඛ්යාවේ හා සාක්ෂරතාවයේ දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් වී ඇතත් ජාතික සමඟිය හා ප්රජාතන්ත්රවාදය යන විෂයන්හී අප ඉන්නේ අගාධයකට ගිය තත්ත්වයකය. එහි තේරුම නිදහස් අධ්යාපනයේ ශීඝ්ර වර්ධනයක් ඇතිවී ඇතත් යහපත් පුරවැසියන්ගෙන් යුතු සමාජයක් ඇති කිරීමට නිදහස් අධ්යාපන ක්රමය සමත් වී නැති බවය.
කන්නන්ගර ඇති කළ නිදහස් අධ්යාපන ක්රමයට ආවේණිකව තිබූ තවත් ලොකු දුර්වලතාවක් ලෙස සැලකිය හැක්කේ අධ්යාපන ක්රමයේ ව්යාප්තියේදී දරන්නට සිදුවන මුළු අය බර නිදහස් අධ්යාපනයෙහි ප්රතිලාභ ලබන ජනතාවගෙන් ආපසු අයකර ගන්නා ක්රමයක් ඇති නොකොට රජය මත පමණක් ඒ මුළු බර පටවා තිබීමය. ඒ නිසා අධ්යාපනයේ ගුණාත්මක අගයේ වර්ධනය සඳහා කළ යුතු වියදම් නොසලකා හැර අධ්යාපනයේ ප්රමාණාත්මක අගය පවත්වාගෙන යෑම සඳහා පමණක් වියදම් දරන ක්රමයක් ස්ථාපිතවීමට හේතුවිය. ඒ තත්ත්වය අධ්යාපනයේ ගුණාත්මක අගය හීන කිරීමට බලපා තිබෙන වැදගත් හේතුවක් ලෙසද සැලකිය හැකිය. අධ්යාපනයේ මුළු බර රජය මත නොපටවා නිදහස් අධ්යාපනයෙන් සාර්ථක ප්රතිඵල ලබන්නන්ගෙන් ඔවුන්ට නොරිදෙන ලෙස එම වියදම කොටස් වශයෙන් ආපසු අය කරගන්නා ක්රමයක් ඇති කළේ වී නම් හා එසේ ලැබෙන අරමුදල් අධ්යාපන අරමුදලකට බැර කෙරෙන ක්රමයක් ඇති කළේ නම් නිදහස් අධ්යාපන ක්රමය රජයට ඔරොත්තු නොදෙන තරම් වැය බරක් බවට පත් නොවන්නට ඉඩ තිබුණි. තිබුණි. නිදහස් අධ්යාපන ක්රමයෙන් ඵල ලැබූවන්ගෙන් අවුරුදු 20ක් හෝ 25ක් වැනි කාලයක් තුළ වැයවූ මුදල කොටස් වශයෙන් ලබාගැනීම වරදක් ලෙස සැලකිය නොහැකිය. අද නිදහස් අධ්යාපන ක්රමය ඉදිරියට ගෙනයමින් තිබෙන්නේ අමාරුවෙන් ගැට ගසාගෙන යන ක්රමයක් ලෙසය – ඒ තත්ත්වය අධ්යාපනයේ ගුණාත්මක අගය හීනකිරීමට හේතුවී තිබේ.
නිදහස් අධ්යාපන ක්රමයේදී රජය වගකීම කුමක් විය යුතද, අධ්යාපනය ලබන්නන්ගේ දෙමාපිය වගකීම කුමක් විය යුතුද යන්න ගැන හරි නිර්වචනයක් නොතිබීමද හා දෙමාපිය වගකීමෙන් සැලකිය යුතු කොටසක්ද රජය වෙත බාරදීම කන්නන්ගරගේ නිදහස් අධ්යාපන චින්තනයට ආවේණික තවත් දුර්වල ලක්ෂණයක් වීයැ”යි කිව හැකිය. නිදහස් අධයාපනයේදී රජයේ වගකීම බවට පත්කළ යුත්තේ නොමිලේ ගුණාත්මක අධ්යාපනයක් ලබාදීම පමණය. පෙළපොත් ලබාදීම, නිල ඇඳුම් හා ආහාර ලබාදීම දෙමාපිය වගකීමක් විය යුතුය. එම අවශ්යතාවන් සම්පූර්ණ කරගත නොහැකි තරමට දුප්පත් අය වේ නම් ඔවුන්ට සහන ලබාදෙන ක්රම ඇති කිරීම වෙනම ප්රශ්නයකි. එහෙත් දැන් සිදුවී තිබෙන්නේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව දෙමාපියන් විසින් ඉටුකළ යුතු වගකීම්ද රජය කරපිට ගැනීම මගින් එම වගකීම් දෙකින් එකක්වත් හරිහැටි ඉටුනොකරන තත්ත්වයක් ඇතිවීමය.
ශ්රී ලංකාව සාක්ෂරතාවයේදී ඉහළම තත්ත්වයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබුණද නව නිපැයුම්වලදී ඉන්නේ පහළම තත්ත්වයකය. ලෝකය වේගයෙන් දැනුම් සමාජයක් කරා ගමන් කරමින් තිබෙන අතර ඒ තරගයේදීත් අපි ඉන්නේ සතුටුවිය හැකි තැනක නොව හඬා වැළපිය යුතු තැනකය. උසස් අධ්යාපනයේ විශාල ප්රසාරණයක් ඇතිවී ඇතත් අපගේ විශ්වවිද්යාල එකක්වත් ලෝකයේ හොඳම විශ්වවිද්යාල 1000 ලැයිස්තුවට ඇතුළත් නැත. දූෂණයෙන්ද විසමතාවන්ගෙන්ද තොර සියලුදෙනාට සමාන අවස්ථා ලබාදෙන අධ්යාපන ක්රමයක් ඇති කිරීම කන්නන්ගර චින්තනයේ වැදගත්ම අරමුණක් වී තිබුණද මේ වනවිට රටේ සමස්ත අධ්යාපන ක්රමයම තිබෙන්නේ පන්ති භේදය රජකරන, දූෂණයෙන් කුණුවූ තත්ත්වයකය. මෙම විසම තත්ත්වය ජයගත යුතුව තිබෙන්නේ කෙසේද? එම දුෂ්කර හා සංකීර්ණ ප්රශ්නයට නිසි පිළිතුරක් සොයා ගැනීම කන්නන්ගර වීරයාට දැක්විය හැකි හොඳම උපහාරය ලෙස සැලකිය හැකිය.