වර්ගවාදය හා නායකත්වයේ අර්බුදය

September 22, 2013
Publication:
Lee Kuan Yew was right, this piece argues, that Sri Lanka failed because its leaders could not manage racial passions. Bandaranaike knew Sinhala Only without provision for Tamil was unjust, yet tore up his pact with Chelvanayakam under pressure from militant monks; Dudley Senanayake lacked the courage to see his own pact through; J.R. Jayewardene legislated District Development Councils but could not bear to see the TULF win Jaffna. Mahinda Rajapaksa had the golden chance after the war and let it pass. The Northern Provincial Council election is a silver lining, if leaders on all sides stop inciting their people.

ලී ක්වාන් යූට අනුව ලංකාවේ නායකයන් වර්ගවාදී ආවේගයන් කළමනාකරණයේදී දක්වා තිබෙන අදක්ෂභාවය ලංකාවේ අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන හේතුව වේ. ලංකාව සම්බන්ධයෙන් සිංගප්පූරු නායකයා ඉදිරිපත් කර තිබෙන එම නිරීක්ෂණය මුළුමනින් නිවැරදිය.

අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වර්ගවාදී නායකයකු නොවීය. එහෙත් බලයට පත්වීමේ අරමුණ ජයගැනීම සඳහා ඔහු සිංහල වර්ගවාදී ආවේගයන්ට අනුගතවී ක්‍රියාකරන තැනකට තල්ලු විය. සිංහල පමණක් පනත ගෙන එන අවස්ථාවේදී පවා දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චියට විධි විධාන නැතිව හා සිංහල භාෂාව නොදන්නා අයට සිංහල භාෂාවට මාරුවීමට සාධාරණ කාලයක් නොදී සිංහල පමණක් ප්‍රතිපත්තියක් නීතිගත කිරීම ප්‍රායෝගික හා සාධාරණ නොවන බව ඔහු දැන සිටියේය. ඔහු ඒ විෂය ගැන කතා කරන්නට ඒ සඳහා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පළමු රැස්වීමට පැමිණියේද දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චිය සඳහා විධි විධාන ඇතුළත් සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියක් සඳහා වන කෙටුම්පතක්ද සකස් කරගෙනය.

එහෙත් ඒ මොහොතේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර පැවති සිංහලවාදී ආවේගයන් නිසා තමන් එහි ගෙනා කෙටුම්පත මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කරන්නට ඔහු බය විය. ඒ වෙනුවට කෙටුම්පතක් සකස් කිරීමට මන්ත්‍රි කමිටුවක් පත් කොට ඔහු ඇඟ බේරාගත්තේය. දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චියට ඉඩ නොදී හා සිංහල භාෂාවෙන් වැඩ කරන්නට නොදන්නා රාජ්‍ය සේවකයන්ට සිංහල භාෂාවට මාරුවීමට අවශ්‍ය ප්‍රමාණවත් කාලයක් නොදී ඇති කරන සිංහල භාෂා ප්‍රතිපත්තියක් ප්‍රායෝගික නොවන බව ඒ මොහොතේ ඔහු සිය මන්ත්‍රී කණ්ඩායමට පෙන්වාදීමට සමත් වී නම් හා ඒ සඳහා පෙනී සිටීමට අවශ්‍ය නිර්භීතකම ඔහු සතුවී නම් ලංකාවේ ගමන් මග මීට බොහෝ වෙනස් වන්නට ඉඩ තිබුණි.

දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චියට අවශ්‍ය විධිවිධාන ඇති නොකොට හා සිංහල භාෂාව නොදන්නා අයට සිංහල භාෂාවෙන් වැඩ කිරීමට අවශ්‍ය භාෂා දැනුම ඇතිකර ගැනීම සඳහා සාධාරණ කාල වේලාවක් නොදී සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත කරගැනීම සඳහා ක්‍රියාකිරීමෙන් රටේ පාලකයා වශයෙන් තමන් අතින් දෙමළ ජනතාවට බලවත් අසාධාරණයක් වීය කියන හැඟීම බණ්ඩාරනායකගේ සිත තුළ සැඟවී තිබුණි. ඔහු දුර්වල නායකයකු වුවත් ඒ අර්ථයෙන් ඔහුට හෘදය සාක්ෂියක් තිබුණු නායකයකු ලෙස සැලකිය හැකිය. ඔහුට චෙල්වනායගම් සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට අවශ්‍ය වූයේ ඒ නිසාය. එහෙත් චෙල්වනායගම් සමග ගිවිසුමක් ඇතිකර ගැනීමෙන් පසු ඊට පක්ෂපාත මහජන මතයක් ඇති කිරීම සඳහා ක්‍රියාකරමින් ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ආත්ම ශක්තිය ඔහුට නොතිබුණේය. සටන්කාමී භික්ෂූන්වහන්සේලාගෙන් එල්ල වූ බලපෑම් ඉදිරියේ ඔහු චෙල්වනායගම් සමග ඇති කරගත් ගිවිසුම ඉරා දැම්මේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ රට මහා ජාතිවාදී කෝලහාලයන්ට තල්ලු වී අවසානයේ බණ්ඩාරනායකද චීවරධාරියකු අතින් ඝාතනයට ලක්වීමය.

බණ්ඩාරනායක තුළ පැවති මෙම දුර්වල ලක්ෂණය නිදහසින් පසු ලංකාව බිහිකරන ලද හැම නායකයකු තුළම අඩු වැඩි වශයෙන් තිබුණේයැ”යි කිව හැකිය.

ඩඩ්ලි, බණ්ඩාරනායක තරමට වැනෙනසුලු නායකයකු නොවීය. දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චිය ප්‍රායෝගික කිරීම සඳහා වන විධි විධාන ඊට එරෙහිව එල්ල වූ බලවේගයන්ගේ විරෝධතා නොසලකා ඔහු නීතිගත කළේය. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම පළාත් සභා ක්‍රමයකට බර තබන ගිවිසුමක් වුවද ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම දිස්ත්‍රික් සභා ක්‍රමයකට බර තබන ගිවිසුමක් විය. එය දෙමළ ජනයාට පුංචි හෝ නාමික වශයෙන් පමණක් බලය ලබාදෙන ක්‍රමයක් විය. එහෙත් ඒ වැඩසටහන තර්කානුකූල අවසානයක් දක්වා ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය කරන තරමේ නිර්භීතභාවයක් ඩඩ්ලිට නොතිබුණේය. ඒ නිර්භීතභාවය ඔහුට තිබුණේ නම් එහිදීද ලංකාවේ අනාගතය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි.

1977දී දෙමළ නායකයන් පෙනී සිටියේ වෙනම රාජ්‍යයක් වෙනුවෙනි. එසේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි දෙමළ නායකයන් 1980දී සටන්කාමී දෙමළ තරුණ පරපුරේ විරෝධය නොසලකා දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයක් පිළිගත්තේය. දිස්ත්‍රික් සංවර්ධන සභා පනත ඇතිකර ගන්නා ලද්දේ දෙමළ නායකයන්ගේ පූර්ණ අනුමැතිය හා පූර්ණ එකඟතාව ඇතිවය. අවසානයේ සටන්කාමී දෙමළ පරපුරෙන් එල්ල වී තිබූ බලවත් විරෝධතා නොසලකා යාපනේ දිස්ත්‍රික්ක සංවර්ධන සභා මැතිවරණයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ තරග කළේය. යාපනේ දිස්ත්‍රික්ක සංවර්ධන සභා මැතිවරණය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට දිනාගන්නට ඉඩ හැර දිස්ත්‍රික්ක සංවර්ධන සභා වැඩසටහන ඉදිරියට ගෙන යන්නට ජේ.ආර්. ජයවර්ධන සමත් වී නම් ඉන් පසු ඇතිවූ මහා විනාශය ඇති නොවන්නට ඉඩ තිබුණි.

එහිදී ආණ්ඩුව තුළින් හා පිටතින් එල්ල වූ සිංහල වර්ගවාදී අන්තවාදී බලවේගයන්ගෙන් එල්ල වූ විරෝධය නොසලකා දිස්ත්‍රික්ක සංවර්ධන සභා පනත නීතිගත කිරීමට අවශ්‍ය ආත්ම ශක්තිය ජේ.ආර්. ජයවර්ධනට තිබුණේය. පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබියදීත් පුංචි දිස්ත්‍රික් සංවර්ධන සභාවක බලය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට හිමිකර ගන්නවා දැකීමට අවශ්‍ය ඉවසීම ඔහුට නොතිබුණේය.

ඊළඟට මෙම අවුල විසඳාගැනීමේ ස්වර්ණමය අවස්ථාව හිමිවූ නායකයා ලෙස සැලකිය හැක්කේ ජනාධිපති මහින්ද රජපක්ෂය. ඔහු යුද්ධය ජයගැනීමෙන් පසු අන්තවාදී බලවේගයන්ට යට නොවී දෙමළ ජනයාට ද්‍රව්‍යමය දේවල් ලබාදෙනවාට අතිරේකව ඔවුන්ට අහිමි වී තිබුණු ගෞරවය ලබාදෙමින් මජර ගලන තරමට කුණුවී තිබුණු දේශපාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට සමත් වී නම් එතැන් සිට වන ලංකාවේ ඉතිහාසය මුළුමනින් වෙනස් වන්නට ඉඩ තිබුණි. යුද්ධය ජයගැනීමෙන් පසු දෙමළ ඩයස්පෝරාව ආවේගයෙන් ක්‍රියාකරමින් සිටියද දෙමළ නායකත්වයේ තැන ගෙන සිටි සාම්ප්‍රදායික නායකයන් නම්‍යශීලීව ක්‍රියාකරන තැනකට පැමිණ තිබුණි. ඔවුන්ට ප්‍රභාකරන් ගැනත් එල්ටීටීඊය ගැනත් ප්‍රබල විවේචනයක් තිබුණි. යුද්ධයෙන් පසු දෙමළ සන්ධානයේ වාර්ෂික සංවත්සරයකදී දශක ගණනාවකට පසු පළමුවරට ජාතික ගීය ගැයීම මගින් අපි ආණ්ඩුව සමග අවබෝධයෙන් ක්‍රියාකරන්නට සූදානම්ය කියන සංඥාව ආණ්ඩුවට දුන්නේය. එහෙත් ආණ්ඩුව එම සංඥාව භාරගත්තේ නැත. ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කරන ප්‍රතිපත්තියක් සිංහල අන්තවාදී බලවේගයන්ගේ විරෝධයට හේතුවනු ඇතැ”යි කියා ආණ්ඩුවේ නායකයා බියවූවා විය හැකිය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ සාම්ප්‍රදායික දෙමළ නායකයන් තමන් සිටි මධ්‍යස්ථ ස්ථාවරයෙන් වෙන්වී කිසියම් ප්‍රමාණයක අන්තවාදී ස්ථාවරයකට තල්ලුවීමය.

එහෙත් එය වෙනස් කළ නොහැකි ගල් ගැසුණු තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. වෙනම රාජ්‍යයක් සඳහා ජනවරමක් ඉල්ලා සිටීමෙන් පසුද නැවත දෙමළ නායකයන් දිස්ත්‍රික්ක සංවර්ධන සභා ක්‍රමයකට එකඟ විය. ඒ එකඟත්වය ඉදිරියට ගෙනයෑමට අසමත් වූයේ අපේ නායකයන්ය. දැන් ඔංචිල්ලාව පැද්දෙමින් තිබෙන්නේද ඊට සමාන ආකාරයකටය.

නායකයකු විය හැක්කේ විශාල ජනතාවක් අවනත කරගත හැකි පුද්ගලයකුට පමණය. ජනතාව අවනත කරගැනීම සඳහා යොදාගත හැකි ක්‍රමවේදද විවිධය. මහජනයා බියගැන්වීමෙන්ද අවනත කරගත හැකිය. රැවටීමෙන්ද අවනත කරගත හැකිය. එහෙත් ශ්‍රේෂ්ඨ නායකයන් මහජනයා අවනත කරගනු ලබන්නේ ඔවුන්ට ඇත්ත කියාදීමෙනි. ශ්‍රේෂ්ඨ නායකයන්ට ආවේණික තවත් වැදගත්ම ලක්ෂණයක් වනුයේ ආත්මාර්ථකාමය ඉක්මවා ගිය මහා පරාර්ථකාමයක් ඔවුන් කෙරෙහි විෂදවීමය. මහ ජනයා භේද කරන පටු ආකල්ප ඇති නායකයෝ ශ්‍රේෂ්ඨ නායකයෝ නොවෙති. මහත්මා ගාන්ධි අන්තවාදී බලවේගයන්ගෙන් එල්ල වන පීඩනයට යට නොවී තමන් දකින ඇත්ත වෙනුවෙන් මරණය තෙක්ම ඉදිරියට ගමන් කළේය. ඔහු හින්දු ආගමිකයකුවීත් මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. මැන්ඩෙලාගේ ආස්ථානයද පක්ෂයේ බලවත් පිරිසකගේ සැකයට හේතුවී තිබුණි. එහෙත් මැන්ඩෙලා සිය ගමන් මග වෙනස් කළේ නැත. අන්තවාදී බලවේගයන්ට යටවී සිය ගමන් මග වෙනස් කළේ නම් දකුණු අප්‍රිකාවේ කළු මිනිසුන්ගේ අනාගතය මහා ඛේදවාචකයක් වන්නට ඉඩ තිබුණි. රටේ අවාසනාවට අපට නිදහසින් පසු හැමදාමක් නොසිටියේද එවැනි ආත්මාර්ථයෙන් තොරව වර්ග ආගම් හා කුල භේදයන්ගෙන් තොර ස්ථිසාර නායකයන්ය.

වාදභේද තිබියදීත් මොන මොන හේතු නිසා හෝ ආණ්ඩුව උතුරේ පළාත් සභා ඡන්දය පවත්වන තැනකට ගියේය. එසේම දෙමළ නායකයන්ද කොතරම් මතභේද තිබුණද එම මැතිවරණය වර්ජනය කරන තැනකට නොගොස් තරග කරන තැනකට ආවේය. ඒවා ඇඳුරු වලා මැද තිබෙන පුංචි රිදී රේඛා ලෙස සැලකිය හැකිය. දෙපැත්තේම නායකයන් වර්ගවාදීව ක්‍රියාකිරීමෙන් වැළකිය යුතුය. ඇතිවූ මහා විනාශයට මුල සියලු නායකයන් (සිංහල, දෙමළ හා මුස්ලිම්) තම ජනයා වර්ගවාදී ලෙස උසිගැන්වීමය. පළාත් සභා මැතිවරණයෙන් පසුව හෝ මේ ආරාවුල් විසඳා ගැනීම සඳහා රටේ පවතින දූෂිත සමාජ දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානයට ලක් කිරීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට සියලු නායකයන් සමත් වෙතොත් එය රටේ වාසනාවක් කොට සැලකිය හැකිය.