වේළුපිල්ලේ ප්‍රභාකරන් හා රනිල් වික්‍රමසිංහ

December 11, 2005
Publication:
The LTTE is turning from talks back to war, and it is still unexplained why it wanted Ranil Wickremesinghe defeated. Wickremesinghe trusted the TNA and the Tamils to back him without conditions; Ivan concludes that a Prabhakaran who was half-way to good has been pushed somewhere worse, and Wickremesinghe can no longer claim to be the leader who won Tamil trust.

දැන් නැවත කොටි සංවිධානය සාම කතා මගින් ප්‍රශ්න විසඳ ගැනීමේ මාවත අතහැර යුද්ධයේ මාවතට මාරුවෙමින් සිටින බව පෙනේ. මෙම වෙනස කෙරෙහි බලපා තිබෙන හේතු මොනවාදැයි තේරුම් ගැනීම වැදගත්ය.

ප්‍රභාකරන්ගේ කොටි සංවිධානයට ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට අවශ්‍ය වූයේ ඇයිද යන ප්‍රශ්නයට තවමත් පිළිගත හැකි පිළිතුරක් ලැබී නැත. රනිල් වික්‍රමසිංහගේ සාම කතා වැඩපිළිවෙළ තුළ කොටි සංවිධානය කොටු කරන යටි උගුල් තිබුණු බව කොටි සංවිධානය ප්‍රකාශ කර ඇතත්, සාම කතා වැඩපිළිවෙළෙහි යටි උගුල් ද තිබෙන බව පෙනි පෙනිත් කොටි සංවිධානය රනිල් වික්‍රමසිංහ කෙරෙහි විවේචනාත්මක ගෞරවයකින් ක්‍රියා කළේය යන්න බොරු කළ නොහැකිය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට බහුතර බලයක් තිබුණු පාර්ලිමේන්තුව හිතුවක්කාරි ලෙස විසුරුවා හරින අවස්ථාව වන විට සාම කතා බිඳ වැටී තිබුණ ද කොටි සංවිධානය ඒ ගැන කීවේ සාම වැඩපිළිවෙළ විනාශ කිරීමේ අරමුණින් ජනාධිපතිනිය එසේ කරන ලද බවය. කොටි සංවිධානයට රනිල් වික්‍රමසිංහ මහතාගේ සාම වැඩපිළිවෙළ පිළිබඳව අවිශ්වාසයක් හා විවේචනයක් තිබුණත්, එසේ තිබියදිත් කොටි සංවිධානය රනිල් වික්‍රමසිංහගේ සාම වැඩපිළිවෙළ මුළුමනින් නිෂේධ කොට හෙළා දකින පිළිවෙතක් අනුගමනය කළේ නැත.

සාමකතා ආරම්භ කර තිබුණු අවස්ථාවක තමන්ට සහභාගිවීමට අවස්ථාවක් නොලැබෙන ලෙස නිව්යොර්ක්වල ආධාර සමුළුවක් පැවැත්වීම ගැන කොටි සංවිධානයට රනිල් වික්‍රමසිංහ ගැන විවේචනයක් තිබුණේය. සාම වැඩපිළිවෙළ තුළ ඇමරිකාව රගපාමින් තිබුණු භූමිකාව ගැන ද විවේචනයක් තිබුණි. සාම කතා දිග්ගැස්සෙමින් ඉදිරියට ගිය ද තමන්ගේ ප්‍රදේශවල ජනතාවට යුද්ධය නිසා මුහුණ දෙන්නට සිදුවී තිබූ ගැටලු වලට කිසිම ඵලදායී විසඳුමක් ලබාදිමට නොහැකිවීම ගැන ද ඔවුන්ට රනිල් වික්‍රමසිංහ ගැන විවේචනයක් තිබුණි. එහෙත් ඒ සියලු විවේචන මැදත් ඔවුන්ට රනිල් වික්‍රමසිංහ කෙරෙහි ගෞරවයක් තිබුණි. ඒ බව ඔවුහු දිගින් දිගට ප්‍රකාශ කළහ.

එවැනි තත්ත්වයකින් ක්‍රියා කළ එල්ටීටීඊ සංවිධානයට හදිස්සියේම තවත් එක් පැයකදි රනිල් මිනිසුන් අතර සිටින වඩාත්ම භයානක මිනිසා ලෙස පෙනුණේ ඇයි? කුමන මිලක් ගෙවා හෝ ඔහු බලයට පත්වීම වැළකිය යුතුයි යන ස්ථාවරයට එන්නට සිදුවූයේ ඇයි?

රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව කොටි සංවිධානය තුළ දැඩි සතුරු ආකල්පයක් වී නම් ඒ බව ජනාධිපතිවරණය තෙක් ම කොටි සංවිධානය අඩුම වශයෙන් දෙමළ ජනතාවටවත් දැනුම් දී නොතිබුණේ ඇයි? කොටි සංවිධානයේ මරණ තර්ජන නොසලකා සමහර දෙමළ ඡන්දදායකයින් ඡන්දය පාවිච්චි කරන තැනකට ගියේ ද රනිල් වික්‍රමසිංහ පිළිබඳව ඔවුන්ට එවැනි ගැටලුවක් නොතිබීම නිසාය.

එයින් පෙනෙන්නේ කොටි සංවිධානයට රනිල් වික්‍රමසිංහ පිළිබඳව විවේචනයක් තිබුණ ද, ජනාධිපතිවරණය තෙක්ම වෛර සහගත ආකල්පයක් නොතිබුණ බවත්, වෛර සහගත ආකල්පයක් ඇති කරගැනීමට හේතුවන කිසිවක් ජනාධිපතිවරණ කාලයේදි සිදුවී තිබෙන බවත්ය.

දෙමළ සන්ධානය ද, දෙමළ ජනතාව ද මෙම ජනාධිපතිවරණයේදි තමන්ට ආධාර කරනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කළේය. එහෙත් කොන්දේසි වලින් තොරව හිස් චෙක්පතක් අත්සන් කර දිමේ අවශ්‍යතාවක් කොටි සංවිධානයට නොවීය. ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා තමන් සමග අදහස් හුවමාරු කරගන්නා තැනකට එනු ඇතැයි කොටි සංවිධානය බලාපොරොත්තු වුවත්, එවැන්නක් සිදු නොවීය. අවසානයේදි කොටි සංවිධානය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන්නට උත්සාහ කර තිබේ. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව තම සංවිධානය හා දමිළ ජනතාව සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ප්‍රතිපත්ති පිළිබඳව එකගතා ගිවිසුමක් ඇති කරගැනීමට ඔවුහු උත්සාහ කළහ. මහින්ද රාජපක්ෂ මහතා ජවිපෙ හා හෙළ උරුමය වැනි පක්ෂ සමග එකගතා ගිවිසුමක් ඇති කරගත් ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා ද තම ව්‍යාපාරය සමග එකගතා ගිවිසුමක් ඇති කරගත යුතු බව ඔවුන්ගේ විශ්වාසය විය.

එහෙත් ඒ මොහොතේ කොටි සංවිධානය සමග එකගතා ගිවිසුමක් ඇති කරගන්නා තැනකට ගොස් එය රටට හෙළිදරව් වුවහොත් එය තමන් කෙරෙහි විනාශකාරි ප්‍රතිඵල ඇති කිරීමට හේතුවනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කරන්නට ඇති නිසා හා එවැනි එකගතා ගිවිසුමකින් තොරව වුවද තමන්ට ජයගත හැකි යැයි විශ්වාස කළ නිසා එවැනි ගිවිසුමක් ඇති කරගැනීමට රනිල් වික්‍රමසිංහ කැමති වූයේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙන් ප්‍රකාශ වූ එම ප්‍රතිපත්ති රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි පැවති සැක තීව්‍ර කොට ඔහු කෙරෙහි පැවති විශ්වාසය මුලුමනින් පළුදු කිරීමට හේතුවී යැයි කිව හැකිය.

අන්තර් පාලනයක් වැනි අවම ඉල්ලීමක් සඳහාවත් රනිල් වික්‍රමසිංහ මහතා අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට සූදානම් නැති නම්, අප ඔහුට ආධාර කළ යුත්තේ ඇයිද යන තැනකට ඔවුන් තල්ලු වී යැයි පැහැදිලිව පෙනෙන්නට තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදි සිංහල ජනතාව සතුටු කිරීම සඳහා යොදාගෙන තිබුණු සමහර සටන් පාඨ ද ඔවුන්ගේ සැකයට හේතුවී තිබුණා විය යුතුය. බෙදුම්වාදය පරාජය කිරීම රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට ගෙනා ප්‍රධාන සටන් පාඨ තුනෙන් එකක් විය. රනිල් වික්‍රමසිංහ මහතා ඒ සටන් පාඨයෙන් සිංහල ජනතාවට කියන්නට උත්සාහ කළේ තමා එල්ටීටීඊය සමග කිසිම සැක කටයුතු සම්බන්ධයක් නැති බවත්, එල්ටීටීඊය බෙදුම්වාදි පිළිවෙතක පිහිටා ක්‍රියා කරයි නම් තමන් ඊට එරෙහිව සටන් කරන බවත්ය. ඒ පණිවුඩය එල්ටීටීඊය තේරුම් ගන්නට ඇත්තේ ඊට වඩා වෙනස් ආකාරයකටය. අවසානයේ ඔවුන් රනිල් වික්‍රමසිංහ තේරුම් ගත්තේ අප සමග ඇති කරගන්නා එකගතාවකින් තොරව බලයට පත්වී ජාත්‍යන්තර ප්‍රජාවගේ ද සහාය ඇතිව අවශ්‍ය වෙතොත් තමන් මර්දනය කරන්න මාන බලන දේශපාලන මාරයකු ලෙසය. අවසානයේ ඔහු කෙරෙහි එතෙක් පැවති විවේචනාත්මක හිතවාදි ආකල්පය සතුරු ආකල්පයක් බවට පත්වී කුමන මිලක් ගෙවා හෝ ඔහු බලයට පත්වීම වැළැක්විය යුතුයි යන ප්‍රතිපත්තියකට ඔවුන් තල්ලු වූ බව පෙනේ.

එල්ටීටීඊය දෙමළ ජනයා නියෝජනය කරන එකම නියෝජිතයා නොවිය හැකි වුවත්, කුමන හේතුවක් නිසා හෝ උතුර නැගෙනහිර දෙමළ ජනයා අතර විශාලතම බලයක් ඇති සංවිධානය වන්නේ එල්ටීටීඊයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ සන්ධානය ද එල්ටීටීඊයේම අතුරු ලිහිල් සංවිධානයක් ලෙස සැලකිය හැකිය. එවැනි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරණයේදි දෙමළ ජනයාගේ සහය දිනාගැනීම සඳහා එල්ටීටීඊ සහාය අත්‍යවශ්‍ය කොන්දේසියක් බව තේරුම් ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා අසමත් වී නම් ඔහු තියුණු දේශපාලනඥයකු ලෙස සැලකිය නොහැකිය. සිංහල ජනතාවගේ සැකයට හේතු නොවන ලෙස හා එල්ටීටීඊ සිරකරුවකු නොවී එල්ටීටීඊ සහාය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා අසමත්වීමෙන් රනිල් වික්‍රමසිංහ මහතාට තමන්ට ජයග්‍රාහී විය හැකිව තිබුණු ජනාධිපතිවරණයක් පරාජය වූවා පමණක් නොව, ඒ නිසා තමන් විසින්ම සාම කතා මාවතට කැන්දා ගෙන ආ ප්‍රභාකරන් යුද මාවතකට තල්ලු කිරීමක් ද සිදුවූයේය.

එම විශේෂ තත්ත්වය යටතේ මෙම ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා ජයගත්ත ද එල්ටීටීඊය යුද්ධ කරන තැනකට මිස සාමකාමී ලෙස ප්‍රශ්න විසඳා ගන්නා තැනකට යොමුවනු ඇතැයි සිතිය නොහැකිය. එල්ටීටීඊ තහනම නොතකා රනිල් වික්‍රමසිංහ මහතා ජයගැනීමට සමත් වී නම් සමහර විට අද පවතින තත්ත්වයටත් වඩා වියරු සහගත ආකාරයකින් සටන් කරන තැනකට එල්ටීටීඊය තල්ලු වන්නට ඉඩ තිබුණේය.

එල්ටීටීඊය සුහදව ප්‍රශ්න සාකච්ඡා කරන තැනකට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුවත්, ඒ ක්‍රියාවලිය තර්කානුකූල අවසානයකට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් නොවීය. ශක්තිමත් ආරම්භයක් සඳහා මිස ශක්තිමත් අවසානයක් දක්වා වන සාම ක්‍රියාවලියක් සඳහා වන දැක්මත් රනිල් වික්‍රමසිංහ මහතාට ද නොතිබුණු බව ඉන් පෙනී යයි.

අවසානයේ දැන් සිදුවී තිබෙන්නේ බාගෙට හොඳ වෙමින් සිටි ප්‍රභාකරන් වඩා නරක තැනකට තල්ලුවීමය. ඒ තත්ත්වය තුළ දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගත් නායකයා ලෙස තවදුරටත් පෙනී සිටීමේ හැකියාව ද රනිල් වික්‍රමසිංහ මහතාට අහිමි වනු ඇත්තේය.