රණ බෙර වැයීමෙන් විය හැක්කේ විනාශයකි

December 18, 2005
Publication:
As a newspaper, Ravaya has always stood for peace, not war. Both Chandrika Kumaratunga's and Ranil Wickremesinghe's peace efforts failed, but the editorial warns that a new war would be more destructive than any before, whoever won, and that only the public can change the picture.

පුවත්පතක් වශයෙන් අප හැමදාමත් පෙනී සිටියේ යුද්ධය වෙනුවෙන් නොව, සාමය වෙනුවෙනි. ජනවාර්ගික අර්බුදය ශ්‍රී ලංකාවේ ගමන් මග අධිනිශ්චය කරන සාධකය වේය යන්න ජනහිතකාමී පුවත්පතක් වශයෙන් අප දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ දරන ලද මතය විය. යුද්ධය එහි ප්‍රතිඵලයක් වන අතර, එය රටේ දේශපාලන ක්‍රමයේ පවත්නා ගරා වැටීම වේගවත් කිරීමට හේතුවී තිබේ. ජනවාර්ගික අර්බුදය රටේ තිබෙන එකම ප්‍රශ්නය නො වූවත්, තිබෙන ප්‍රශ්න අතර ප්‍රධාන ප්‍රශ්නය බවට පත්ව තිබෙන්නේ එයයි. එයට විසර්මක් ඇති කරගන්නා තෙක් වේගවත් ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය කරන ව්‍යුහමය ප්‍රතිසංස්කරණයක් ඇති කරගැනීමේ හැකියාවක් නො පවතී. උතුරේ පවතින කැරලිකාරිත්වය ද ජනවාර්ගික අර්බුදය විසඳුමකින් තොර ව කුණුවන්නට ඉඩ හැරිමේ ඵලයකි. එය යුද්ධය වශයෙන් නො ව, දේශපාලන වශයෙන් විසඳ ගත යුතු අර්බුදයක් වේ ය යන්න අප දරන මතය යි.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සාම ප්‍රවේශය සේම වඩා ආකර්ෂණීය ආකාරයකින් ක්‍රියාවට නගන ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ සාම ප්‍රවේශය ද විවිධ හේතු නිසා අසාර්ථක අත්දැකීමක් ලෙස ඉතිහාසයට එකතුවෙමින් පවතී. එම අසාර්ථකභාවයට සිංහල පාර්ශ්වයේ නායකයින් සේ ම කැරලිකාරි දෙමළ පාර්ශ්වයේ නායකයින් ද හරි හරියට වගකිව යුතු ය. ඒ සියල්ල විසින් දැන් ඇති කර තිබෙන ප්‍රතිඵලය වී ඇත්තේ සිංහල, දෙමළ දෙපාර්ශ්වය ම නැවත යුද්ධ කරන තැනකට තල්ලු වීම ය.

දැන් අපි නැවත සංකල්පීය වශයෙන් පැමිණ තිබෙන්නේ අසාර්ථක තිම්පු සාකච්ඡා පැවති තැනට ය. එච්.ඩබ්. ජයවර්ධන මහතාගේ ඒකීය සංකල්පය සිංහල සමාජය තුළ නැවත රජකරමින් තිබෙන විට නැවත වෙනම රාජ්‍යයක් සඳහා වන සංකල්පය ද කැරලිකාර දෙමළ ව්‍යාපාරය තුළ රජකරමින් තිබෙන බව පෙනේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජවිපෙ හා හෙළ උරුමය සමග ඇති කරගත් එකගතාවන්ට පටහැනිව නෝර්වේ රාජ්‍යයේ අතරමැදි කාර්යභාරය පිළිගෙන ඇතත්, දෙපක්ෂය ම සාම සාකච්ඡා ගැන කතා කරන්නේ වඩා විශාල යුද්ධයක් සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමේ අරමුණින් බව ද පැහැදිලිව පෙනෙන්නට තිබේ.

නැවත යුද්ධයක් ඇති වුවහොත් එහි අවසාන ජය පරාජය කුමන පක්ෂයකට හිමි වුව ද, ඒ නිසා රටට ඇතිවිය හැකි විනාශය මෙතෙක් ඇතිවූ විනාශයන්ට වඩා විශාල විය හැකි බව අප අමතක නො කළ යුතු ය. ප්‍රභාකරන් යුද්ධයෙන් විනාශ කළ ද ඔහුගේ විනාශය රටේ පවතින ජනවාර්ගික අර්බුදයට විසඳුමක් වන්නේ නැත.

මේ අර්බුදය විසඳීමේ වැඩි වගකීමක් ඇත්තේ ප්‍රභාකරන්ට නො ව, සිංහල නායකයන්ට ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලෙස තවමත් ජාත්‍යන්තර ප්‍රජාව පිළිගන්නේ ප්‍රභාකරන් තුවක්කුවෙන් ගොඩ නගා ගෙන තිබෙන රාජ්‍ය නො ව, ඉන් පිටස්තර ඡන්දයෙන් ගොඩනැගී තිබෙන රාජ්‍යය යි. එම රාජ්‍යයේ පවත්නා අවුල් විසඳ ගැනීමේ වගකීම ඇත්තේ ද එම රාජ්‍යයට ය. මෙම ආරවුල යුදමය තත්ත්වයක් දක්වා වර්ධනය වීමට වඩාත් ම වගකිව යුත්තේ ද එම රාජ්‍යයයි.

දැන් නැවත පෙර සිටි තැනට ඒම පහසු නැත. එහෙත් යුදමය මාවත තෝරා ගන්නවා වෙනුවට තෝරාගත යුතු ව තිබෙන්නේ සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳ ගැනීමේ මාවත යි. එහෙත් දෙපාර්ශ්වය ම ගමන් ගනිමින් තිබෙන්නේ එම මාවතේ නොව, ඊට ප්‍රතිපක්ෂ යුද්ධයෙන් ගනුදෙනු බේරා ගන්නා මාවතේ ය.

අවශ්‍ය නම් මේ චිත්‍රයේ මූලික වෙනසක් ඇති කිරීමේ හැකියාව තිබෙන්නේ රජයට නො ව මහජනයාට ය. නැවත යුද්ධයක් ඇති වුවහොත් වඩාත් ම බැට කන්නට සිදුවනු ඇත්තේ ද සාමාන්‍ය මහජනයාට ය. අවලස්සන දේශයක් බවට පත්ව තිබෙන මේ රට නැවත ලස්සන රටක් බවට පත්කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත්තේ ද ජනවාර්ගික ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීමට අවශ්‍ය හික්මීම හා ප්‍රඥාව ඇති කරගැනීමට සමාජය සමත් වේ නම් පමණ ය.