පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබූ ජයග්රහණයෙන් පසුව අගමැති චන්ද්රිකා කුමාරතුංග මහත්මිය විසින් තමන්ගේ සමීප ආධාරකරුවන්ට අරලියගහ මන්දිරයේ විශේෂ රාත්රී භෝජන සංග්රහයක් පවත්වන ලදි. ඊට සහභාගී වන ලෙස මට ද ඇරියුම් කර තිබුණ ද සංග්රහය පවත්වන ලද්දේ මා සාමාන්යයෙන් ගෙදර යන සති අන්ත දිනක බැවින් මා ඊට සහභාගි වූයේ නැත.
අලුතෙන් පත් කරන ලද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගි වූ මෙම සංග්රහයේදි ආධාරකරුවන් එළිමහනේ කා බී ප්රීති වන විට ඒ පිරිසට මුසු නොවුණු මන්දිරය තුළ වෙනම එකතු වී කා බී ප්රීති වූ සුපිරි ගණයෙහිලා සැලකිය හැකි කුඩා කණ්ඩායමක් සිටියේලු. ඒ බව මට කියන ලද්දේ චන්ද්රිකා කුමාරතුංග මහත්මියට සමීප පුද්ගලයෙකි. එළිමහනේ කා බී ප්රීති වන සිය සමීප ආධාරකරුවන් අතරට නව අගමැතිනිය ගොස් ඇත්තේ මන්දිරය තුළ ජයපැන් බොමින් සිටින එම සුපිරි කුඩා කණ්ඩායම සමග කල්ගත කිරිමෙන් පසුවය.
මන්දිරය තුළ ජයපැන් බිව් එම කුඩා කණ්ඩායමට අයත් වී ඇත්තේ චන්ද්රිකාගේ පෞද්ගලික හිතවතුන්ය. තාරාද මැල්, රොනී පීරිස්, රාජන් බ්රිටෝ, රාජන් ආශිර්වාදන්, පද්මා මහාරාජා, උදය නානායක්කාර, චන්දන ඩි සිල්වා, කුසුම්සිරි බාලපටබැඳි යනාදිහුය. අගමැතිනිය ඔවුන් සමග කරන ලද සාමීචීයේදි හැගීම්බර ස්වරූපයකින් කියා ඇත්තේ අප කිසිවකු මෙවැනි තත්ත්වයක් අපේක්ෂා නොකළ බවත්, දැන් සියලු දෙනාට ප්රීතිමත් අනාගතයකට දොරටු විවෘත වී තිබෙන බවත්ය.
චන්ද්රිකා පාලනයේ අභ්යන්තර කවය සකස් වී තිබුණේ එදා ඉහළ මාලයේ එකතු වූ ඒ කිහිප දෙනාගෙනි. (රාජ්ය නායිකාවගේ පෙම්වතා වීම හේතු කොටගෙන සනත් ගුණතිලකට ද කලක් ඒ කවයට එකතු වී සිටීමට හැකිවූ අතර, ජනාධිපතිවරණයෙන් පසුව ඇය හැරි ජයවර්ධන ද ඊට එකතු කරගත්තාය.)
බාහිර වශයෙන් බලන කල චන්ද්රිකා පාලන යුගය තුළ රට පාලනය කළේ මෙම රාත්රී සංග්රහයේදි එළිමහනේ කා බී ප්රීති වූ අය වුවත්, ඇත්තටම රට පාලනය කළේ ඔවුන් නොව එදින මේ පිරිසට මුහුණ නොදි මන්දිරය අභ්යන්තරයේ ජයපැන් බිව් කිහිප දෙනාය. කල්තියා ලබාගන්නා අවසරයකින් තොරව ජනාධිපතිනියගේ නිදන කාමරය දක්වාම ගමන් කිරීමේ අයිතිය තිබූ පුද්ගල පිරිස වූයේ ද ඔවුන්ය. ඔවුන් සමහරෙක් චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ජීවිත ආරක්ෂාව සඳහා යුරෝපයට පලා ගොස් සිටි සමයේ ඇයව රැක බලා ගත්තෝය. ඒ වෙනුවෙන් ඇය තමන්ගේ පාලන කාලය තුළ පෙරළා ඔවුන් රැක බලා ගත්තාය. අවසාන විග්රහයේදි ඒ යුගය තුළ ඔවුහු රටේ සාරය පමණක් නොව රටේ රීරි මාංශය ද උරා බීවෝය.
එහෙත් චන්ද්රිකා කුමාරතුංග මහත්මිය මහජන ධනය කොල්ලකෑවේ තඹ සතයක්වත් සොරකම් නොකළ, සොරකම් නොකරන ඉතාමත් පිරිසිදු නායිකාවක් ලෙස පෙනී සිටිමිනි. බණ්ඩාරනායකවරුන් මොන වැරදි කළත්, සොරුන් නොවේය කියන මතයක් ද රටේ පවතී. එහෙත් එය සැබෑවන්නේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සම්බන්ධයෙන් පමණය. පාලනයට සම්බන්ධ අන් සියලු දෙනාගේ අත් අඩු වැඩි වශයෙන් අපිරිසිදුය.
බණ්ඩාරනායක පවුල තමන්ට මැතිවරණවලදි ලැබෙන අතිරික්ත මුදල් පොලී කරන්නට දුන්නේ ශාලිමාර් මුදලාලිටය. ශාලිමාර් මුදලාලි ඔවුන්ට සුදුසු පොළියක් ද ගෙව්වේය. ශාලිමාර් මුදලාලි බණ්ඩාරනායක පවුලේ සමීප හිතවතකු වූ නිසා බණ්ඩාරනායක පවුලේ සාමාජිකයන් ආධාර ඉල්ලා සිටින අවස්ථාවලදි මුදලින් ආධාර කරන ප්රතිපත්තියක් ද අනුගමනය කළේය. චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ නියම ස්වභාවය හඳුනා ගැනීමට ආධාර වන අපූරු කතාවක් ශාලිමාර් මුදලාලිගේ දේශපාලන හිතවතුන් අතර ප්රචලිතය.
චන්ද්රිකා කුමාරතුංග මහත්මිය වරක් ශාලිමාර් මුදලාලි තමන් වෙත කැඳවා දේශපාලන කටයුත්තක් සඳහා තමන්ට ලක්ෂ තුනක තරම් මුදල් ප්රමාණයක් අවශ්ය වී ඇති බව කියා එය පරිත්යාගයක් ලෙස තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. මුදලාලි ඇයට එම මුදල දුන්නේය. තවත් මාස කිහිපයකට පසුව නැවත ඇය ඔහු කැඳවා තමන් ළග මුදල් ටිකක් ඉතිරි වී තිබෙන බව කියා එය පොළී කර දෙන ලෙස ඉල්ලා සිටියාය. ලැබුණු මුදල් රැගෙන ගොස් ලක්ෂ තුනේ මුදල් මිටි බැඳ තිබුණු නූල දුටු විට එය තමාගෙන්ම පරිත්යාගයක් වශයෙන් ලබා ගත් ලක්ෂ තුන බව ඔහු වටහා ගත්තේය. ඔහු සිය මිතුරකුට කියා ඇත්තේ ඇය තමාගෙන් පරිත්යාගයක් වශයෙන් ලබාගන්නා මුදල් ආපසු තමාට දී පොළී කරගන්නා වර්ගයේ ගැහැනියක් බවය.
94 මැතිවරණ සමය ආරම්භ වී තිබෙන අවස්ථාවක දිනක් සවස් කාලයක චන්ද්රිකා කුමාරතුංග මහත්මිය මා ඇයගේ නිවසට කැඳවූවාය. මා එසේ කැඳවා තිබුණේ ඇය පිළිබඳව නිපදවා තිබෙන කෙටි වාර්තාමය චිත්රපටියක් මට පෙන්වීම සඳහාය. සුදු නෙළුම එම වාර්තා චිත්රපටියට යොදා තිබුණු නම විය. චිත්රපටය නිපදවා තිබුණේ සනත් ගුණතිලකගේ මිතුරෙකි. චිත්රපටයේ විස්තර කථනය සනත්ගේය.
මෙම චිත්රපටිය ප්රදර්ශනය කරන අවස්ථාවේදි සනත් ගුණතිලක ද, සතී විජේපුර හා නවීන් ගුණරත්න ද එහි සිටියහ. එය චන්ද්රිකා කුමාරතුංග මහත්මිය මුරුංගා අත්තේ තබන ආකාරයට නිපදවන ලද චිත්රපටියකි. සුදු නෙළුමෙන් සංකේතවත් වූයේ චන්ද්රිකාය.
මෙම චිත්රපටියට සුදු නෙළුම යන නම තැබීමෙන් අදහස් කරන්නේ කුමක්දැයි මම චන්ද්රිකා කුමාරතුංග මහත්මියගෙන් අසා සිටියෙමි. තමා සුදු නෙළුමක් මෙන් පිරිසිදු බව ඉන් අදහස් වන බව ඇය ඊට දෙන ලද ක්ෂණික පිළිතුර විය. ජන නායකයකුගේ පිරිසිදු බව ගැන සහතික දිය යුත්තේ ජනතාව මිස එම ජන නායකයා නොවේ යැයි මා කී විට “තමා පිරිසිදු නම් ඒ බව කීමේ අයිතිය තමාට තිබෙන බවත් ශ්රී ලංකාව නමැති දේශපාලන මඩ ගොඩේ පිපුණු එකම සුදු නෙළුම් මල තමා වේ යැයි කියන්නට තමාට අයිතියක් නැද්දැයි” ඇය පෙරළා ප්රශ්න කර සිටියාය.
ඒ ගැන වාද කරන තැනකට යාමේ අවශ්යතාවක් මට නොතිබුණ ද ඇගේ අවංකභාවය ගැන බලවත් සැකයක් ඇති කිරීමට ඒ ප්රකාශය හේතුවිය.
ඉන් පසුද ඇය බොහෝ අවස්ථාවලදි තමන්ගේ පිරිසිදුකම ප්රසිද්ධියේ කතා කළාය. තමන් තඹ සතයක්වත් සොරකම් කර නැති බවට ප්රසිද්ධ රැස්වීමකදි කරන ලද ප්රකාශයක් ගැන මීට කලකට පෙර කෙටි විවරණයක් ලියන්නට මට සිදුවූ අතර, ජනාධිපතිවරුන් සාමාන්යයෙන් රුපියල් කෝටි ගණනින් මිස තඹ සතවලින් සොරකම් නොකරන බව මම එම විවරණයෙන් කියා සිටියෙමි. මට පෙනෙන අන්දමට මහජන ධනය කූට ලෙස කරන වංචාවලදි ද ඇයට හිමි තැන අසමසමය. ඇගේ පාලන යුගය තුළ ඉතාමත් පිරිසිදු සුරදූතිකාවක් ලෙස පෙනී සිටිමින් රටේ සිදුවූ හැම විශාල ගනුදෙනුවකටම ඇය සම්බන්ධ වූවාය. ඇය උපරිම ලෙස ධනය උපයා ගන්නා අතර, සිය අභ්යන්තර කවයේ සගයින්ට ද උපරිම ලෙස ධනය උපයා ගන්නට ඉඩ දුන්නාය. ඇය සවුත්යෝක් (Southyork) වල ඇති ඇන්ඩෘ කුමරුගේ මාලිගාවක් පවුම් මිලියන 10කට මිලදි ගෙන ඇත යන කතාව පුදුමයට හේතු වන්නේ නැත.
අනුරුද්ධ රත්වත්ත මහතාගේ සල්ලි සේප්පුව මෙන් ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ සල්ලි සේප්පුව ද දැක බලා ගැනීමට ලැබෙන්නට තිබුණු දුලබ අවස්ථාවක් රනිල් වික්රමසිංහ මහතාගෙන් පළවූ කරුණාව නිසා ජනතාවට අහිමි විය. අගමැති රනිල් වික්රමසිංහ මහතා අගමැති ලෙස පාලන බලයේ සිටියදි බැංකුවල ඇති ආරක්ෂිත සේප්පුවල මහා පරිමාණයෙන් මුදල් ඇති දේශපාලන වැදගත්කමක් ඇති පුද්ගලයන්ගේ තොරතුරු අගමැති අතට පත් කරන වැඩපිළිවෙළක් ක්රියාත්මක වෙමින් තිබුණි.
රනිල් වික්රමසිංහ මහතාට තොරතුරු දුන් මේ පුද්ගලයා මට මුණගැසී නැත. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඔහු දුරකතනයෙන් මට ද කතා කර තිබුණි. ඔහු රනිල් වික්රමසිංහ මහතාට තොරතුරු ලබා දුන්නේ කවර පුද්ගලයෙකු මගින් යන්න ද මම දැන සිටියෙමි. මෙම වැඩපිළිවෙළ නිසා තමන්ට වරදක් විය හැකිය යන බියක් ඔහු තුළ තිබුණි. ඔහු කතා කරන්නට ඇත්තේ මා සාක්ෂිකාරයෙකු වශයෙන් තබා ගැනීම සුදුසු යැයි කල්පනා කළ නිසා විය හැකිය. ඔහු මට කීවේ දේශපාලන වැදගත්කමක් ඇති පුද්ගලයන් 12 දෙනෙකුගේ මුදල් සේප්පු පිළිබඳ විස්තර තමා දන්නා බවය. ඒවා ඔවුන් සතු මුළු ධනය නොවනවා විය හැකි වුවත්, ශ්රී ලංකාවේ පරිහරණය සඳහා තබාගෙන ඇති “පොකට් මනි” පමණක් විය හැකි වුවත්, ඒවාහි විශාලත්වය අනුව ඔවුන් අයථා ලෙස රැස්කර ඇති ධනස්කන්ධයේ ප්රමාණය ගැන අවබෝධයක් ඇති කරගත හැකි බව කීවේය. වරකට එක පුද්ගලයා බැගින් වන ලෙස මේ දොළොස් දෙනාගේ ආරක්ෂිත සේප්පු පිළිබඳ විස්තර තමන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතට පත් කරන බවත්, එම තොරතුරු ලබාදිමෙන් තමා කිසිවක් පෙරළා අපේක්ෂා නොකරන බවත්, තමා මේ සියල්ල කරන්නේ රටේ යහපත සඳහා පමණක් බවත් ඔහු කියා සිටියේය. මේ තොරතුරු අග්රාමාත්යවරයා අතට පත් කරන්න යන්නේ කවර පුද්ගලයෙකු මගින් ද යන්න ද ඔහු මට හෙළිදරව් කළේය. තමන් දෙන තොරතුරුවලදි සේප්පුවල තිබෙන මුදල් ප්රමාණයන් ගැන ද ඔහු අනාවරණය කළේය.
ඔහු පළමු තොරතුර ලබාදුන්නේ හිටපු ආරක්ෂක නිලධාරියෙකු පිළිබඳවය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම ස්ථානයට කඩා පනින ලද අතර, ඔහු ලබා දුන් තොරතුරු ඉතාමත් නිවැරදි බව සනාථ විය.
දෙවැනි තොරතුර ලබා දෙන ලද්දේ හිටපු ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්ත මහතාට අදාළවය.
තුන්වැනි තොරතුර ලබා දෙන ලද්දේ ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මියට අදාළවය. ආරක්ෂිත සේප්පුව තිබුණේ හැටන් නැෂනල් බැංකුවේ සුදුවැල්ල ශාඛාවේය. සේප්පුව තිබුණේ ජනාධිපතිනියගේ නමට නොව වෙනත් කාන්තාවකගේ නමටය. සේප්පුවට කඩා පැන්න විට එහි තිබුණු විශාල මුදල් ප්රමාණයේ අයිතිකරුවා කව්ද යන්න හෙළිදරව් කිරීමට එම කාන්තාවට සිදුවනු ඇති බව තොරතුරු ලබාදෙන්නාගේ මතය විය. සේප්පුවේ තිබුණු මුදල් ප්රමාණය කොතරම්ද යන්න ද ඔහු දැන සිටියේය. ඒ ප්රමාණය විශාල වුවත් එහි ගණන කොතරම් ද යන්න දැන් මට මතක නැත.
එම තොරතුරු තුන්වැන්නා මගින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතට පත් කිරිමෙන් පසුව ඔහු මා අමතා දුරකතනයෙන් කතා කළේය. මීට පෙර දෙන ලද තොරතුරු දෙකේදිම රනිල් වික්රමසිංහ මහතා ඔවුන් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කළත් මෙම ආරක්ෂිත සේප්පුවේ සැබෑ අයිතිකරුවා චන්ද්රිකා වන නිසා ඔහු වෙනස් ප්රතිපත්තියක් අනුගමනය කරනු ඇත්දැයි මගෙන් අසා සිටියේය. මට ඒ ගැන ඍජු ලෙස දිය හැකි පිළිතුරක් නොවීය. දේශපාලකයකු වූ අනුරුද්ධගේ සේප්පුවට කඩා පනින ප්රතිපත්තියක් සුදුසු නම්, චන්ද්රිකා සම්බන්ධයෙන් පමණක් ඊට වෙනස් ප්රතිපත්තියක් අනුගමනය කරන්නේ කෙසේදැයි මා ප්රශ්න කළවිට මෙය තමාගේ ජීවිතයට අදාළ ප්රශ්නයක් වන බව කියා මේ ප්රශ්නයට මැදිහත් වෙන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය. මා මෙම සිද්ධියේදි පැත්තකට වී බලා සිටින නිරික්ෂකයකු පමණක් වන නිසා මේ ක්රියාදාමයට අනවශ්ය ලෙස අත පොවන්නට මා කැමති නැති බව කියා සිටි විට තමා මේ සියල්ල කළේ රට වෙනුවෙන් බව කියා තමා වැනි අය ආරක්ෂා කිරීම මා වැනි අයගේ යුතුකමක් බව ප්රකාශ කරමින් මා ඒ ගැන රනිල් වික්රමසිංහ මහතාට කතා කළ යුතු බව කියා සිටියේය.
මේ කතාවෙන් මා ඇති කරගත් නිරික්ෂණය වූයේ මේ පුද්ගලයා ජනාධිපති චන්ද්රිකාගේ සේප්පුව පිළිබඳව තොරතුරු ලබාදි ඇතත්, වෙනත් අය සම්බන්ධයෙන් මෙන් අගමැතිවරයා ඒ ගැන වහාම ක්රියාත්මක නොවීම නිසා ඇති කරගත් බියකින් හා සැකයකින් යුතුව ඔහු මා අමතා ඇති බවය.
මට එම තොරතුරු ලබා දුන් පුද්ගලයා ගැන ඇතිවූයේ කණගාටුවකි. ඔහු මෙම තොරතුරු ලබාදිමෙන් අයථා ලෙස වස්තුව රැස් කර ඇති දේශපාලකයන් නීතිය ඉදිරියට පමුණුවාලීමට අපේක්ෂා කළා විය යුතුය. එවැනි අය තනි නොකළ යුතුයැයි කල්පනා කළ මම ඒ වන විට වේලාව රාත්රී 10ත් පසුවී තිබුණු බැවින් මා ඔහු වෙනුවෙන් පසු දින අගමැති රනිල් වික්රමසිංහ මහතාට කතා කරන බවට පොරොන්දු වූයෙමි. මා ලවා ඔහුට රනිල් වික්රමසිංහ මහතාට කතා කරවීමට අවශ්යවන්නට ඇත්තේ ජනාධිපති චන්ද්රිකාගේ සේප්පුවට අත නොගැසීමට රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබුණේ නම් මා ද එම කතාව දන්නා බව දැනුම් දිමෙන් ඒ අදහස ඔහු වෙනස් කරගනු ඇතැයි යන විශ්වාසයකින් විය හැකිය.
පසුදින උදේ 7.30ට පමණ මම අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ දුරකතන අංකයට කතා කළෙමි. දුරකතනයට සවන් දුන් පුද්ගලයාම මගේ නම හා දුරකතන අංකය ලබාගෙන අගමැතිවරයා මට කතා කරනු ඇති බව කියා සිටියේය.
පැය භාගයක් යන්නට පෙරාතුව රනිල් වික්රමසිංහ මහතා මට කතා කළේය. අනුරුද්ධ රත්වත්ත මහතාගේ සේප්පුව පිළිබඳව තොරතුරු ලබා දුන් පුද්ගලයාට ජනාධිපති චන්ද්රිකාගේ සේප්පුව පිළිබඳව විස්තර ලබාදි තිබෙනවා නේදැයි අසමින් අනුරුද්ධ රත්වත්ත මහතාගේ සේප්පුව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්රතිපත්තියම ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දැයි මම ප්රශ්න කළෙමි. ප්රශ්නයට පිළිතුරක් ලැබෙනවා වෙනුවට සිදුවූයේ දුරකතන පණිවුඩය විසන්ධි වීමය.
එදා රනිල් වික්රමසිංහ මහතා අනුරුද්ධ රත්වත්ත මහතා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්රතිපත්තියට සමාන ප්රතිපත්තියක් ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් අනුගමනය කළේ වී නම් සමහරවිට චන්ද්රිකා කුමාරතුංග මහත්මියට පදවිය අහිමිවන්නට තිබුණේ අද නොව එදාය. ඒ නිසා සිදුවු එකම දේ රටේ සාරය උරා තරවූ ජන නායිකාවකට තවත් අවුරුදු කිහිපයක් රටේ රජකම් කිරීමට ඉඩ ලැබීමත්, අයථා ලෙස ධනය රැස් කරගෙන සිටි තවත් වැදගත් පුද්ගල චරිත නවයකගේ තොරතුරු රටට අහිමිවීමත්ය.