සාමය නොසලකා යුද්ධයට අත වැනීම

November 27, 2005
Publication:
The country has a new President, but the search for a peaceful settlement has stalled. Rajapaksa's win was a win of the Sinhala majority in which minorities had no share; by electing forces that would not grant the Tamils even the tsunami mechanism, the south has signalled that it will not settle the conflict by sharing power.

ජනාධිපතිවරණයෙන් නව ජනාධිපතිවරයෙකු රටට ලැබී ඇතත්, ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා ගැනීමේ ක්‍රියාවලියේ හිරවීමක් ඇති වී තිබෙන බව පැහැදිලිව පෙනේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය බහුතර සිංහල ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවත්, සුළු ජාතීන් එම ජයග්‍රහණයේ කොටස්කරුවන් වී සිටින බවක් පෙනෙන්නට නැත. එම තත්ත්වය වාර්ගික අර්බුදය උග්‍ර කිරීමට හේතු විය හැකි ය.

මහින්ද රාජපක්ෂ මහතාට ජවිපෙ හා ජාතික හෙළ උරුමයෙන් එල්ල වූ බලපෑම් නිසා වාර්ගික අර්බුදය ඒකීය රාජ්‍යයක රාමුවක් තුළ විසඳගත් යුතුය යන ස්ථාවරයට තල්ලුවීමට සිදුවිය. ඒකීය රාජ්‍ය රාමුවක් තුළ බලය විමධ්‍යගතකරණයකට මිස, බලය බෙදාහැරිමකට ඉඩක් නැත. මෙතෙක් ප්‍රධාන පක්ෂ දෙක ම පිළිගත් පොදු ප්‍රතිපත්තිය වී තිබුණේ බලය බෙදා හැරෙන වැඩපිළිවෙළක් මගින් මෙම පුපුරන සුළු ප්‍රශ්නය විසඳගතයුතු බව ය. ඒ සඳහා යොදාගත යුතු වන ලෙස සැලකුණේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයකි. එවැනි විසඳුමක් භාර ගැනීමට එල්ටීටීඊය පමණක් නො ව, සියලු සුළු ජාතීහු ද කැමති වී සිටියහ.

එහෙත් අප දැන් පැමිණ සිටින්නේ පරණ තැනට ය. ඒකීය රාජ්‍ය රාමුවක් තුළ ප්‍රශ්නය විසඳගත යුතුය යන තැනකට ය. එක් රාජ්‍ය භාෂාවක් රටවල් දෙකක් ඇති කරනු ඇති බවත්, රාජ්‍ය භාෂා දෙකක් එක් රටක් ඇති කරනු ඇති බවත් සිංහල භාෂා විවාදයේදි කොල්වින් ආර්. ද සිල්වා මහතා කීවේ ය. දැන් උද්ගත වී තිබෙන තත්ත්වය ද බොහෝ දුරට ඊට සමාන ය. කොල්වින්ගේ පුරෝකථනය මෙම විෂයයට අදාළ කර ගත් විට ඒකීය රාජ්‍යයක් රටවල් දෙකක් ඇති කරනු ඇති බවත්, ෆෙඩරල් රාජ්‍යයක් එක් රටක් ඇති කරනු ඇති බවත් කිව හැකි ය.

ප්‍රභාකරන් වීර දිනයේදි කුමක් කියන්නට යන්නේ දැයි අපි නො දනිමු. එහෙත් ඔහුගේ වෙනම රාජ්‍යයක් පිළිබඳ තර්කය යුක්තිසහගත කිරීමට අවශ්‍ය ශක්තිමත් වටාපිටාවක් පවතී.

දෙමළ ජනතාවට සුනාමි සහන මණ්ඩලය තරම් පොඩි දෙයක්වත් දෙන්නට අකමැති වූ දේශපාලන බලවේගයක් බලයට පත් කිරිමෙන් දකුණේ සිංහල ජනතාව බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළක් මගින් වාර්ගික ප්‍රශ්නය විසඳ ගැනීමට තිබෙන අකමැත්ත ප්‍රදර්ශනය කර ඇති බවට ඔහු තර්ක කරනු ඇතැයි සිතිය හැකි ය. සිංහල ජනයාගේ අභිලාෂය එය නම් සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීම සඳහා ඔවුන් සමග සාකච්ඡා කිරීමේ ඇති තේරුම කුමක්දැයි ඔහු ප්‍රශ්න කරනු ඇත.

අවසානයේ දී මෙම පරස්පර විරෝධී බලවේග දෙක ගමන් කරමින් තිබෙන්නේ නැවත යුද්ධ කරන දිසාවකට බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

නැවත එකිනෙකාට එරෙහිව යුද්ධ කරන තත්ත්වයක් ඇති වුවහොත් අවසාන ජයග්‍රහණය කාට ගිය ද රටේ අතිවිශාල විනාශයක් ඇතිවනු නො වැළැක්විය හැකි ය.

සාමයේ ඇති වැදගත්කම හා වටිනාකම මෙතරම් ම ඉක්මනින් රටට අමතක වූයේ කෙසේ ද? යුද්ධය පැවති යුගයේ දී මර බිය හා අවිනිශ්චිතතාව රටේ හැම තැනක ම රජ කළේ ය. මායිම් ගම්මානවල අහිංසක මිනිසුන් රාත්‍රී කාලය ගත කළේ සිය නිවෙස්වල නො ව කැලෑවල ය.

දැන් නැවත රටට යන්නට අවශ්‍ය වී තිබෙන්නේ එතැනට ය. මොකක් නැතත් අපට රටක් තිබිය යුතුයැයි කීවේ ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශ මහතා ය. එහෙත් සාමකාමී රටක් වෙනුවට මිනී පිට්ටනියක් අපට අවශ්‍ය නැත.