රනිල් වික්රමසිංහ මහතා පරාජයට පත්ව තිබෙන බව දැනගැනීමෙන් පසු 18 වැනිදා හිමිදිරි උදයේ දුරකතනයෙන් මා අමතා කතා කළ මිත්රයෙක් පරාජිත රනිල් වික්රමසිංහ මහතා පිළිබඳව ඉතාමත් හැගීම්බර ප්රකාශයක් කළේය. ඔහු කීවේ “නවීකාරක නායකයෙක් රටට අහිමි වූ” බවය.
ඔහු විසින් කරන ලද එම හැගීම්බර ප්රකාශය රනිල් වික්රමසිංහ මහතා පිළිබඳව 2005 වසරේදි ඔහුගේ මුහුණටම මට කියන්නට සිදුවූ ප්රකාශයක් මගේ මතකයට නැංවීමට හේතු විය.
අගවිනිසුරුවරයා පිළිබඳ ප්රශ්නය එජාප මන්ත්රී කණ්ඩායම තුළ උණුසුම් සාකච්ඡාවට ලක්වෙමින් අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා ඉක්මන් ස්ථිර තීන්දුවක් නොගැනීම ගැන සමහර මන්ත්රීවරුන්ගේ අප්රසාදය රනිල් වික්රමසිංහ මහතා වෙත එල්ලවෙමින් තිබුණු අවස්ථාවක දොස්තර රාජිත සේනාරත්න මහතා දුරකතනයෙන් මා අමතා මගේ සමීප මිත්රයෙකුගේ නම සඳහන් කොට සිය නායකයාට ඔහු හමුවීමට අවශ්ය වී තිබෙන බවත්, එදින සවස 4ට කොළඹ නගරාධිපතිවරයාගේ නිවසට ඔහු සමග එන ලෙසත් මට දැනුම් දුන්නේය. මාගේ පැමිණීම අවශ්ය නොවන බව පවසා මිත්රයාට ඒ බව දුරකතනයෙන් දැනුම් දෙන ලෙසත්, එවිට ඔහු රනිල් වික්රමසිංහ මහතා හමුවීමට පැමිණෙනු ඇති බවත් කියා සිටියෙමි. එවිට “ලීඩර්ගේ වුවමනාව මාගේ මිත්රයා හමුවනවාට වඩා මා හමුවීම බවත් කුමන හේතුවක් නිසා හෝ ඔහු ඒ අරමුණ මිත්රයා මුවාවක් කොට ගනිමින් ඉටු කරගැනීමට උත්සාහ කරන බවත්, දෝෂාභියෝගය පිළිබඳව තීන්දුවක් ගැනීමට එම හමුව ප්රයෝජනවත් වනු ඇති නිසා මිත්රයා සමග එහි එන ලෙසත් රාජිත සේනාරත්න මහතා මගෙන් ඉල්ලා සිටියේය.
ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුට හෝ අගවිනිසුරුට අදාළ ආරවුලක් විසඳ ගැනීමට තිබෙන ප්රධානම ආයතනය පාර්ලිමේන්තුවයි. ආරවුලේ ස්වභාවය අනුව එය විසඳීමේ බලයක් ශ්රේෂ්ඨාධිකරණයට තිබුණ ද, එය ශ්රේෂ්ඨාධිකරණයේ ප්රධානියකුට අදාළ ආරාවුලක් වීම නිසා සාධාරණ විසඳුමක් ලබාදිමට ශ්රේෂ්ඨාධිකරණය අසමත් විය. අවසානයේ මේ ආරවුල නිරාකරණය කරගන්නට ඉතිරි වී තිබුණු එකම තැන පාර්ලිමේන්තුව විය.
අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට පමණය. පෙරමුණු ආණ්ඩුව අතහැර විරුද්ධ පක්ෂයට එකතු වී සිටි වාසුදේව නානායක්කාර මහතා ඒ සඳහා පෙරමුණේම සිටියේය. රාජිත සේනාරත්න, රවි කරුණානායක, විජමු ලොකු බණ්ඩාර, ගාමිණී අතුකෝරල, කරු ජයසූරිය වැනි එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ද ඒ වෙනුවෙන් හඬ නගන තත්ත්වයක සිටියහ. ජවිපෙ ද එම දෝෂාභියෝගයට සහාය දිමට කැමැත්ත පළකර තිබුණේය. එහෙත් එජාප නායකයා මේ විෂය සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබුණු කල්මරන ප්රතිපත්තිය ඒ කොයි කාගේත් විවේචනයට හේතු වී තිබුණි.
නගරාධිපති නිල නිවසේ මෙම සාකච්ඡාව පැවතියේ 2001 අප්රේල්වලදිය. ඊට මාගේ මිත්රයා ද දොස්තර රාජිත සේනාරත්න මහතා ද රනිල් වික්රමසිංහ මහතා ද සහභාගි වූහ.
රනිල් වික්රමසිංහ මහතා පාසල් දරුවකුට කතා කරන මුල් ගුරුවරයෙකු මෙන් අගවිනිසුරුවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට තිබෙන අමාරුකම ගැන මාගේ මිත්රයාට පහදා දෙන්නට උත්සාහ කළේය. මගේ මිත්රයා ද ගැඹුරක් තිබුණු වැඩිහිටියෙක් විය. මා, ඔවුන් කරන සාකච්ඡාවට ඇහුම්කන් දිගෙන සිටියා මිස, ඊට සම්බන්ධ වූයේ නැත. කතාව සිදුවෙමින් පැවති ආකාරය හා රනිල් වික්රමසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තිබුණු ආකාරය මාගේ සතුටට හේතු නොවීය. මා තුළ ගොඩනැගෙමින් තිබුණු අප්රසන්නතාව කෝපයක් බවට හැරෙමින් තිබුණි. මා තවදුරටත් මෙම තේරුමක් නැති සාකච්ඡාවේ කොටස්කරුවකු ලෙස ක්රියාකළ යුතු නැතැයි කල්පනා කළ මම, එම ස්ථානයෙන් පිටවී යාම සඳහා අසුනෙන් නැගී සිටිමින්, සාකච්ඡාව තවදුරටත් කරගෙන යන ලෙස මාගේ මිත්රයාගෙන් ඉල්ලා සිටිමින්, මා යන බව ඔහුට දැනුම් දුනිමි. රනිල් වික්රමසිංහ මහතා ද අන් අය ද විශ්මයට පත්ව නැගී සිටියෝය. රනිල් වික්රමසිංහ මහතා පුදුමයෙන් මෙන් මගේ මුහුණ දෙස බැලු විට “ඔබට කවදාවත් මේ රටේ පාලකයා විය නොහැකි” බව මම කියා සිටියෙමි. රනිල් වික්රමසිංහ මහතාගේ මුහුණේ ක්ෂණිකවම ලොකු වෙනසක් ඇති වුවත්, ඔහු කරබා ගෙන සිටියා මිස, ඊට ප්රතිඋත්තරයක් දුන්නේ නැත. රනිල් වික්රමසිංහ මහතා ඒ ස්ථානයෙන් පිටවී ගිය පසු තමා සිටින අවස්ථාවේ එවැනි ප්රකාශයක් කිරීම ගැන දොස්තර රාජිත සේනාරත්න මහතා මට දොස් පැවරුවේය.
දැක්ම ගැඹුරුයි. එහෙත්……
මාගේ මිත්රයා 18 වැනි දින හිමිදිරි උදයේ මට දුරකතනයෙන් කතා කොට “රටට ඉදිරිගාමී නායකයකු අහිමි වුණා” යැයි කී විට වහාම මගේ මතකයට ආවේ රනිල් වික්රමසිංහ මහතාගේ මුහුණටම එදා මට කියන්නට සිදුවූ එම ප්රකාශයයි. මගේ අනාවැකිය සනාථ වීම ගැන මා තුළ සතුටක් ඇතිවූයේ නැතත්, ඔහුගේ පරාජය මාගේ පුදුමයට හේතු නොවීය.
රනිල් වික්රමසිංහ මහතාට රට ගැන ගැඹුරු අවබෝධයක් තිබුණා සේ ම, තමන්ගේම වන දැක්මක් ද තිබුණි. ඔහුට තිබෙන දැක්මේ සීමාසහිතකම් තිබුණා විය හැකි වුවත්, දැනට ජීවතුන් අතර සිටින වෘත්තීය දේශපාලකයන් අතර ගැඹුරු දැක්මක් ඇති එකම නායකයා ලෙස සැලකිය හැක්කේ ඔහුය. එහෙත් ඔහු චින්තකයෙකු මිස, ජන නායකයකු ලෙස සැලකිය නොහැකිය. ජේ.ආර්.ට ද දැක්මක් තිබුණි. ඒ සමග ඔහු ශක්තිමත් ජන නායකයකු ද වූයේය. ප්රේමදාස මහතාට ද තමන්ගේ ම වන දැක්මක් තිබුණි. ඒ සමග ඔහු ශක්තිමත් ජන නායකයකු ද වූයේය. ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක යන මහත්වරුන්ට ද රට ගැන තමන්ගේම වන ශක්තිමත් දැක්මක් තිබුණි. ඒ සමග ඒ දෙදෙනා ද ශක්තිමත් ජන නායකයෝ වූහ. චන්ද්රිකා කුමාරතුංග මහත්මියට රට සඳහා වන ශක්තිමත් දැක්මක් තිබුණේ නැතත්, ඇය ශක්තිමත් ජන නායිකාවක් වූවාය. හොඳ දේශපාලන චින්තකයකු වීමට අවශ්ය සුදුසුකම් රනිල් වික්රමසිංහ මහතාට තිබුණේ වුවත්, දක්ෂ ජන නායකයකු වීමට අවශ්ය සුදුසුකම් ඔහුට නොතිබුණි.
අගවිනිසුරු ආශ්රයෙන් මතුවී තිබුණු ප්රශ්නය ජනතාවගේ නිදහසට අදාළ කේන්ද්රීය වැදගත්කමක් ඇති ප්රශ්නයක් බව තේරුම් ගැනීමේ හැකියාව රනිල් වික්රමසිංහ මහතාට නොතිබුණේ යැයි කිව නොහැකිය. එහෙත් හරි තීරණයක් ගැනීමට අවශ්ය නිර්භීතභාවය හා ආත්ම විශ්වාසය ඔහුට නොතිබුණේය. ඒ නිසා සරලව විසඳ ගැනීමට හැකිව තිබූ ප්රශ්නයක් ඔඩු දුවන්නට හැරිම නිසා එය මුළු අධිකරණ ශරීරය පුරාම ඔඩුදුව ගිය පිළිකාවක් බවට වර්ධනය වූවා පමණක් නොව, අවසාන විග්රහයේදි රනිල් වික්රමසිංහ මහතාගේ දේශපාලන විනාශය කෙරෙහි ද එම පිළිකාව බලපෑවේය.
වැඩ බලන මැතිවරණ කොමසාරිස්
මෙය රනිල් වික්රමසිංහ මහතාගේ නායකත්වය උරගා බැලීමකට ලක් කෙරුණු එකම අවස්ථාව නොවන බව ද කිව යුතුය. මා දන්නා කේන්ද්රීය වැදගත්කමක් ඇති ප්රශ්න දෙකක් මෙසේය. එම නිදර්ශන දෙකේ ඇති සමහර සැගවුණු කරුණු රටේ දේශපාලන ගමන් මග තේරුම් ගැනීමට වැදගත් වේ යැයි සිතමි.
1999 ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරිමෙන් පසු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා රෝගී තත්ත්වයට පත්වීම නිසා ජනාධිපතිනිය ඒ මහතාගේ පුරප්පාඩුව පිරවීම සඳහා තමන්ට හිතවත් පිටස්තරයෙකු වැඩ බලන මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත් කළාය. මෙය පිළිගත් ප්රජාතන්ත්රවාදි මූලධර්ම වලට පටහැනිය. ඇය ඒ අවස්ථාවේදි කළ යුතුව තිබුණේ තමා ද මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකු බැවින් තමාට හිතවත් කෙනෙකු එම තනතුරට පත් නොකොට මැතිවරණ දෙපාර්තමේන්තුවේ දෙවැන්නා එම තනතුරට පත් කිරීමය. මෙම ක්රියාවට එරෙහිව දේශපාලන පක්ෂ ඵලදායී කිසිවක් නොකරන බව පෙනෙන්නට තිබුණ නිසා, මෙම පත් කිරීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගැනීම පිණිස අභියාචනාධිකරණය ඉදිරියේ නඩු පැවරිම පිණිස මම ක්රියා කළෙමි. රාවයේ ප්රවෘත්ති කර්තෘව සිටි නිව්ටන් සෙනෙවිරත්න මහතා පෙත්සම්කරු ලෙස ඉදිරිපත් විය. මෙම නඩුවේදි අපට සහාය දෙන ලෙස නඩුවේ වගඋත්තරකරුවන් බවට පත් කොට සිටි එජාපයෙන් හා ජවි පෙරමුණෙන් ද ඉල්ලා සිටියෙමු. අප ඉදිරිපත් කර තිබෙන තර්කයට සහාය ප්රකාශ කරන බවට ජවිපෙ පොරොන්දු විය. එජාපය ද ඒ සමාන පොරොන්දුවක් අපට ලබා දුන්නේය.
ජවිපෙ දෙන ලද පොරොන්දුව අධිකරණයේදි අකුරටම ඉටු කළේය. නඩුව ගමන් ගනිමින් තිබුණේ අපේ වාසියටය. එහෙත් පුදුමයට මෙන් එජාප ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටි කේ.එන්. චොක්සි මහතා අප විසින් ඉදිරිපත් කරන ලද මූලික තර්කය ප්රතික්ෂේප කරමින් තමන් කැමති පුද්ගලයෙකු වැඩ බලන මැතිවරණ කොමසාරිස් තනතුරට පත් කිරීමේ අයිතිය ජනාධිපති සතු බවට තර්ක කළේය. එහිදි චොක්සි මහතා තර්ක කළ ආකාරය විනිසුරුවරුන්ගේ ද විශ්මයට හේතුවිය. එහෙත් ප්රධාන ප්රතිවාදි අපේක්ෂකයා එම පත් කිරීමට විරුද්ධ නොවන තත්ත්වයක් තුළ අප ඉල්ලා සිටි තහනම් නියෝගය ලබාදිම අධිකරණය ප්රතික්ෂේප කළේය.
ඉන් කලකට පසුව ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා හමුවූ අවස්ථාවකදි (මිලින්ද මොරගොඩ මහතා හා වරුණ කරුණාතිලක මහතා ද එම සාකච්ඡාවට සහභාගි වූහ.) එම නඩුවේදි එජාප අනුගමනය කළ ප්රතිපත්තිය ගැන මම ඒ මහතාගෙන් ප්රශ්න කළෙමි. ලැබුණු පිළිතුර අපූරුය.
අපගේ ස්ථාවරයට සහාය පළ කිරීමට එජාපය එකග වී සිටිය ද, වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයට පත් කළ පුද්ගලයා එජාපයට සම්බන්ධ පුද්ගලයෙකු බව කාගෙන් හෝ දැනගන්නට ලැබීම නිසා පළමු ස්ථාවරය වෙනස් කොට අපේ ස්ථාවරයට විරුද්ධ වීමට එජාපය තීරණය කළේය. එහෙත් ඔහු එජාපයට සම්බන්ධ කෙනෙකු නොවන බව එජාපයට ප්රත්යක්ෂ ලෙස දැනගන්නට ලැබුණේ නඩුව අවසන ්වීමෙන් පසුවය. රනිල් වික්රමසිංහ මහතාගේ පාලනය තුළ එක්සත් ජාතික පක්ෂය කොතරම් ඔලමොට්ටල තැනකට පත්ව තිබුණේ ද යන්න එයින් මනාව පෙන්නුම් කරයි.
ව්යාජ ඡන්ද පත්රිකා
දෙවැනි නිදර්ශනය ද එම ජනාධිපතිවරණයට අදාළය. රාවය උනන්දුවක් දක්වන ලද විෂයයන් අතර මැතිවරණ ක්රියාවලිය ද ප්රධාන එකකි. ඊට හේතුව එය ජනතාවගේ පරමාධිපත්යය බලයට අදාළ විෂයයක් වීමයි. 1994ට පෙර එජාප ආණ්ඩුවක් බලයේ සිටි යුගයේදි ද අප ඊට බර තබා ක්රියාකරන ප්රතිපත්තියක් අනුගමනය කළෙමු. මහා පරිමාණයෙන් සිදු කෙරෙන ඡන්ද මංකොල්ල ක්රියාවට නැංවීම ආරම්භ වූයේ 1977න් පසුවය. එජාප පාලන කාලය තුළ දැවැන්තම ඡන්ද වංචාව සිදුවූයේ 1982 ජනමත විචාරණයේදිය. 1994 ඇතිවූ ආණ්ඩු වෙනසින් පසු මේ තත්ත්වයේ යහපත් වෙනසක් ඇතිවනු ඇතැයි අප අපේක්ෂා කළත්, ඒ එළඹි නව යුගය තුළ එහි කිසිදු යහපත් වෙනසක් ඇති නොවීය. 1997 පළාත් පාලන මැතිවරණයේදි තෝරාගත් ප්රදේශ ගණනාවක අත්හදා බැලීම් මට්ටමෙන් කෙරෙන ඡන්ද මංකොල්ලකෑම් සිදුවිය. ඉන්පසු වයඹ පළාත් සභා මැතිවරණය සඳහා ක්රියාවට නගන්නට ඇති කරගෙන තිබුණු සැලැස්මක් ගැන අපට කල්තියා දැන ගන්නට ලැබී, අප තිදෙනෙකු එවකට පොදු පෙරමුණු ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා හමුවී අනතුරු ඇගවීමක් කළෙමු. අප කරන අනතුරු ඇගවීම නොසලකා ඡන්ද මංකොල්ල කන තැනකට ගියහොත් අප ඊට එරෙහිව අපට කළ හැකි හැම දෙයක්මත් කරන බවත් ප්රකාශ කළෙමු. අවසානයේදි වයඹ පළාත් සභා මැතිවරණයේදි ක්රියාවට නගන ලද ඡන්ද මංකොල්ලය රටට හෙළිදරව් කිරීම සඳහා අප දියත් කරන ලද මාධ්ය මෙහෙයුම පොදු පෙරමුණේ දැඩි කෝපයට හේතුවී අප කෙරෙහි ආණ්ඩුව දැඩි වෛරයකින් ක්රියාකරන තත්ත්වයක් ද ඇති කළේය. වයඹ පළාත් සභා මැතිවරණයේදි සිදුවූයේ එළිපිට කෙරෙන කොල්ලයකි. වයඹ මෙන් එළිපිට කෙරෙන කොල්ලයක් තවදුරටත් වලංගු නොවන බව තේරුම් ගත් ආණ්ඩුව 1999 ජනාධිපතිවරණයේදි ඒ ක්රියාව ඉතාමත් සියුම් හා අප්රසිද්ධ ආකාරයෙකින් ක්රියාවට නැංවීම සඳහා වන වැඩපිළිවෙළක් සකස් කොට තිබුණේය. නිල ඡන්ද පත්රිකාවලට සමාන ව්යාජ ඡන්ද පත්රිකා දශ ලක්ෂයක් මුද්රණය කොට තිබුණි. බාහිර පෙනුමෙන් ඒ්වා අව්යාජ ඡන්ද පත්රිකාවලට සමාන වුවත්, ව්යාජ ඡන්ද පත්රිකාවල ජල මුද්රාව නොතිබුණි. දිග ද එක සමාන නොවීය. සියලු ඡන්ද පත්රිකාවලට යොදා තිබුණේ වෙනස් නොවන එකම අනු අංකයකි.
මෙම ව්යාජ ඡන්ද පත්රිකා පිළිබඳ තොරතුරු එජාපයට සේ ම ජවිපෙට ද ලැබී තිබුණි. ජනාධිපතිනිය බෝම්බ ප්රහාරයකට ලක්වීමෙන් පසුව ගොඩනැගී තිබුණු උද්වේගකර වාතාවරණය මේ සියුම් වැඩපිළිවෙළ සාර්ථක ලෙස ක්රියාවට නැංවීමට අවස්ථාවක් කොට ගෙන තිබුණේය. ගාලු දිස්ත්රික්කයේ එජාප මන්ත්රී වජිර අබේවර්ධන මහතා මෙම මංකොල්ලයේ ඉතා වැදගත් සාක්ෂි සමුදායක් සොයාගැනීමට සමත්ව සිටියේය.
ජනාධිපතිවරණ ප්රතිඵල නිකුත් කිරිමෙන් පසු දින රාත්රී ගාලු කච්චේරියේ සැකකටයුතු ඡන්ද පත්රිකා තොගයක් ගිනි තබා තිබෙන බව දැනගන්නට ලැබී, ගිනි තබන ලද ඡන්ද පත්රිකාවල අළු පොහොර කොට්ට උර ගණනාවකට එකතු කරගැනීමට ඔහු සමත් විය. ඡන්ද පෙට්ටි හුවමාරුවක් සිදුවී තිබෙන බවත්, ගිනි තැබෙමින් තිබෙන්නේ අතිරික්ත ඡන්ද පෙට්ටිවල ඡන්ද පත්රිකා බවත්, එහෙත් විනාශ කර ඇත්තේ විනාශ කළ යුතුව තිබෙන ඡන්ද පත්රිකා තොගයෙන් කොටසක් පමණක් බවත් ඔහුගේ මතය විය. ඔහු මෙම අළු තොගය සහිත පොහොර කොට්ට උර සමග සිය නායකයා හමුවීමට වහාම කොළඹ ගියේය. ඔහු කියන දේට සවන් දිමෙන් පසු මේ විෂය ගැන මා විශේෂ උනන්දුවක් දක්වන පුද්ගලයෙකු වන නිසා මා හමුවන ලෙස වජිර අබේවර්ධන මහතාට රනිල් වික්රමසිංහ මහතා උපදෙස් දී තිබුණි. රාත්රී කාලයේ ඔහු මා හමුවීමට මාගේ නිවසට පැමිණියේය. ගිනි තබන ලද ඡන්ද පත්රිකාවල අළු සහිත පොහොර කොට්ට උර ද ඔහු රැගෙන ආවේය.
මා ඔහු කියන කතාවට ඇහුම් කන්දි එහි සත්ය පදනමක් ඇතිද යන්න දැනගැනීම පිණිස ඔහුගෙන් ප්රශ්න කරන්නට වීමි. ඒ අතරතුර ඔහු ජංගම දුරකතනයෙන් රනිල් වික්රමසිංහ මහතාට කතා කළේය. කළහැකි හොඳම දේ කුමක්දැයි රනිල් වික්රමසිංහ මහතා මගෙන් විමසුවේය. මන්ත්රීවරයා කියන ආකාරයට නොපිළිස්සූ ඡන්ද පත්රිකා සහිත තවත් පෙට්ටි ඇති බව ස්ථිර නම් හා ඔහු කියන ආකාරයට සඳුදා වන තෙක් ඒ පෙට්ටිවල තිබෙන ඡන්ද පත්රිකා විනාශ කිරීම වළකා ගැනීමේ හැකියාවක් ඔහුට ඇති නම්, සඳුදාට දේශීය හා විදේශීය ජනමාධ්යවේදින් පිරිසක් සමග ගාල්ලට පැමිණ කච්චේරිය වටලා පරික්ෂාවට ලක් කිරීම සුදුසු බව මම කීවෙමි. ඒ අදහස ඔහු පිළිගත්තේය.
ඊට පසු දින වජිර අබේවර්ධන මන්ත්රීවරයා මට කීවේ සඳුදා මෙහෙයුමට අවශ්ය සියලු කටයුතු සංවිධානය කෙරෙමින් තිබෙන බවය. පුදුමයට මෙන් ඉරිදා හවස මා හමුවන්නට පැමිණි වජිර අබේවර්ධන මහතා කීවේ සඳුදා මෙහෙයුම අත්හිටුවන ලෙසට තමාට නායකතුමා දැනුම් දුන් බවය. හේතුව කුමක්දැයි මා ප්රශ්න කළ විට, ඔහු කීවේ තමන් නොදන්නා බවය.
ඡන්ද පෙත්සමකට යනවා වෙනුවට 1999 ජනාධිපතිවරණයේදි ව්යාජ ඡන්ද පත්රිකා භාවිතා කර ඇති බවට ස්ථිර විශ්වාසයක් ඇත්නම් 99 ජනාධිපතිවරණයේදි පාවිච්චි කළ ඡන්ද පත්රිකා අතර ව්යාජ ඡන්ද පත්රිකා තිබේද යන්න සොයා බලන පරික්ෂණයක් සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීම වඩා ඵලදායී ප්රතිඵල ඇති කිරීමට හේතුවනු ඇති බව ඒ ගැන කෙරුණ සාකච්ඡාවකදි මම වරක් ගාමිණී අතුකෝරාල මහතාට කීවෙමි. අධිකරණ නියෝගයක් ලබාගැනීමට සාධාරණ සැකයක් පමණක් ප්රමාණවත් බවත්, පළමු කොට තෝරාගත් ඡන්ද කොට්ඨාසයක හෝ දිස්ත්රික්කයක ඡන්ද පත්රිකා පරික්ෂාවට ලක් කිරීම සඳහා වන නියෝගයක් ලබාගත හැකි බවත්, එම නියැදි පරීක්ෂණයෙන් ව්යාජ ඡන්ද පත්රිකා භාවිතා වී ඇති බව ඔප්පු වේ නම් පමණක් අනෙකුත් දිස්ත්රික්ක පරීක්ෂාවට ලක් කළ හැකි බවත් මම කියා සිටියෙමි. ඔහු ඒ ගැන රනිල් වික්රමසිංහ මහතාට කතා කොට පසු අවස්ථාවක මට කීවේ ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයාටවත් සිදුවී තිබෙන බරපතළ වැරදි සොයා බැලීමට අවශ්යතාවක් නැතිනම් අපි කරන්නේ කුමක්ද යන්නයි.
මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා නැවත තනතුරේ වැඩ ආරම්භ කිරිමෙන් පසුව මා තවත් ජනමාධ්යවේදියෙකු සමග (චාපා බණ්ඩාර සමග) ඔහු හමුවීමට මැතිවරණ ලේකම් කාර්යාලයේ ඔහුගේ කාමරයට ගියෙමි. පටිගත කිරීමේ යන්ත්රය ඔහු ඉදිරියේ මේසය මත තබා මා මගේ පළමු ප්රශ්නය ඔහු වෙත ඉදිරිපත් කළෙමි.
99 ජනාධිපතිවරණයේදි පාවිච්චි කළ ඡන්ද පත්රිකා තිබෙන්නේ කාගේ බාරේද?
ඒවා සීල් තබා තමා භාරයේ තිබෙන බව ඔහු ප්රකාශ කළේය.
සීල් තබා තිබෙන එම ඡන්ද පත්රිකා අතර ආණ්ඩුවේ මුද්රණාලයෙන් පිටස්තරව මුද්රණය කරන ලද ව්යාජ ඡන්ද පත්රිකා විශාල ප්රමාණයක් ඇති බව මා කීවොත් ඔබ ඊට දෙන පිළිතුර කුමක්දැයි මම ප්රශ්න කළෙමි.
ජනාධිපතිවරණය කාලයේ මේ පුටුවේ සිටියේ තමා නොවන බව ඔහු කියා සිටියේය.
ඒ අවස්ථාවේ එම පුටුවේ සිටියේ වෙන කෙනෙකු වුවත්, විෂය භාර ප්රධානියා ඔබ වන නිසාත්, දැන් එම පුටුවේ සිටින්නේ ඔබ නිසාත්, ඒ කාලයේ සිදුවූ දේවල් සොයා බැලීමේ යුතුකමක් ඔබට තිබෙනවා නේදැයි මම ප්රශ්න කළෙමි.
ඔහු පටිගත කරන යන්ත්රය වසන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. ඉන්පසු ඔහු කීවේ තමන්ට බිරිඳක් හා දරුවන් සිටින බවත්, මේ ප්රශ්න නිසා මැරුම් කන්නට වුවමනාවක් තමන්ට නැති බවත්, ඉන් එහාට කිසිවක් කතා කරන්නට තමන් සූදානම් නැති බවත්ය. සම්මුඛ සාකච්ඡාව එතනින්ම අවසන් කරන්නට අපට සිදුවිය.
නිර්භීත නොවීම
දර්ශනයක් පමණක් තිබීම ජන නායකයකුට ප්රමාණවත් නැත. බරපතළ වැරදි සිදුවන විට ඒ වැරදිවලට එරෙහිව සටන් කිරීමට අවශ්ය නිර්භීතභාවය ද නායකයාට තිබිය යුතුය. සටන් කළ යුතු හැම වැදගත් මූලික ප්රශ්නයකදිම ඔළුව කටුව තුළ සගවාගන්නා නායකයකු ජනතාවගේ තබා සිය අනුගාමිකයන්ගේවත් විශ්වාසයට හා ගෞරවයට හේතුවන්නේ නැත. ජන නායකයකු තුළ තිබිය යුතු නිර්භීතභාවය අඩු වැඩි වශයෙන් ජේ.ආර්. ජයවර්ධන තුළත්, ආර්. ප්රේමදාස හා චන්ද්රිකා තුළත් නොඅඩුව තිබුණේය. එහෙත් නායකයකු තුළ අවශ්යයෙන්ම තිබිය යුතු ඒ ගුණය රනිල් වික්රමසිංහ මහතා තුළ නොතිබුණේය. පක්ෂයක් මැතිවරණයකදි පමණක් කෙළින් කළ නොහැකිය. ඒ අතරතුර කාලයේදි අවශ්යයෙන්ම අතගැසිය යුතු ජනතා ප්රශ්න වෙනුවෙන් පොර බැදිය යුතුය. පාක්ෂිකයින් පන්නරය ලබන්නේ ද ජනයා නායකයා කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්නේ ද අතරමැදි කාලය තුළ සිදුවන එම අරගල ක්රියාවලිය තුළය.
නායකයකු ශක්තිමත් වන්නේ එම නායකයාට ශක්තිමත් කණ්ඩායමක් ඇති නම් පමණය. ජේ.ආර්. ජයවර්ධන හැමවිටම නැගී සිටියේ තනිව නොව සිය කණ්ඩායම සමගය. තමා ප්රේමදාස, ලලිත්, ගාමිණී, රොනී වැනි යෝධයන් කණ්ඩායමකට නායකත්වය දෙන යෝධ නායකයකු බව ඔහු රටට ප්රදර්ශනය කළේය. දක්ෂයින් හඳුනාගෙන ඔවුන්ට නැගී සිටීමට අවශ්ය වටාපිටාවක් නිර්මාණය කර දුන්නේය. ඒ යෝධයින්ගේ ක්රියාකාරීත්වය අවසාන විග්රහයේදි බැරවුයේ නායකයාගේ ගිණුමටය. එහෙත් රනිල් වික්රමසිංහ මහතා තනි අලියෙකු වුණා විනා අලි රංචුවක නායකයකු නොවීය. ඔහු දක්ෂයන් හඳුනාගෙන ඔවුන්ට ශක්තිමත් වීමට අවශ්ය වටපිටාවක් ඇති කර නුදුන්නේය. තෝරාගත් පිරිසකට වගකීම් බෙදාදි අනාගතයේ ක්රියාකිරීමට අවශ්ය පුහුණුව ලබා නුදුන්නේය.
රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව එල්ල වූ චෝදනා අතර ප්රධානම තැනක් ගත්තේ ගෝනවල සුනිල් පිළිබඳ ප්රශ්නය හා බටලන්ද වධකාගාරය පිළිබඳ ප්රශ්නයයි. ඒ චෝදනාවල සත්ය, අසත්යතාව කුමක් වුවත්, ඔහු දේශපාලනයෙන් මුදල් හරිහම්බ කළ නායකයකු ලෙස සැලකිය නොහැකිය. මා ඔහුගේ වත්කම් බැරකම් ප්රකාශය කියවීමේදි මට පෙනී ගියේ ඔහු හැම දෙයක්මත් විධිමත් ලෙස විස්තර කර තිබුණු බවය. තමන්ට තම බිරිඳට තිබෙන රන් ආභරණ පිළිබඳ විස්තරවලදි පවා ඔහු ඒවායේ බර හා වටිනාකම පවා සඳහන් කොට තිබුණි. එය ජන නායකයකු තුළ තිබිය යුතු යහපත් ලක්ෂණයක් වුවත්, ජන නායකයකු වීමට ඒ අවංකභාවය පමණක් ප්රමාණවත් නැත. ජනතාවට අනුරූපවීමට තිබුණු නොහැකියාව ඔහුට තිබුණු ලොකුම අඩුපාඩුව ලෙස සැලකිය හැකිය. ඔහු ජනතාවට පෙනුණේ තමන්ගේ කෙනෙකු ලෙස නොව පිටස්තරයෙකු ලෙසය.
පක්ෂ ක්රමය
රනිල් වික්රමසිංහ මහතා එජාප නායකත්වයෙන් සමුගන්නට යන්නේ යැයි කියන අවස්ථාවක මා මෙම ලිපිය ලීවේ ශ්රී ලංකාවේ පක්ෂ ක්රමය ගැනත්, දේශපාලන ක්රමයේ ඇති විකෘතීන් ගැන උනන්දුවක් දක්වන නිර්පාක්ෂික විචාරකයකු වශයෙනි. දේශපාලන පක්ෂ, පාක්ෂිකයන්ගේ ජීවිත කෙරෙහි පමණක් නොව නිර්පාක්ෂික ජනතාවගේ ජීවිත කෙරෙහි ද බලපායි. අවසානයේ රටේ රාජ්ය පාලකයා තනන්නේ මේ පක්ෂ දෙක විසිනි. එහෙත් එම ප්රධාන පක්ෂ දෙක වැඩවසම් මූලයන්ගෙන් යුතු නම්, ඒවායේ පවතින්නේ ඒකාධිපති පාලන රටාවක් නම්, එම පක්ෂ අකාර්යක්ෂම හා දූෂිත නම් ඒ කෝවේ තැනෙන රාජ්ය පාලකයන් ද එම දුර්ගුණයන්ගෙන් පිරුණු අදක්ෂ, අකාර්යක්ෂම හා දූෂිත අය වනු නොවැළැක්විය හැකිය. රටේ පාලනය යහපත්වීමට නම්, පක්ෂ ක්රමය ද යහපත් විය යුතුය. ඒවා අවංක, දක්ෂ, කාර්යක්ෂම හා ප්රජාතන්ත්රවාදි පාලකයන් තනන ආයතන බවට පත්විය යුතුය. ’
රනිල් වික්රමසිංහ මහතා පිළිබඳ පළවන මෙම ලිපිය නිසා හිටපු ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ගැන ලියවෙන ලිපිය මෙවර පළ නොවේ එය ලබන වර පළ කෙරේ.