තියුණු තරගයකින් පසු සිය ප්රතිවාදියා පරාජය කොට රටේ රාජ්ය නායකයා බවට පත්වීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වී තිබේ. ප්රභාකරන්ගේ ඡන්ද තහනම නොවන්නට ජයග්රාහකයා වන්නට ඉඩ තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා නොව, රනිල් වික්රමසිංහ මහතාය. එහෙත් දකුණේ සිංහල ජනතාව රනිල් වික්රමසිංහ මහතා ප්රතික්ෂේප කර තිබියදි ඔහු ප්රධාන කොට සුළු ජාතීන්ගේ අනුග්රහය මත ජයග්රාහකයා වී නම් එම ජයග්රහණය සිංහල මහ ජාතිය තුළ අතෘප්තියක් ඇති කිරීමට හේතුවන්නට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් රනිල් වික්රමසිංහ මහතා ජයග්රාහී නොවීම යහපත්ය. එහෙත් අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතා ජයග්රාහකයා වී ඇත්තේ ද තනිකරම දකුණේ සිංහල ජනතාවගේ අනුග්රහයෙනි. සුළු ජාතීන්ගෙන් ලබා ගන්නා අනුග්රහයකින් තොරවය. එම තත්ත්වය සුළු ජාතීන් තුළ අතෘප්තියක් ඇති කිරීමට හේතුවී තිබෙනවා විය හැකිය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්රහණය රනිල් වික්රමසිංහ මහතාගේ දේශපාලන පැවැත්ම සේ ම, විශ්රාම යන ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ දේශපාලන පැවැත්ම ද අවසන් කළේය.
රනිල් වික්රමසිංහ
මෙම ජනාධිපතිවරණයෙන් ලද පරාජය විසින් ඔප්පු කර ඇත්තේ රනිල් වික්රමසිංහ මහතාට සාර්ථක ජනතා නායකයකුවීමේ හැකියාවක් නැති බවය. ඔහු ඉදිරිගාමී හා නවීන දැක්මක් ඇති නායකයකු ලෙස සැලකිය හැකි වුවත්, ඔහු ජනතාවට ඉතා දුරස්ථය. සිංහල ජනතාවට ඔහු පෙනුණේ තමන්ට අනුගත විය නොහැකි පිටස්තරයෙකු ලෙසය. ඔහුට දර්ශනයක් තිබුණා විය හැකි වුවත්, කාර්යක්ෂම පක්ෂ යන්ත්රයක් ගොඩනැගීමට ඔහු අසමත් විය. ඔහු ජේ.ආර්. ජයවර්ධන මෙන් දක්ෂයින් හඳුනාගෙන ඔවුන්ට නිදහසේ වැඩෙන්නට ඉඩ නොදුන්නේය. ජේ.ආර්. ජයවර්ධන විසින් ජනතාවගේ පක්ෂයක් බවට පත් කොට තිබුණු පක්ෂය ඔහු නැවත වරක් කුරුඳුවත්තේ පක්ෂයක් බවට පත් කළේය. මෙම මැතිවරණයේදි ඔහු ටයි කෝට් සම්ප්රදාය අතහැරියත් ඇතිකර ගන්නා ලද එම සුළු වෙනස්කම් ජනතාවගේ විශ්වාසයට හේතුවූයේ නැත. පක්ෂය තුළ සිටි දක්ෂයන් කරළියට ගත්තේ ද අවසාන මොහොතේය. මේ සියලු වැරදි වෙනුවෙන් දැන් ඔහුට වන්දි ගෙවන්නට සිදුවී තිබෙන අතර, සුදුසු නායකයකුට ඉඩදි පක්ෂ නායකත්වය අත්හැර විශ්රාම යෑමට ඔහුට සිදුවනු ඇත්තේය.
චන්ද්රිකා කුමාරතුංග
ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුන්නේ ද කැමැත්තෙන් නොව, වෙන කළ හැකි දෙයක් නොතිබූ නිසාය. එය ඇය විසින් ඔහුට දෙන ලද දෙයකට වඩා ඔහු විසින් ඇගෙන් ලබාගන්නා ලද දෙයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඇයට මහින්ද ජයගන්නවා දකින්නට අවශ්ය නොවීය. ඇයට අවශ්ය වූයේ මහින්ද පරාජය වනවා දකින්නටය. සිය පවුලේ බූදලයක් ලෙස සැලකුණු පක්ෂය තවදුරටත් තම අයිතියේ තබාගත හැකිවනු ඇත්තේ මහින්ද පරාජය කළහොත් පමණක් බව ඇය දැන සිටියාය. ඒ වෙනුවෙන් ඇය තමන්ට කළ හැකි හැම දෙයක්මත් කරනු ලැබුවත් මහින්ද පරාජය නොවීය. ඒ තත්ත්වය තුළ දැන් ඇය පක්ෂයට තිබෙන උරුමය අත්හළ යුතුය. පක්ෂය මහින්දට භාරදි ඇය දේශපාලනයෙන් සමුගත යුතුය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක පවුලෙන් පිටස්තර නායකයකු අතට පත්වන පළමු අවස්ථාව මෙය ලෙස සැලකිය හැකිය. ශ්රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක පවුලේ බූදලයක් ලෙස ක්රියා කරන විට එජාපය මෙතෙක් පැවතියේ (ජනාධිපති ප්රේමදාස යුගයේදි හැර) විශේෂිත පවුල් කල්ලියක බූදලයක් ලෙසය. එකම අවස්ථාවකදි එම පක්ෂ දෙකේම පවුල් උරුමය අනුව පැමිණි නායකයන්ට පිටස්තර දෙදෙනෙකුට ඉඩදි පක්ෂ නායකත්වය අත්හැර යන්නට සිදුවීම ඓතිහාසික සිදුවීමක් ලෙස සැලකිය හැකිය. එම ක්රියාවලිය එම පක්ෂ දෙකේම ගමන් මගෙහි ජනතා හිතවාදි හා ප්රජාතන්ත්රවාදි අර්ථයෙන් මූලික වෙනසක් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.
ජේවීපීය
මෙම ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතාගේ බරකර ගැසූ පක්ෂය වූයේ ජනතා විමුක්ති පෙරමුණ වුවත්, මහින්ද රාජපක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදි කිට්ටු දේශපාලන හිතමිතුරන් නොවීය. මහින්ද රාජපක්ෂ මහතාට ජවිපෙ පිළිබඳ අකමැත්තක් තිබුණා සේ ම, ජවිපෙට ද මහින්ද රාජපක්ෂ පිළිබඳව අකමැත්තක් තිබුණේය. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකමට නම් කරනවාට ජවිපෙ තරයේ විරුද්ධ වූ අතර, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකම ලබා ගත්තේ ද ජනාධිපති අපේක්ෂකත්වය ලබාගත් ආකාරයටමය. එහෙත් ජනාධිපතිනිය ජවිපෙ සමග භේද ඇති කරගත් පසු හා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ පසු ජවිපෙ මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිතව ආධාර කරන තැනකට තල්ලු විය. ශ්රීලනිප තුළ යටින් සිදුවෙමින් තිබුණු කැපිලි කෙටිලි නිසා මහින්ද රාජපක්ෂ මහතා ද ජවිපෙන් ලැබෙන සහය එක පයින් භාර ගත්තේය. ජවිපෙ සහාය මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්රහණය සඳහා අත්යවශ්ය කොන්දේසියක් ලෙස ක්රියා කළත්, ජවිපෙ ප්රතිපත්ති අනවශ්ය ලෙස කර ගසාගෙන රටක් පාලනය කළ නොහැකිය යන සත්යය නව ජනාධිපතිවරයා නොදන්නවා විය නොහැකිය. මහින්ද රාජපක්ෂ මහතාට පළමුවෙන්ම අවශ්ය වූයේ බලයට පත්වීමය. ජවිපෙ සමග ඇති කරගත් එකගතා ගිවිසුම අකුරටම පිළිපදින තැනකට මහින්ද රාජපක්ෂ මහතා පත්වනු ඇතැයි සිතිය නොහැකිය. එය ජවිපෙ තෘප්තියට හේතු නොවනු ඇති අතර, මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව බලවත් ලෙස නැගී සිටීමේ හැකියාවක් ද ජවිපෙට නැත. මෙම පරස්පරය තුළ නව ජනාධිපතිවරයා ක්රියාකරන්නට යන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.
ප්රභාකරන්
නව ජනාධිපතිවරයාට ජනවාර්ගික අර්බුදය නොසලකා ක්රියාකිරීමේ හැකියාවක් නැත. අනෙක් අතට ඒ ගැන රටට දෙන ලද සියලු පොරොන්දු ඒ ආකාරයෙන්ම ක්රියාවට නැංවීමේ හැකියාවක් ද නැත. ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය වැනි පක්ෂවල සතුටට හේතු නොවුණත්, ඔහු කොටි සංවිධානය සමග සාකච්ඡාවලට යා යුතුය. පොරොන්දු වූ පරිදි සටන් විරාම ගිවිසුමේ නව වෙනස්කම් ඇති කරගත හැකිවනු ඇත්තේ ද සාකච්ඡාවලට යාමෙනි. ඒකපාක්ෂිකව කිසිවක් කළ නොහැකිය.
අවසාන විග්රහයේදි ඒ විෂයේදි මහින්ද රාජපක්ෂ මහතාට ගමන් ගන්නට සිදුවනු ඇත්තේ ද චන්ද්රිකා කුමාරතුංග මහත්මිය හා රනිල් වික්රමසිංහ මහතා ගමන් කළ මාර්ගයේමය. ජනවාර්ගික ප්රශ්නය විසඳීමේ වැඩි ශක්තියක් ඇත්තේ ද බහුතර සිංහල ජනයාට අක්මුල් ඇති නායකයකුටය. එහෙත් එසේ කළ හැකිවනු ඇත්තේ ජනප්රිය සිංහල ආකල්ප ඉක්මවා ක්රියා කිරීමට අවශ්ය නිර්භීතභාවයක් ඇත්නම් පමණය.