ඉතින් මැතිනියනි ඔබට ආයුබෝවන්

November 20, 2005
Publication:
The worst story about Chandrika Kumaratunga's honesty came from Le Monde's Delhi correspondent, puzzled by the degrees listed in her official biography after 1994. Ivan then recalls the impeachment plan of 1991, in which all three main actors lived in dream worlds, and how the exposure of the Suriyakanda mass graves brought the rising Kumaratunga great fame.

නායකත්වයට මග පෑදිම

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අවංකභාවය සැකයට ලක් කෙරෙන නරකම කතාව මට අසන්නට ලැබුණේ “ලමොන්ඩේ” පුවත්පතේ දිල්ලි වාර්තාකරුගෙනි. මෙම සාකච්ඡාව සිදුවූයේ 1994 ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශවීමෙන් පසුවය. ඔහු ඊට පෙර ද මට අවස්ථා කිහිපයකදි හමුවී තිබුණු අතර, මා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සමීප ආධාරකරුවකු බව ඔහු දැන සිටියේය.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසු පුවත්පත්වල පළවූ අභිනව ජනාධිපතිනියගේ ජීව දත්ත ඔහුට ප්‍රශ්නයක් වී තිබුණි. ඇයට නීතිය සඳහා එල්.එල්.බී. උපාධියක් හා දේශපාලන විද්‍යාව සඳහා සෝබොන් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් උපාධියක් ද ඇති බවත්, සංවර්ධන ආර්ථිකය පිළිබඳ ආචාර්ය උපාධියක් සඳහා සුදුසුකම් ලබා ඒ සඳහා අධ්‍යාපනයෙහි නිරත වී සිටි බවත්, එම ජීව දත්තවල සඳහන් විය. ඔහු කීවේ සෝබෝන් විශ්වවිද්‍යාල කතාව සත්‍යයක් නොවන බවය. ඇය අධ්‍යාපනය ලැබුවේ තමා සමග බවත්, ඇය උපාධිධාරිනියක්ය කියන කතාවේ ද සත්‍යයක් නැති බවත්, ආචාර්ය උපාධියක් සඳහා සුදුසුකම් ලබා ඒ සඳහා අධ්‍යාපනයේ නිරත වී සිටියේ යැයි කියන කතාව ද බොරුවක් බවත්, මෙම වැරදි කරුණු කවදා හෝ ඇයට බරපතළ ප්‍රශ්න ඇති කිරීමට හේතුවනු ඇති බවත් ඔහු පැවසුවේය. මා දන්නා තරමින් පුවත්පත්වල පළකිරීම සඳහා සකස් කළ ජීව දත්ත ඇතුළත් ප්‍රකාශනය සකස් කර තිබුණේ ඇය විසින්මය. ඒ නිසා එය වෙනත් කෙනෙකු අතින් සිදුවූ වරදක් ලෙස සැලකිය නොහැකිය. ඇය තමන්ට නැති උගත්කමක් ආරෝපණය කරගැනීම සඳහා රටට බොරු කියන තැනකට ගොස් තිබෙන බව පැහැදිලිය. ඒ ගැන මා ඇගෙන් ප්‍රශ්න නොකළ ද ඇය ගැන ඇති කරගෙන තිබුණු විශ්වාසයේ මහා බිඳ වැටීමක් ඇති කිරීමට එම කතාව හේතුවිය.

මේ ප්‍රශ්නය අනාගතයේ බරපතළ ප්‍රශ්න ඇති කිරීමට හේතුවනු ඇති බවට ලමොන්ඩේ දිල්ලි වාර්තාකරු කී අනාවැකිය සනාථ වූ බව ද කිව යුතුය. ඉන් වසර 05කට පමණ පසුව ඇය ප්‍රකාශ කර තිබුණු අධ්‍යාපනික සුදුසුකම් අභියෝගයට ලක්වුවද තමන්ට එම සුදුසුකම් ඇති බව ඔප්පු කිරීමට ඇය සමත් වූයේ නැත. ඇයගේ ආරක්ෂාව සඳහා කතා කරන්නට ගොස් ප්‍රංශ තානාපතිනියට ශ්‍රී ලංකාව අතහැර යන්නට පවා සිදුවිය. රටේ රාජ්‍ය නායිකාවට එම විෂයයේදි බොරු කියා නිරුපද්‍රිතව පලායෑමේ හැකියාවක් තිබුණ ද දේශපාලන අර්ථයෙන් ශිෂ්ටසම්පන්න රටක නම් පදවිය අහිමි කිරීමට ඒ කරුණ පමණක් වුවත් ප්‍රමාණවත් වන්නට ඉඩ තිබුණි.

සිරිමා බණ්ඩාරනායක මැතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවත පක්ෂයට ගන්නේ, ඇගේ ඇවෑමෙන් ඇගේ දුව පක්ෂ නායිකාව කිරීමේ අරමුණින්, නොව සිය නායකත්වයට සිය පුත්‍රයාගෙන් එල්ල වී තිබුණු අභියෝගය පරාජය කිරීම සඳහා සිය තත්ත්වය ශක්තිමත් කරගැනීමේ උපාය මාර්ගික අරමුණිනි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සිය සහෝදරයා වූ අනුර බණ්ඩාරනායක මහතා පිළිබඳව විශ්වාසයක් හෝ ගෞරවයක් නොතිබුණ ද ඔහු අභිබවා යෑමේ අභිප්‍රායයක් ද ඇය තුළ නොතිබුණි. ඊළග රාජ්‍ය නායකත්වය පිළිබඳ හැගීමක් නම් ඇය තුළ තිබුණේම නැති තරම්ය. එහෙත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් ලබාගැනීමේ විශාල ආශාවක් නම් ඇය තුළ තිබුණි. අනුරුද්ධ රත්වත්ත මහතා මගින් එම අරමුණ සපුරා ගැනීම ඇයගේ අභිප්‍රාය වී තිබුණි. ඒ වන විට මා හා අනුරුද්ධ අතර සමීප මිත්‍රත්වයක් තිබුණි. අනුරුද්ධ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ නිසා මන්ත්‍රීකම චන්ද්‍රිකාට දිමට අනුරුද්ධ කැමති කරවා ගන්නා ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියාය. එවැනි වැඩපිළිවෙළකට ඔහු එකග වනු ඇත් ද යන්න කීමේ හැකියාවක් මට නැති බව කී විට ඔහු සමග ඒ ගැන කතා කරන ලෙස මගෙන් ඉල්ලා සිටියාය. අවසානයේ චන්ද්‍රිකාගේ යෝජනාව ගැන කතා කිරීමට අනුරුද්ධ හමුවීමට මට නුවර යන්නට සිදුවූයේ හේමසිරි ප්‍රනාන්දු සමගය. චන්ද්‍රිකාගේ යෝජනාව අනුරුද්ධගේ කෝපයට හේතුවූ අතර, ඒ ගැන ඔහු තරහක් ඇති කරගත්තේ මා සමග නොව හේමසිරි සමගය. ඒ තරහ නැති කරගන්නට වසර ගණනාවක් ගතවූ බව ද කිව යුතුය.

චන්ද්‍රිකාට පක්ෂයට බැඳෙන්නට හැකි වූයේ සාමාන්‍ය සාමාජිකයකු ලෙස, පරිවාස කාලයකට යටත්වය. තමාට ලැබී තිබුණු මෙම පිළිගැනීමේ මට්ටම චන්ද්‍රිකාගේ සතුටට හේතු නොවූ අතර, විශේෂ පිළිගැනීමක් සිය පුත් අනුරගේ කෝපයට හේතුවිය හැකි නිසා සාමාන්‍ය රාමුවෙන් පිටස්තරව ක්‍රියා කරන්නට බණ්ඩාරනායක මැතිනිය ද කැමති නොවූවාය. පරිවාස කාලය සම්පූර්ණ වීමෙන් පසුව ඇය මධ්‍යම කාරක සභාවට නම් කරන ලෙසට ඇගේ හිතවතුන් ලෙස ක්‍රියාකළ සියලු දෙනා බණ්ඩාරනායක මැතිනියට බල කළෝය. ඇයට එවැනි පිළිගැනීමක් ලබාදිමට බණ්ඩාරනායක මැතිනිය කැමති වී සිටිය ද, ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක යන මහතුන් රහසේම දියත් කරමින් තිබුණු දෝෂාභියෝග වැඩපිළිවෙළ එම වැඩපිළිවෙළ ද යටපත් කිරීමට හේතු වී තිබුණි.

ජනාධිපති ප්‍රේමදාස මහතාට එරෙහිව ඉදිරිපත් කරන්නට සැලසුම් කෙරුණු දෝෂාභියෝගය සම්බන්ධයෙන් ශ්‍රීලනිප සමග කරන ගනුදෙනුවේදි, වැඩ කළ යුත්තේ මව සමග ද, නැතිනම් පුතා සමග ද යන ප්‍රශ්නය මතුවී තිබුණි. ලලිත් හා ගාමිණී යන දෙපොළ මුලදි වැඩි කැමැත්තක් දැක්වූයේ අනුර සමග වැඩ කරන්නටය. ඒ ගැන ලලිත් ඇතුලත්මුදලි මහතා මගෙන් ද කරුණු විමසීමක් කරන ලද අතර, ශ්‍රීලනිප මෙහෙයවීමේ වැඩි හැකියාවක් ඇත්තේ බණ්ඩාරනායක මැතිනියට නිසා ඇගේ අනුග්‍රහය ලබාගැනීම වඩා සුදුසු බව මගේ මතය බව මම ප්‍රකාශ කළෙමි. මගේ මතය ලලිත් ද පිළිගත්තේය. දෝෂාභියෝගය රහසේ මෙහෙයවූ නායකයින් තිදෙනාම (ලලිත්, ගාමිණී හා සිරිමාවෝ) හැමවිටම එකට එකතු වී සාකච්ඡා කිරීම සුදුසු නොවූ නිසා සම්බන්ධීකරණ කටයුතු කෙරුණේ නායකයන් තම තමන් විසින්ම පත් කළ නියෝජිතයන් තිදෙනෙකු මාර්ගයෙනි. වරුණ කරුණාතිලක ලලිත්ගේ නියෝජිතයා වන විට ගාමිණී දිසානායකගේ නියෝජිතයා වූයේ රාජ්‍ය අංශයේ තරුණ නිලධාරියෙකි. මැතිනියගේ නියෝජිතයා ලෙස ක්‍රියා කළේ අනුරුද්ධය. දෝෂාභියෝග වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය වන නිසාත්, මන්ත්‍රී කණ්ඩායමෙන් සැලකිය යුතු පිරිසක් අනුර සමග සිටි නිසාත් දෝෂාභියෝග වැඩපිළිවෙළ සාර්ථක කරගන්නා තෙක් අනුරගේ කෝපයට හේතුවන කිසිවක් නොකරන ලෙසට ලලිත් හා ගාමිණී යන දෙපොළ සිරිමා බණ්ඩාරනායක මැතිනියට දැනුම් දී තිබුණි. ඒ නිසා චන්ද්‍රිකා තවදුරටත් පැත්තක තබා ක්‍රියාකරන පිළිවෙතක් අනුගමනය කිරීමට බණ්ඩාරනායක මැතිනියට සිදුවී තිබුණේය.

දෝෂාභියෝග වැඩපිළිවෙළ තුළ ප්‍රධාන නාකයන් තිදෙනාම ජීවත් වූයේ සිහින ලෝකවලය. දෝෂාභියෝගය ජයගැනීමෙන් පසුව ගොඩ නගන සභාග ආණ්ඩුවේ නායකත්වය බණ්ඩාරනායක මැතිනියට ලබාදිමට ලලිත් ගාමිණී දෙපොළ කැමති වී තිබුණු අතර, ඒ නිසා ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ධුර කාලයේ ඉතිරිය දැරිමේ හිමිකම තමන්ට ලැබෙනු ඇතැයි බණ්ඩාරනායක මැතිනිය විශ්වාස කළාය. මේ වැඩපිළිවෙළින් පළමුවෙන් රජකම යන්නේ බණ්ඩාරනායක මැතිනියට වුවත්, පළමුව අගමැතිකම ද ඊළගට ජනාධිපතිකම ද තම තමන්ට ලැබෙනු ඇතැයි ලලිත් හා ගාමිණී විශ්වාස කළහ.

දෝෂාභියෝග වැඩපිළිවෙළ ව්‍යර්ථවීමෙන් පසුව නැවත මව හා පුතු අතර මතභේද වර්ධනය වීමත් සමග එතෙක් යට සැගවී සිටි චන්ද්‍රිකා ද මතුවන්නට වූවාය. බණ්ඩාරනායක මැතිනිය පක්ෂය තුළ තම ශක්තිය තහවුරු කරගැනීම සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මධ්‍යම කාරක සභාවට පත් කරන ලද අතර, ඊළගට එළැඹි පළාත් සභා මැතිවරණය ඇයට වඩා හොඳ පිළිගැනීමක් ලබාදිමට හේතුවිය.

පළාත් සභා මැතිවරණයේදි ගම්පහ දිස්ත්‍රික්කයට තරග කිරීමේ ආශාවක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තිබුණ ද තරග කරන තැනකට ගියහොත් චරිත ඝාතන ප්‍රචාරක ව්‍යාපාරයකට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි යන බියක් ද ඈ තුළ රජ කළේය. එළඹෙන ඕනෑම තත්ත්වයකට මුහුණ දී තරග කරන ලෙස ඇයට බලකරන්නට සිදු වුයේ අපටය. අවසානයේදි ඇය තරග කරන්නට හිත හදා ගත්ත ද මහ ඇමති අපේක්ෂක ලේබලය නොලැබීම ඇයගේ කණස්සල්ලට හේතුවී තිබුණි. අවසානයේ එම ලේබලය ඇය බලයෙන් තමන් වෙත අලවා ගත්තාය. පක්ෂයේ අනුමැතිය නැතිව මහ ඇමති අපේක්ෂකයා ලෙස පෝස්ටර් හා වෙනත් ප්‍රචාරක ව්‍යාපාර මගින් පෙනී සිටියාය. ඇයට ආරම්භක අවස්ථාවේදි මුදල් පිළිබඳව බලවත් ප්‍රශ්නයක් තිබුණු අතර, පළමුවන වෙළෙඳ දැන්වීම් සඳහා අවශ්‍ය වියදම චෙක්පතක් මගින් ලබා දුන්නේ හේමසිරි ප්‍රනාන්දුය. මුළු රට පුරාම පළාත් සභා මැතිවරණ පැවති බැවින් එම පළාත් සභා මැතිවරණයේදි ඇයට ආධාර කිරීමට ජාතික මට්ටමේ බලවත් පිරිසක් නොසිටියේය. තමන්ට මනාප ඡන්ද ලක්ෂ තුනක් ලබාගැනීම ඇගේ ඉල්ලකය වූ අතර, ඒ අරමුණ දිනාගැනීම සඳහා ඇය උපරිම ශක්තිය යොදා ක්‍රියාකරන බවක් ද පෙනෙන්නට තිබුණේය.

දිස්ත්‍රික්කය වෙනස් වුවත්, ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණෙන් ලලිත් ඇතුළත්මුදලි මහතා ද එම මැතිවරණයට තරග කළේය. චන්ද්‍රිකා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරන විට ලලිත් තරග කළේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. පළාත් සභා මැතිවරණය ජයගතහොත් මහඇමතිකම සඳහා මේ දෙදෙනා අතර ආරාවුලක් ඇතිවේද යන ප්‍රශ්නයක් මට තිබුණි. ලලිත් චන්ද්‍රිකාට වඩා පළපුරුදු කෘතහස්ත දේශපාලන නායකයකු වූ අතර, ඔහු වැනි පුද්ගලයෙකු චන්ද්‍රිකාට මහ ඇමතිකම දී වඩා අඩු තනතුරකින් තෘප්තිමත් වේද කියන සැකයක් මා තුළ තිබුණි. මා චන්ද්‍රිකාට බලවත් ලෙස ආධාර කළත්, ලලිත් සමග ද මිත්‍රත්වයක් තිබුණි. මේ ප්‍රශ්නය ගැන මම ලලිත් සමග කතා කළෙමි. ඔහු ඊට දෙන ලද පිළිතුර මා විශ්මයට පත් කිරීමට හේතු වූවා සේ ම, ඔහු කෙරෙහි පැවති ගෞරවය තීව්‍ර කිරීමට ද හේතු වූ බව කිව යුතුය. ඔහු මට කීවේ තම ඉලක්කය බස්නාහිර පළාත් සභාවේ මහඇමතිකම නොවන බවය. ඊට වඩා විශාල දෙයක් බවය. ඒ නිසා මහ ඇමතිකම කාට ගියත් එය ඉවසා සිටීමේ හැකියාවක් තමන්ට ඇති බවය.

එම පළාත් සභා මැතිවරණයට පෙර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට අභියෝගයක් විය හැකි දැවැන්ත දේශපාලන නායකයන් දෙදෙනෙකුගේ ජීවිත විනාශ විය. පළමුව ලලිත් ඇතුළත්මුදලි ද, ඉන් දින හතකට පසුව ජනාධිපති ප්‍රේමදාස ද ඝාතනයට ලක්විය. එය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට මග හෙළිකරදිම පිණිස දෛවය විසින් කරනු ලැබූ දෙයක් ලෙස ද සැලකිය හැකිය. ජනාධිපති ප්‍රේමදාස මහතා ජීවතුන් අතර සිටියේ වී නම්, පොදු පෙරමුණට 94 පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම අමාරු වන්නට ඉඩ තිබුණා සේ ම, ලලිත් ඇතුළත්මුදලි මහතා ජීවතුන් අතර සිටියේ වී නම්, චන්ද්‍රිකාට තිබුණු පිළිගැනීම ඉක්මනින් අහිමි වී ලලිත් රටේ පාලකයා වන්නට ඉඩ තිබුණේය. එම දෙපළ හා ඉන්පසු ගාමිණී දිසානායක මහතා ඝාතනයට ලක්වීමෙන් රට ගැන දැක්මක් තිබූ දැවැන්ත නායකයන් තිදෙනෙකු රටට අහිමි වූවා සේ ම ඒ නිසා රටේ දේශපාලන භූමියේ පුරන් වූ තත්ත්වයක් ඇතිවී යැයි ද කිව හැකිය.

බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ලද ජයග්‍රහණය හා ඉන්පසු එම පළාත් සභාවේ මහ ඇමතිකමට පත්වීම යන කාරණා චන්ද්‍රිකාගේ තත්ත්වය ශක්තිමත් කිරීමට හේතු වුවත්, චන්ද්‍රිකා දුවට ඉඩදි විශ්‍රාම යෑමේ අභිලාෂයක් ඇගේ මව තුළ නොතිබුණි. බණ්ඩාරනායක මැතිනිය රෝගාතුර හා මහලු බවට පත්ව සිටියත්, ඊළගට ජනාධිපති වීම ඇගේ පරම අභිලාෂය වී තිබුණි.

සූරියකන්දේ සමූහ මිනීවළවල් ගොඩදැමීමේ සිද්ධිය නැගී එන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට අතිවිශාල කීර්තියක් ද පිළිගැනීමක් ද ලබාදිමට හේතුවී යැයි කිව හැකිය. ඇය කොතෙකුත් දුර්වලකම් වලින් පිරුණු නායිකාවක් විය හැකි වුවත්, ඒ සිද්ධියේදි ඇය පෙන්නුම් කරන ලද නිර්භීතභාවය අසමසම වේ යැයි කිව හැකිය.