මෙම කතුවැකිය ලියන අවස්ථාව වන විට ජනාධිපතිවරණයේ අවසාන නිල ප්රතිඵල ප්රකාශ වී නැතත්, මහින්ද රාජපක්ෂ මහතා ලක්ෂ දෙකකට නොවැඩි ඡන්ද සංඛ්යාවකින් ජනාධිපතිවරණය ජයගෙන ඇති බව පෙනෙන්නට තිබේ.
පළමු කොට අපි නව ජනාධිපතිවරයාට සුබ පතමු. නව ජනාධිපතිවරයාට පටු භේදවලින් තොරව ඵලදායී කාර්ය භාරයක් ඉටු කිරීමට ලැබේවායි අපි ප්රාර්ථනා කරමු.
ජයග්රාහී නව ජනාධිපතිවරයා සිංහල මහ ජාතියේ අනුග්රහය දිනාගැනීමට සමත් වී ඇතත්, සුළු ජාතීන්ගේ අනුග්රහය දිනාගැනීමට සමත් වී නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. අනෙක් අතට පරාජිත රනිල් වික්රමසිංහ මහතා මහ ජාතීන්ගේ අනුග්රහය දිනා ගැනීමට අසමත් වී ඇතත්, සුළු ජාතීන්ගේ අනුග්රහය දිනා ගැනීමට සමත්වී ඇති බව පෙනේ.
ශ්රී ලංකාව බහුවාර්ගික රටකි. එහි ජීවත් වන ප්රධාන ජාතිය සිංහල වුවත් සිංහල නොවන වෙනත් වර්ග ද මේ රටේ ජීවත් වෙති. බහුතර ජාතියේ අනුග්රහයෙන් පමණක් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ හැකියාවක් නැතැයි කියන තර්කය බොරු කිරීමට ජයග්රාහී මහින්ද රාජපක්ෂ මහතා සමත් වී ඇතත්, සෙසු ජාතීන්ගේ අනුග්රහය රටේ ඉදිරි ගමනට අත්යවශ්ය කොන්දේසියකි. නව ජනාධිපතිවරයා එම තත්ත්වය ඉක්මනින් ජයගැනීමට අසමත් වෙතොත්, එම සාධකය ම රටේ වර්ග භේදවාදි සාධකය උග්ර කිරීමට හේතුවිය හැකි ය. අනෙක් අතට සිය ප්රතිවාදියාගේ පරාජය කෙරෙහි ප්රභාකරන්ගේ තහනම් නියෝගය තීරණාත්මක ලෙස බලපෑ බවට ද නව ජනාධිපතිවරයා අමතක නො කළ යුතු ය. රනිල් වික්රමසිංහ මහතා මෙම ජනාධිපතිවරණයෙන් ජය ගත්ත ද ඔහු එම ජයග්රහණය ලබන්නේ ප්රධාන කොට සුළු ජාතීන්ගේ අනුග්රහයෙන් නම්, මහ ජාතියේ අනුග්රහය ලබාගැනීමට අසමත් වී නම් ඔහුට සාර්ථක පාලනයක් පවත්වාගෙන යෑමට ඉඩ ලැබෙනු ඇතැයි සිතිය නො හැකි ය. ඒ අර්ථයෙන් රනිල් වික්රමසිංහ මහතාගේ පරාජය විකෘතියක් ඇතිවීම වැළකීමට හේතුවී යයි කිව හැකි ය. එහෙත් ජයග්රාහකයාගේ ජයග්රහණය තුළ ද විකෘතියක් පවතී. එය මහ ජාතීයේ අනුග්රහය දිනාගැනීමට සමත් වී ඇතත්, සුළු ජාතීන්ගේ අනුග්රහය දිනා ගැනීමට සමත් වී නැත. එම විකෘතිය නව ජනාධිපතිවරයා ඉක්මනින් නිවැරදි කරගත යුතු ය.
පුපුරන සුලු තත්ත්වයක පවත්නා ජනවාර්ගික අර්බුදය විසඳන්නේ කෙසේ ද යන්න නව ජනාධිපතිවරයා ඉදිරියේ තිබෙන ලොකු ම අභියෝගය ලෙස සැලකිය හැකි ය. ඒ අරභයා නව ජනාධිපතිවරයා රටට දී තිබෙන පොරොන්දු සිංහල ජනතාවගේ සතුටට හේතුවී ඇතත්, දෙමළ ජනයාගේ සතුටට හේතු වනු ඇතැයි සිතිය නො හැකි ය. රනිල් වික්රමසිංහ බලයට පත්වීම වළකන්නට ප්රභාකරන්ට අවශ්ය වූයේ ද ප්රශ්නය යටපත් වන්නට ඉඩ නොදි තියුණු ලෙස මතුකර ගැනීමට අවශ්ය වූ නිසා යැයි ද කිව හැකි ය.
සටන් විරාම ගිවිසුම වෙනස් කරන බවට නව ජනාධිපතිවරයා රටට පොරොන්දු වී ඇතත්, එය ඒකපාක්ෂිකව කළ නො හැකි ය. ඒ සඳහා ප්රතිපක්ෂයේ ද එකගතාව අවශ්ය ය. සටන් විරාම ගිවිසුම වෙනස් කරනවාට හෝ පහසුකම් සපයන්නා වෙනස් කරනවාට කොටි සංවිධානය එකග වනු ඇතැයි සිතිය නො හැකි ය. එම ආරාවුල පරෙස්සමෙන් විසඳ නො ගත හොත් පුපුරන සුළු තත්ත්වයක් ඇතිවීම පවා සිදු විය හැකි ය. අධිරාජ්ය විරෝධී, ධනපති විරෝධී හා දේශප්රේමී සටන් පාඨ සාමාන්ය ජනතාවගේ සතුටට හේතුවිය හැකි වුවත්, ඒවා ආයෝජකයින් බියගැන්වීමට හේතුවිය හැකි ය. අයෝජකයින් තුළ ඇතිවී තිබෙන බිය පහ කොට ආර්ථික ක්රියාකාරිත්වය ශක්තිමත් කරන්නේ කෙසේ ද යන්න නව ජනාධිපතිවරයා ඉදිරියේ තිබෙන තවත් ප්රධාන අභියෝගයක් ලෙස සැලකිය හැකි ය.
පරාජිතයා නින්දාවට හෝ පීඩාවට ලක් නො කොට ඔහුට නිසි ගෞරවයකින් සැලකීම ජයග්රාහකයාගේ වගකීමකි. රටේ නො දියුණුවට බලපා තිබෙන ප්රධානම සාධකය වී තිබෙන්නේ ජනතාව අතර පවත්නා පටු පක්ෂ භේදවාදි ආකල්පයයි. නව ජනාධිපතිවරයා තමන් නියෝජනය කරන හා තමන්ට අනුග්රහය දක්වන ලද දේශපාලන පක්ෂවලට සීමා නොවී සියලු ජනතාවගේ නායකයා බවට පත්විය යුතු ය. එය අමාරු දෙයක් විය හැකි වුවත්, නව ජනාධිපතිවරයාට සියලු දෙනාගේ ගෞරවය දිනා ගත් නායකයකු බවට පත්විය හැකිවනු ඇත්තේ එවිට ය.