අනුරගේ අපහාසය

December 26, 2004
Publication:
Contempt complaints are becoming fashionable: UNP MP Johnston Fernando has petitioned the Supreme Court over Anura Bandaranaike's remarks on the S.B. Dissanayake case. The note points out that the UNP leader decries contempt prosecutions while his own MP files one.

අධිකරණ අපහාස චෝදනා යටතේ පුද්ගලයින්ට එරෙහිව පැමිණිලි කිරීම විලාසිතාවක් බවට පත්වෙමින් පවතී.

එස්.බී. දිසානායක මහතාගේ නඩුව සම්බන්ධයෙන් අනුර බණ්ඩාරනායක මහතා කරන ලද ප්‍රකාශයක් පදනම් කොටගෙන එජාපයේ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අනුර බණ්ඩාරනායක මහතාගේ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් වී ඇති බව කියමින් ඒ ගැන ක්‍රියාකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පැමිණිල්ලට පාදක වී ඇත්තේ අනුර බණ්ඩාරනායක මහතා පොළොන්නරුවේදි කරන ලද්දේ යැයි කියන ප්‍රකාශයකි. පැමිණිල්ලට පාදක කරගෙන තිබෙන පුවත්පත් වාර්තා අනුව “එස්.බී.ට අලුත් අවුරුද්ද කන්න වෙන්නේ වැලිකඩ හිරගෙදරදි” යැයි අනුර බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කර තිබේ. නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර මෙසේ කීමෙන් අනුර බණ්ඩාරනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් කර ඇති බව පැමිණිලිකරුගේ මතය වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායකයා එක් අතකින් අධිකරණ අපහාස නීතියේ වර්තමාන ලෝක භාවිතය ගැන කතා කරයි. අපහාස වරදක් බරපතළ වරදක් ලෙස සලකා නූතන අධිකරණයක් දඬුවම් නොකරන බව ද කියයි. එසේ කියන අතර, වික්‍රමසිංහ මහතාගේ ගෝලබාලයන් අධිකරණය ඉදිරියට ගොස් තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියෙකු වූ අනුර බණ්ඩාරනායක මහතාට එරෙහිව දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටී. මේ ප්‍රතිපත්ති දෙක එකට එකක් පටහැනිය.