අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ නිල කාලය අවසන් වී ඇතත්, අලුතෙන් නම් කරන්නට ගිය කොමසාරිස්වරුන්ට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිලි නිසා අලුතෙන් කොමසාරිස්වරුන් පත්කිරීමේ ක්රියාවලිය තවදුරටත් කල් යන තත්ත්වයක් ඇතිවී තිබේ.
කොමිෂන් සභාවේ සාමාජික සංයුතිය පිළිබඳව ඇති කර තිබෙන විධි විධානවල ඇති දුර්වලතාව නිසා ශක්තිමත් කොමිසමක් ඇති කිරීම දුෂ්කර කාර්යයක් වී තිබේ. කොමිසම සමන්විත වන්නේ සාමාජිකයන් තිදෙනෙකුගෙනි. ඉන් දෙදෙනෙක් විශ්රාමලත් ශ්රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරුන් විය යුතු ය. තුන්වැන්නා අපරාධ විමර්ශනය කිරීම හා නීතිය ක්රියාත්මක කිරීම පිළිබඳ පුළුල් අත්දැකීම් ඇත්තෙකු විය යුතු ය. ඒ අනුව කොමිසමට පත් කළ හැක්කේ විශ්රාම ගිය විනිසුරුවරුන් දෙදෙනෙකු හා පොලිස් නිලධාරියෙකු පමණ ය. අල්ලස් කොමිසම වැනි ආයතනයක් විශ්රාම ගිය අයගේ තිප්පොළක් විය යුතු නැති අතර, එහි සාමාජික සංයුතිය ද අධිකරණ නිලධාරින්ට හා පොලිස් නිලධාරින්ට සීමා කළ යුතු ද නැත. වෙනත් වෘත්තිකයන් අතර ද හොඳ කොමසාරිස්වරුන් සිටිය හැකි ය. ඔවුන් අවශ්යයෙන්ම විනිශ්චයකාරවරුන් හෝ පොලිස් නිලධාරින් විය යුතු නැත.
ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් විශ්රාම යන්නේ අවුරුදු හැටපහේ දී ය. එවැනි වයසක සිටින පුද්ගලයෙකුට මෙවැනි අභියෝගාත්මක කාර්යයක යෙදිය හැකි ද යන්න ප්රශ්නයකි.
1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත වෙනත් අඩුපාඩුකම් වලින් ද පිරි පවතී. එයට විමර්ශනයක් ආරම්භ කළේ පැමිණිල්ලක් ඇතිවිට පමණි. ජනමාධ්යවල පළවන කරුණු මත විමර්ශනයක් ආරම්භ කළ නො හැකි ය. වත්කම් බැරකම් නීතිය යටතට වැටෙන වැරදි සොයා බැලීමේ වගකීම පැවරි ඇත්තේ ද අල්ලස් කොමිසමට ය. එහෙත් සියලු වත්කම් බැරකම් ප්රකාශ කොමිසම වෙත ලබාගනිමින් ඒවා නිරන්තර විමර්ශනයට ලක්කිරීමේ බලයක් කොමිෂන් සභාවට ලබාදි නැත.
වත්කම් බැරකම් නීතිය නීති විරෝධී ලෙස වස්තුව රැස් කරන දේශපාලකයන්ට හා රාජ්ය නිලධාරින්ට එරෙහිව යොදාගත හැකි ඉතාමත් බලවත් නීතියක් වුවත්, එම නීතියට අදාළව නීතිය ක්රියාත්මකවීම ඉතාමත් දුර්වල තත්ත්වයක පවතී. වත්කම් බැරකම් නීතිය යටතට වැටෙන සියලු පුද්ගලයින් විධිමත් ලෙස සිය වත්කම් හා බැරකම් හෙළි කිරීමට බැඳී සිටී. වත්කම් බැරකම් ප්රකාශ කිරිමෙන් වැළකී සිටින අයට ද එම නීතිය යටතේ දඬුවම් කළ හැකි ය.
එහෙත් වත්කම් බැරකම් ප්රකාශවල බලධාරීත්වය අල්ලස් කොමිසම වැනි එක ආයතනයකට පවරා නැත. ඊට එක බලධාරීයෙකු වෙනුවට බලධාරීන් ගණනාවක් සිටින්නේ ය. ඇමතිවරුන්ගේ බලධාරීයා ජනාධිපති ය. මන්ත්රීවරුන්ගේ බලධාරීයා කතානායක ය. මැතිවරණ අපේක්ෂකයන්ගේ බලධාරීයා මැතිවරණ කොමසාරිස්වරයා ය. ඒ බලධාරීන් කිසිවෙක් තමන් වෙත පැවරි තිබෙන වගකීම අකුරට ම ක්රියාත්මක කරන්නේ නැත. ඒ නිසා ඉතා බලවත් පුද්ගලයින්ට වත්කම් බැරකම් ප්රකාශ කිරීමේ දී මගහැර සිටීමේ හැකියාව හෝ බොරු කිරීමේ හැකියාව ලැබී තිබේ.
එම නීතිය අනුව ඕනෑම පුද්ගලයෙකුගේ වත්කම් බැරකම් ප්රකාශ ඡායා පිටපත් ගාස්තුව ගෙවීමෙන් පසුව ලබාදිමට බැඳී සිටියත්, ඒ ගැන උනන්දුවක් දක්වන මහජනතාවට ඒවා ලබාදිමක් සිදුවන්නේ නැත.
වත්කම් බැරකම් නීතිය අනුව රටේ ජනාධිපතිනිය ද වත්කම් බැරකම් ප්රකාශ කළ යුතු ය. එහෙත් පුදුමයකට මෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම එම නීතිය අර්ථකථනය කොට ඇත්තේ සියලු දේශපාලකයන් හා රාජ්ය නිලධාරින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධිකාරියට යටත් වුවත්, ජනාධිපති පමණක් එම අධිකාරියට යටත් නොවන බව ය. වත්කම් බැරකම් නීතිය අනුව ජනාධිපති ද වත්කම් බැරකම් ප්රකාශ කළ යුතු ය. වත්කම් බැරකම් නීතිය යටතට වැටෙන වැරදි සොයා බැලීමේ ප්රධාන අධිකාරිය පැවරි ඇත්තේ අල්ලස් කොමිසමට නම්, ජනාධිපති පමණක් ඉන් පිටස්තර කොට තැබිය හැක්කේ කෙසේ ද? අල්ලස් හෝ දූෂණ නීතිය සියලු දේශපාලකයන්ට අදාළ විය යුතු ය. කිසිවකුට ඉන් ඉහළින් සිටින්නට ඉඩ දිය යුතු නැත.