අනුරගේ රස කතා

December 26, 2004
Publication:
Anura Bandaranaike has changed his tune about succeeding his sister as the alliance's presidential candidate. In sections on the constitutional amendment, Chandrika's tricks, a Ranil who belongs to neither world, and a thunderbolt striking the temple of justice, Ivan argues that the state needs full reform, not reform to save one person from irrelevance, and above all an independent judiciary.

අනුර බණ්ඩාරනායක මහතා තමන් ගසන බයිලාවේ තේමාවේ මූලික වෙනසක් ඇති කර තිබෙන බව පෙනේ. ඔහු මුලින් කීවේ අක්කාගේ දෙවැනි නිල කාලය සම්පූර්ණ වීමෙන් පසුව සන්ධානයෙන් ජනාධිපති ධුරයට තරග කරන්නේ තමා බවය. ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානයකට ගෙනාවේ තමා බවත්, තමාගේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ආධාර කරනු ඇති බවත් ඔහු කීවේය. එහිදි සමහර අවස්ථාවලදි තම උරුමය ගැන ද ඔහු කතා කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඔහුගේ පියාය. පියාගෙන් පසුව මව පක්ෂ නායකයා බවට පත්වූවාය. මවගෙන් පසු ඒ තැන ගත්තේ අක්කාය. අක්කාගෙන් පසුව ඒ තැන තමන්ට හිමි බව ඔහු පුන පුනා කීවේය.

මේ වන විට ඔහු රටේ ජනාධිපතිවීමේ හා ශ්‍රීලනිපයේ නායකයාවීමේ සිහිනය අත්හැර තිබෙන බව පෙනේ. දැන් ඔහු කියන්නේ ඊළග දස වසරේ ජනාධිපතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවය. සිය අක්කා තවත් දස වසරක් රට පාලනය කරන බවය. ඒ සඳහා යන ගමන් මාර්ගය කියා දිම ගැන ඔහු ජේ.ආර්. ජයවර්ධනට ස්තුති කරන්නට ද අමතක නොකළේය. විධායක ජනාධිපතිට කරන්නට බැරි, ගැහැනියක් පිරිමියෙකු කිරීමත්, පිරිමියෙක් ගැහැනියක කිරීමත්, පමණක් බවට ජේ.ආර්. කී පුරසාරම මතක් කරමින් ඔහු කියන්නේ තමන්ගේ අක්කා නම් පිරිමියෙක් ගැහැනියක් කරන්නට ද සමත් වූ බවයි. අක්කා ගැහැනියක් බවට පත් කළ පිරිමියා වනුයේ රනිල් වික්‍රමසිංහය. ජේ.ආර්. ජයවර්ධන මැතිවරණ සිතියම අවුරුදු 10කට හකුළන බව කීවේය. දැන් අනුර බණ්ඩාරනායක සිය අක්කා වෙනුවෙන් ඒ දේම ඊට තරමක් වෙනස් වචනවලින් ප්‍රකාශ කරයි. ජනාධිපතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවත්, අක්කා තවත් අවුරුදු 10ක් රට පාලනය කරනු ඇති බවත් කියයි. එය කියන්නේ ද අප්‍රියාවකින් නොව උජාරුවකිනි.

ජේ.ආර්. ජයවර්ධන පිස්සු නැටුවේය. ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ රටටය. දැන් චන්ද්‍රිකාට අවශ්‍ය වී ඇත්තේ ජේ.ආර්. නැටු නැටිල්ලම නටන්නට නම් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේ ද මුළු රටටමය.

ව්‍යවස්ථා සංශෝධනය හා වලව්වේ දංකුඩ කෑම

දියුණු හා ශිෂ්ටසම්පන්න සමාජයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සලකන්නේ රටේ මූලික නීතිය වශයෙන් පමණක් නොව, සමාජ ගිවිසුමක් ද වශයෙනි. එවැනි සමාජවල විශාල ප්‍රමාණයේ පොදු එකගතාවකින් තොරව බහුතර බලයකින් පමණක් ව්‍යවස්ථාව වෙනස් කිරීමේ හැකියාවක් නැත. අනෙක් අතට හැම වසර 10කට වරක් නව ව්‍යවස්ථා හදන සම්ප්‍රදායක් නොපවතී.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව කොයි කවර කලකවත් පොදු සමාජ ගිවිසුමක් ලෙස නොසැලකීය. එය හැමදාමත් සලකන ලද්දේ අවශ්‍ය නම් බලයට පත්වන ආණ්ඩුවකට අවලංගු කොට තමන්ට මනාප ලෙස අලුතෙන් ඇති කරගත හැකි ලියවිල්ලක් ලෙසය. නිදහසේ සිට මේ දක්වා ඇති කරගෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංඛ්‍යාව තුනක් වන අතර, දැන් හදන්න වෙරදරමින් සිටින්නේ එහි හතරවැන්නය. ඉන් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රී ලංකාව තාමත් ඉන්නේ දේශපාලන ශීලාචාරභාවයේ පහත් අවධියක බවය. ඒ තත්ත්වයට දේශපාලනඥයන් පමණක් නොව සමාජය ද වගකිව යුතුය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පැමිණියේ ජෙ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව ඒකාධිපති බහුභූත ව්‍යවස්ථාවක් ලෙස හඳුන්වමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් ඇති කරන බවට දිවුරා පොරොන්දු වෙමිනි. එහෙත් ඇය ව්‍යවස්ථාවට ඉඳහිට බැණවදිමින් එහි ඇති ඒකාධිපති රසය උපරිම ලෙස උරා බිව්වාය. දැන් ඇයට එය වෙනස් කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ ද එහි ඇති නරක නිසා නොව, දේශපාලන වශයෙන් තමාගේ අවලංගුවීම වළකා ගැනීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීම අත්‍යාවශ්‍ය කොන්දේසියක් වී තිබෙන නිසාය. පුදුමයකට මෙන් කලක් හොරගොල්ල වලව් ආධිපත්‍යයට එරෙහිව හඬ නැගූ ජනතා විමුක්ති පෙරමුණ ද ශ්‍රී ලංකා දේශපාලනයේ වලව් ආධිපත්‍යය තහවුරු කරන ප්‍රධාන ආධාරක බලවේගය බවට පත්ව සිටින්නේය.

චන්ද්‍රිකා මායම් හා ඉබ්බා දියට දැමීම

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලෝකයට පෙන්නන්න හදන්නේ තමන් සාම සාකච්ඡා ආරම්භ කරන්නට එක පයින් කැමති වුවත්, ආණ්ඩුවේ කොටස්කාරයකු වී සිටින ජනතා විමුක්ති පෙරමුණෙන් එල්ල වී තිබෙන විරෝධය නිසා තමන්ට තවදුරටත් ඉවසීමෙන් බලා සිටින්නට සිදුවී තිබෙන බවය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවකාරි විරෝධතා ප්‍රවේශය චන්ද්‍රිකාගේ මායමය දේශපාලන වැඩපිළිවෙළේම කොටසකි.

දැන් සන්ධාන ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයේ අංක 1ට ඇත්තේ සාම කතා නොව, දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ වැඩපිළිවෙළය. ක්‍රමය වෙනස් කිරීම සඳහා පවත්වන ජනමතවිචාරණයකදි සුළු ජාතීන්ගේ ඡන්ද ලබාගත නොහැකි බව මේ දෙපක්ෂය දන්නේය. එවැනි ජනමත විචාරණයක ජයග්‍රහණය සඳහා සිංහල ජනතාවට බර තබන වැඩපිළිවෙළකදි ඔවුන්ගේ ඡන්ද ලබාගැනීමට එක්තරා ප්‍රමාණයකට ජාතිවාදි ප්‍රවේශයක පිහිටා ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව ද ඔවුන් දනී. ජනතා විමුක්ති පෙරමුණ රගපාමින් තිබෙන්නේ ඒ භූමිකාවය.

ක්‍රමය වෙනස් කිරීම සඳහා ක්‍රියාවට නගන්නට යන මෙම වැඩපිළිවෙළට ආවේණික බිහිසුණුම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ ඒ මගින් දෙමළ ජාතිය නියෝජනය කරන ප්‍රභාකරන්ට ද අවශ්‍ය වෙතොත්, හිතුවක්කාරි වීමට අවශ්‍ය ශක්තිමත් හා තර්කානුකූල පදනමක් ලබාදිමය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුව තිබෙන බවට සැකයක් තිබිය නොහැකිය. එවැන්නක් කිරීම අවශ්‍ය වී ඇත්තේ එක් පුද්ගලයෙකුගේ අවලංගුවීම වළකා ගැනීම සඳහා නොව, සමස්ත දේශපාලන ආයතන ක්‍රමයම කුණුවී බිඳ වැටෙන තත්ත්වයක් ගොඩනැගී තිබෙන නිසාය. එහෙත් රාජ්‍ය නැවත ප්‍රතිසංස්කරණයට ලක් කරන වැඩපිළිවෙළක් සියලු වර්ගවලට අයත් රටේ ජනයා එකට ඒකරාශී කරන වැඩපිළිවෙළක් විය යුතුවා මිස, ජාතිය කැබලි කරන වැඩපිළිවෙළක් නොවිය යුතුය. එය කැරලි ගසන තත්ත්වයක සිටින දෙමළ වර්ගයාගේද සහාය ඇතිව කරන්නක් විය යුතුය.

ප්‍රභාකරන් සමග සාම කතාවලට යනවා යන්නෙහි තේරුම වනුයේද දෙමළ ජනතාව සමග රාජ්‍ය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන එකගතාවක් සඳහා සාකච්ඡා කරන බවය. පොදු සමාජ ගිවිසුමක් සඳහා වන කතිකාවතකට යන බවය. ඒ කතිකාවත අතරමග නතර කොට ඔවුන්ගේ කැමැත්ත නොසලකා හිතුවක්කාරි ආකාරයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන තැනකට යාමෙහි අවසාන තේරුම වනු ඇත්තේ ද පොදු සමාජ ගිවිසුමක් ඇති කරගන්නා ක්‍රියාවලියේදි දෙමළ ජනතාව ඒ ක්‍රියාවලියට සහභාගි කර නොගන්නා බවය. එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ සිංහල ආණ්ඩුවට දෙමළ අප නොසලකා පමණක් නොව ඔවුන්ගේ විරුද්ධ පක්ෂ ද නොසලකා හිතුවක්කාරි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගැනීමේ අයිතිය ඇත්නම් සන්ධාන ආණ්ඩුවට තිබෙන සිංහල කැමැත්තට වැඩි අතිවිශාල දෙමළ බහුතර කැමැත්තක් අපට තිබෙන නිසා අපිදු අපේ ජනයා සඳහා ව්‍යවස්ථාවක් ඇති කරගන්නෙමුයි කියන තැනකට ප්‍රභාකරන් තල්ලු කිරීමය.

එලොවටත්, මෙලොවටත් නැති රනිල්

ව්‍යවස්ථාව පිළිබඳව සමාජයේ පවත්නා ව්‍යාකූලභාවයට වඩාත්ම වගකිවයුතු පුද්ගලයා වනුයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාය. විධායක ජනාධිපති ක්‍රමය එතුමාගේ මාමාගේ නිර්මාණයකි. වෙනත් රටවල පවත්නා විධායක ජනාධිපති ක්‍රමයන්ට නැති සමහර අශෝභන අංග ලක්ෂණ ද ඊට ඇතුළත්ය. මේ ක්‍රමය යටතේ ජනාධිපති එක් පක්ෂයකින් ද, පාර්ලිමේන්තුව තවත් පක්ෂයකින් ද පත්වන අවස්ථාවලදි පවා තමන් කැමති තරම් ඇමති තනතුරු ගණනක් ඉසිලීමේ බලය ජනාධිපති සතුය. එසේම පාර්ලිමේන්තුවේ නිල කාලය එක වසරක් සම්පූර්ණ වීමෙන් පසුව සාධාරණ හේතු ඇතිව හෝ නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ද ජනාධිපති සතුය. ඉතාමත් බරපතළ වැරදි කරන අවස්ථාවකදි වුවද ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය නොහැකිය. දූෂණය හා අයථා ලෙස වස්තුව රැස්කිරීම වැනි වැරදිවලදි පවා ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය නොහැකිය.

මේ ක්‍රමය සංශෝධනය කළ යුතුයි කියන ප්‍රබල මතයක් එජා පක්ෂය තුළ පවා පසුකලකදි ගොඩ නැගී තිබුණි. ලලිත් ඇතුලත්මුදලි ගාමිණී දිසානායක වැනි නායකයන් පෙනී සිටියේ එවැනි මතවාදයක් වෙනුවෙනි.

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වූයේ මාමා ඇති කර තිබූ මේ ක්‍රමය සංශෝධනයකින් තොරව ඉදිරියට ගෙනයන්නටය. තමා වැනි දුර්වල නායකයකුට සාර්ථක පාලනයක් සඳහා ඒකාධිපති බලතල අවශ්‍ය වේ යැයි ඔහු කල්පනා කළා විය හැකිය. එම ක්‍රමයේ අවලක්ෂණ අංග ඉවත් කොට විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කළ යුතුය යන මතය එම පක්ෂය තුළ සාකච්ඡාවට ලක්වන අවස්ථාවන්හිදි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේ ඊට විරුද්ධ නොවූවත්, සංශෝධිත ක්‍රමයක් ඉදිරියට ගැනීමට ඔහු ඉඩ නුදුන්නේය.

දැන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වැරදි ලෙස ප්‍රයෝජනයට ගනිමින් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඇති කරන ලද එම අවකාශයයි.

මේ ක්‍රමය වෙනස් කළ යුතුයි කියන ප්‍රබල මතයක් දැන් වසර ගණනාවක් තිස්සේ රටේ ගොඩනැගී තිබුණි. සංශෝධිත ජනාධිපති ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින්නට රනිල් වික්‍රමසිංහ මහතාට පිටකොන්දක් තිබුණේ නම්, ඉදිරියේ එන ජනමත විචාරණයකට ශක්තිමත්ව මුහුණදිමේ හැකියාව ද එම පක්ෂයට ලැබෙන්නට ඉඩ තිබුණි. එහෙත් සංශෝධිත ජනාධිපති ක්‍රමයක් වෙනුවෙන් පෙනී නොසිටි නිසාම ක්‍රමය කෙරෙහි ඇති විරෝධය රටේ යහපතට නොව පෞද්ගලික වාසියට හරවා ගැනීමේ හැකියාව ජනාධිපතිනියට ලැබී ඇත්තේය. අවසාන විග්‍රහයේදි මේ නායක දෙපළ එක සමාන තරමකට ආත්මාර්ථකාමී වේ යැයි කිව හැකිය.

යුක්තියේ දෙවොළට හෙණ ගැසීම

ක්‍රිකට් තරගයකදි තරගයේ විනිසුරුවරුන් ලෙස ක්‍රියාකරන පුද්ගලයින් දෙදෙනා එළිපිට එක් කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටින තත්ත්වයකින් ක්‍රියාකරයි නම් මහා ආරාවුලක් ඇතිවනු නොවැළැක්විය හැකිය. අධිකරණයක් පටු දේශපාලනයක නිරත වන තත්ත්වයක් ඇතිවූ විට විය හැක්කේ ද ඒ ටිකමය. ප්‍රතිපක්ෂ පමණක් නොව එම ප්‍රතිපක්ෂවල අනුගාමිකයින් ද අධිකරණයට එරෙහිව නැගී සිටින තත්ත්වයක් ඇතිවන්නේය. අගවිනිසුරු සරත් නන්ද සිල්වා අධිකරණය ඇද දමා තිබෙන්නේ එවැනි ඛේදජනක තැනකටය.

අධිකරණයේ බරපතළ වැරදි සිදුවන තත්ත්වයක් ඉදිරියේ විරුද්ධ පක්ෂ ඒ දෙස නිහඬව බලා සිටියා මිස, ඒ වැරදි නිවැරදි කිරීමට බලවත් උත්සාහයක නොයෙදුණේය. ජනාධිපතිනිය ද තමන්ගේ වාසිය පිණිස තමන් අධිකරණ නායකත්වයට ගෙනා සරත් නන්ද සිල්වා මහතාට පිස්සු නටන්නට ඉඩ හැර බලා සිටියාය. දැන් ඒ සියල්ලෙහි ප්‍රතිඵලය වී ඇත්තේ මහජනයා ප්‍රසිද්ධියේ අධිකරණයට නින්දා කරන තැනකට තල්ලුවීමය. අධිකරණ ස්වාධීනත්වයක් නැති මහජනයාගේ නිසි ගෞරවයක් නැති මහජනයාගේ උසුලු විසුළු කිරීමට හේතුවූ ආයතනයක් බවට පත්වීමය.

මේ තත්ත්වයෙහි ඉක්මන් වෙනසක් ඇති නොකළහොත් එමගින් මුළු රටටම ඇති කරන ප්‍රතිඵල ඉතාමත් විනාශකාරී විය හැකිය. අවශ්‍යව ඇත්තේ ස්වාධීන අධිකරණයකි. දේශපාලන පක්ෂ අතර ඇතිවන ආරවුල් වලදි පක්ෂපාතිත්වයකින් තොරව ක්‍රියාකරන අධිකරණයකි. පාලක පක්ෂයේ පැවැත්ම ආරක්ෂා කිරීමට බැඳී සිටින අධිකරණයක් වෙනුවට මහජන නිදහස ආරක්ෂා කිරීමට මූලික වශයෙන් බැඳී සිටින අධිකරණයකි.