එස්.බී. දිසානායක ඔහුගේ නඩු තීන්දුව ප්රකාශ කළ 14 වැනිදා අධිකරණයට ගියේ හිරේ යන්න බලාගෙන නොවේ. අත්හිටවූ ලිහිල් සිරදඬුවමක් සමග නැවත ගෙදර එන්න බලාගෙනය. ඔහු එම විශ්වාසය තමන් තුළ ඇති කරගෙන තිබුණේ තමාට ලැබෙන්නට තිබුණු නඩු තීන්දුව පිළිබඳව ඔහු විසින් ඇති කරගෙන තිබූ මනෝරාජික විශ්වාසයක් නිසා නොවේ. අධිකරණ නායකයා සමග ඇති කරගෙන තිබූ එකගතාවක් අනුව අධිකරණ නායකයා ඔහු වෙත ලබාදි තිබුණු පැහැදිලි පොරොන්දුවක් මතය. ඔහු මේ නඩුවේදි පළමුවෙන් සූදානම් වී සිටියේ අධිකරණ නායකයාට එරෙහිව නැගී සිටින්නටය. ඒ සඳහා ඔහු විශාල සූදානමක ද යෙදුණේය. ඒ වෙනුවෙන් ඉතා වැදගත් යැයි සිතෙන දිවුරුම් පෙත්සම් ගණනාවක් ද ලබාගත්තේය. අධිකරණ නායකයා සමග ඔහුට සමීප දැන හැඳුනුම්කමක් ද තිබුණේය. සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්කරන්නට යන අවස්ථාවේදි බාහිර වශයෙන් එල්ල වී තිබුණු විරෝධතාවන්ට අතිරේකව අභ්යන්තරික වශයෙන් ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා, ඊ.ඩී. වික්රමනායක, ආර්.කේ.ඩබ්. ගුණසේකර වැනි ජනාධිපතිනියට සමීප නීති උපදේශකයන් වෙතින් ද විරෝධය පළවී තිබුණු තත්ත්වයක් තුළ එම පත්කිරීම කරනවා ද නැද්ද යන්න ගැන ජනාධිපතිනිය දෙගිඩියාවකින් සිටි අවස්ථාවක නොබියව සරත් නන්ද සිල්වා එම තනතුරට පත්කරන ලෙස ජනාධිපතිනියට බලකර සිටි පුද්ගලයා වූයේ එස්.බීය. ඒ අර්ථයෙන් සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට ගෙන ඒමට බලවත් ලෙසම මැදිහත්වූ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ද එස්.බී. ය.
නොවැම්බර් 3 වැනි සතියේ කිසියම් දිනක නිහාල් ජයවික්රම ලංකාවට පැමිණ ඇති බව දැනගන්නට ලැබී මම ඔහු හමුවීමට ගිය අවස්ථාවක, එම ස්ථානයට එස්.බී. දිසානායක ද පැමිණියේය. ඒ ස්ථානයේ හිටපු ඇමතිවරයෙකු ද සිටියේය.
එස්.බී.ගේ අපහාස නඩුව ගැන එහිදි සාකච්ඡාවට ලක්විය. එස්.බී. එහිදි එක හඬින් කියා සිටියේ ජනාධිපතිනියගේ අපේක්ෂාව කුමක් වුවත්, එම නඩුවේදි අධිකරණය තමන්ට දඬුවම් නොපමුණුවන බවය. ඒ සඳහා තමන්ට අගවිනිසුරුතුමාගෙන් පැහැදිලි පොරොන්දුවක් ලැබී තිබෙන බව ද ඔහුට කියා සිටියේය. තවදුරටත් කතා කරගෙන යනවිට අගවිනිසුරුතුමා සමග එකගත්වයක් ඇති කරගත් ආකාරය පිළිබඳව ද ඔහු විවිධ දේ කතා කළේය. මේ නඩුවේදි තමා ඔහුට එරෙහිව සටන් කරන තැනකට නොගොස් වරද පිළිගන්නා තැනකට ආවේද අගවිනිසුරුගෙන් ලැබුණු උපදෙස් මත බව ඔහු ප්රකාශ කළේය.
ඔහු කියන කතාව අසාගෙන සිටි මා තුළ ඇතිවූයේ තරහක් හා පිළිකුලකි.
එස්.බී. අගවිනිසුරු සමග ඇති කරගෙන තිබෙන ගනුදෙනුව හා ඇතිවිය හැකි අවසාන ඵලය ගැන මාගේ මතය ඔහුට එහිදි ප්රකාශ කළෙමි.
මා කරුණු පැහැදිලි කිරීම පිණිස පළමු නිදර්ශනය ලෙස ගත්තේ මුස්ලිම් කොංග්රස් නඩුවයි. අගවිනිසුරුට එරෙහිව ගෙනා පළමු දෝෂාභියෝගය ඉදිරියට ගෙනයෑමට නොහැකි වූයේ රවුෆ් හකීම් ඊට එකහෙළා විරුද්ධ වූ නිසා බවත්, අගවිනිසුරු රවුෆ් හකීම්ට තිබුණු සම්බන්ධකම් ඔස්සේ ඔහු මගින් දෝෂාභියෝගය ඉදිරියට ගෙන යා නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බවත්, අගවිනිසුරුවරයාට එතරම් විශාල උදව්වක් කළ රවුෆ් හකීම් පවා නොසලකා අගවිනිසුරුවරයාට සිය දේශපාලන න්යාය පත්රය වෙනුවෙන් හකිම්ට එරෙහිව ක්රියා කළ බවත් කියා සිටියෙමි.
දෙවැනි නිදර්ශනයට ගත්තේ ජාතික හෙළ උරුමයයි. අගවිනිසුරුවරයාට තනතුරේ රැඳී සිටීමේ හැකියාව ලැබුණේ භික්ෂූන් වහන්සේලා නිසා බවත්, අවසානයේදි ජාතික හෙළ උරුමය පිළිබඳ ප්රශ්නයේදි තමන් ඔවුන්ට දී තිබුණු පොරොන්දුවට පටහැනිව හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේලාගේ අයිතිවාසිකම් නොසලකා සිය දේශපාලන න්යාය පත්රය වෙනුවෙන් ක්රියාකළ බවත් කියා සිටියෙමි.
මා එස්.බී.ට අවසාන වශයෙන් කීවේ, මුස්ලිම් කොංග්රසයේ රවුෆ් හකීම් හා හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේලා සමග සසඳන විට අගවිනිසුරුට එස්.බී. දිසානායක වැදගත් සාධකයක් නොවන බවත්, අගවිනිසුරුවරයා ඉතාමත් දක්ෂ ලෙස එස්.බී. ව සිය උගුලට දැනටමත් අසු කරගෙන අවසන් බවත්ය. අගවිනිසුරුට එස්.බීට වඩා ජනාධිපතිනියගේ දේශපාලන න්යාය පත්රය වැදගත් බැවින් එක් අවුරුද්දකට වැඩි සිරදඬුවමක් ලැබීමට ඉඩ ඇති බව ද කියා සිටියෙමි.
ඔහු අගවිනිසුරු සමග පස්සා දොරෙන් කරන ගනුදෙනු ගැන ද විවේචනය කරමින් ඔහු සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන කෙනෙකුට ඔහුට එරෙහිව කතා කිරීමේ අයිතියක් නැති බව ද කියා සිටියෙමි.
19 වැනි සංශෝධනයේදි අගවිනිසුරු සමග පස්සා දොරෙන් ගනුදෙනු කළ පුද්ගලයන් ගණනාවක්ම සිටියෝය. එස්.බී. ද ඔවුන්ගෙන් එක් අයෙකු විය.
එස්.බී. පොදු පෙරමුණු ආණ්ඩුවේ ඇමතිවරයෙකුව සිටියදි ඔවුන්ගේ නව ආණ්ඩුක්රම ව්යවස්ථාව ඇතිකර ගැනීමේ ක්රියාවලියට අධිකරණය බාධාවක් ලෙස ක්රියාකරයි නම්, කලකට අධිකරණය වසා දමා හෝ ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවට එස්.බී. විසින් කරන ලද ප්රසිද්ධ ප්රකාශයට එරෙහිව අගවිනිසුරු හැර ශ්රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරු නැගී සිටියෝය. ඒ දුෂ්කර මොහොතේදි එස්.බී. ආරක්ෂා කරගත්තේ ද අගවිනිසුරුය. අගවිනිසුරුට එසේ කිරීම අවශ්ය වූයේ ඔහු ද පොදු පෙරමුණු ආණ්ඩුවේ එම දේශපාලන න්යාය පත්රය වෙනුවෙන් පෙනී සිටි නිසාය. අනෙක් අතට ඊළග වාරයේදි පස්සා දොරෙන් කෙරුණු ගනුදෙනුවේදි දෙන ලද පොරොන්දු වලට පටහැනිව එස්.බී. ට දඬුවම් කිරීමට අගවිනිසුරුට අවශ්ය වූයේ ද සන්ධාන ආණ්ඩුවේ දේශපාලන න්යාය පත්රය ඉදිරියට ගෙනයෑම සඳහා එස්.බී. සම්බන්ධයෙන් එවැනි ප්රතිපත්තියක් අනුගමනය කිරීම අත්යාවශ්ය වේ යැයි අගවිනිසුරු කල්පනා කළ නිසා විය හැකිය.
අධිකරණයට එරෙහිව දෙවැනි වර කළ ප්රකාශයේදි එස්.බී.ගේ ආරක්ෂාව වෙනුවෙන් අගවිනිසුරුට පළමුවෙන්ම කතා කරන ලද පුද්ගලයා වූයේ අපවත්වූ මල්වතු පාර්ශ්වයේ මහා නායක රඹුක්වැල්ලේ ශ්රී ධම්මරක්ඛිත හිමිපාණෝය. එම ප්රශ්නයේදි එස්.බී. ට වරදක් වන්නට ඉඩ නොතබන ලෙස උන්වහන්සේ අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇති අතර, ඒ ගැන අගවිනිසුරුවරයා උන්වහන්සේගේ සතුටට හේතුවන පිළිතුරක් ද ලබාදි තිබේ. එහෙත් උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව තමන් පිළිබඳව අගවිනිසුරුවරයා දරන ආකල්පවල වෙනසක් ඇතිවී තිබෙන බව එස්.බී. ට පළමුවෙන්ම දැනගන්නට ලැබී ඇත්තේ නුගේගොඩ නාලන්දාරාමයේ තිනියාවල පාලිත හිමියන් මගිනි. තමන් එස්.බී. ව වසර දෙකකට හිරගෙට යවන බව අගවිනිසුරුවරයා තිනියාවල පාලිත හිමියන් සමග කියා ඇති අතර, ඒ හිමියන් එස්.බී. වෙත ඒ බව දැනුම්දිමෙන් පසුව තමන්ට එරෙහිව ඇසෙන්නට නියමිත එම නඩුව අගවිනිසුරුට බරපතළ ලෙස චෝදනා කෙරෙන නඩුවක් බවට පත්කිරීම සඳහා එස්.බී. ඒ වෙනුවෙන් මුළු ශක්තිය යොදා සූදානම් වූයේය. අගවිනිසුරු පිළිබඳ ඉතා බරපතළ දිවුරුම් ප්රකාශ ගණනාවක් ද ලබාගන්නා ලදි. එක් දිවුරුම් ප්රකාශයක් ලබාගෙන තිබුණේ කාන්තාවකගෙනි.
ආපසු දෙදෙනා අතර සම්බන්ධයේ හැරවුමක් ඇතිවූයේ රාත්රී කාලයේ වාහනයක සිටියදි අගවිනිසුරු පොලිස් සෝදිසියට ලක්වීමේ සිද්ධියත් සමගය. එස්.බී. අධිකරණයේදි තමන් බරපතළ ලෙස දෝෂාරෝපණයට ලක් කිරීම සඳහා කරුණු එක් රැස් කරමින් සිටින බව අගවිනිසුරුවරයාට ඒ වනවිට දැනගන්නට ලැබී තිබුණි. අනෙක දියවන්නාඔය සිද්ධිය පිළිබඳව එජාපය ඒ වනවිට තේරිම් කාරක සභාවක් ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර තිබුණු අතර, ඒ වැඩපිළිවෙළ යටපත් කිරීමට ද අගවිනිසුරුවරයාට අවශ්යව තිබුණි. මේ දෙදෙනා නැවත පස්සා දොරෙන් ගනුදෙනු කරන තත්ත්වයක් ඇතිවූයේ ඒ සමගය. ඒ ගනුදෙනුව සඳහා කරන සාකච්ඡාවලදි තිනියාවල පාලිත හිමියන් එස්.බී. ගේ පාර්ශ්වය නියෝජනය කරන විට අගවිනිසුරුගේ පාර්ශ්වය නියෝජනය කර ඇත්තේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියයි. ප්රභාත් නානායක්කාර නමැති පුද්ගලයා ද මේ ගනුදෙනුවේ තවත් අතරමැදියෙකු ලෙස ක්රියාකර තිබේ.
ඒ අනුව දෙදෙනා අතර ඇති කරගෙන තිබෙන එකගත්වය වී ඇත්තේ එස්.බී. දිසානායක තමන් විසින් කරන ලද ප්රකාශය වෙනුවෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටිනු ඇති අතර, අගවිනිසුරුවරයා ඔහුට අත්හිටවූ දඬුවමකට ඔබ්බට නොයන දඬුවමක් ලබාදිමට වගබලා ගැනීමය. ඇති කරගත් මේ එකගත්වය සිය නීතිඥ මහතුන්ට ද දැනුම් දී තිබේ.
ඒ අනුව නඩු තීන්දුව දෙන තෙක්ම එස්.බී. තමන්ට සිරදඬුවමක් ලැබෙන බව විශ්වාස නොකළේය. එහෙත් අපේක්ෂා කළ ආකාරයට වෙනස්ව ඔහුට සිදුවූයේ හිරගෙදරට යන්නටය. එය සිය කැමැත්තෙන් උගුලට හසුවූවා සමානය. ඔහු වරද නොපිළිගෙන නඩු කියන තැනකට ගියේ නම් සමහර විට ඔහුට එම නඩුව ජයගන්නට පවා හැකිවන්නට ඉඩ තිබුණි. අධිකරණය, දේශපාලනය කරන තැනක් බවට පත්වූ විට ඒ අධිකරණය වෙත විරුද්ධවාදි දේශපාලකයන් වෙතින් රළු විවේචන එල්ලවීම ද නොවැළැක්විය හැකිය. දේශපාලනය කරන අධිකරණයකට අධිකරණය ගැන රළු විවේචන කරන දේශපාලකයන්ට දඬුවම් කිරීමේ අයිතියක් තිබිය නොහැකිය. මෙවැනි වරදක් සඳහා එස්.බීට ලබාදි තිබෙන දඬුවමේ ප්රමාණය ඉතාමත් අසාධාරණය.