“දි කිරට කියන බළල් සාක්ෂියක්”: අගවිනිසුරු සහ “දිවයින”

December 5, 2004
Publication:
The Sunday Divaina ran a full-page interview with the Chief Justice, conducted by a writer who had earlier defended the Public Trustee. The piece asks why the interview appeared while an estate case involving the paper's owners was pending before a bench on which the Chief Justice always sat, and whether a judge may use a litigant's newspaper as his shield.

අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමග කරන අපූරු සම්මුඛ සාකච්ඡාවක් මුළු පිටුවක් පුරා පසුගිය “ඉරිදා දිවයින” පුවත්පතේ පළ කොට තිබුණි. එම සම්මුඛ සාකච්ඡාවේ ඉංග්‍රීසි පරිවර්තනයක් “සන්ඩේ අයිලන්ඩ්” පුවත්පතේ ද පළකර තිබුණි.

අගවිනිසුරු සමග එම සම්මුඛ සාකච්ඡාව කර තිබුණේ මනෝජ් අබේදිර නමැති ලේඛකයාය. ඔහු මීට පෙර මහා භාරකාර සරත් සෙනෙවිරත්නට එල්ල වී තිබෙන චෝදනා වලින් ඔහු ආරක්ෂා කරදිම පිණිස ද ඔහු වෙනුවෙන් පිටුවක්ම ලියා තිබුණි. එහෙත් මහා භාරකාරයා කුණු බක්කියට යෑම වළකා ගැනීමට ඒ ලිපියට හැකිවූයේ නැත. ඉන්පසු මේ පුද්ගලයා මහා භාරකාරයා ගැන කතා කරන්නේ ද නැත.

උපාලි පුවත්පත් සමාගමට එරෙහිව උපාලි විජේර්ධනගේ සහෝදරියන් දෙදෙනා පවරා තිබෙන බූදල් නඩුව ඇසෙමින් තිබෙන්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. දැන් අගවිනිසුරු තමාගේ ධීරවීරභාවය ගැන කතා කරන්නට තෝරාගෙන ඇත්තේ තමා ඉදිරියේ ඇසෙන නඩුවක ප්‍රධාන වගඋත්තරකරුගේ පුවත්පතකි. “ඉරිදා දිවයින” පුවත්පතේ පිටුවක මිල රුපියල් ලක්ෂ 3ක් පමණ විය හැකිය. “සන්ඩේ අයිලන්ඩ්” පුවත්පතේ පිටු භාගයක මිල රුපියල් ලක්ෂ 2ක් පමණ විය හැකිය. එවිට උපාලි පුවත්පත් සමාගමෙන් අගවිනිසුරුවරයාට ලැබී තිබෙන අනුග්‍රහයේ වටිනාකම ලක්ෂ 5කි.

මෙම සම්මුඛ සාකච්ඡාව උපාලි පුවත්පත් සමාගමේ වුවමනාව මත අගවිනිසුරුවරයාගෙන් ලබාගත්තක් ද, නැතිනම් අගවිනිසුරුවරයා සිය වුවමනාව මත ලබාදුන්නක් ද යන්න පැහැදිලි නැත. එහෙත් සාමාන්‍යයෙන් දිවයිනේ පළවෙන සම්මුඛ සාකච්ඡාවල ඉංග්‍රීසි පරිවර්තන “අයිලන්ඩ්” පුවත්පතේ පළවන අවස්ථා දුලබය.

දැන් දිර්ඝ කාලයක් තිස්සේ දිවයිනේ බූදල් නඩුව ඇසෙමින් තිබෙන්නේ අගවිනිසුරු ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. එහි අගවිනිසුරු රගපාන භූමිකාව පිළිබඳව පැමිණිලිකාර පාර්ශ්වය අතර අතෘප්තියක් පවත්නා බව ද නොරහසකි. අගවිනිසුරු තමන් ඉදිරියේ ඇසෙන නඩුවලට සම්බන්ධ සමහර පිරිසක් තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා කරන අරගලයේ කොටස්කරුවන් බවට පත් කරගෙන ඇතැයි කිව හැකිය.

උපාලි පුවත්පත් සමාගම අගවිනිසුරු මුල් කරගෙන අධිකරණයේ මතුවී තිබෙන අර්බුදයේදි කොන්දේසි විරහිතව අගවිනිසුරුව ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින්නේ අගවිනිසුරු අසන නඩුවෙන් වාසි ලබාගැනීමට එසේ කිරීම අත්‍යවශ්‍ය වේ යැයි කල්පනා කරන නිසා විය යුතුය. අනෙක් අතට අගවිනිසුරු ද තමන් ඉදිරියේ ඇසෙන නඩුවක පාර්ශ්වකරුවකු සතු පුවත්පත් තමන්ට පක්ෂපාතව ක්‍රියාකරන තැනක තබාගැනීම මගින් අයුතු ප්‍රයෝජන ලබාගන්නා තත්ත්වයක් ද දැකිය හැකිය.

මෙම බූදල් නඩුවේ සියලු බර කරට ගත් පුද්ගලයා ලෙස ක්‍රියාකරමින් සිටිනුයේ ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ පුත් ශාලිත විෙ–සුන්දර මහතාය. ඔහු වර්තමානයේ වරාය අධිකාරියේ සභාපති ලෙස ක්‍රියා කරයි. හිල්ටන් හෝටලය ඉදිකිරීමේදි සිදුවී යැයි කියන දැවැන්ත වංචාවක් පදනම් කොටගෙන කෝනල් පෙරේරා හා කේ.එන්. චොක්සි ඇතුළු බලවත් පිරිසකට එරෙහිව දිග්ගැසුණු නෛතික අරගලයක නිරත වූ නිහාල් ශ්‍රී අමරසේකර එම නඩුවේ උපාලි විජේවර්ධනගේ සහෝදරියන් දෙදෙනාගේ ප්‍රධාන උපදේශකයා ලෙස ක්‍රියා කරයි. ඔහු ද වර්තමාන සන්ධාන ආණ්ඩුවේ ප්‍රධාන නිලතල ගණනාවක් හොබවන පුද්ගලයෙකි. වර්තමානයේ හිල්ටන් හෝටලයේ සභාපති ලෙස ක්‍රියාකරන්නේ ද ඔහුය.

කිසියම් කලක් දිසා අධිකරණයේ ඇසෙමින් තිබූ මෙම බූදල් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරීයට ආවේද මින් බොහෝ කලකට ඉහතදිය. පුදුමයකට මෙන් මේ නඩුව හැමදාමත් ඇසෙන්නේ අගවිනිසුරු ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරීයේය.

මේ නඩුව ඇසෙන අතර වාරයේ සිදුවී ඇති අපූරු සිද්ධියක් මෙසේය.

මෙම බූදල් නඩුව අසන විනිසුරු මණ්ඩලයට ඇතුළත් විනිසුරුවරයෙක් (ප්‍රියන්ත පෙරේරා මහතා) නුවරඑළියට යන ගමන් බිමන්වලදි නැවතුම් ගන්නේ උපාලි පුවත්පත් සමාගමට අයත් බංගලාවක බව හා නැවතුම් පහසුකම් පමණක් නොව, ආහාර බීම වර්ග වැනි අනෙකුත් අවශ්‍යතාවන් ද ඔවුන් ඔහු වෙත නොමිලේ සපයන බවත් දැනගන්නට ලැබී ශාලිතගේ මව හෝ ඇගේ සහෝදරිය ඒ බව අගවිනිසුරුවරයා වෙත ලිඛිතව දැනුම් දුන්නාය.

නුවරඑළියේ යන අවස්ථාවලදි තමන් සමග යන පවුලේ සියලු දෙනාට නැවතුම් පහසුකම් දී සියලු අවශ්‍යතාවන් සපුරන්නේ තමා ඉදිරියේ ඇසෙන නඩුවක පාර්ශ්වකරුවකු බව එම විනිසුරුවරයා නොදැන සිටියා විය නොහැකිය. අනෙක් අතට තමන් මේ සියලු පහසුකම් සපයන්නේ තමන්ගේ බූදල් නඩුව අසන විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකුට බව උපාලි පුවත්පත් සමාගමේ හිමිකරුවන් ද නොදැන සිටියා විය නොහැකිය. එය විනිසුරුවරයෙකු විසින් නොකළ යුතු විෂමාචාර ගණයේ වරදක් වුවත්, අගවිනිසුරුවරයා ඊට දක්වන ලද ප්‍රතිචාරය වූයේ විනිසුරුවරයා ආරක්ෂා කරමින් පැමිණිලිකාරිය සනසන පිළිතුරක් එවීමය.

ඉන්පසු අගවිනිසුරුවරයා මේ නඩුවේ කටයුතු පවත්වාගෙන යන ආකාරය ඔවුන්ගේ සතුටට හේතු නොවීම නිසා ශාලිතගේ මව හෝ ඇගේ සහෝදරිය මෙම නඩුව විමසන විනිශ්චය මණ්ඩලයට අගවිනිසුරු ඇතුළත්වීම ගැන සිය විරෝධය පළ කළාය. පුදුමයකට මෙන් ඉන්පසුවත් අගවිනිසුරු මෙම නඩුව ඇසීමෙන් ඉවත්වූයේ නැත.

අවසානයේදි ශාලිත මෙම නඩුවේදි තමන්ට සිදුවන අසාධාරණය විසඳගන්නට උත්සාහ කළේ සන්ධාන ආණ්ඩුවට එකතුවීමෙනි. ඔහු ඒ සඳහා සිය පියා ඝාතනය කිරීමේ වගකීමෙන් ජනතා විමුක්ති පෙරමුණ නිදහස් කොට, එය එක්සත් ජාතික පක්ෂය මත පැටෙව්වේය. පාර්ලිමේන්තුවට තේරි පත්වීමට නොහැකි වුවත්, ඔහුට වරාය අධිකාරියේ ප්‍රධානියා වීමට හැකිවිය. එම නඩුවේ උපදේශකයා ලෙස ක්‍රියාකළ නිහාල් ශ්‍රී අමරසේකර ද දැන් ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කාරයෙකි. එහෙත් තවමත් ඔවුන්ට මේ ප්‍රශ්නය විසඳ ගැනීමට හැකිවී නැත. අගවිනිසුරුවරයා නව ආණ්ඩුවේ ප්‍රධාන ආරක්ෂකයා වී සිටින තත්ත්වයක් ඉදිරියේ ඔවුන්ට නිශ්ශබ්දව බලා සිටිනවා හැර කරන්නට දෙයක් ඉතුරුවී ද නැත.

දූෂිත මිනිසුන් ආරක්ෂා කිරීම දිවයිනේ නිල ප්‍රතිපත්තියක් බවට පත්වී තිබේ. හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී වැක් සිල්වා පිළිබඳ ප්‍රශ්නයේදි “දිවයින” ගත්තේ වැක් සිල්වාගේ පැත්තය. ඉන්පසු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක පිළිබඳ ප්‍රශ්නයේදි ද “දිවයින” මුළු ශක්තිය යොදා ලෙනින් රත්නායක ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඉනුත් පසු මහා භාරකාර සරත් සෙනෙවිරත්න පිළිබඳ ප්‍රශ්නයේදි ද ඔහු ඉතාමත් හොඳ හා අවංක මිනිසකු ලෙස චිත්‍රවත් කිරීමට උත්සාහ කළේය. එහෙත් අවසාන විග්‍රහයේදි “දිවයින”ට ඒ කිසිවකු ආරක්ෂා කරගත හැකිවූයේ නැත. අද ඒ තිදෙනාම ඉන්නේ කුණු බක්කියේය. අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට යන්නට සිදුවනු ඇත්තේ ද එතැනටය.

අවසාන වශයෙන් අගවිනිසුරු “දිවයින”ට ලබාදි තිබෙන සම්මුඛ සාකච්ඡාව මතු කරන වැදගත්ම ප්‍රශ්නය වනුයේ විනිශ්චයකාරවරයෙකුට තමන් ඉදිරීයේ ඇසෙන නඩුවක පාර්ශ්වකරුවකුගේ පුවත්පතක් තමන්ගේ ආරක්ෂක පළිහක් ලෙස පාවිච්චි කළ හැකිද යන්නයි. එය විනිසුරුවරයෙක් තමන් අසන නඩුවක පාර්ශ්වකරුවකුගෙන් මිලක් ලබාගැනීම හා සමානය. මෙම අශුද්ධ හවුලෙන් පෙන්නුම් කෙරෙන්නේ “ඔබ මගේ ප්‍රශ්නයේදි මට උදව් කරන්න. මම ඔබේ ප්‍රශ්නයේදි ඔබට උදව් කරන්නම්” යන පදනම මත ඇති කරගන්නා ලද එකගත්වයක් බවයි.