ජනතා හිතවාදය යට ඇති කූට සැලසුම්

December 12, 2004
Publication:
Jobs for graduates, a thousand tanks restored, a relief budget and ten thousand villages uplifted form the populist first round of the government's show. The editorial warns that the second round will be coercive and violent, aimed at removing from politics those able to lead resistance, though the government itself is not united behind it.

උපාධිධාරින්ට රැකියා, දහසක් වැව් පුනරුත්ථාපනය, රාජ්‍ය සේවකයන්ට වැඩි වැටුප් ලබාදෙන සහන අයවැය, රාජ්‍ය අංශයේ සියලු පුරප්පාඩු පිරවීම, දස දහසක් ගම් නගා සිටුවීම වැනි ජනතාවාදි සියලු සංදර්ශන ජනාධිපතිනියගේ අවලංගුවීම වළකා ගැනීම සඳහා ඉදිරියේ දියත් කරන්නට නියමිත බලහත්කාරි දේශපාලන වැඩපිළිවෙළක් වෙනුවෙන් දියත් කෙරුණු සංදර්ශන මාලාවකට වැඩි දෙයක් නොවන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

මෙම සංදර්ශනයේ පළමු වටය ජනතාවාදි පෙනුමකින් යුතුය. එහි දෙවැනි වටය බලහත්කාරි හා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගනු නොවැළැක්විය හැකිය. සංදර්ශනයේ දෙවැනි වටයේ සමහර වැදගත් අංග දියත් කෙරෙමින් පවතින්නේ අධිකරණ සංදර්ශනයක ස්වරූපයෙනි. එම අධිකරණ සංදර්ශනය ද ප්‍රධාන ස්වරූප දෙකකින් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පෙනේ. පවතින ක්‍රමය තුළ පක්ෂ මාරුව නීති විරෝධී වුවත්, පොදු පෙරමුණේ වාසියට හේතුවන පක්ෂ මාරුවක් සඳහා සුදුසු අධිකරණ තීන්දු ලබාදිම එයට ආවේණික එක් ස්වරූපයක් ලෙස සැලකිය හැකිය. එහි ඊළග ස්වරූපය වනුයේ දේශපාලන භූමියෙන් අතුගෑ යුතු තෝරාගත් පිරිසක් විවිධ චෝදනා යටතේ හිරගෙවල්වලට තල්ලු කිරීමය.

විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට හරවා ගැනීම සඳහා යොදාගෙන තිබෙන ජනප්‍රියම ක්‍රමය වී තිබෙන්නේ බරපතළ චෝදනා එල්ල කළහැකි පුද්ගලයන් “බ්ලැක්මේල්” කිරීමය. ආණ්ඩු පක්ෂයට එකතු වන්නට කැමති අයට එරෙහිව චෝදනා ඉදිරිපත් නොකෙරෙන අතර, ඔවුන්ට පක්ෂ මාරුවට තිබෙන නෛතික බාධා අධිකරණ තීන්දු මගින් ඉවත් කරදි එවැනි අයට ඇමති තනතුරු ද ලබාදේ. එසේ නොවන අයට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවාට අතිරේකව වෙනත් ආකාරවල පීඩනයන්ට ද ලක් කෙරේ.

පක්ෂ මාරුවට අවශ්‍ය අධිකරණ තීන්දු ලබාදෙන වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය සාර්ථක අත්හදා බැලීම් දෙකක් මේ වනවිට නිමකර අවසන්ය. පළමු අත්හදා බැලීම සිදුවූයේ මුස්ලිම් කොංග්‍රසයට අදාළවය. දෙවැනි අත්හදා බැලීම සිදුකරන ලද්දේ ජාතික හෙළ උරුමයට අදාළවය. රෝහිත බෝගොල්ලාගම ආත්ම විශ්වාසයකින් යුතුව ආණ්ඩු පක්ෂයට එකතු වූයේ ද එම සාර්ථක අත්හදා බැලීම් දෙකෙන් පසුව අධිකරණය ඔවුන් මෙන් තමන් ද ආරක්ෂා කරනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුවය.

සිරදඬුවම් පැමිණවීමේ ක්‍රමයෙන් සංඛ්‍යාවේ වෙනසක් ඇති නොවේ. එහෙත් තමන්ගේ වැඩපිළිවෙළට එරෙහිව නැගී සිටීමේ පුරෝගාමී ශක්තියක් ඇති අය දේශපාලන භූමියෙන් අතුගා දැමිය යුතුය. ඒ සඳහා ගැනුණු ප්‍රථම බිල්ල වූයේ එස්.බී. දිසානායකය. තවත් එවැනි තෝරාගත් බිලි තුන හතරක්වත් ගනු ඇතැයි සිතිය හැකිය. තමන්ගේ වැඩපිළිවෙළට එරෙහිව නැගී සිටිනු ඇතැයි පෙනෙන ජනමාධ්‍යය ද මර්දනය කළ යුතුය. “සන්ඩේ ලීඩර්” කර්තෘ ඉලක්ක ගත කොටගත් වැඩපිළිවෙළක් දැනමටත් දියත් කොට තිබෙන අතර, “සිරස” යාපනේ රූපවාහිනී ප්‍රති විකාශනාගාරයට එල්ල කෙරුණු ප්‍රහාරය එම වැඩපිළිවෙළේම කොටසක් ලෙස සැලකිය හැකිය.

ජනාධිපතිනියගේ අවලංගුවීම වළකා ගැනීම සඳහා දියත් කෙරෙන වැඩසටහන ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එක බවට පත් කොට සාම සාකච්ඡා එම න්‍යාය පත්‍රයෙන් තාවකාලිකව ඉවත් කිරීම මෙම වැඩසටහනට ආවේණික තවත් විශේෂ අංගයක් ලෙස ද සැලකිය හැකිය. එසේ කිරීමට සිදුවී ඇත්තේ ද න්‍යාය පත්‍රයේ අංක එකට ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබාගැනීම සඳහා එසේ කිරීම අත්‍යාවශ්‍ය කොන්දේසියක් වී තිබෙන නිසාය.

අවසාන විග්‍රහයේදි දැන් ජනාධිපතිනිය ක්‍රියාවට නගන්නට යන්නේද ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තමන්ට හයෙන් පහක බලයක් තිබුණු පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයකින් දිර්ඝ කරගැනීම සඳහා දියත් කරන ලද තක්කඩි ජනමත විචාරණ වැඩපිළිවෙළට සමාන වැඩපිළිවෙළකි. ජේ.ආර්.ගේ එම වැඩපිළිවෙළ සමස්ත දේශපාලන ක්‍රමය විකෘති කොට රටේ ලේ වැගිරෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවූ ආකාරයටම ජනාධිපතිනිය සිය අවලංගුවීම වළකා ගැනීම සඳහා දියත් කර තිබෙන මෙම වැඩපිළිවෙළ ද සමස්ත දේශපාලන ක්‍රමය විකෘති කිරීමට හේතුවී නැවත රටේ ලේ වගුරවන තත්ත්වයක් ඇති කරනු නොවැළැක්විය හැකිය.

එහෙත් මෙම වැඩසටහනට ආණ්ඩුව තුළ පවා ඒකමතිකභාවයක් නොපවතී. විරුද්ධ පක්ෂයේ නායකත්වයේ ඇති බෙලහීනකමේ වාසිය ආණ්ඩුවට ඇතත්, එම වැඩපිළිවෙළ තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමේ ඇත්ත හැකියාවක් නොපවතී. ඒ නිසා දෙපක්ෂයේම බොහෝ දෙනෙකුටම බරපතළ තුවාල සිදුවී සමහරවිට කිසිදු ගෞරවයකින් තොරව ජනාධිපතිනියට සිය නිල කාලය අවසානයත් සමග දේශපාලනයෙන් සමුගන්නට ද සිදුවිය හැකිය.