සන්ධාන ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කෙරුණු දිනයේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයෙක් (රෝහිත බෝගොල්ලාගම මහතා) ආණ්ඩු පක්ෂයට එකතු වූවා පමණක් නොව, එදිනම ඔහුට ඇමතිකමක් ද පිරි නැමුණි. මෙය සංකේතාත්මක වැදගත්කමක් ඇති දේශපාලන සිද්ධියක් ලෙස සැලකිය හැකිය.
දැන් රටේ පවතින මූලික නීතිය අනුව මන්ත්රීවරයෙකුට සිය මන්ත්රීකම අහිමි කරගැනීමෙන් තොරව පක්ෂය මාරු කළ නොහැකිය. පක්ෂයෙන් ඉල්ලා අස්වීම නිසා හෝ පක්ෂයෙන් පහකිරීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි වන හෝ අහිමි කෙරෙන අවස්ථාවක පක්ෂ සාමාජිකත්වය අවසන් වූ දින සිට මාසයක් ගතවූ පසු ඔහුගේ අසුන හිස්වන්නේය. එවැනි අයකුගේ පක්ෂ සාමාජිකත්වය අවසන් වූ වහාම එනම් පක්ෂ සාමාජිකත්වය අවසන් වූ දිනයේ සිට දින තුනක් නො ඉක්මවන කාලයක් තුළ ඒ බව එම දේශපාලන පක්ෂයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැන්විය යුත්තේය. නෙරපා හැරිමකදි නම්, නෙරපා හැරිමකට ලක්වූ මන්ත්රීවරයාට ඊට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකිය. ශ්රේෂ්ඨාධිකරණයට එහිදි කළහැක්කේ එම නෙරපා හැරිම නීත්යනුකූලව කර තිබේද යන්න සලකා බැලීම පමණය. එක් පක්ෂයකින් තේරි පත්වූ මන්ත්රීවරයෙකු තවත් පක්ෂයකට එකතුවීමේ ක්රියාවක් සාධාරණ කොට ඔහුගේ මන්ත්රීකම ආරක්ෂා කරදිමේ හැකියාවක් ශ්රේෂ්ඨාධිකරණයට නැත. රටේ දැනට පවතින මූලික නීතිය එයයි.
එහෙත් රෝහිත බෝගොල්ලාගම මහතා ආණ්ඩු පක්ෂයට එකතු වූයේ තමන් දරන මන්ත්රීකම අත්හැරිමේ චේතාවෙන් විය නොහැකිය. තමන්ගේ මන්ත්රීකම අහිමිවනු ඇතැයි කියන බියකින් තොරවම ඔහු එසේ කරන්නට ඇත්තේ රටේ පවතින මූලික නීතිය කුමක් වුවත් ඔහුගේ මන්ත්රීකම ආරක්ෂා කර දෙන බවට ආණ්ඩුව විසින් දෙන්නට ඇති පැහැදිලි පොරොන්දුවක් නිසා විය හැකිය. මුස්ලිම් කොංග්රස් මන්ත්රීවරුන් තිදෙනාගේ නඩුවට හා ජාතික හෙළ උරුමයේ මන්ත්රී හිමි නමගේ නඩුවට ලැබුණු තීන්දු දෙස බලන විට ආණ්ඩුව දෙන එවැනි පොරොන්දුවක් අවිශ්වාස කිරීමට තරම් හේතුවක් නැතැයි කල්පනා කළා ද විය හැකිය.
පක්ෂයක් මාරු කරන මන්ත්රීවරයෙකු පක්ෂයෙන් නෙරපා හැරිමේ බලය එම මන්ත්රීවරයා අයත්ව සිටි පක්ෂයට ඇතත්, ඔහුගේ මන්ත්රීකම අහෝසි වනවාද නැද්ද යන්න අවසාන වශයෙන් තීන්දු කරන්නේ ශ්රේෂ්ඨාධිකරණයයි.
බැලු බැල්මට පෙනෙන්නට තිබෙන ආකාරයට ශ්රේෂ්ඨාධිකරණය ක්රියාකරමින් තිබෙන්නේ ද සන්ධාන ආණ්ඩුවේ දේශපාලන න්යාය පත්රයට ආධාර කරන පිළිවෙතක පිහිටාය. මුස්ලිම් කොංග්රසයෙන් පලවා හරිනු ලැබූ මන්ත්රීන් තිදෙනා ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේ තමන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් බවට පත් කළ දේශපාලන ආයතනය ලෙස සැලකිය හැකි එජාපය පවා එම නඩුවේ වගඋත්තරකරුවකු කිරිමෙන් තොරවය. එහෙත් එම මන්ත්රීවරුන් තිදෙනා ඉල්ලා සිටි ප්රධාන සහනය ශ්රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ට ලබා දෙන ලද අතර, ඒ සමග ඔවුන්ට ආණ්ඩුවේ ඇමතිකම් ද ලැබුණි.
ඉන්පසු හෙළ උරුමයෙන් පළවා හරින ලද මන්ත්රී හිමි නම ද සහන ඉල්ලාගෙන අධිකරණය ඉදිරියට ගියේය. එහිදි ශ්රේෂ්ඨාධිකරණය ඒ හිමි නමගේ ද මන්ත්රීකම ආරක්ෂා කර දුන්නේය.
රෝහිත බෝගොල්ලාගම මහතා එම සංසිද්ධීන් දෙක කෙරෙහිම පරික්ෂාවෙන් සිටියා විය යුතුය. මූලික නීතියට පටහැනි වුවත්, තමා ආණ්ඩු පක්ෂයට එකතු වුවහොත් තමාගේ මන්ත්රීකම ආරක්ෂා කරන විශේෂ ක්රමයක් ඇතැයි ඔහු ද විශ්වාස කළා විය යුතුය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සිය පාලන කාලයේ ආරම්භක කාලවකවානුව තුළ විරුද්ධ පක්ෂයේ මන්ත්රීවරුන් ඔවුන්ගේ මන්ත්රීකම් අහිමි නොවන ලෙස ආණ්ඩු පක්ෂයට එකතු කරගන්නා විශේෂ ක්රමයක් ක්රියාවට නගන ලදි. 1979 පෙබරවාරි 26 වැනි දින එම පාර්ලිමේන්තුවේ නිල කාලයට පමණක් බලපාන ආකාරයට ඉදිරිපත් කරන ලද ව්යවස්ථා සංශෝධනයක් මගින් මන්ත්රීකම් අහිමි නොවන ආකාරයට විරුද්ධ පක්ෂයේ මන්ත්රීවරුන්ට ආණ්ඩු පක්ෂයට එකතුවිය හැකි ක්රමයක් ඇති කරන ලදි. ඒ මගින් ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් එක් මන්ත්රීවරයෙක් (සමරනායක) හා ද්රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් තවත් මන්ත්රීවරයෙක් (රාජදොරේ) මන්ත්රීකම අහිමි නොවී ආණ්ඩු පක්ෂයට එකතුවීමේ හැකියාව ලැබුණි.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට මෙම සෙල්ලම කළ හැකිවූයේ තමන් කැමති ඕනෑම අවස්ථාවක ව්යවස්ථාව වෙනස් කරවා ගැනීමට අවශ්ය තරම් වැඩි ඡන්ද බලය තිබූ නිසාය. එහෙත් ව්යවස්ථාව වෙනස් කිරීමට අවශ්ය තරම් බලයක් ජනාධිපතිනියට නැති නිසා ඇය ඒ සඳහා අධිකරණ බලය යොදාගනිමින් සිටින බව පෙනේ. ජේ.ආර්.ට ඒ සියලු දේ කිරීමේ අයිතියක් තිබුණේ නම් තමන්ට ද ඒ අයිතිය තිබිය යුතුයැයි ඇය කල්පනා කරනවා විය හැකිය. එහෙත් ජේ.ආර්. කරන ලද ඒ සියලු දේ වෙනුවෙන් රටට කෙළවරක් නැති තරමින් ලේ හලන්නට සිදුවූයේය. ඒ නිසා ප්රජාතන්ත්රවාදි විරුද්ධ පක්ෂ ව්යාපාරය බෙලහීන වී ජේවීපීය හා එල්ටීටීඊය ශක්තිමත් විය. ජේ.ආර්. අනුව යමින් දැන් ජනාධිපතිනිය කරමින් සිටින දේවල් වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේ ද රටටය.
මේ සමස්ත අර්බුදයේදි විරුද්ධ පක්ෂයේ නායකයා රනිල් වික්රමසිංහ රගපාමින් තිබෙන භූමිකාව බොහෝ දුරට අසූව දශකයේදි සිරිමා බණ්ඩාරනායක මැතිනිය රගපෑ භූමිකාවට සමානය. ජේ.ආර්. ජයවර්ධනගේ ප්රජාතන්ත්ර විරෝධී වත්පිළිවෙත්වලට එරෙහිව බණ්ඩාරනායක මැතිනිය රනිල් වික්රමසිංහ මෙන් නාහෙන් අඬන පිළිවෙතක් අනුගමනය කළා මිස, බලවත් ලෙස නැගී නොසිටියාය. එහි අවසාන ප්රතිඵලය වූයේ ප්රජාතන්ත්රවාදි විරුද්ධ පක්ෂ ව්යාපාරය බෙලහීන වී ත්රස්තවාදි ව්යාපාරය බලවත්වීමය. ආණ්ඩුවක් පිළිගත් ප්රජාතන්ත්රවාදි වත් පිළිවෙත් නොසලකා ක්රියා කරන අවස්ථාවලදි ඊට එරෙහිව ක්රියාකිරීමේ ප්රධාන වගකීම පැවරෙන්නේ විරුද්ධ පක්ෂයටය. රටක ප්රජාතන්ත්රවාදි නිදහස විකසිත වන්නේ ද ප්රජාතන්ත්රවාදි නිදහස සමාජ දේශපාලන ජීවිතයට ද බද්ද වන්නේ ද ප්රජාතන්ත්රවාදි නිදහස වෙනුවෙන් කෙරෙන එවැනි අරගල ඔස්සේය. එහෙත් රටේ අවාසනාවට මෙන් අපේ රටේ විරුද්ධ පක්ෂ ව්යාපාරයට එවැනි දර්ශනයක් නැත. විරුද්ධ පක්ෂ නායකයා වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නේ පැස්බරා මෙන් වැල්ලේ ඔළුව සගවාගෙන සිටින්නටය. මුස්ලිම් කොංග්රස් නඩුවේ කටයුතු සිදුවූ ආකාරය ගැනත්, ඉන්පසු ජාතික හෙළ උරුමය නඩුවේ කටයුතු සිදුවූ ආකාරය ගැනත් විරුද්ධ පක්ෂයේ නායකයා සේ ම විරුද්ධ පක්ෂයේ සෙසු පක්ෂවල නායකයන් ද හොඳකාරව දැන සිටියේය. ඔවුන් එහිදි ඒ ගැන රහසේ මුනු මුනු ගෑවා මිස, රටට නිර්භීතව කතා කළේ නැත. නිර්භීතව රටට කතා කරන්නට ගොස් අමාරුවේ වැටෙනවාට වඩා නිශ්ශබ්දව බලා සිටීම යෙහෙකැයි ඔවුන් කල්පනා කරනවා විය හැකිය. මෙවැනි බියගුළු නායකයන් පිරිසකට මතු ඇතිවන අර්බුදවලට නායකත්වයක් දිමේ හැකියාවක් තිබිය හැකිද?
අය වැයෙන් රටට පැණි වරකා
සන්ධාන ආණ්ඩුවේ මංගල අය වැය ලේඛනය ජනතාව බාරගෙන ඇත්තේ ජනතාවට සහන සලසන හොඳ අයවැයක් ලෙසය. එහෙත් එම අයවැය ලේඛනය රටේ පවතින ආර්ථික යථාර්ථය සලකා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයකට වඩා ජනාධිපතිනියගේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා ක්රියාවට නගන්නට නියමිත ක්රමය වෙනස් කිරීමේ වැඩපිළිවෙළට මහජන සහාය ලබාගැනීමේ අරමුණ ඇතිව ඉදිරිපත් කරන ලද දේශපාලන අයවැය ලේඛනයක් ලෙස සැලකිය හැකිය.
කතානායකවරයා ඉවත් කොට තමන්ගේ කතානායකවරයෙකු පත් කරගනිමින් අලුත් ආණ්ඩු ක්රමයක් හෝ ආණ්ඩු ක්රම සංශෝධනයක් සඳහා ව්යවස්ථා සභාවක් ඇති කිරීමත්, ක්රමය වෙනස් කිරීම සඳහා එම සමුළුව ඉදිරිපත් කරන නිර්දේශ ජනමත විචාරණයකට යොමු කොට අනුමැතිය ලබාගැනීමත්, පසුව අධිකරණයේ ද ආධාර ඇතිව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් නොමැතිව බහුතර බලයකින් පමණක් තමන්ට අවශ්ය ලෙස නව ව්යවස්ථාවක් ඇති කිරීම හෝ තිබෙන ව්යවස්ථාව වෙනස් කිරීමත් ආණ්ඩුවේ සැලසුම වී තිබේ.
දැන් සිටින කතානායක ඉවත් කරන වැඩපිළිවෙළකට හෝ ව්යවස්ථා මණ්ඩලයක් මගින් විධායක ජනාධිපති ක්රමය වෙනස් කරන වැඩපිළිවෙළකට තොණ්ඩමන්ගේ කම්කරු කොංග්රසය එකග නැති බැවින් එම පක්ෂය නැතිව 113 ඉලක්කය සම්පූර්ණ කරගන්නා වැඩපිළිවෙළකට ආණ්ඩුව යොමුවී තිබේ. ආණ්ඩුව එම වැඩපිළිවෙළ ජයගැනීමට බලාපොරොත්තුවන්නේ අධිකරණයේ ද සහාය ඇතිවය. මුස්ලිම් කොංග්රසය විසින් පක්ෂයෙන් නෙරපා හරින ලද මන්ත්රීවරුන් තිදෙනාගේ හා ජාතික හෙළ උරුමය විසින් නෙරපා හරින ලද හිමිනමගේ මන්ත්රී ධුර ආරක්ෂා කරන තත්ත්වයක් තහවුරු වූයේ 113 ඉලක්කය සම්පූර්ණ කරගැනීම සඳහා දියත් කර තිබෙන වැඩපිළිවෙළක කොටසක් වශයෙනි.
තමන් අපේක්ෂා කරන 113 හෝ 114 ඉලක්කය සම්පූර්ණ කරගත් වහාම දැන් සිටින කතානායකවරයා එම තනතුරින් ඉවත් කොට තමන්ගේ කෙනෙකු එම තනතුරට පත් කරගනු ඇති අතර, ඒ සමග වහාම ක්රියාත්මක වන පරිදි ව්යවස්ථා සම්පාදක මණ්ඩලය පත් කරනු ඇත. එම ව්යවස්ථා සම්පාදක මණ්ඩලය ඉතාමත් කෙටි කාලයක් තුළ වඩා යහපත් පෙනුමකින් යුතු පැණි තැවරූ නව ව්යවස්ථාවක් සඳහා හෝ ව්යවස්ථා සංශෝධනයක් සඳහා යෝජනා ඉදිරිපත් කරනු ඇති අතර, එම වැඩපිළිවෙළේ මුඛ්ය හරය ලෙස ක්රියාකරනු ඇත්තේ ජනාධිපතිනියගේ අවලංගුවීම වළකාලීමය. ව්යවස්ථා සම්පාදන මණ්ඩලය ඉදිරිපත් කරන යෝජනා ප්රමාදයකින් තොරව ජනමත විචාරණයකට ඉදිරීපත් කෙරෙනු ඇති අතර, තිබුණ ආර්ථික යථාර්ථයට පටහැනි සහන අයවැයෙන් බලාපොරොත්තු වනුයේ එම වැඩපිළිවෙළ ජයග්රාහී ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා අවශ්ය ජන සහය ලබාගැනීමය.
සහන අයවැයක් ඉදිරීපත් කළ හැක්කේ රටේ ආර්ථිකය යම් තරමක හෝ යහපත් තත්ත්වයක පවතී නම් පමණි. රටේ ආර්ථිකය අයහපත් තත්ත්වයක පවතී නම් මහජනයාට සහනදිමේ හැකියාවක් තිබිය නොහැකිය. කිසියම් ආයතනයක් එදිනෙදා වැටුප් ගෙවන්නට බැරි තරම් දුෂ්කර තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවක එම ආයතනයට සේවක වැටුප් වැඩි කිරීමේ හැකියාවක් තිබිය නොහැකිය. එදිනෙදා වැටුප් ගෙවීම පවා සිදුකළ නොහැකි තරම් දුර්වල තත්ත්වයක තිබෙන ආයතනයක් වැඩි වැටුප් ලබාදිමක් ගැන කතා කරයි නම් එම ආයතනයේ සේවක පිරිස මොළේ ඇති පිරිසක් වෙයි නම්, ඒ පුවත ඔවුන්ගේ සැකයට මිස ආස්වාදයට හේතුවිය නොහැකිය.
අයවැයක් යන්නෙන් අදහස් කරන්නේ එම වර්ෂයේ උපයා ගැනීමට අපේක්ෂා කරන ආදායම් හා එම වර්ෂයේ කරන්නට යන වියදම් පිළිබඳ සමාලෝචනයකි.
රජයට ආදායම් ලැබෙන්නේ බදුවලිනි. රජයේ බදු ආදායම රුපියල් බිලියන 325ක මට්ටමක පවතී. අතීතයේ ලබාගත් ණය සඳහා පමණක් ඊළග වසර වෙනුවෙන් ගෙවිය යුතු කොටස රුපියල් බිලියන 195කි. පොලී වශයෙන් ගෙවිය යුතු කොටස රුපියල් බිලියන 135ක මට්ටමක පවතී. රජයට ලැබෙන බදු ආදායම ප්රමාණවත් වන්නේ අතීතයේ ලබාගත් ණය සඳහා ගෙවන කොටස් මුදල් හා පොලිය පියවීම සඳහා පමණය.
රජයේ සේවක වැටුප්, විශ්රාම වැටුප්, අධ්යාපන, සෞඛ්ය, ගමනාගමන, සමෘද්ධි, පොහොර සහනාධාරය යන සියලු විෂයයන් සඳහා යන වියදම පියවා ගැනිමට සිදුවී තිබෙන්නේ විදේශ ආධාර වශයෙන් ලැබෙන මුදල්, පෞද්ගලිකකරණයෙන් ලැබෙන මුදල් හා දේශීය හා විදේශීය ප්රභවයන්ගෙන් ණය වශයෙන් ලබාගන්නා මුදල්වලිනි. ඒ සියල්ල සඳහා අවශ්ය වියදම රුපියල් බිලියන 100ක් පමණ වේ.
පෞද්ගලිකකරණයෙන් ආදායම් ලැබීම ඇණ හිට තිබෙන අතර, ආධාර කණ්ඩායමෙන් ලැබෙන ආධාර ද සාමකතාවල ප්රගතියක් පෙන්නුම් කෙරෙන තෙක් නොලැබෙන තත්ත්වයක් ගොඩනැගී තිබේ. මෙවර අයවැය සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ලැබෙන ආධාර ද නොලැබුණේය. ඒ සියල්ලට අතිරේකව ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩිවීම පිළිබඳ ප්රශ්නය ද ආර්ථිකය කෙරෙහි විනාශකාරි ලෙස බලපෑවේය. එවැනි ආර්ථික පරිසරයක් තුළ සහන අයවැයක් ඉදිරිපත් කිරීමේ ඇත්ත හැකියාවක් තිබිය නොහැකිය. ආර්ථිකයේ තිබෙන ඇත්ත හැකියාව නොසලකා ජනතාවට සහන ලබාදිමේ හැකියාවක් ඇතත්, ඉන් අවසානයේ වඩා අමාරු තත්ත්වයකට වැටෙනු ඇත්තේ ද ඒ සහන ලබන ජනතාවමය. නියමිත වැටුප් බිල සොයාගන්නවටත් බැරි තත්ත්වයකට වැටුණු ආයතනයක් සේවක පඩි වැඩි කරයි නම් එය සේවකයන්ගේ සතුටට හේතු වනු ඇතත්, සමහරවිට ඒ නිසා වඩා ඉක්මනින් ආයතනය වැසී එම ආයතනයේ සියලු සේවකයන්ට රැකියා අහිමි වන තත්ත්වයක් ඇතිවිය හැකිය. දැන් රට පත්ව සිටින්නේ ද එවැනි තත්ත්වයකටය.
ජනතා විමුක්ති පෙරමුණේ රතුපාට ප්රජාතන්ත්රවාදය
සියලු ප්රධාන දේශපාලන පක්ෂ මහජනයා විසින් උරගා බලා තිබේ. තාමත් උරගා බැලීමේ ක්රියාවලිය අවසන් කොට නැත්තේ ජනතා විමුක්ති පෙරමුණ පමණය. ඔවුන්ගේ උරගා බැලීම අනුව සියලු ලොකු කුඩා පක්ෂ දූෂිතය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ පමණක් මූල්යමය වශයෙන් ගත් විට දූෂිත පක්ෂයක් ලෙස සැලකිය නොහැකිය. ඔවුන් පොදු දේපළ මහා පරිමාණයෙන් විනාශ කොට ඇතත්, ඒවා වංචා කොට නැත. එහෙත් දේශපාලනයේදි දූෂිතය යන පදය යෙදෙන්නේ වංචාවට පමණක් නොවේ. බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ද දූෂණයකි. ජනාධිපතිවරයෙක් පොදු දේපළ වංචා කිරීමේ චෝදනාව යටතේ දෝෂාභියෝගයක් මගින් පහ කළ හැකි අතර, අයථා ලෙස බලය පාවිච්චි කිරීම, ආණ්ඩුක්රම ව්යවස්ථාව චේතාන්විතව උල්ලංඝනය කිරීම වැනි චෝදනා යටතේ ද දෝෂාභියෝගයක් මගින් පහ කළ හැකිය. වරදේ ස්වභාවය අනුව පළමු වරද, දෙවැනි හා තුන්වැනි වැරදිවල ස්වභාවයට වඩා වෙනස් වුවත්, ඒ වැරදි තුනේම බරපතළකම එක සමානය.
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු පක්ෂයක් බවට පරිවර්තනයවීමේ ක්රියාවලිය තුළ බලය අයථා ලෙස පරිහරණය කරන පක්ෂයක තත්ත්වයකට ගමන් ගනිමින් සිටින බව දැකිය හැකිය. එම ගමන් මගේ පෙනෙන්නට තිබෙන දූෂිත ගති ලක්ෂණ මේවාය.
1. ජනාධිපතිනියට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණු අවස්ථාවක හා එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට කතානායකවරයාට ලිඛිත පොරොන්දුවක් දී තිබුණු අවස්ථාවක ජනාධිපතිනියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලකරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණය.
2. පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසුව පවත්වන ලද මැතිවරණයේදි මැතිවරණ නීති රිතිවලට පටහැනිව සිය මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා උපරිම ලෙස රාජ්ය මාධ්ය පරිහරණය කරන පිළිවෙතක් අනුගමනය කළේය. මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් වන දිනයෙන් ආරම්භ වන පැය 72 තුළ මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතවීම නීති විරෝධී වරදක් වුවත්, ඒ තහනම් කාලසීමාව තුළ පවා ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකා ඉදිරියේ පෙනී සිටියේය. රට පෙරට ප්රචාරක වැඩසටහනක් ද ප්රචාරය කළේය.
3. ජනතා විමුක්ති පෙරමුණ එකතුවී පිහිටුවා ගත් සන්ධාන ආණ්ඩුව යටතේ ද ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 17 වැනි සංශෝධනය යටතේ පිහිටුවිය යුතු ස්වාධීන මැතිවරණ කොමිසම නොපිහිටුවීය. විග්නේශ්වරන් විනිසුරුවරයා විශ්රාම යන තෙක්ම අධිකරණ සේවා කොමිසමේ පුරප්පාඩුව නොපිරවිණි. පොලිස්පති පත්කිරීමේදි ජනාධිපතිනිය නිර්දේශ කළ නම ව්යවස්ථා සභාව විසින් ප්රතික්ෂේප කළ ද ජනාධිපතිනිය එම ව්යවස්ථා සංශෝධනයේ එන නියමයන්ට පටහැනිව තමන් කැමති පුද්ගලයා පොලිස්පති තනතුරට පත් කළ අතර ජනතා විමුක්ති පෙරමුණ ඒ වරදට ඉඩදි බලා සිටියේය.
4. තමන්ට අපේක්ෂා කරන තරම් බහුතර බලයක් ඇති කරගැනීම සඳහා අධිකරණයේ ද සහාය ඇතිව විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට මන්ත්රීවරුන් එකතු කරගැනීම සඳහා ආණ්ඩුව දියත් කොට තිබෙන වැඩපිළිවෙළ නීතියට සේ ම, පිළිගත් ප්රජාතන්ත්රවාදි මූලධර්මවලට ද පටහැනි වුවත්, එම වැඩපිළිවෙළට ජනතා විමුක්ති පෙරමුණේ අනුමැතිය ලැබී තිබෙනවා පමණක් නොව, ඒ වෙනුවෙන් එම පක්ෂය කැපී පෙනෙන කාර්ය භාරයක් ද කරමින් සිටින බව පෙනේ. පසුගිය ආණ්ඩුවේ දූෂණ චෝදනා ඇති පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් බ්ලැක් මේල් කරන ක්රමයක් ක්රියාත්මකවෙමින් පවතී. තමන්ට එකතු වන අයට එරෙහිව නීතිය ක්රියාත්මක නොවන තත්ත්වයක් ඇති කිරීම මගින් එම දූෂණ යටපත් කිරීම නීතියට අනුකූල නැත. අනෙක් අතට පවතින ක්රමය අනුව මන්ත්රීවරයෙකුට මන්ත්රීකම අහිමි කරගැනීමෙන් තොරව පක්ෂ මාරු කිරීමේ හැකියාවක් නැත. එහෙත් මන්ත්රීකම අහිමි කරගැනීමෙන් තොරව පක්ෂය මාරු කළ හැකි ක්රමයක් සන්ධාන ආණ්ඩුව හර්න්වා දී තිබෙන අතර, ජනතා විමුක්ති පෙරමුණ ද ඒ දූෂිත වැඩපිළිවෙළේ පෙරගමන්කරුවකු ලෙස ක්රියා කරයි. මුස්ලිම් කොංග්රස් මන්ත්රීවරුන් තිදෙනාගේ නඩුව හා ජාතික හෙළ උරුමයේ හිමිනමගේ නඩුව සම්බන්ධයෙන් සිදුවූයේ කුමක්ද යන්න නොදන්නා තරමට ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන අඳබාල පක්ෂයක් ද විය නොහැකිය. ජනතා විමුක්ති පෙරමුණ විශාල කැබිනට් මණ්ඩලයකට විරුද්ධය. එහෙත් විරුද්ධ පක්ෂයෙන් මතුකර ගන්නා හැම කෙනෙකුටම ඇමතිකම් දෙනවාට පක්ෂය.
5. අධිකරණය පිළිබඳව විශේෂයෙන්ම අගවිනිසුරු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට විශාල විවේචනයක් තිබුණි. අගවිනිසුරුට එරෙහිව එජාප ගෙනා දෝෂාභියෝග යෝජනාවේ දී එහි ප්රධාන කොටස්කරුවකු ලෙස ද ක්රියා කළේය. එහෙත් දැන් එම පෙරමුණට අගවිනිසුරු පෙනෙන්නේ රට පෙරට ගෙන යන සිය වැඩපිළිවෙළේ ගැලවුම්කරුවා ලෙසය.
6. අධිකරණයේ ද ආධාර ඇතිව බහුතර බලයකින් ව්යවස්ථාව වෙනස් කරන වැඩපිළිවෙළේ ප්රධානම ආධාරකරුවා බවට පත්ව සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණය. එවැනි ක්රියාමාර්ගයක් ව්යවස්ථාවට සේම නීතියට ද පටහැනිය. එවැනි නීතියට පටහැනි ක්රියාමාර්ගයක් ජයග්රාහී කරගැනීම සඳහා තව තවත් නීති කඩන තත්ත්වයකට තල්ලුවීමට සිදුවනු ඇති අතර, එය මහජනයාගේ මූලික අයිතිවාසිකම් තොග ගණනින් අහිමි කරන බලහත්කාරි ක්රියාමාර්ගයක් වනු නොවැළැක්විය හැකිය.