ලැජ්ජා නැතිකමට බෙහෙත් නැත

November 28, 2004
Publication:
The Chief Justice has suggested that the murder of High Court judge Sarath Ambepitiya was the result of criticism of the judiciary. Since he is the only judge under public criticism, the editorial replies, the claim is shameless, and it recalls how he narrowed human rights jurisdiction and drove out judges who would not bow to him.

අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මහාධිකරණ විනිසුරු ඝාතනය ගැන කර තිබෙන විග්‍රහය අපූරු ය. එතුමා හැඬූ කඳුළෙන් කියන්නේ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනය අධිකරණ පද්ධතිය හා විනිසුරුවරුන් කෙරෙහි තිබූ ජනතා විශ්වාසය බිඳ දැමීමටත්, ඒ මගින් අධිකරණය මෙන් ම විනිසුරුවරුන් ද අපහාසයට ලක්කිරීමටත් කළ සැලසුම් සහගත කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් බව ය. අධිකරණය විවේචනය කිරීම විලාසිතාවක් වී ඇති බව කියන අගවිනිසුරුවරයා යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් උසාවියේත් විනිසුරුවරුන්ගේත් ගෞරවය කෙලෙසීමට ඉඩ නො තබන ලෙස ද ඉල්ලා සිටී.

අධිකරණයේ විනිසුරුවන් අතරින් ප්‍රසිද්ධ විවේචනයකට ලක්ව සිටින්නේ අගවිනිසුරුවරයා පමණ ය. මහාධිකරණ විනිසුරුවරයාගේ ඝාතනයට වගකිව යුත්තේ අගවිනිසුරුවරයා විවේචනය කරන විවේචකයින් නම්, එතුමා එම තනතුරට පත්කිරීම ගැන හෝ එතුමාගේ ක්‍රියාකාරකම් විවේචනය කළ රාවය, ලීඩර්, ටයිම්ස් යන පුවත්පත් ද, කේ එම්.එම්.බී. කුලතුංග, සී.වී. විග්නේශ්වරන් වැනි විශ්‍රාමලත් විනිසුරුවරුන් ද, එච්.එල්. ද සිල්වා, ඊ.ඩී. වික්‍රමනායක, ආර්.කේ.ඩබ්. ගුණසේකර, රංජිත් අබේසූරිය, ඩෙස්මන් ප්‍රනාන්දු, ශ්‍රීනාත් පෙරේරා, එස්.එල්. ගුණසේකර, ගෝමින් දයාසිරි, එල්මෝ පෙරේරා වැනි නීතිඥයින් ද, ආචාර්ය ෂෙල්ටන් වනසිංහ, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන, ජේම්ස් ලැනරෝල්, සුසිල් සිරිවර්ධන, මහාචාර්ය ජී.එච්. පීරීස්, ආචාර්ය දිපිකා උඩගම, රොහාන් එදිරිසිංහ වැනි උගතුන් ද, අගවිනිසුරුට දෝෂාභියෝග චෝදනා එල්ල කළ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂ ද සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයේ වගඋත්තරකරුවන් බවට පත් වේ. අලුතෙන් ඇති කරගෙන තිබෙන නියමය අනුව ඒ සියලු දෙනා එල්ලා මරන්නට ද සිදුවන්නේ ය.

අධිකරණය කෙරෙහි පැවති මහජන විශ්වාසය හා ගෞරවය කෙලෙසීමේ ප්‍රධාන වගකීම භාරගත යුතුව තිබෙන්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ය. ඒ මහතා එම තනතුරට පත්වන තෙක් අධිකරණය ප්‍රසිද්ධ විවේචනයට භාජනය වූ තැනක් නො වී ය. එකල ද එහි වැරදි හා අඩුපාඩුකම් තිබුණා විය හැකි වුවත්, එය මහජනයාගේ ගෞරවයට මිස හාස්‍යයට හේතුවූ තැනක් වූයේ නැත.

තත්ත්වය උඩයට පෙරළුණේ සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමත් සමග ය. එතුමා එම තනතුරට පත්වූයේ එතුමාට එරෙහිව දූෂණ චෝදනා මත කරන ලද පැමිණිලි දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරික්ෂණයට ලක්වෙමින් තිබෙන අවසථාවකදි ය. අඩුම වශයෙන් ඒ මහතා ස්වාභාවික යුක්තියට ගරු කරන පුද්ගලයෙකු වී නම්, මට එරෙහිව කෙරෙන පරික්ෂණය අවසන් වී මා නිර්දෝෂී බව ප්‍රකාශ කරන තෙක් මා එම තනතුර බාර නොගන්නෙමියි කීමේ හැකියාවක් තිබුණි. ඔහු එසේ නො කළේ පරික්ෂණයකට ඉඩ හැරියේ නම්, එල්ල වී තිබුණු චෝදනා ඔප්පුවීමට වැඩි ඉඩක් තිබුණු නිසා ය. බෙල්ල හොඳට ම හිරවී තිබුණු ඒ අවස්ථාවේ දී බෙල්ල බේරාගැනීමට තිබුණු එකම ක්‍රමය එය වූ නිසා ය. ජනාධිපතිනිය ඒ අවස්ථාවේ දී එම පත්කිරීම කළේ ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කර තිබූ පරික්ෂණය අවසන් වී ඔහුගේ නිර්දෝෂී බව ඔප්පු වන තෙක් ඔහු එම තනතුරට පත් නොකරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර ප්‍රධාන නිලධාරීයා ජනාධිපතිනිය වෙත දැනුම් දිමක් කර තිබියදි බව ද අප අමතක නො කළ යුතු ය.

තනතුරට පත්වීමෙන් පසුව ඔහු නැටූ සෙල්ලම්වල තරම දන්නෝ දනිති. ඔහු මානව හිමිකම් විෂය පථය හැකිලුවේ ය. තමන්ට අවනත නොවන විනිසුරුවරුන් බුරුතු පිටින් පළවා හැරියේ ය. අධිකරණය ආණ්ඩුවේ පක්ෂ ශාඛාවක් බවට පත් කළේ ය.

දෝෂාභියෝග දෙකකින් එල්ල කර තිබෙන බරපතළ චෝදනාවලට තවමත් අගවිනිසුරුවරයා පිළිතුරු දී නැත. සරත් නන්ද සිල්වා මහතා යම් තරමක හෝ ගෞරවය ඇති පුද්ගලයෙකු වී නම්, තමන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා ගැන පරික්ෂණයක් පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතුව තිබුණි. එසේ එල්ල වී තිබෙන චෝදනා බොරු චෝදනා වේ නම්, ඒ බව සනාථ කිරීමේ හැකියාවක් එතුමාට තිබිය යුතු ය.

දියවන්නා ඔය සිද්ධිය ඔහුගේ රංගනයේ චමත්කාර ජනකම ජවනිකාව ලෙස සැලකිය හැකි ය. රටේ අගවිනිසුරුවරයා විවාහක නීතිඥවරියක් සමග අනග රංගනයක යෙදි සිටින අවස්ථාවක පොලිස් සෝදිසියකට ලක්විය. අවසානයේ රටේ අගවිනිසුරුවරයාට මිස්ටර් කාගිල්ස් යන නම ද පට බැඳුණේ ය. ඒ අවස්ථාවේ දී එතුමා රටට කීවේ පොලිස් සෝදිසි කතාව තමා අපකීර්තියට ලක්කිරීමේ අරමුණින් තමා ඉදිරීයේ ඇසෙන නඩුවලට සම්බන්ධ පිරිසක් විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයක් බව ය. ඒ අළලා අගවිනිසුරු විසින් කරන ලද මහා පැමිණිල්ලේ පරික්ෂණයට කුමක්වී ද යන්න අබිරහසකි. මේ රට නීතියේ පාලනයක් ඇති රටක් නම්, මේ පුද්ගලයා සිටිය යුත්තේ අධිකරණයේ නොව හිරගෙදර ය. නීතිඥ සංගමයේ ද, දේශපාලන පක්ෂවල ද කොන්ද පණ නැතිකමට මෙම අගවිනිසුරුවරයා සදා ණයගැති විය යුතු ය.