ව්‍යවස්ථාව චග්ගුඩු පිටියක් නොවේ

November 21, 2004
Publication:
The JVP now seems ready to go any distance to stop the UNP returning to power, and to change the constitution by a simple majority with the courts' help. Ivan argues that the President and the JVP may fight the UNP within the democratic framework but not outside it, and recalls how the 17th Amendment bill was examined by a three-judge bench that included the Chief Justice.

මීළග මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ පාලනයක් බලයට පත්වීම වැළැක්වීමට යායුතු ඕනෑම දුරක් යායුතු යැයි සිතන තැනට ජනතා විමුක්ති පෙරමුණ පැමිණ තිබෙන බව පෙනේ. එය ජනාධිපතිනියගේ දේශපාලන අභිලාෂයන්ට හොඳින් ගැළපෙන්නේය.

එජාපය නැවත බලයට පත්වීම වැළකීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදි රාමුව තුළ උපරිම ශක්තිය යොදා ක්‍රියාකිරීමේ අයිතිය ජනතා විමුක්ති පෙරමුණ හා ජනාධිපතිනිය සතුය. එහෙත් ඒ අරමුණ ඒ රාමුව ඉක්මවා ක්‍රියාකරන තැනකට වුවත් ගෙන යන්නට උත්සාහ කරන්නේ නම් නැවත රටේ බරපතළ දේශපාලන අවුල් ඇති වන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය.

ජනාධිපතිනියගේ අභිලාෂය වී තිබෙන්නේ දෙවැනි නිල කාලය සම්පූර්ණ වීමෙන් පසුත් එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට බලයේ රැඳී සිටීමය. ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරන බව පෙනෙන්නේ ජනාධිපතිනියගේ ඒ අරමුණ සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් ඒ ක්‍රියාවලිය තුළ තමන් ශක්තිමත්වීමය. ජනාධිපතිනියට තවත් ධුර කාලයක් රාජ්‍ය බලයේ රැඳී සිටීමට ඉඩ ලැබෙතොත් ඇයට වැඩි වැඩියෙන් තමන් වෙත යැපෙන තත්ත්වයකට පත්වන්නට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ දන්නේය. ඒ මගින් ඇගෙන් පසු පූර්ණ වශයෙන් ශ්‍රීලනිපය සිය ග්‍රහණයට ගැනීමට හැකිවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ කල්පනාව වී තිබෙන බව පෙනේ.

තමන්ට සටන් කරන්නට සිදුවී තිබෙන්නේ ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි ශක්තිමත් නායකයකු සමග නොව, බයාදු නායකයකු සමග වන බව ද මේ දෙපිරිසම දන්නේය. මේ දෙපිරිස එකට එක්වී බිහිසුණු අත්හදා බැලීමක යෙදි අත පුච්චා ගැනීමකින් තොරව එය ජයගත්තේය. එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තු බහුතර බලයක් තිබියදි හා ඔවුනට බහුතර බලයක් තිබෙන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට ලිඛිත පොරොන්දුවක් ජනාධිපතිනිය විසින් පාර්ලිමේන්තුවට දී තිබියදිත්, ජනාධිපතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. එජාප නායකයා අන්දමන්ද වී බලා සිටියා මිස, ඊට එරෙහිව බලවත් ලෙස නැගී නොසිටියේය. එහිම ප්‍රතිඵලයක් වශයෙන් එම මැතිවරණයෙන් ජයගැනීමට තිබුණු හැකියාව ද එජාප නායකයා විසින් නැති කරගත්තේය. දැන් තමන්ට ඉදිරියේ ගනුදෙනු කරන්නට සිදුවී තිබෙන්නේ ද එම නායකයා සමගම වන නිසා තවත් එවැනි අත්හදා බැලීමක යෙදි තමන්ට ජයගත හැකිවනු ඇතැයි මේ දෙපිරිස කල්පනා කිරීම ස්වාභාවිකය.

ජනාධිපතිනිය හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව ගත් කල තීක්ෂණ දේශපාලන තීන්දු ගැනීමේදි රනිල් වික්‍රමසිංහ සිටින්නේ හැරෙන්නටවත් බැරී තැනකය. එහෙත් තීක්ෂණ දේශපාලන තීන්දුවලින් පමණක් සියල්ල තීන්දුවන්නේ නැත.

ජනාධිපතිනිය මේ සමාන කූට වැඩපිළිවෙළක් අගවිනිසුරුගේ ද සහාය ඇතිව 2000 මැතිවරණයට පෙර ද ක්‍රියාවට නගන්නට උත්සාහ කළේය. තමා ජනාධිපතිවරණයෙන් ජයගෙන තිබුණ ද අනුපාතික ක්‍රමය යටතේ පවත්වනු ලබන මැතිවරණයකින් පොදු පෙරමුණට කැපී පෙනෙන බලයක් නොලැබෙන බව තේරුම්ගත් ඇය ජනමත විචාරණයකින් තොරව තුනෙන් දෙකේ බලයකින් පමණක් ඡන්ද ක්‍රමය වෙනස් කරන සූක්ෂ්ම සැලැස්මක් ඉදිරීයට ගත්තාය. අලුත් ඡන්ද ක්‍රමය යටතේ මැතිවරණය ජයගැනීමෙන් පසුව කලාප සභා ක්‍රමය ක්‍රියාවට නගන බවට දී තිබුණු පොරොන්දුව නිසා ඡන්ද ක්‍රමය වෙනස් කරන වැඩපිළිවෙළට සහාය දිමට දෙමළ දේශපාලන පක්ෂ ද එකග වී සිටියේය. තුනෙන් දෙකේ බලයක් සඳහා අඩුව තිබුණේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු පමණය. ඒ නවදෙනා උපරීම මිලකට එජාපයෙන් මිලදි ගැනීම ආණ්ඩුවේ අභිලාෂය විය. අගවිනිසුරුවරයා ද මේ සූක්ෂ්ම වැඩපිළිවෙළේ ප්‍රධාන කොටස්කරුවකු ලෙස ක්‍රියා කළේය.

පරමාධිපත්‍යය බලයට අදාළ ඡන්ද ක්‍රමයේ වෙනසක් ඇති කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියකට අතිරේකව ජනමත විචාරණයකින් ද අනුමත වීම අත්‍යවශ්‍ය වුවත්, ජනමත විචාරණයකින් ලබාගන්නා අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් පමණක් මෙම ඡන්ද ක්‍රමය නීතිගත කිරීමට අවශ්‍ය අනුමැතිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් මිලදි ගන්නා 9 දෙනාගේ ද සහය මත ලබාගන්නා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් පසුව අලුත් ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් මුළු රාජ්‍ය බලය යොදා උපරීම බලයක් හිමිකර ගැනීම එම වැඩපිළිවෙළේ අරමුණ වී තිබුණි.

වැඩපිළිවෙළ අසාර්ථක වූයේ එජාපයෙන් විකිණීමට එකග වී සිටි නවදෙනාගෙන් කෙනෙකු ඒ රහස එජාප නායකයාට හෙළිකිරීම නිසාය. ඒ වනවිට ඒ රහස හෙළි කළ පුද්ගලයාට (දිනේෂ් දොඩංගොඩ) ආණ්ඩුවෙන් අත්තිකාරම් මුදලක් ලැබී තිබුණු අතර, රනිල් වික්‍රමසිංහ කළේ ඒ අත්තිකාරම් මුදලින් ම සැකයට හේතුවී සිටි සියලු දෙනා වෙනත් පිරීසක් ද සමග සිංගප්පූරුවට යැවීමය. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නියමිතව තිබුණු දිනට පෙර ඒ වැඩපිළිවෙළ ක්‍රියාවට නගන්නට නොහැකි වී පාර්ලිමේන්තුව විසුරුවා හැර පැරණි ක්‍රමය යටතේම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට ජනාධිපතිනියට සිදුවිය.

මෙම සාහසික උත්සාහයට අදාළ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරීයේ විමර්ශනයට ගත්තේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරීයේය. අගවිනිසුරු ද එම විනිසුරු මඬුල්ලේ සාමාජිකයෙකු වූ අතර, අනෙක් සාමාජිකයන් දෙදෙනාම කනිෂ්ඨ විනිසුරුවරුන් විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ එතෙක් පැවති සාමාන්‍ය සම්ප්‍රදාය වූයේ පරමාධිපත්‍යය බලයට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා කෙරෙන විමර්ශනවලදි ව්‍යවස්ථා සම්පාදන නීතිය පිළිබඳ අවබෝධයක් ඇති විනිසුරුවරුන්ගෙන් සමන්විත විශාල විනිශ්චය මණ්ඩලයක් ඉදිරීයේ එවැනි සංශෝධන විමර්ශනයකට ලක්කිරීමය. එහෙත් මෙම විමර්ශනයේදි ව්‍යවස්ථා සම්පාදන නීතිය පිළිබඳ අවබෝධයක් තිබූ විනිසුරුවරුන් තිදෙනාම (මාක් ප්‍රනාන්දු, රංජිත් අමරසිංහ හා රංජිත් ධීරරත්න) එම විනිශ්චය මණ්ඩලයට ඇතුළත් කරගැනීමෙන් වැළකී තිබුණි.

එම සමස්ත ක්‍රියාවලිය ශ්‍රේෂ්ඨාධිකරණයේ ද ආධාර ඇතිව ක්‍රියාවට නගන ලද ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ලෙස සැලකිය හැකිය. එම කුමන්ත්‍රණය ව්‍යර්ථවීමෙන් පසුව ඒ ගැන එක්සත් ජාතික පක්ෂ නායකයා එක වචනයක්වත් කතා කළේ නැත. අඩුම වශයෙන් ඊට සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව කිසිම පියවරක් ගත්තේ නැත. ඒ අර්ථයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දේශපාලන කුමන්ත්‍රණවලට සම්බන්ධවීමට ඉඩ ලබාදෙන සම්ප්‍රදායක් තහවුරු කරදිමේ වගකීම යායුතුව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ වෙතය. ඉන්පසු අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරීපත්වූ දෝෂාභියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනමෙන් පසුව එම නීති විරෝධී නියෝගය දිමට සම්බන්ධ විනිසුරුවරුන් තිදෙනාට එරෙහිව පියවර ගන්නා බවට ඒ අවස්ථාවේදි කයිවාරු ගැසුව ද ඒ සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ නිශ්ශබ්දව සිටින පිළිවෙතක් අනුගමනය කළා විනා, ඒ ගැන අඩුම තරමින් පාර්ලිමේන්තු විවාදයකටවත් ගියේ නැත. සියලු වැරදි තහවුරු වී ශක්තිමත් වන්නට ඉඩහැර ඔහු බලා සිටියේය.

දැන් ජනාධිපතිනිය සිය පැවැත්ම රැකගැනීම සඳහා නැවත අගවිනිසුරුගේ ද සහාය ඇතිව ක්‍රියාවට නගන්නට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ද 2000 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ක්‍රියාවට නගන්නට ගොස් අසාර්ථක වූ වැඩපිළිවෙළට තරමක් සමානය. ව්‍යවස්ථා සභාවක් ඇති කොට එය ඉදිරිපත් කරන නිර්දේශ ජනමතවිචාරණයකට යොමුකරවා අධිකරණයේ අනුමැතිය ඇතිව තුනෙන් දෙකේ බහුතරයකින් තොරව ජනාධිපතිනියගේ අවලංගුවීම වැළකීමට හේතුවන ලෙස ක්‍රමය වෙනස් කිරීම එහි අභිලාෂයයි. එහෙත් මෙවර ජනාධිපතිනිය එම වැඩපිළිවෙළ ක්‍රියාවට නගන්නට යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය ඇතිවය. රනිල් වික්‍රමසිංහ යනු එවැනි අභියෝගයකට මුහුණදිමේ හැකියාවක් ඇති ශක්තිමත් නායකයකු නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. එජාපය ඥානාන්විත පක්ෂයක් වී නම්, ඔවුන් කළයුතුව තිබුණේ සිය නායකයාට ආවේණික දුර්වල ගති ලක්ෂණ සලකා ඔහු ඉවත් කොට, ඉදිරි අභියෝගවලට මුහුණ දිය හැකි නව නායකයකු තෝරාගැනීමය. එහෙත් ඒ සඳහා අවශ්‍ය පිටකොන්දක් ඇති පිරිසක් එක්සත් ජාතික පක්ෂය තුළ නොසිටියේය. ජනාධිපතිනියට සිය වැඩ සැලැස්ම ජයගත හැකි වෙතොත්, එක්සත් ජාතික පක්ෂය තාවකාලික ලෙස හෝ සුණු විසුණු වී යනු නොවැළැක්විය හැකිය. ඒ සමග වාමාංශික මුහුණුවරක් ගත් ඒකාධිපති පන්නයක රාජ්‍යයක් ඇතිවීම ද නොවැළැක්විය හැකිය.

එහෙත් මේ මොහොතේ ක්‍රමය වෙනස් කිරීම ජනාධිපතිනිය හිතන තරම් ද පහසු නැත. තමන්ගේ වැඩපිළිවෙළට එරෙහිව සටන් කරන ශක්තිමත් නායකයකු නොසිටියදිත්, ආර්ථිකයේ ඇතිවී තිබෙන බිඳ වැටීම මහජනයා ආණ්ඩුවට එරෙහිව යන තත්ත්වයක් ඇති කළ හැකිය. එසේම සන්ධාන ආණ්ඩුවේ අභ්‍යන්තරයේ පවත්නා බෙදිම් ද ඒ වැඩපිළිවෙළ කෙරෙහි හානිකර ලෙස බලපෑ හැකිය. අවසාන විග්‍රහයේදි ජනාධිපතිනියගේ වැඩපිළිවෙළ අසාර්ථක වුවහොත් ශ්‍රීලනිප සුණු විසුණු වන තත්ත්වයකට පත්වී රනිල් වික්‍රමසිංහට රටේ රජකම ලැබෙනු ඇත. රනිල් වික්‍රමසිංහ වැනි ආත්ම විශ්වාසයක් නැති දුර්වල නායකයකු රටේ විධායක ජනාධිපති බවට පත්වුවහොත් ඒකාධිපති පන්නයක දක්ෂිණාංශික රාජ්‍යයක් ඇතිවීම ද නොවැළැක්විය හැකිය.

වාමාංශික පන්නයේ හෝ දක්ෂිණාංශික පන්නයේ ඒකාධිපති රාජ්‍යයක් ඇතිවීමේ අනතුර වළකා ගත හැකිවනු ඇත්තේ මෙම දෙපාර්ශ්වයටම හිතුවක්කාරි ලෙස ක්‍රියාකිරීමට ඉඩක් නොලැබෙන සමාජ දේශපාලන වටපිටාවක් ඇති කරගැනීමෙනි. මෙම දෙපාර්ශ්වයේ අභිලාෂයන්ට ගැළපෙන ලෙස විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයකට සියලු පාර්ශ්ව එකග කරගැනීමය.

ජනවාර්ගික ප්‍රශ්නයට අවසන් විසඳුමක් ඇතිකර ගන්නා තෙක් දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කරන නව ව්‍යවස්ථාවකට යෑමේ හැකියාවක් නොපවතී. එතෙක් කළ හැක්කේ තිබෙන ක්‍රමය ක්‍රමික කිරීම පමණය.

විධායක ජනාධිපතිට ලැබී තිබෙන මුක්තිය ඉවත් කෙරෙන ආකාරයටත්, හිතුවක්කාරි බලයකට ඉඩක් නොලැබෙන ආකාරයටත් විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන සංශෝධනයකට මේ සියලු දෙනාම එකගවිය හැකිය. එවැනි ක්‍රමයක් ඇති කරගත හැකි නම්, ඒ වෙනුවෙන් ගෙවන වන්දියක් වශයෙන් ජනාධිපතිනියට නැවත වරක් තරග කිරීමේ අයිතිය දිය හැකිය. රටේ නැවත මහා අවුලක් ඇතිවීම වළකාගත හැකිවනු ඇත්තේත්, වාමාංශික හෝ දක්ෂිණාංශික ඒකාධිපති පන්නයේ පාලනයක් ඇතිවීම වළකාගත හැකිවනු ඇත්තේත් එවැනි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට රට තල්ලු කිරිමෙන් පමණය.