කුමන මිලක් ගෙවා හෝ තමා දේශපාලන වශයෙන් අවලංගුවීම වලකා ගැනීම ජනාධිපතිනියගේ අභිලාෂය වී තිබේ. ඊට ගැළපෙන ලෙස දේශපාලන ක්රමය වෙනස් කරගැනීමට ඇයට අවශ්ය වී තිබෙන අතර, අමාත්යාංශ තුනක් පවරා ගැනීමේ සිට ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානයක් ඇති කරගැනීම දක්වා ඇය මෙතෙක් කරන ලද සියලු ක්රියාවලින් උත්සාහ දරමින් සිටින්නේද ඒ අරමුණ ජයගැනීමය.
මේ මොහොතේ රටට, පක්ෂයට හෝ තමාට කොතරම් හානියක් සිදුවුවත්, පවතින දේශපාලන ක්රමයේ වෙනසක් ඇති කරන්නට ඉඩ නොදිම අගමැතිගේ දේශපාලන අභිලාෂය වී තිබේ. රටට හෝ තමාගේ පක්ෂයට කුමක් සිදුවුවත් ජනාධිපතිනි චන්ද්රිකා දේශපාලන වශයෙන් අවලංගු වන්නට ඉඩ හැර ජනාධිපතිවීම අගමැතිගේ අභිලාෂය වී තිබේ. අගමැති රනිල් වික්රමසිංහ සිය මාමා නිර්මාණය කළ විධායක ජනාධිපති ක්රමයට කැමතිය. විධායක ජනාධිපති ක්රමයට දැන් ලැබී තිබෙන අතිවිශාල බලය අල්ප මාත්රයකින් හෝ වෙනස් වනවා දකින්නට ඔහු කැමති නැත. ජනාධිපතිනිය අමාත්යාංශ තුනක් පවරා ගත් අවස්ථාවේදි ඊට අභියෝග කරන තැනකට නොගියේ ද ඒ සඳහා කරන අරගල තමන් ප්රිය කරන විධායක ජනාධිපති ක්රමය දුර්වල කිරීමට හේතුවී, අනාගතයේ ඒ තනතුරට පත්වූ පසු තමන්ටත් එය බලපානු ඇතැයි යන බිය නිසා විය යුතුය. ජනාධිපතිනියට යා හැකි දුරෙහි සීමාවක් ඇති බව ඔහු දනී. තනතුරේ බල පරාක්රමය ප්රදර්ශනය කිරීමේදි ඇය මේ මොහොතේ දෙන පූර්වාදර්ශ අවශ්ය නම් තමන් ඒ තනතුරට පත්වීමෙන් පසු තමන්ටද අනුගමනය කළ හැකි බව ද රනිල් වික්රමසිංහ මහතා දනී. ඔහු ගණන් බලමින් තිබෙන ආකාරයට ජනාධිපතිනියට වැඩිම වුවහොත් කළ හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිම පමණය. ඉන්පසු පවත්වන මැතිවරණයෙන් තම පක්ෂය පරාජය වුවත්, ජවිපෙ සමග එකතු වී ගොඩනගන ආණ්ඩුවකට වැඩිකල් පැවතිය නොහැකි බව හා ඉක්මනින් මුළු රටට ම තිත්ත වන ලෙස අනාගනු ඇති බව ද ඔහු දන්නේය. එවැනි තත්ත්වයක් යටතේ ඊළග ජනාධිපතිවරණයේදි තමන්ට අතිවිශාල ජයග්රහණයක් ලබාගැනීමට හැකිවනු ඇති බව ඔහුගේ විශ්වාසය වී තිබෙන බව ද පෙනේ.
ජනතා විමුක්ති පෙරමුණට ශ්රීලනිප සමග සන්ධානයක් ඇති කරගැනීමට අවශ්ය වී තිබෙන්නේ ද ජනාධිපතිනිය දේශපාලන වශයෙන් අවලංගු වීමට නියමිතව තිබෙන තත්ත්වයක් යටතේ, ඒ නිසා ශ්රීලනිපට මුහුණ දෙන්නට සිදුවන අර්බුද ඉදිරියේ ශ්රීලනිප සිය ග්රහණයට ගැනීමට ලැබෙන ඉඩ සලකාය. ජනාධිපතිනිය අපේක්ෂා කරන ආකාරයට දේශපාලන ක්රමයේ වෙනසක් ඇති කරගැනීමට ඉඩක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ දනී. චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ අවලංගුවීමත් සමග පක්ෂ නායකත්වය සඳහා මහා අර්බුදයක් ඇති වන බවත්, දැන් සිටම ඊට එකතු වී සිටින ක්රමයක් තුළ ශ්රීලනිප ග්රහණයට ගනිමින් ශ්රීලනිප සිටින තැන තමන්ට හිමිකර ගැනීම ජවිපෙ අභිලාෂය වී තිබේ.
වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට නොගිය ද ජනාධිපතිනිය හා අගමැති අතර එකගත්වයක් ඇති කරගැනීමේ හැකියාවක් ද නොපවතී. ඒ නිසා ඉක්මනින් හෝ තරමක් ප්රමාද වී පාර්ලිමේන්තු මැතිවරණයක් ඇතිවීම ද නොවැළැක්විය හැකිය.
කුමක් සිදුවුවත් කම් නැතැයි කියන ප්රතිපත්තියක් අගමැතිගේ සතුටට හේතුවිය හැකි වුවත්, එක්සත් ජාතික පක්ෂයේ සෙසු මැති, ඇමතිවරුන්ගේ සංතෝෂයට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය. අගමැතිගේ ප්රවේශය එජාප තුළ ඉක්මනින් හෝ ප්රමාද වී අවුල් ඇති කිරීමට හේතුවිය හැකිය.
විධායක ජනාධිපති ක්රමය සුදුසු නැතැයි සිතන විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂය තුළ ද සිටී. අගමැතිගේ ගමන් මග තමන්ගේ විනාශයට හේතුවනු ඇතැයි කියන හැගීමක් ඔවුන් තුළ ඇතිවුවහොත් සිය පක්ෂ නායකයාට එරෙහිව නැගී සිටින තත්ත්වයක් පවා පක්ෂය තුළ ඇතිවිය හැකිය.
එජාපයට උපරිම පීඩනයක් ඇති කිරීම ජනාධිපතිනියගේ උපාය මාර්ගය වී තිබේ. අගමැති රනිල් වික්රමසිංහ තමන් සමග එකග නොවේ නම්, එම පක්ෂයෙන් වෙනත් පිරිසක් හෝ එකග කරවා ගැනීම ඇගේ අභිලාෂය වී තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරිමක් කරන්නට යන බව පෙන්නුම් කිරීම මගින් ආණ්ඩුවේ තනතුරු දරන අය අතර බියක් ඇති කරවා තමන්ගේ වැඩපිළිවෙළට ආණ්ඩුවෙන් පිරිසක් එකතු කරගැනීමට ඇය උත්සාහ කරනු ඇති අතර, එසේ නොවෙතොත්, පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් ඔස්සේ හෝ ඒ අරමුණ ජයගැනීමට උත්සාහ කරනු ඇත.
පවතින අනුපාත ක්රමය යටතේ හා කොටි සංවිධානය උතුරු නැගෙනහිරින් උපරීම ආසන සංඛ්යාවක් තමන් වෙත දිනාගැනීමට ක්රියාකරන තත්ත්වයක් යටතේ ප්රධාන පක්ෂ දෙකටම තනිව ආණ්ඩුවක් පිහිටුවා ගත හැකි තරම් ආසන සංඛ්යාවක් දිනාගත නොහැකි බව ජනාධිපතිනිය නොදන්නවා විය නොහැකිය. එහෙත් එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිනියගේ පිලට ආසන දෙක තුනක් හෝ වැඩියෙන් දිනාගැනීමට හැකිවෙතොත් රනිල් වික්රමසිංහ බැහැර කොට එක්සත් ජාතික පක්ෂය සමග පස්සා දොරෙන් ගනුදෙනු කළ හැකි තත්ත්වයක් ඇතිවේ. රනිල් වික්රමසිංහ බැහැර කොට එක්සත් ජාතික පක්ෂයට බර තබන ආණ්ඩුවක් ඇති කිරීමට ඇය සමත් වෙතොත් ජවි පෙරමුණ මත නොයැපී තමන්ට අනියම් ලෙස පාලනය කළ හැකි පාර්ලිමේන්තු ආණ්ඩුවක් ඇති කරගැනීමට ඇය සමත් වනු ඇත්තේය. එසේ වෙතොත් ඇයට තුනෙන් දෙකක බලයක් නැතිව පාර්ලිමේන්තුව ආණ්ඩුක්රම සම්පාදන මණ්ඩලයක් ලෙස රැස් කරවා ව්යවස්ථාව වෙනස් කරගැනීමේ අරමුණ ද සපුරාගත හැකිවනු ඇත්තේය.
එහෙත් ඇත්තටම සිදුවිය හැකි දේ මේ නායක දෙපළ අපේක්ෂා කරන දේට වඩා බිහිසුණු විය හැකිය. රට අරාජික වී අන්ත කාලකණ්ණ තතත්වයකට පත්වීම මේ බලපොරයේ අවසන් ප්රතිඵලය විය හැකිය. සාකච්ඡාමය විසඳුමකින් තොරව තමන්ට මනාප ලෙස ක්රියාකළ හැකි තත්ත්වයක් එල්ටීටීඊයට ලැබීම එහි ඊළග ප්රතිඵලය විය හැකිය. .