රටේ සමස්ත සමාජ දේශපාලන ක්රමයම තිබෙන්නේ මජර ගලන තරමට කුණුවී ගඳ ගසන තැනකය. ප්රතිපත්ති හදන දේශපාලකයින් ද, ඒවා ක්රියාවට නගන රාජ්ය නිලධාරින් ද, යුක්තිය පසිඳලන විනිශ්චයකාරවරුන් ද, තොරතුරු ලබාදෙන ජනමාධ්යවේදින් ද, අධ්යාත්මික පාරිශුද්ධභාවය වෙනුවෙන් පෙනී සිටින පූජකයින් ද, රටට නැණ නුවණ ලබාදෙන බුද්ධිමතුන් ද, මජර ගලන තරම්ම කුණුවී ගඳ ගසන තුවාලය වටා ගුම්නද දෙමින් කැරකෙමින් සිටින්නේ දැවැන්ත එහෙත් හරසුන් විකට රංගනයක යෙදෙන විකට නළුවන් පිරිසක් විලසිනි.
බොරුව, දූෂණය හා වංචාව ද, නාස්තිය හා අකාර්යක්ෂමතාව ද ජාතීන්ගේ ගමන් මග හසුරුවන ප්රවර්තක බලවේගයන් බවට පත්ව තිබේ. හැම පුරවැසියකුම මානසික වශයෙන් එකවිට පීඩකයකුගේ ද පීඩිතයකුගේ ද භූමිකාව රගපාන තත්ත්වයකට පත්ව සිටිති. ඒ අනුව හැම කෙනෙක්ම තමන් විඳි දුක් පීඩා වෙනුවෙන් තමන්ට පළිගත හැකි හැම කෙනෙකුගෙන් ම පළිගනිති. රටේ ජනතාව පක්ෂය හා පන්තිය අනුව ද, වර්ගය, ආගම හා කුලය අනුව ද බෙදි සිටිනවාට අතිරේකව වෘත්තිය අනුව ද බෙදි සිටිනවා පමණක් නොව, ප්රතිපක්ෂ බෙදිම් තුළ සිටින අය කෙරෙහි වෛරසහගත ආකල්පයකින් ක්රියාකරන තත්ත්වයක් ද පවතී. සිංහල, දමිළ, මුස්ලිම් ජනයා එකිනෙකා කෙරෙහි ඇති අප්රසන්න හැගීමට සමාන හැගීමක් වෛද්යවරුන්, හෙදියන් හා වෙනත් රෝහල් සේවකයන් අතර ද දැකිය හැකිය. මේ ලක්ෂණය අඩු වැඩි වශයෙන් හැම තැනකම පවත්නා අතර, පාසල්වලද දැකිය හැකිය. බොහෝ පාසල්වල ගුරුවරුන් කණ්ඩායම්වලට බෙදි සිටින අතර, ඊට ගැළපෙන ලෙස පාසලේ ශිෂ්යයෝ ද බෙදි සිටිති. අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කෙරෙන වෘත්තීය අරගලවලදි මහජනයා ප්රාණ ඇපයට ගැනීම දැන් සුලබ දර්ශනයක් බවට පත්ව තිබේ.
නිදහසේ 56 වැනි සංවත්සරය සමරන මේ මොහොතේදි රට මෙවැනි කාලකණ්ණ තත්ත්වයකට ඇද වැටී තිබෙන්නේ ඇයිද යන මූලික ප්රශ්නය කෙටියෙන් විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.
අධිරාජ්යවාදය හා යටත් විජිතවාදය
1. ශ්රී ලංකාව ජාතික රාජ්යයක තත්ත්වයකට පරිවර්තනය වන්නේ බ්රිතාන්ය පාලන යුගයේදිය. බ්රිතාන්යයේ යටත් විජිතයක තත්ත්වයක සිටි ශ්රී ලංකාව කෙරෙහි අධිරාජ්යවාදය ඇති කළ ප්රතිවිපාක හා නැවත ඒවා රටේ වර්තමාන ගමන් මග කෙරෙහි බලපා ඇති ආකාරය නිවැරදි ලෙස තේරුම් ගත හැකිවනු ඇත්තේ යටත් විජිතවාදය හා අධිරාජ්යවාදය ශ්රී ලංකාවට බලපා තිබෙන ආකාරය පිළිබඳව ඓතිහාසික දෘෂ්ටියක පිහිටා කරුණු සලකා බැලීමෙන්ය.
2. දියුණු හා ශක්තිමත් රටවල් නොදියුණු හා දුබල රටවල් අල්ලාගැනීම ඉතිහාසයේ බොහෝ ඈත යුගයක සිට පැවත ආ ප්රවණතාවකි. එක් රාජ්යයක් රාජ්යයන් විශාල සංඛ්යාවක් අල්ලා ගනිමින් අධිරාජ්යයක් බවට පත්වීමේ ක්රියාවලිය ද ඉතා ඈත අතීතයේ සිටම පැවත ආ ක්රියාවලියකි. බොහෝ විට අධිරාජ්යයක් බවට පත්වූ රාජ්යයන්ට එවැනි තත්ත්වයක් හිමිකර ගැනීමට හැකිවූයේ යටත් කරගන්නා ලද රාජ්යයන්ට වඩා යුදමය වශයෙන් ද තාක්ෂණික වශයෙන් හා ආර්ථික වශයෙන් ද වඩා දියුණු තත්ත්වයක සිටීම නිසාය. අධිරාජ්යවාදය යටත් කරගන්නා ලද රාජ්යයන්හි වස්තුව කොල්ල කෑවේය. ඒ නිසා ඒ රටවල තිබූ සම්ප්රදායික සමාජ ආර්ථික ක්රමය ද බිඳ දැමුවේය. එහෙත් අධිරාජ්යවාදය විසින් බිඳ දමනු ලැබූ හෝ විනාශ කරනු ලැබූ සමාජ, ආර්ථික ක්රම ඉතා යහපත් හෝ දියුණු සමාජ ක්රම නොවීය. ඔවුන් විසින් බලයෙන් පහ කරනු ලැබූ දේශීය පාලකයින් බොහෝ විට යල්පැනගිය පරපුටු පාලකයන් පිරිසක් වූවා මිස, හැමවිට ජනතාව පෝෂණය කොට රට නගා ඉදිරියට ගෙනගිය විශිෂ්ට පාලකයන් ලෙස සැලකිය නොහැකිය. ඔවුන් විසින් ඇති කළ නව සමාජ, ආර්ථික හා දේශපාලන ක්රමයන් ද ඓතිහාසික අර්ථයෙන් තිබුණු ක්රමයන්ට වඩා නවීන හා ජනහිතකාමී ද වූයේය. කොටින්ම අධිරාජ්යවාදය තමන් අල්ලා ගත් රටවල් සූරාකන අතර, වඩා දියුණු තාක්ෂණ ක්රම ද, වඩා කාර්යක්ෂම නිෂ්පාදන ක්රම ද, වඩා නවීන සමාජ සංස්ථා ද ඒ රටවලට හඳුන්වා දුන්නේය.
3. යටත් විජිත රටවල ජනයා අධිරාජ්යවාදින් විසින් ඒ රටවල ඇති කළ නව නිෂ්පාදන ක්රම තුළ හා දේශපාලන ආයතන ක්රම තුළ හැදි වැඩී වඩා උගත් දියුණු සමාජයක් ලෙස ඊළග වටයේදි අධිරාජ්යවාදයට එරෙහිව නිදහස දිනාගැනීම සඳහා සටන් කරන තැනකට යොමුවිය.
4. අධිරාජ්යවාදය නිසා යටත් විජිත රටවල ජාතික රාජ්යයන් ගොඩනැගී තිබුණ ද ජාතික රාජ්යයන්ගේ පැවැත්ම සඳහා අවශ්ය සමජාතික සමාජයක් ඇතිවීමේ ක්රියාවලිය සිදුවූයේ ජාතික නිදහස දිනාගැනීම සඳහා කෙරෙන අරගල ක්රියාවලිය තුළය. දේශපාලන පරාධීනත්වය පොදු සතුරෙකුට එරෙහිව එක්සත්ව ක්රියාකිරීමට අවශ්ය ප්රබල නිමිත්තක් ඒ සමාජයන්ට ලබා දුන්නේය. පොදු සතුරා ඉතා බලවත් සතුරකු වූ නිසාම නිදහස දිනාගැනීමේ දුෂ්කර අරමුණ ජයගැනීම සඳහා, තිබුණු සියලු භේද නොසලකා සියලු කණ්ඩායම්වලට අයත් ජනයා ඒකරාශී කිරීම අත්යවශ්ය විය. වර්ගය හා ආගම, භාෂාව හෝ කුලය මත වූ මේ බෙදිම් නොසලකා එකට එක්ව දුෂ්කර අරගලයක නිරත වන ක්රියාවලියක් තුළ එම අරගල එම රටවල ගොඩනැගී තිබුණු ජාතික රාජ්යයන්ගේ පැවැත්ම සඳහා අවශ්ය කරන සම ජාතිය නිර්මාණය කරන කෝව ලෙස ක්රියා කළේය. නිදහස දිනාගැනීම සඳහා කෙරෙන අරගලය බලවත් වන තරමට හා සමාජය ඊට සම්බන්ධ කරගත් ප්රමාණය විශාල වන තරමට සම ජාතියක් බිහිවීමේ ක්රියාවලිය ද ශක්තිමත් හා වේගවත් විය. මෙසේ නිදහස සඳහා කරන අරගලය එම දේශය සමාජය තුළ වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ගෝත්රය මත පැවති බෙදිම් තුනී කොට නව සම ජාතික ජාතියක් බිහිකළා පමණක් නොව නවීන ප්රජාතන්ත්රවාදි සමාජයක් සඳහා අවශ්ය නව සමාජ මනසක් ද එකී සමාජයන්ට ලබාදුන්නේය. මේ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය වන්නේ ඉන්දියාවය.
තෑගි ලැබුණු නිදහස
5. එහෙත් ශ්රී ලංකාව නිදහස දිනාගත්තේ නිදහස දිනාගැනීම සඳහා දරන බලවත් සමාජ උත්සාහයක පලයක් වශයෙන් නොවේ. එය දිනාගන්නා ලද නිදහසකට වඩා තෑගි ලැබුණු නිදහසක් ලෙස සැලකිය හැකිය. නිදහස දිනාගැනීම සඳහා බලවත් සමාජ උත්සාහයක් නොවීම නිසා සමාජය තුළ වර්ගය, භාෂාව, ආගම හෝ කුලය මත පැවති බෙදිම් තුනී කොට පොදු ශ්රී ලාංකික අනන්යතාවක් සහිත සම ජාතික හෝ එක්සත් ජාතියක් නිර්මාණය වීම ද සිදු නොවීය. වැඩවසම් ආකල්පවලින් අත්මිදුණු ප්රජාතන්ත්රවාදි දෘෂ්ටියක් සහිත සමාජයක් ඇති නොවීම ද එහි ම ප්රතිපලයක් ලෙස සැලකිය හැකිය. යටත් විජිත රටවල නිදහස දිනාගැනීම සඳහා කරන ලද අරගලය නිදහස දිනාගැනීමේ අරමුණට අතිරේකව එක්සත් හෝ සම ජාතික සමාජයක් ඇති කරන ක්රියාවලියක් වූවා සේ ම ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයකට අනුගතවීමට අවශ්ය දැනුම හා ශික්ෂණය ලබාදෙන ක්රියාවලියක් ද වූයේය. ශ්රී ලංකාව නිදහස දිනාගැනීම සඳහා එවැනි අරගලයක නිරත නොවීම නිසාම එක්සත් හෝ සම ජාතික සමාජයක් ඇති කරගැනීමට නොහැකි වූවා සේ ම, ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයකට පරිවර්තනය වීමට අවශ්ය දැනුම හා ශික්ෂණය ලබාගැනීමට ද අසමත් විය.
ඒකාධිපති නායකයන් බිහි කරන පක්ෂ ක්රමය
6. එහිම ප්රතිපලයක් වශයෙන් නිදහසින් පසු රටේ පාලනය බාරගත් පාලකයන් ද, සමාජය ද ඉංග්රීසීන්ගෙන් ලැබුණු ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමය භාවිතයට ගත්තේ ප්රජාතන්ත්රවාදි ආකාරයකට නොව තමන්ට හුරු පුරුදු වැඩවසම් ආකාරයකටය.
පැරණි වැඩවසම් ක්රමය තුළ බලය බෙදිමක් නොවූ අතර, සමස්ත රාජ්ය බලය උරුමයෙන් තේරි පත්වන රජු අත කේන්ද්රගතවී තිබුණි. පොදු දේපළ තමන්ට මනාප ලෙස පරිහරණය කිරීමේ අයිතියක් රජුට තිබුණි. ආරම්භයේ පැවති වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්රමය තුළ අගමැතිගේ ද පවතින විධායක ජනාධිපති ක්රමය තුළ ජනාධිපතිගේ ද හැසිරිම බොහෝ දුරට වැඩවසම් රජෙකුට සමානය. රාජ්ය පාලකයා තේරි පත්වන්නේ මහජන ඡන්දයෙන් වුවත්, එම තනතුරට පත් පුද්ගලයා රට පාලනය කළේ උරුමයෙන් තේරි පත්වූ වැඩවසම් රජකු සේය.
පොදු දේපළ සම්බන්ධයෙන් රාජ්ය නායකයාගේ භූමිකාව ප්රජාතන්ත්රවාදි පාලකයකුගේ භාරකාර භූමිකාවට වඩා පැරණි රජවරුන්ගේ හිමිකාර භූමිකාවට සමානය. රටේ රාජ්ය නායකත්වයට පත්වූ සියලුදෙනා අඩු වැඩි වශයෙන් “රාජ” මානසිකත්වයකින් ක්රියාකර තිබෙනවා පමණක් නොව, සමහර රාජ්ය නායකයෝ තමන්ගේ තත්ත්වය පැරණි රජ කෙනෙකුගේ තත්ත්වයට වෙනස් නොවන බව ප්රසිද්ධියේ ප්රකාශ කිරීමට ද මැලි නොවූහ. 1989 පැවති පොදු රාජ්ය මණ්ඩල නායක සමුළුව අමතා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ප්රකාශ කළේ තමා දිර්ඝ හා අඛණ්ඩ රාජ්ය නායක පරම්පරාවක 193 වැන්නා බවය. ප්රේමදාස ජනාධිපතිවරයා සිය පදවිප්රාප්ත උත්සවය පවත්වන ලද්දේ උඩරට රජවරුන් සිය පදවිප්රාප්ත උත්සව පවත්වන ලද ශ්රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවේය.
7. බහු පක්ෂ ක්රමය ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමය උසුලාගෙන සිටින ප්රධාන කුලුනකි. අපේ රටේ බහු පක්ෂ ක්රමයක් ඇතත්, ප්රජාතන්ත්රවාදි පක්ෂ ක්රමයක් තුළ අවශ්යයෙන්ම තිබිය යුතු අභ්යන්තර ප්රජාතන්ත්රවාදි සංවිධාන ව්යුහයක් හෝ ප්රජාතන්ත්රවාදි සම්ප්රදායන් මේ බහු පක්ෂ ක්රමය තුළ නොපවතී.
එක්සත් ජාතික පක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂවල තීන්දු ගන්නා ප්රධාන ආයතනවලට (මධ්යම කාරක සභාවට හෝ ක්රියාකාරි මණ්ඩලයට) සාමාජිකයන් බහුතරයක් පත් කිරීමේ බලය ඇත්තේ පක්ෂ නායකයාටය. අවසාන විග්රහයේදි පක්ෂ නායකයා තීන්දු කරන්නේ ද එම මණ්ඩලයෙන්ය. මේ නිසා උණුසුම් වාද විවාදවලින් තොරව තමන්ට අවශ්ය ලෙස පක්ෂය ඉදිරියට ගෙනයාමේ හැකියාව පක්ෂ නායකයාට ලැබී තිබේ. මෙම පක්ෂවල දෘෂ්ටිය එක තැන පල්වන තත්ත්වයක තිබීම කෙරෙහි වාද විවාදවලින් තොරව පක්ෂ නායකයාට මනාප ලෙස සියල්ල සිදුවීමේ ක්රියාවලිය බලපා තිබේ. මේ පක්ෂවල සියලු තීන්දු අනුමත වන්නේ ද වාද විවාද හෝ බෙදිම්වලින් තොරව ඒකමතිකවය.
පක්ෂ නායකයාට ලැබී තිබෙන ඒකාධිපති බලය නිසාම මෙම පක්ෂ ක්රමය තුළ දක්ෂ පුද්ගලයින්ට තැනක් නැත. පක්ෂ නායකයා වැදගත් කොට සලකනුයේ දක්ෂකමට වඩා පක්ෂපාත කමටය. පක්ෂ නායකයාගේ සුවච සේවකයකු ලෙස ක්රියාකරන්නට සූදානම් නැති කිසිවකුට මේ පක්ෂවල ඉදිරියට ඒමට ඉඩ ලැබෙන්නේ නැත. පක්ෂ සංවිධායකයින් තෝරාගන්නේ ද ප්රාදේශීය ශාඛාවල සාමාජිකයන් විසින් නොව, පක්ෂ නායකයා විසිනි. සංවිධායකයන් බවට පත්වීමට ඉඩ ලැබෙන්නේ ද පක්ෂ නායකයාට අවනතවීමට සූදානම්, පක්ෂ නායකයාට කිරී පැණ හා ඉස්සන්, කකුළුවන් රැගෙන යන අයට පමණය.
පක්ෂ හා පවුල් බලය
8. ප්රධාන පක්ෂ දෙකම එක පවුලක් හෝ පවුල් කණ්ඩායමක් විසින් පාලනය කරයි. ශ්රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක පවුලේ පක්ෂයක් ලෙස සැලකෙන විට, එක්සත් ජාතික පක්ෂය සැලකෙන්නේ සේනානායකවරුන්ගේ, කොතලාවලවරුන්ගේ, ජයවර්ධනවරුන්ගේ, විජේවර්ධනවරුන්ගේ පක්ෂය ලෙසය. ශ්රී ලංකා නිදහස් පක්ෂය පවුල් පක්ෂයක් බවට පත්කිරීමේ අභිලාෂයක් එහි නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක තුළ වූ බවක් පෙනෙන්නට නැතත්, ඔහුගේ ඇවෑමෙන් පසු එය පවුලේ පක්ෂයක් බවට පත්විය. බණ්ඩාරනායකගෙන් පසුව එම පක්ෂයේ නායකත්වය ලැබිය යුතුව තිබුණේ සී.පී. ද සිල්වාට වුවත්, ඒ තැන ලැබුණේ බණ්ඩාරනායක මැතිනියටය. ශ්රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් බිහිකළ රාජ්ය නායකයින් තිදෙනාම අයත්වන්නේ එකම පවුලකටය. අක්කාගෙන් පසුව පක්ෂ නායකත්වය තමන්ට ලැබිය යුතු බව අනුර බණ්ඩාරනායක මහතා ප්රසිද්ධියේ ප්රකාශ කරයි.
එක්සත් ජාතික පක්ෂය තුළ ද මෙම පවුල් කණ්ඩායමෙන් පිටස්තරව පක්ෂ නායකත්වය හරහා රාජ්ය නායකත්වයට පැමිණි ඇත්තේ ආර්. ප්රේමදාස හා ඩී.බී. විජේතුංග යන මහත්වරුන් පමණය. ඩී.බී. විජේතුංග මහතාගේ පත්වීම අහම්බයක් වන අතර, රටේ බිහිසුණු කැරැල්ලක් නොවී නම් ප්රේමදාස මහතාට ද ඒ අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබුණි. මේ දෙදෙනා හැරුණු විට එම පක්ෂය හරහා රාජ්ය නායකත්වයට පත් සියලු දෙනා (ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල හා ජේ.ආර්. ජයවර්ධන) එකම පවුල් කණ්ඩායමකට අයත්ය. ඊළග රාජ්ය නායකයාවීමේ අවස්ථාවට හිමිකම් කියන අගමැති රනිල් වික්රමසිංහ අයත්වන්නේ ද එම පවුල් කණ්ඩායමටය.
මෙම ප්රධාන පක්ෂ දෙක හරහා මිස කිසිවකුට අන් ආකාරයකට රාජ්ය නායකයාවීමේ හැකියාවක් නැත. එහෙත් මෙම පක්ෂ දෙක හරහා රාජ්ය නායකයන්වීමේ හැකියාව ලැබී ඇත්තේ එම පක්ෂ දෙක පාලනය කරන පවුලේ හෝ පවුල් කණ්ඩායමේ සාමාජිකයන්ට පමණය. කොතරම් දක්ෂතා තිබුණ ද ඉන් පිටස්තර කිසිවකුට රාජ්ය නායකයාවීමේ හැකියාවක් නැත. මේ පක්ෂ දෙක විසින් මෙතෙක් බිහිකර ඇති රාජ්ය නායකයින් ප්රශස්ථ ගණයේ රාජ්ය නායකයින් ලෙස සැලකිය නොහැකිය. ඔවුන් අතරින් සමහරෙකුට දක්ෂතා තිබුණා විය හැකි වුවත්, ඒ කිසිවකුත් ශක්තිමත් ඉදිරි දැක්මක් තිබූ හා මනා කළමනාකරණ හැකියාවක් තිබූ පුද්ගලයන් ලෙස සැලකිය නොහැකිය. අඩු වැඩි වශයෙන් ඒ හැම කෙනෙකු අතින්ම සිදුවී තිබෙන්නේ පහසුවෙන් දියුණු කළ හැකිව තිබූ ලස්සන පුංචි රටක් ක්රමයෙන් නැතිභංග කොට කාලකණ්ණිභාවයට පත් කිරීමය.
රාජ්ය පාලකයන් වීමට, වඩා සුදුසුකම් ඇති පුද්ගලයන් ඕනෑතරම් රටේ සිටිය හැකි වුවත්, පවතින ක්රමය තුළ එවැනි අයට ඉදිරියට ඒමට ඉඩක් නැත. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්වීමේ හැකියාව පවා ලැබී ඇත්තේ ඒ සඳහා සුදුසුකම් ඇති දක්ෂ පුද්ගලයින්ට වඩා, මෙම පක්ෂ දෙකේ නායකයින්ට පක්ෂපාතව ක්රියා කරන පුද්ගලයින්ටය. පාර්ලිමේන්තුවට මන්ත්රීවරුන් වැඩි පිරිසක් තේරි පත්වන්නේ ද මෙම පක්ෂ දෙක හරහාය. එහෙත් ඒ සඳහා ද අවස්ථාව ලැබෙන්නේ සුදුසුකම් ඇති දක්ෂයින්ට නොව, නායකයින්ට දාස ආකල්පයකින් ක්රියාකරන්නට සූදානම් අයටය. මෙම පක්ෂ ක්රමය ඒකාධිපති රාජ්ය නායකයන් පුරුදු පුහුණු කරන ක්රමයක් ලෙස ක්රියාකරනවාට අතිරේකව නුසුදුසු මන්ත්රීවරුන් බිහිකරන ක්රමයක් ලෙස ද ක්රියා කරයි.
රාජ්යය, සියලු දෙනාගේ රාජ්යයක් නොවීම
9. ඉංග්රීසීන්ගෙන් ලැබුණු ජාතික රාජ්ය ආකෘතිය එහි පැවැත්ම සඳහා අත්යාවශ්ය සහජාතික සමාජයක් ඇති කරගැනීමෙන් තොරව ඉදිරියට ගෙනයාමේ ප්රතිපලයක් වශයෙන් එය බහුතර වර්ගයට, බහුතර ආගමට හා බහුතර කුලයට බර තබා ක්රියාකරන හා සුළුතර සමාජ කණ්ඩායම් බැහැර කරන රාජ්යයක් බවට පරිවර්තනය විය. තිබෙන සීමිත ඉඩ ප්රස්ථා හිමිකර ගැනීම සඳහා ඇතිවූ තරගයේදි රාජ්ය තමන් පෙනී සිටින බහුතරයට බර තබා ක්රියාකරන පිළිවෙතක් මගින් බහුතරය සංතෝෂ කරන ප්රතිපත්තියක් පවත්වාගෙන ගියේය. රාජ්ය විසින් පවත්වාගෙන ගිය මෙම බැහැර කිරීමේ ක්රියාවලියට මුලින්ම අසුවූයේ විදේශීය පෙනුමකින් යුතු වතුකරයේ දෙමළ කම්කරුවන්ය. ඉන්පසු බර්ගර්වරුන්ය. ඉන්පසුව ආගම අනුව ද, කුලය අනුව ද, භාෂාව අනුව ද, වර්ගය අනුව ද ඒ දේ සිදුවූයේය. එම තත්ත්වය සිංහල නොවන, බෞද්ධ නොවන හා ගොවිගම නොවන විවිධ ජන කණ්ඩායම් අතර අතෘප්තියක් ඇති කිරීමට හේතුවූ අතර, රාජ්ය බලය අල්ලා ගැනීම සඳහා හා වෙනම රාජ්යයක් ඇති කරගැනීම සඳහා කැරලි ගසන හා යුද්ධ කරන ව්යාපාර ඇතිවී ඒ ක්රියාවලිය සමාජයේ හෘද සාක්ෂිය ගොලුබවට පත්කිරිමෙන් නොනැවතී රාජ්යය ද බෙලහීන තත්ත්වයකට ඇද දැමීමට හේතුවිය.
රටේ පවතින දේශපාලන ක්රමයත්, මුළු රටමත් ඇද වැටී තිබෙන මෙම කාලකණ්ණි තත්ත්වය ජයගත හැකිවනු ඇත්තේ පටු පක්ෂ රාමුවට සීමා නොවී, රට මෙවැනි කාලකණ්ණි තත්ත්වයකට පත්වීම කෙරෙහි බලපා ඇති හේතු තේරුම් ගනිමින් රාජ්යයෙන් බැහැර කර සිටින හා තවදුරටත් බැහැර කරමින් සිටින සියලු දෙනා නැවත රාජ්ය වෙත ඒකරාශි කරගත හැකි ආකාරයකට තිබෙන රාජ්ය නැවත බලවත් ප්රතිසංවිධානයකට ලක්කිරිමෙන් පමණය. ශ්රී ලාංකික අනන්යතාවක් සහිත එක්සත් ජාතියක් ගොඩනැගීමේ කෝව බවට පත්කර ගත යුතුව තිබෙන්නේ ද එම ක්රියාවලියයි. එහෙත් එහිදි පක්ෂ දේශපාලන ක්රමය නොසලකා අන් ආයතන පමණක් ප්රතිසංස්කරණයකට ලක් කරන කිසිම වැඩපිළිවෙළක් මෙම තත්ත්වයේ මූලික වෙනසක් ඇති කරන්නේ නැත. ප්රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින අය නොසලකා හැර තිබෙන ඉතා වැදගත් මූලික ප්රශ්නයක් වන්නේ ද එයයි. ඇති කරන ඕනෑම ප්රතිසංස්කරණයකදි රටේ පවතින කාලකණ්ණිභාවයට එක් ප්රධාන හේතුවක් වී තිබෙන දක්ෂ රාජ්ය නායකයින් හා දක්ෂ දේශපාලකයින් බිහිකිරීමට බාධාවක් ලෙස ක්රියාකරන පක්ෂ ක්රමය ද අභ්යන්තර ප්රජාතන්ත්රවාදි නිදහස සහතික කෙරෙන ආකාරයට ප්රතිසංස්කරණයකට ලක් විය යුතුය. කොටින්ම සිංහල, බෞද්ධ, ගොවිගම හා අවසාන විග්රහයේදි මෙම පක්ෂ දෙක හිමි කරගෙන සිටින පවුලට හෝ පවුල් කණ්ඩායමට අයත් නොවන කිසිම පුද්ගලයෙකුට රටේ පාලකයා වීමට ඉඩ නොලැබෙන ආකාරයට ගොඩනැගී තිබෙන රාජ්යයේ ආකෘතිය, වර්ගය, ආගම, කුලය නොසලකා සුදුසුකම් ඇති දක්ෂතා ඇති ඕනෑම පුද්ගලයෙකුට රටේ පාලකයා වීමට ඉඩ ලැබෙන ආකාරයට ප්රතිසංස්කරණය විය යුතුය. රටේ පවතින කාලකණ්ණභාවය අවසන් වීම කළ හැකිවනු ඇත්තේ එවැනි ප්රතිසංස්කරණයකට පමණය. .