තිලංග සුමතිපාල සිද්ධිය රටේ යුක්තිය පසිඳලීමේ ආයතන ක්රමය ඇද වැටී තිබෙන දූෂිතභාවයේ තරම ප්රකාශ කරන එක් අවස්ථාවක් පමණ ය. පෝදා නඩු අසා තිලංග සුමතිපාල මහතා සියලු චෝදනාවලින් නිදහස් කළ කැසිනෝ ලෝලී අතිරේක මහේස්ත්රාත්වරයා සේවයෙන් පහකොට තිබෙන අතර, ඉන්පසුව ඒ නඩුව ඇසූ අතිරේක මහේස්ත්රාත්වරයාට එරෙහිව ද විනය ක්රියාමාර්ගයක් ගැනීමට නියමිත ය.
මීට අතිරේකව පෝදා නඩුවේදි තිලංග සුමතිපාල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥයන් දෙදෙනාට (ඉන් එක් අයෙක් නීතිඥ සංගමයේ සභාපති වන අතර, අනෙක් පුද්ගලයා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජනරාල්වරයෙකු ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා ද වේ.) එරෙහිව ද ශ්රේෂ්ඨාධිකරණය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ අතර මේ සිද්ධියේදි අධිකරණයේ හෝ නීතිඥ වෘත්තියේ ගෞරවයට හානියක් වන ලෙස ක්රියා කළ පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්රියාමාර්ගයක් ගැනීම ගැන අගවිනිසුරුවරයා පසසන ප්රවෘත්ති වාර්තා ද සංවිධානාත්මක ආකාරයකින් පළවෙමින් පවතී.
අධිකරණයේ දහ ජරා තත්ත්වයක් පවතී නම් අන් සියලු දෙනාට වඩා ඊට වගකිවයුත්තේ අධිකරණයේ ප්රධානියා හා පාලකයා ලෙස ක්රියා කරන අගවිනිසුරුවරයා ය. අගවිනිසුරුවරයා ද දෝෂාභියෝගයට ලක්ව සිටින පුද්ගලයෙකි. එම දෝෂාභියෝගයට ඇතුළත් චෝදනා ඉතා බරපතළ බව ද අමතක කළ නොහැක. ඔහුට එරෙහිව පවරන ලද නඩු හතරක් ජිනීවා හි මානව හිමිකම් කමිටුව ඉදිරියේ විභාගවෙමින් පවතී. අනෙක් අතට අනුන්ගේ වෘත්තීය විෂමාචාර සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක පිහිටා ක්රියාකරන මේ අගවිනිසුරුවරයා අගවිනිසුරු තනතුරට පත්වන අවස්ථාව වනවිට ඔහුට එරෙහිව ද ඉදිරිපත් වූ පැමිණිලි දෙකක් මත ශ්රේෂ්ඨාධිකරණය පරික්ෂණ දෙකක් ආරම්භ කර තිබූ බව හා සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වූයේ එම පරික්ෂණ දෙක විභාගවෙමින් තිබෙන අවස්ථාවක බව ද සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව තමන්ට එරෙහිව පැවති එම පරික්ෂණ දෙක යටපත් කරන ලද බව ද අමතක කළ නොහැකි ය.
අනෙක් අතට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාට එරෙහිව වෘත්තීය අපචාර චෝදනා එල්ල වූ ප්රථම අවස්ථාව මෙය නොවන බව ද කිව යුතු ය. ඒ මහතාගේ මස්සිනා කෙනෙකුට එරෙහිව මූල්ය වංචාවකට අදාළ ලිපි ගොනුවක් තමන් භාරයේ තබා ගනිමින් චූදිත පුද්ගලයාට රටින් පැනයාමට අවස්ථාවක් ලබාදිම පිළිබඳව ඒ මහතාට චෝදනා එල්ල වූ අවස්ථාවේදි ඒ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ප්රසිද්ධියේ පෙනී සිටි පුද්ගලයා වූයේ ද සරත් නන්ද සිල්වා මහතා ය. ඉන්පසු අර්සකුලරත්න මහතාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දරන ලද තනතුර අත්හැර යන්නට සිදුවූයේ ද වෘත්තීය අපචාර චෝදනා එල්ලවීම නිසා ය. ඉනුත් පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ දරන ලද තනතුර අත්හැර යන්නට සිදුවූයේ ද වෘත්තීය අපචාර චෝදනා නිසා ය. ඒ මහතාට වැරදි කරන්නට ඉඩදි ඒ වැරදි ලොකු මහත් වන්නට ඉඩහැර බලා සිටින ප්රතිපත්තියකින් පසුව බොහෝ ප්රමාද වී ඒ මහතාට එරෙහිව නීතිය ක්රියාත්මක කෙරෙන තත්ත්වයක් ඇතිවී තිබෙන බව ඉන් පෙනී යයි.
මහා භාරකාරයාට එල්ල වී තිබෙන චෝදනාවලින් ද පෙනී යන්නේ අධිකරණය ඇද වැටී තිබෙන දූෂිත තත්ත්වයේ ප්රමාණයයි. මහා භාරකාර දෙපාර්තමේන්තුවේ පළමුවැන්නා සේ ම දෙවැන්නා ද දූෂණ චෝදනා මත අධිකරණ සේවයෙන් පලවා හැරිමට නියමිතව සිටි පුද්ගලයින් දෙදෙනෙකි. එවැනි පුද්ගලයින් දෙදෙනෙකුට මෙවැනි බලවත් හා ගරු කටයුතු තනතුරුවලට පත්වීමට ඉඩ ලැබුණේ කෙසේ ද? මහා භාරකාර ධුරය උසුලන පුද්ගලයා නමගිය තක්කඩියෙකු වන විට එම තක්කඩියාගේ අඹ යාලුවා බවට පත්ව සිටියේ අගවිනිසුරුවරයා ය. අගවිනිසුරුවරයාගේ බෝධි පූජා සංවිධායකයා වශයෙන් ක්රියා කළේ මහා භාරකාරයා ය. මහා භාරකාරයා ප්රමුඛ බැංකුවෙන් දහතුන් වතාවකදි ලක්ෂ 19ක අල්ලසක් ලබාගෙන ඇති බව ප්රසිද්ධියට පත්වීමෙන් පසුවවත් මේ දෙදෙනා අතර තිබුණු අඹ යාලුකම නැවතුණේ නැත. ඉන්පසු තිලංග සුමතිපාලගේ ආරක්ෂාව සඳහා කැසිනෝ ලෝලී අතිරේක විනිශ්චයකාරවරයාට රුපියල් ලක්ෂ 80ක පගාවක් දෙන ගනුදෙනුවේදි අතරමැදියා ලෙස ක්රියා කළේ ද මහා භාරකාරයා ය.
අධිකරණය ඇද වැටී තිබෙන මෙම ඛේදජනක තත්ත්වය ගැන ප්රධාන දේශපාලන පක්ෂ දෙක ප්රමුඛ සියලු දේශපාලන පක්ෂ සේ ම පාරිශුද්ධ දේශපාලනයක් වෙනුවෙන් වැදි බණ කතා කරන ජනතා විමුක්ති පෙරමුණ ද වගකිව යුතු ය. රටේ පාර්ලිමේන්තුවට ඇස් කන් නැතිවිට රට අයාලේ යන තත්ත්වයක් ඇතිවීම ද නො වැළැක්විය හැකි ය.