රටට අමතක වී ඇති විධායක ජනාධිපති ක්‍රමය

July 20, 2003
Publication:
The editorial notes that the once-powerful campaign to abolish or reform the executive presidency, begun by N.M. Perera and carried forward by Lalith Athulathmudali, Gamini Dissanayake, Chandrika Kumaratunga and the JVP, has fallen silent. With the President's second term ending in 2005 and the Prime Minister hoping to succeed her, it argues that at minimum presidential immunity should be confined to official acts and removal for deliberate constitutional violations made easier.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ය, නැත්නම් එය ප්‍රතිසංස්කරණය කළ යුතුය කියන බලවත් කතිකාවතක් එක් යුගයක දි රටේ තිබුණත් දැන් ඒ ගැන හීන් කෙඳිරියක්වත් ඇත්තේ නැත.

මේ කතිකාවතෙහි ආරම්භකයා වූයේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ය. ඉන් පසුව ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක යන දෙදෙනා එය බලවත් සමාජ කතාවක් බවට පත් කළහ. ඉන් පසු ඒ ධජය ඉදිරියට ගෙනාවේ චන්ද්‍රිකා ය. ඇය එම ධූරයේ අසුන් ගැනීමෙන් පසු ඒ කතිකාවත ඉදිරියට ගෙනගිය ඊළග පිරිස වූයේ ජනතා විමුක්ති පෙරමුණ ය. දැන් ජනතා විමුක්ති පෙරමුණ ද ඒ ස්ථාවරය අතහැර විධායක ජනාධිපති ක්‍රමයට හුළං ගසන ව්‍යාපාරයක් බවට පත් වී සිටී.

එක්සත් ජාතික පක්ෂෂය තුළ ද විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව බලවත් මතයක් පැවතියත් එහි වර්තමාන නායකයා විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂෂව පෙනී සිටියා මිස ඊට එරෙහිව පෙනී නොසිටීම ද කැපී පෙනෙන ලක්ෂෂණයකි.

විධායක ජනාධිපති ක්‍රමය දුෂ්ට ක්‍රමයක් වනවා පමණක් නොව එය ශිෂ්ට සම්පන්න ක්‍රමයක් ලෙස ද සැලකිය නොහැකිය.

ජනාධිපතිවරුන්ට ලැබී තිබෙන මුක්තිය තිබුණේ ඉතා බරපතළ වරදක් කර තිබෙන අවස්ථාවක පවා තනතුරෙන් ඉවත් කිරීමට තිබෙන නොහැකියාව නිසා ජනාධිපතිවරුන්ට තමන් කැමති ඕනෑම වංචාවක් පමණක් නොව සාහසික අපරාධයක් පවා නඩු පැවරිමකට ලක්වීම පිළිබඳ හා තනතුරෙන් පහ කිරීමකට ලක්වීම පිළිබඳ බියකින් තොරව සිදු කරන්නට හැකියාව ලැබී තිබේ. සාධාරණ හේතු නැතිව පවා පාර්ලිමේන්තුවට ආයු කාලය අවුරුද්දක් සම්පූර්ණ වීමෙන් පසුව එය විසුරුවා හැරිමට ලැබී තිබෙන බලය ජනාධිපතිනියට ලැබී තිබෙන බලතල අතර තිබෙන අත්තනෝමතික බලයක් ලෙස සැලකිය හැකි ය.

2005 දෙසැම්බර් වලින් පසුව ජනාධිපතිනියගේ දෙවැනි ධුර කාලය අවසන් ය. ඉන් පසු නැවත ඇයට එම තනතුරට තරග කළ නොහැකි බැවින් මේ ක්‍රමය වෙනස් කිරිමේ වුවමනාවක් දැන් ජනාධිපතිනිය තුළ පවතී. එහෙත් දැන් ඒ අසුනට එන්නට බලාගෙන සිටින පුද්ගලයා වී සිටින්නේ අගමැති ය. ඒ නිසා ඒ ක්‍රමයේ කිසිම වෙනසක් කරනවා දකින්නට අගමැති කැමති නැත.

වඩා හොඳ දේ මේ ක්‍රමය වෙනස් කිරීම ය. එසේ නොවේ නම් අඩුම වශයෙන් මේ ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතු ය. මුක්තියක් තිබෙනවා නම් තිබිය යුත්තේ සිය රාජකාරි කටයුතු වලට සීමා වන ලෙස ය. දරුණු වංචාවන්ට හා අපරාධයන්ට මුක්තිය බල නොපෑ යුතු ය. අනෙක් අතට චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන අවස්ථාවක දි මීට වඩා පහසු ආකාරයකින් ධූරය දරන පුද්ගලයා ධුරයෙන් ඉවත් කිරිමේ හැකියාව තිබිය යුතු ය.

මේ මූලික ප්‍රශ්නය ඉදිරියේ සමාජය දක්වන නිහඬතාව විනාශකාරි ය.