නීති සම්පාදනය
රටේ සාමාන්ය නීති සම්පාදනය පමණක් නොව, රටේ මූලික නීතිය වන ව්යවස්ථා සම්පාදනය පවා සිදුවන්නේ රාජ්ය පාලකයාගේ ආත්මාර්ථකාමී සිතැගියාවන්ට ගැලපෙන හිතුවක්කාර ස්වරූපයකිනි.
72 ව්යවස්ථාව ව්යවස්ථා සම්පාදන මණ්ඩලයක් මගින් සම්පාදනය කරන ලද්දක් වුවත්, එම ක්රියාවලියට දෙමළ දේශපාලන පක්ෂ සම්බන්ධ වුයේ නැත. එක්සත් ජාතික පක්ෂය ව්යවස්ථා සම්පාදන ක්රියාවලියට සහභාගි වුවත්, කෙටුම්පත් කළ ව්යවස්ථාව සම්මත කරන අවස්ථාවේදි ඊට ඡන්දය පාවිච්චි කළේ විරුද්ධවය.
ව්යවස්ථා සම්පාදන ක්රියාවලියට ආවේණික මෙම හිතුවක්කාරි ස්වරූපය 78 ව්යවස්ථාව සම්පාදනයේදි වඩා නපුරු මුහුණුවරකින් ක්රියාත්මක විය.
1977 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ හයෙන් පහක (එදා පැවති කේවල ඡන්ද ක්රමය යටතේ ලබාගත් ආසන සංඛ්යාව වඩා විශාල වුවත් ඒ සඳහා එජාපයට ලැබී තිබුණේ මුළු ප්රකාශිත ඡන්ද සංඛ්යාවෙන් 51%ක් පමණය.) බලයක් හිමිකර ගත් එජාප 1977 ඔක්තෝබර් 4 වැනි දින පැවති ව්යවස්ථාවට ඉදිරිපත් කරන නව සංශෝධනයක් මගින් අගමැති ධුරයට පත්වී සිටි ජේ.ආර්. ජයවර්ධන තමන් දරන අගමැති පදවියේ සියලු බලතල සහිතව රටේ විධායක ජනාධිපති පදවියට පත්විය. ඒ අනුව ඔහු තම පදවිය සඳහා අලුතෙන් මැතිවරණයකට මුහුණ දෙන්නේ නැත. ඔහුගේ ඇවෑමෙන් පසු ඊළග ජනාධිපතිවරයා ජනවරමින් තෝරාගත යුතුය.
මේ සංශෝධනය සම්මත කරගන්නා ලද්දේ ද කිසිම ශිෂ්ටසම්පන්න රටක සිදු නොකරන ආකාරයට හදිසි කටයුත්තක් ලෙස සලකා මහජන සාකච්ඡාවකට තබා ප්රමාණවත් තරමින් පාර්ලිමේන්තු සාකච්ඡාවකටවත් ඉඩ නොතබාය.
ඉන්පසු නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා තේරිම් කාරක සභාවක් පත්කර ගන්නා ලද අතර, එම කාරක සභාව කෙටුම්පත් කරන ලද ව්යවස්ථාව තමන්ට තිබුණු වැඩි ඡන්ද බලය මත සම්මත කරගන්නා ලදි. ව්යවස්ථා සම්පාදන ක්රියාවලියට විරුද්ධ පක්ෂ සම්බන්ධ කරගැනීමක් සිදු නොවීය.
ඉන්පසු 2000 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නව ව්යවස්ථා කෙටුම්පතට මුවාවී, පැවති අනුපාතික ඡන්ද ක්රමය වෙනස් කොට තමන්ට වාසිදායක ඡන්ද ක්රමයක් නීතිගත කරවා ගැනීම පිණිස චන්ද්රිකා ජනාධිපතිනිය ඉදිරියට ගෙනා වැඩපිළිවෙළ ජේ.ආර්. ගේ ක්රියාමාර්ගයටත් වඩා සාහසික විය.
පවතින අනුපාතික ඡන්ද ක්රමය යටතේ පවත්වන මැතිවරණයකින් කැපී පෙනෙන බහුතර බලයක් ලබාගත නොහැකි බව තේරුම් ගත් ජනාධිපතිනිය සිය බලය යොදා විශාල බහුතර බලයක් ලබාගත හැකි ආකාරයේ නව මැතිවරණ ක්රමයක් සැලසුම් කොට 2000 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර එය නීතිගත කරවා ගැනීම සඳහා කූට වැඩපිළිවෙළක් ක්රියාවට නැගුවාය.
පොදු එකගතාවකින් තොරව අනුපාතික ඡන්ද ක්රමය වෙනස් කරන නීතියක් නීතිගත කිරීම සඳහා, තුනෙන් දෙකක පාර්ලිමේන්තු අනුමැතියකට අතිරේකව ජනමතවිචාරණයකින් ද අනුමත වීම අත්යාවශ්ය වුවත්, ශ්රේෂ්ඨාධිකරණය තිබුණේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ පාලනය යටතේ බැවින් ජනමතවිචාරණයකින් තොරව තුනෙන් දෙකේ අනුමැතියකින් පමණක් එය නීතිගත කිරීමට අවශ්ය අනුමැතිය ලබාගත හැකි බව ජනාධිපතිනිය දැන සිටියාය. ඉන්පසු තමන්ට අවශ්ය තුනෙන් දෙකේ අනුමැතිය ලබාගැනීම සඳහා වන වැඩපිළිවෙළක් ජනාධිපතිනියට තිබුණි.
ආණ්ඩුවෙන් පිටස්තරව සිටින සියලු සුළු ජාතික පක්ෂවල සහාය ලැබේ නම්, තුනෙන් දෙකේ බලයක් සඳහා ආණ්ඩුවට එජාපයෙන් මිලදි ගැනීමට අවශ්ය වී තිබුණේ 10 දෙනකු පමණය. ඡන්ද ක්රමය වෙනස් කිරිමේ වැඩපිළිවෙළක් සඳහා පමණක් ආණ්ඩුවෙන් පිටස්තරව සිටින සුළු ජාතික පක්ෂවල සහාය ලබාගත නොහැකි නිසා ඔවුන්ගේ සහාය ලබාගැනීම සඳහා ඔවුන්ගේ සතුටට හේතුවී තිබුණු පොදු පෙරමුණේ නව ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පත ඉදිරියට ගෙන ඡන්ද ක්රමය වෙනස් කිරිමේ වැඩපිළිවෙළ නව ව්යවස්ථාවට නීතිගත කිරිමේ වැඩපිළිවෙළට බද්ධ කළේය. කෙටුම්පත් දෙක සඳහා ශ්රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව, තුනෙන් දෙකේ බලයක් සඳහා අඩු මන්ත්රීන් දසදෙනා එක්සත් ජාතික පක්ෂයෙන් මිලයට ගෙන, පළමුව ව්යවස්ථාව සම්මත කරගැනීමත්, අවසාන අනුමැතිය සඳහා ජනමත විචාරණයකට යාම පසුවට තබා 17 වැනි ව්යවස්ථා සංශෝධනය අනුමත කරගනිමින් ඡන්ද ක්රමය වෙනස් කොට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමත් ජනාධිපතිනියගේ අභිලාෂය විය. විපක්ෂයෙන් විකිණෙන්නට එකග වී සිටි මන්ත්රීවරුන් පිරිසක් විපක්ෂ නායකයා විසින් ඔවුන්ට ලැබී තිබුණු අත්තිකාරම් මුදලින්ම සිංගප්පූරුවට යැවීම නිසා එම වැඩපිළිවෙළ ක්රියාවට නැංවීමට නොහැකිවී පැරණි ක්රමය යටතේම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට පොදු පෙරමුණට සිදුවිය.
ඉන්පසු දැන් බලයේ සිටින එජාපය මේ විෂයයේදි ක්රියාකරමින් සිටින ආකාරය ද චන්ද්රිකා ක්රියාකළ ආකාරයට දෙවැනි නැත.
වරලත් ගණකාධිකාරිවරයෙකුට වූ ද, මුදල් අමාත්යාංශයේ උපදේශකවරයෙකු ද වන නිහාල් ශ්රී අමරසේකර මහතා දේශීය ආදායම් බදු විශේෂ විධි විධාන සංශෝධන පනතට එරෙහිව ඉදිරිපත් කරන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකෙන් කියවෙන කතාව අපූරුය.
මෙම සංශෝධන පනත, තමන්ට පාලනය කළ නොහැකි හේතු නිසා ණයගැතිවී සිටින ව්යාපාරිකයන්ට සහන ලබාදෙන පනතකට වඩා බරපතළ නීති විරෝධී ක්රියාවල නිරත වී වැරදිකරුවන් වී සිටින අයට උපරිම වශයෙන් සහන ලබාදිමේ අරමුණින් නීතිගත කරන ලද පනතකි. මේ පනත ඉදිරිපත් කිරීමට මුදල් අමාත්යාංශයේ ලේකම් විසින් පළ කරන ලද ප්රසිද්ධ දැන්වීම් වලට ඇතුළත් වූයේ පනත් 26ක් ගැන පමණය. එහෙත් කාරක සභා අවස්ථාවේදි එහි උපලේඛනයට තීරු බදු ආඥා පනත ද ඇතුළත් කර තිබේ. තීරු බදු වංචාවලට වරදකරුවන් වී සිටින අයට ද නඩු ඇති චෝදනාලාභීන්ට ද තමන් කරන ලද වැරදි සඳහා සමාව ලබාගැනීමකින් තොරව හා ඒ මගින් ආණ්ඩුවට කර තිබෙන අලාභ ගෙවීමකින් තොරව ඒ සියලු දෙනාට නිදහස ලබාදිම එහි අරමුණ වී තිබේ. තීරු බදු ආඥා පනත ද සහන පනතට සංශෝධනයක් ලෙස ඇතුළත් කරන බව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පවා දැන නොසිටියේය. ඔහුට ඒ ගැන දැනුම් දිමක් ද කර නොතිබුණි. ඒ අනුව රේගු බදු වංචා නීතිය යටතේ පවරා තිබෙන සියලු නඩු ඉවත් කරගැනීමට සිදුවන අතර එවැනි වැරදි පිළිබඳව පවත්වාගෙන යන සියලු පරීක්ෂණ ද අත්හිටුවීමට සිදුවේ. මේ නීති සම්මත කරගෙන ඇත්තේ මහජනතාව පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ද නොමග යවා කූට ආකාරයකින් වන නිසා එවැනි කූට ක්රියාමාර්ගයක් රටේ පවතින මුලික නීතියට පටහැනිය යන්න නිහාල් අමරසේකර මහතාගේ තර්කය වී තිබේ.
රටේ නීති සම්පාදන ක්රියාවලිය පිළිගත් සියලු මූලධර්මවලට පටහැනිව ඉතාමත් හිතුවක්කාරී ආකාරයකින් සිදුවනවා පමණක් නොව, රටේ බලපවත්නා මොනතරම් බලවත් නීතියක් වුවත්, තමන්ට අවහිරයක් වන අවස්ථාවලදි ඒවා නිෂ්ක්රීය තත්ත්වයක තබාගැනීමේ හැකියාව ද දේශපාලන අධිකාරිය සතුය.
ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් ඇති කිරිමේ අරමුණ වෙනුවෙන් ඇති කරන ලද 17 වැනි ව්යවස්ථා සංශෝධනය විකෘති කිරීමට හැකිවීමෙන් නොනැවතී, එහි ක්රියාකාරිත්වය බොහෝ දුරට අක්රීය කිරීමට ද හැකිවී තිබේ. 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1995 අංක 1 දරන වත්කම් බැරකම් නීතිය අනුව ජනාධිපතිවරණ වලට, පාර්ලිමේන්තු මැතිවරණවලට, පළාත් සභා මැතිවරණ වලට හා පළාත් පාලන මැතිවරණ වලට තරග කරන සියලු අපේක්ෂකයන් ද තේරි පත්වන නියෝජිතයන් ද මැතිවරණ වලට තරග කරන සියලුම දේශපාලන පක්ෂවල නිලධාරී මණ්ඩල සාමාජිකයන් ද සිය වත්කම් බැරකම් ප්රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටියත්, ඒ නීතිය ද ක්රියාත්මකවන්නේ නාමික වශයෙන් පමණය.
නීතිපති
නීතිපති ආණ්ඩුවේ ප්රධාන නීති උපදේශකයාය. ප්රධාන නීති නිලධාරියා ද නීතිඥ මඬුල්ලේ (BAR) ප්රධානියා ද වෙයි. ඒ සමග ඔහු මහජන අයිතිවාසිකම් විෂයයේ භාරකරුවා ද (Guardian of the Public Intrest) වේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන හැම පනත් කෙටුම් පතක් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර නීතිපතිගේ අධීක්ෂණයට ලක්විය යුතුය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන සියලු පනත් කෙටුම්පත් ආණ්ඩු ක්රම ව්යවස්ථාවට අනුකූල හා පොදු මහජන යහපතට හානි නොවන තත්ත්වයක තබාගැනීම නීතිපතිගේ වගකීමකි. ආණ්ඩුවට එරෙහිව පවරනු ලබන ඕනෑම නඩුවක් වෙනුවෙන් නීතිපති ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිය යුතු වුවත්, එහිදි ආණ්ඩුව අතින් වරදක් සිදුවී ඇත්නම් එහිදි ඒ වරද වසන් කරන පිළිවෙතකට යාමේ අයිතියක් නීතිපතිට නැත. ඔහු එකවිට ආණ්ඩුවේ නීති උපදේශකයා හා නීති නිලධාරියා ලෙස ද, අනෙක් අතට මහජන අයිතිවාසිකම් ආරක්ෂකයා ලෙස ද ක්රියා කරයි. අයිතිවාසිකම් ආරක්ෂණයේදි ඔහුගේ තනතුරට ආවේණික මෙම පරස්පර විරෝධී ස්වභාවය නිසාම ආණ්ඩුව හා මහජන කණ්ඩායමක් අතර ඇතිවන ආරාවුලකදි වරද සිදුවී ඇත්තේ ආණ්ඩුවේ පැත්තෙන් නම්, ඒ බව නොසලකා ආණ්ඩුවේ ආරක්ෂාව සඳහා උසාවිය ඉදිරියේ පෙනී සිටීමේ අයිතියක් ඔහුට නැත. ඔහු එවැනි අවස්ථාවකදි සිදුවී තිබෙන වරද නිවැරදි කරන පිළිවෙතක් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එහෙත් සිරිතක් වශයෙන් අපේ රටේ නීතිපතිවරු ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා තමන්ට තිබෙන වගකීම මිස, මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරදිමට තමන්ට තිබෙන වගකීම සැලකිල්ලට ගන්නේ නැත.
නීති සම්පාදනයේදි ද සමහරවිට නීති විරෝධී හා ප්රජාතන්ත්ර විරෝධී නීති සම්පාදනයේදි පවා නීතිපති ආණ්ඩුවට සහයෝගය දේ. පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන්වීමෙන් පසු තවත් අවුරුදු 6කින් එම නිල කාලය දිර්ඝ කෙරෙන නීති සම්පාදනයට එවකට සිටි නීතිපති සම්බන්ධ වූවා පමණක් නොව, එහි ආරක්ෂාව වෙනුවෙන් ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ ද පෙනී සිටියේය. ඉතාමත් කූට අරමුණක් ඇතිව ඡන්ද ක්රමය වෙනස් කිරීම සඳහා සකස් කළ 17 වැනි ව්යවස්ථා සංශෝධනය සම්පාදනය කිරීමට නීතිපති ක්රියාකාරි ලෙස සම්බන්ධ වූවා පමණක් නොව, ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ එහි ආරක්ෂාව වෙනුවෙන් ද පෙනී සිටියේය.
නිහාල් අමරසේකර දේශීය ආදායම් බදු විශේෂ විධි විධාන සංශෝධන පනතට එරෙහිව පවරන ලද නඩු දෙකෙන් එකක් පවරා ඇත්තේ නීතිපතිට එරෙහිවය. ඉදිරිපත් කරන සෑම පනත් කෙටුම්පතක් ම ආණ්ඩු ක්රම ව්යවස්ථාවට පටහැනි ද, ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ නියම කොට ඇති අති විශේෂ බහුතර ඡන්දයකින් විනා නීත්යනුකූලව සම්මත කළ නොහැකි විධිවිධාන ඇතුළත්ව තිබේද යන්න දැනගැනීම පිණස සෑම පනත් කෙටුම්පතක් ම පරික්ෂා කර බැලීම නීතිපතිගේ වගකීම බව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 77 වගන්තියෙන් නියම කොට තිබියදි දේශීය ආදායම් බදු විශේෂ විධිවිධාන සංශෝධනයට අදාළ නීති සම්පාදනයේදි නීතිපති ඒ වගකීම පැහැර ඇතැයි යන්න නිහාල් අමරසේකර මහතා ඒ මගින් නීතිපතිවරයාට එරෙහිව එල්ල කරන ලද චෝදනාව වී තිබේ.
විශාල විනිමය වංචාවකට චෝදනා එල්ල වී තිබූ තක්කඩි ව්යාපාරිකයෙකු, ජනාධිපතිනියගේ මස්සිනා ද සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන්නට ගිය ප්රමුඛ බැංකුවට බැංකු බලපත්රයක් ලබාදිම මහ බැංකුව ප්රතික්ෂේප කරමින් තිබූ අවස්ථාවක ඒ ප්රශ්නයට මැදිහත් වී එම තක්කඩි ව්යාපාරිකයාට බැංකු බලපත්රය ලබාගැනීමට අවශ්ය පරිසරය සකස් කර දුන්නේ ද නීතිපති (සරත් නන්ද සිල්වා) ය. හිටපු ජනමාධ්ය ඇමතිවරයෙකු වන මංගල සමරවීර නිල විදේශ ගමන් කිහිපයක් සඳහා ඒ වෙනුවෙන් ඇමතිවරයෙකුට ලැබෙන සියලු ප්රතිපාදන ලබාගන්නවාට අතිරේකව තමා යටතේ තිබූ ටෙලිකොම් සමාගමෙන් ද රුපියල් ලක්ෂ 5කට වැඩි වටිනාකමක් ඇති කේරඩිට් කාඩ් පහසුකම් ලබාගෙන එම මුදල් වියදම් කිරිමේ සිද්ධියකට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සලකා බලා ඇමතිවරයා වරදක් කර නැති බව ප්රකාශ කෙරෙන ආකාරයේ වැරදි තීන්දුවක් එම කොමිසම විසින් දෙන ලද අවස්ථාවේදි ද එම වැරදි තීන්දුව නිවැරදි කිරිමේ වගකීමක් නීතිපතිට තිබුණත්, ඔහු ඒ බරපතළ වරද තහවුරුවන්නට ඉඩ හැර බලා සිටියා මිස ඊට අභියෝග කළේ නැත.
අල්ලස් හා දූෂණ කොමිසම
අල්ලස් හා දූෂණය තිබෙන්නේ දෝර ගලන තත්ත්වයකය. ජනාධිපතිවරුන් ද, ඇමතිවරුන් ද ප්රමුඛ රාජ්ය නිලධාරිහු ද තමන්ට ඇති බලයේ ප්රමාණය අනුව අයථා ලෙස මුදල් උපයති.
වෙනදා නම් අල්ලස් ලබාගන්නා මහජන නියෝජිතයින් ගැන විටින් විට පාර්ලිමේන්තුව ද කරුණු සොයා බැලූවේය. අල්ලස් හා දූෂණ වැරදි වලට වරදකරුවන් වූ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සිය ධුරයෙන් ඉවත් නොවන අවස්ථාවලදි ව්යවස්ථාදායකය විසින්ම ඔවුන්ගේ මන්ත්රීකම් අහිමි කළේය.
රාජ්ය මන්ත්රණ සභාවේ බලපිටිය මන්ත්රීවරයාව සිටි ෆ්රැන්සිස් ද සොයිසා විසින් 1941දි රාජ්ය මන්ත්රණ සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව රාජ්ය මන්ත්රණ සභාවේ මන්ත්රීවරුන්ට එරෙහිව ඉදිරිපත් වී තිබෙන අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳව සොයා බැලීමට රාජ්ය නීතිඥ එල්.එම්.ඩී. සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් ඒක පුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට ආණ්ඩුකාරවරයාට සිදුවිය. ඒ අනුව මන්ත්රීවරුන් 19 දෙනකුට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා විමර්ශනයට ලක්විය. ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම මන්ත්රීවරුන් සිව්දෙනෙකු වරදකරුවන් කරනු ලැබූ අතර, ඉන් තිදෙනෙක් සිය මන්ත්රී ධුරවලින් ඉල්ලා අස්වුවත්, එක් අයෙකු තනතුරෙන් ඉල්ලා අස්නොවී තවදුරටත් මන්ත්රීකමේ රැඳී සිටීම නිසා එම පුද්ගලයා මන්ත්රී ධුරයෙන් ඉවත් කිරීමට රාජ්ය මන්ත්රණ සභාවට සිදුවිය. ඉන්පසු 1959දි ද රාජ්ය මන්ත්රණ සභා යුගයේ සිට ඒ දක්වා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට එල්ල වන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශනය කිරීම සඳහා ත්රිපුද්ගල කොමිසමක් (තලගොඩපිටිය කොමිසම) පත් කළේය. චෝදනා එල්ල වූ ඇමතිවරුන් සංඛ්යාව 15ක් වන අතර මන්ත්රීන් සංඛ්යාව 18කි. ඒ අය අතරින්ද 6 දෙනෙකු කොමිසම වරදකරුවන් කළේය.
ඉන්පසු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ද 1986දි ඇමතිවරුන්, පාර්ලිමේන්තුව මන්ත්රීවරුන් හා රාජ්ය නිලධාරින්ට එරෙහිව ඇති අල්ලස් හා දූෂණ චෝදනා පරීක්ෂා කිරීම සඳහා විනිසුරු කොලින් තෝවේ මහතාගේ ප්රධානත්වයෙන් ඒක පුද්ගල කොමිසමක් පත් කළේය. කොමිසමට පැමිණිලි 1973ක් ලැබුණු අතර, කැබිනට් ඇමතිවරුන් ගණනාවකට එරෙහිව ද පැමිණිලි ලැබී තිබුණි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට අභ්යන්තරයෙන් එල්ල වූ පීඩනය මත කොමිසම පවත්වාගෙන යාමට අවශ්ය සල්ලි නැති බව ප්රකාශ කරමින් 1987 සැප්තැම්බර් වලදි කොමිසම අහෝසි කළේය.
එතෙක් පැවති අල්ලස් පනතට රජයේ සේවකයා පිළිබඳ අර්ථකතනයට ඇමතිවරු, කතානායක, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වැනි මහජන නියෝජිතයන් ද ඇතුළත් කරන නව සංශෝධනයක් ද එකතු කරමින් පාර්ලිමේන්තුවේ පොදු එකගතාවකින් යුතුව අල්ලස් චෝදනා වලට අතිරේකව රජයේ සේවකයින්ගේ දූෂණ චෝදනා ද ඇතුළත් කරමින් 1994 අංක 19 දරන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන පනත සම්මත කරන ලද්දේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශනය කිරීම සඳහා වඩා බලවත් ආයතන ව්යුහයක් ඇති කිරිමේ අභිලාෂය ඇතිවය. එහෙත් ඒ අපේක්ෂාවන්ට පටහැනිව එය ද රාජ්ය පාලකයාට අවශ්ය ලෙස හැසිරවිය හැකි ආයතනයක් බවට පත්වී තිබේ.
එය කොතරම් දේශපාලනකරණය වී තිබේද යන්න පෙන්නුම් කරන හොඳම නිදර්ශනය මංගල සමරවීර මහතාගේ කේරඩිට් කාඩ් ගනුදෙනුවට අදාළව දෙන ලද තීන්දුවයි. ඒ මගින් ඇමතිවරයෙකුගේ දූෂිත ක්රියාකලාපයක් නීත්යනුකූල කරමින් විදේශ ගමන් බිමන්වලදි ඇමතිවරයෙකුට තමන්ට රජයෙන් ලැබෙන ගෙවීම් වලට අතිරේකව තමන් යටතේ ඇති ආයතනවලින් ද තමන් කැමති තරම් මුදල් ලබාගත හැකි ක්රමයක් තහවුරු කළේය.
පොදු දේපළ රැකගැනීමේ වැඩසටහන යටතේ මානව හිමිකම් ආයතනය 2001 දෙසැම්බර් පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඉදිරිපත් කරන ලද පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ කොමිසම තීරණාත්මක උරගා බැලීමකට ලක් කළ තවත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
මැතිවරණයකදි රාජ්ය සම්පත් අයථා ලෙස යොදාගැනීම 17 වැනි ව්යවස්ථා සංශෝධනය අනුව ද දූෂණ ගණයට වැටෙන බරපතළ වරදකි. පොදු දේපළ රැකගැනීමේ වැඩසටහන යටතේ මානව හිමිකම් ආයතනය එම මැතිවරණයේ බලයේ සිටි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රාජ්ය සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනුණු අවස්ථා නිරීක්ෂණය කරමින් අවශ්ය තරම් සාක්ෂි ඇතිව සිය අවසන් වාර්තාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කළේය. කොමිසම ඒ පැමිණිල්ල මත පරීක්ෂණයක් ආරම්භ කරනවා වෙනුවට කළේ එය සිය විෂය පථයට ඇතුළත් නොවන බව ප්රකාශ කරමින් විමර්ශනයක් ආරම්භ කිරීම ප්රතික්ෂේප කිරීමය. අල්ලස් කොමිසමේ මෙම තීන්දුවට එරෙහිව තමන් අධිකරණයට යන බව මේ වැඩසටහන මෙහෙයවූ ප්රධානියා ඒ අවස්ථාවේ පුවත්පත් වලට ප්රකාශ කර තිබුණත්, කවර හේතුවක් නිසා හෝ එය ද සිදු නොවීය.
මේ අවස්ථා දෙකේදිම කොමිසම තමන් වෙත පැවරි තිබෙන වගකීම නොසලකා දේශපාලන විධායකයේ වුවමනාවන්ට ගැලපෙන ලෙස ක්රියාකර ඇති බව පැහැදිලිය. පොදු දේපළ රැකගැනීමේ වැඩසටහන යටතේ මානව හිමිකම් ආයතනය ඉදිරිපත් කළ පැමිණිල්ලෙන් එවකට ඇමතිවරුන් ලෙස ක්රියාකළ විශාල පිරිසකට එරෙහිව චෝදනා එල්ල කර තිබුණි.
ඔවුන් එම මැතිවරණයේදි ඔවුන්ගේ මැතිවරණ කටයුතු සඳහා පොදු දේපළ අයථා ලෙස ප්රයෝජනයට ගත් අවස්ථා ඔප්පු කිරීමට අවශ්ය තරම් සාක්ෂි ද ඉදිරිපත් කර තිබුණි. කොමිසම එහිදි පටු දේශපාලනයක නොයෙදි නීතිය අකුරටම ක්රියාත්මක කළේ නම්, රටේ බලවත් දේශපාලකයන් විශාල පිරිසට දඬුවම් විඳින්නට සිදුවන තත්ත්වයක් ඇතිවී එහි ප්රතිඵලයක් වශයෙන් මැතිවරණවලදි බලයේ සිටින පක්ෂ සිය මැතිවරණ කටයුතු සඳහා පොදු දේපළ අයථා ලෙස යොදා ගැනීමේ සම්ප්රදාය මුළුමනින් අහෝසි කරන තත්ත්වයක් පවා ඇති කිරීමට පුළුවන් වන්නට ඉඩ තිබුණි.
කොමිසම සිදු කරන ලද මේ බරපතළ වැරදි දෙක ඉදිරියේ නීතිපති ද, පාර්ලිමේන්තුව ද නිහඬව බලා සිටියේය. පාර්ලිමේන්තුවට අවශ්ය නම්, කොමිසමේ සියලු සාමාජිකයන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ඒ වැරදි දෙක පමණක් වුවත් ප්රමාණවත් වන්නට ඉඩ තිබුණි.
ඉන්දියාවේ දූෂණ පිළිබඳ පෙඩරල් පරීක්ෂණ බියුරෝවේ ක්රියාකාරිත්වය සමග ගත්විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තිබෙන්නේ ලජ්ජා සහගත තැනකය. ඉන්දියාවේ පරීක්ෂණ බියුරෝව බලයෙන් පහවූ දේශපාලකයන් පසුපස පමණක් නොව, බලයේ සිටින ඉතා බලවත් දේශපාලකයන් පිළිබඳව ද සිය පරීක්ෂණ කටයුතු මෙහෙයවයි. එය රජීව් ගාන්ධි බලයේ සිටියදි රජීව් ගාන්ධිට එරෙහිව ද නරසිම්හ රාවෝ බලයේ සිටියදි නරසිම්හ රාවෝට එරෙහිව ද මහත් ආන්දෝලනයකට තුඩුදුන් බලවත් පරික්ෂණවල නිරත වූයේය.
විනය පාලනය
පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්රීවරුන් සිව්දෙනෙකුට පක්ෂ තහනමක් පැනවීමෙන් පාලක එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කරනවා ඇත්තේ තම පක්ෂය විනයගරුක පක්ෂයක් බව රටට පෙන්නුම් කිරීම විය හැකිය.
එහෙත් තෝරුන්ට හා මෝරුන්ට නිදහසේ නටන්නට ඉඩ හැර හාල්මැස්සන්ට පමණක් දඬුවම් කරන පිළිවෙතක් මහජනයා තුළ හාස්යයක් මිස ගෞරවයක් ඇති කිරීමට හේතුවන්නේ නැත. දේශපාලන ලෝකයේ හාල්මැස්සන් ලෙස සැලකිය හැකි පළාත් පාලන මන්ත්රීවරුන් විනය විරෝධීව ක්රියාකරන්නේ නම් ඔවුන්ට ද දඬුවම් පමුණුවන ක්රමයක් තිබිය යුතුය. එහෙත් තෝරුන්ට හා මෝරුන්ට නිදහසේ වැරදි කරන්නට ඉඩදි හාල්මැස්සන් කෙරෙහි පමණක් නීතිය අකුරටම ක්රියාත්මක කරන ක්රමයක් සැලකිය හැක්කේ විකාරයක් ලෙසය.
පිළිගත් කැබිනට් සම්ප්රදායක් අනුව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකුට කැබිනට් මණ්ඩලය ගන්නට යන තීන්දුවකට එරෙහිව අදහස් පළකිරිමේ හා විරුද්ධවීමේ අයිතිය තිබුණ ද කැබිනට් මණ්ඩලය යම් තීන්දුවක් ගැනීමෙන් පසුව ඊට එරෙහිව ප්රසිද්ධියේ අදහස් පළකිරිමේ අයිතියක් නොපවතී.
එහෙත් දැන් පවතින කැබිනට් මණ්ඩලය තුළ සේ ම පෙර පැවති කැබිනට් මණ්ඩලය තුළ ද ඒ සම්ප්රදාය ක්රියාත්මක නොවීය. කැබිනට් ඇමතිවරුන් කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීන්දු වලට එරෙහිව ප්රසිද්ධියේ අදහස් පළකරනවා පමණක් නොව, සමහර ඇමතිවරු සමහර තීරණයන්ට එරෙහිව ගස් කපා විරෝධතා පවත්වන තත්ත්වයකට දුරදිග ගොස් සිටින බව ද පෙනේ. ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා කිසිවක් සිදුවන තත්ත්වයක් ද පෙනෙන්නට නැත. කැබිනට් ඇමතිවරුන්ට ප්රසිද්ධ චෝදනා එල්ල වන අවස්ථාවලදි ඒවායේ ඇත්ත නැත්ත ගැන කරුණු සොයා බැලීමක් ද සිදු නොවේ.
ජනාධිපතිනියගේ රස කතා
රසකතා කීමෙහිලා ජනාධිපතිනියට තිබෙන හැකියාව අසමසමය.
එතුමිය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගැන කරන අලුත්ම විග්රහය අනුව ජේ.ආර්. ජයවර්ධන කරන තරමක් කළේ බලු වැඩය. කර තිබෙන එකම හොඳ දේ ලෙස සැලකිය හැක්කේ විධායක ජනාධිපතිට අසීමිත ආකාරයකට බලතල පවරා දිම පමණය.
ජේ.ආර්. ජයවර්ධනට පමණක් නොව, දැන් ඒ පුටුවේ වාඩිවී සිටින චන්ද්රිකා කුමාරතුංග ජනාධිපතිනියට ද බලුවැඩ කිරිමේ හැකියාව ලැබුණේ ජනාධිපතිකමට ඈඳ තිබුණු අසීමිත බලතල නිසාය. නඩු පැවරිමට තිබෙන නොහැකියාව නිසාත්, බරපතළ වැරදි කරන අවස්ථාවකදි වුවත් තනතුරෙන් පහකිරීමට තිබෙන අමාරුකම නිසාත් මේ තනතුරට පැමිණි හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් තනතුරේ බලයෙන් අයථා ලෙස ධනය හරිහම්බ කර ගත්තේය. විරුද්ධවාදින් හිංසාවට පත් කළේය. සමහර අවස්ථා වලදි විරුද්ධවාදින් ඝාතනය කෙරෙව්වේය.
ජනාධිපතිනිය තමන් භුක්ති විඳින විධායක ජනාධිපති බලයේ රසය ගැන කතා කරනවාට අමතරව හලාවතදි 77න් පසුව බිහිවූ දේශපාලනඥයින්ගේ සදාචාරය ගැන ද ලස්සන කතාවක් කර තිබුණි.
එතුමිය ප්රකාශ කර තිබෙන ආකාරයට 77ට පෙර දේශපාලනයේ මහත්වරුන් මිස තක්කඩින් නොසිටියේය. වැඩි පිරිසක් මහජනයාට සේවය කළා මිස හොරකම් නොකළේය. එහෙත් දැන් දේශපාලන ලෝකය පිරි ඇත්තේ ජාවාරම්කාර දහ ජරා මිනිසුන්ගෙනි.
මේ විග්රහයෙන් ජනාධිපතිනිය රටට කියන්නට උත්සාහ දරා ඇත්තේ 77න් පසුව දැන් දේශපාලනයේ සිටින මිනිසුන් අතරින් තමා හැර අන් සියලු දේශපාලනඥයන් හොරුන්, තක්කඩින් බවය. එහෙත් ජනාධිපතිනිය ද මේ ජරා ගොඩෙන් පිටස්තර නැත. 77න් පසුව ජනාධිපති ධුරයට පත් හැම පුද්ගලයෙක්ම අයථා ලෙස මුදල් ඉපයුවේය. තමන්ගේ සාක්කු පුරවා ගන්නවාට අතිරේකව තමන්ගේ සමීප සහචරයින්ගේ ද සාක්කු පිරෙව්වේය. තමා 1994ට පෙර සිටි තත්ත්වයට වඩා දුප්පත් යැයි කීමේ හැකියාවක් ජනාධිපතිනියට ද නැත.
ආනන්දජනක මිනිසා
දෙමළ සන්ධානයේ නායකත්වය හොබවන්නේ ආනන්ද සංගරිය. ඔහු දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවාට අතිරේකව කොටි සංවිධානයේ හිතුවක්කාරි ක්රියාකාරම් වලට එරෙහිව කතා කරන තත්ත්වයක් තුළ කොටි සංවිධානයේ උදහසට පත් ප්රධාන කෙනෙකුගේ තත්ත්වයට පත්ව සිටී. ඔහු දෙමළ සන්ධානයේ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට කොටි සංවිධානයෙන් එල්ල වූ බලකිරීමක් ඉදිරියේ ආනන්ද සංගරි එසේ කිරීම ප්රතික්ෂේප කරමින් සිය අදිනත්වය ප්රකාශ කළේය. ඉන්පසු දෙමළ සන්ධානයේ මන්ත්රීන් ලවා ඔහු එම තනතුරෙන් තමන් ඉවත් කරගැනීමට දරන ලද උත්සාහයට එරෙහිව ද ඔහු නැගී සිටියේය. අවසානයේ දෙමළ සන්ධානයේ මධ්යම කාරක සභිකයන් වැඩි පිරිසකගේ සහාය ඇතිව එම සටනින් ද ජයගැනීමට ආනන්ද සංගරි සමත් විය.
තමන් සෙල්ලම් කරමින් සිටින්නේ ගින්දර සමග බව ආනන්ද සංගරි නොදන්නවා විය නොහැකිය. ඔවුන් නියෝජනය කරන පරපුරේ දෙමළ නායකයන් මරණයට පත්වූයේ ද සිංහල ජාතිවාදි බලවේගයන් අතින් නොව, කොටි සංවිධානය අතිනි. මේ වනවිට දෙමළ විරෝධී අන්ත සිංහල ජාතිවාදි බලවේගයන්ට පවා ආනන්ද සංගරි පෙනෙන්නේ ජාතික වීරයෙකු ලෙසය. එහෙත් ඔහු එකම විට දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් සේ ම කොටි සංවිධානයේ අධිකාරිවාදයට එරෙහිව නැගී සිටි ප්රතාපවත් නායකයෙකි. කොටි සංවිධානයට තිබෙන අතිවිශාල බලය ඉදිරියේ ආනන්ද සංගරිට මේ තත්ත්වය නොකඩවා ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකි වෙතත් එය දෙමළ සමාජයේ අනාගතයේ ඇතිවීමට නියමිත නියත ගැටුම සංකේතවත් කරයි.
වලව්වට ප්රේම කිරීම
ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදි ශ්රීලනිපයේ වලව් දේශපාලනයට මුළු හදවතින් ම වෛර කළේය. ශ්රීලනිපයේ නායකත්වයට සහාය දෙන පුද්ගලයන් පවා වලව්වේ කටුකන බල්ලන් ලෙස සලකා විවේචනය කළේය. දැන් ජනතා විමුක්ති පෙරමුණ ඒ වලව්වට වෛර කරන ප්රතිපත්තියෙන් මිදි ප්රේම කරන තැනකට පැමිණ සිටිනවා පමණක් නොව, ඒ වලව්වෙන් දිගයක් ද කරගත යුතුයි කියන තැනකට පැමිණ සිටී.
අපේක්ෂා කරන දිගය ඇති කරගන්නට හැකිවුවහොත් එයින් ජනතා විමුක්ති පෙරමුණට තාවකාලික වාසියක් ලැබෙනු ඇතත්, දිගය කරගන්නට නොලැබී වෑයම අසාර්ථක වෑයමක් බවට පත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ දරුණු පසුබෑමකට ලක්වනු නොවැළැක්විය හැකිය.
ජවිපෙ සිය ඹ හැරවුමට ගැලපෙන ලෙස සිය සාමාජිකයන්ගේ ඔලු සේදුවේය. තමන්ගේ දැඩි පාලනයට යටත් ශ්රී ලංකා-ජවිපෙ ආණ්ඩුවක් ගැන සිය සාමාජිකයන් තුළ අලුත් බලාපොරොත්තු ඇති කළේය.
මේ අරමුණ ජයගැනීමට ජවිපෙ සමත් වුවහොත් ජවිපෙට තාවකාලික දේශපාලන වාසියක් ලැබෙනු ඇතත්, එසේ නොවුවහොත් ජවිපෙ සාමාජිකයන් අතර බලාපොරොත්තු බිඳවැටීමක් ඇතිවී පක්ෂයක් වශයෙන් විශාල පසුබැසීමකට ලක්වන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය. එසේම නැවත ජනතා විමුක්ති පෙරමුණ ශ්රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහි මහත් වෛරයෙන් ක්රියාකරන තත්ත්වයක් ඇතිවීම ද නොවැළැක්විය හැකිය.
අනුරගේ සිහින දැක්ම
අනුර බණ්ඩාරනායක කවදත් කල්පනා කළේ ශ්රීලනිප ය යනු තම පවුලේ බූදලයක් බවය. පක්ෂයේ නායකත්වය සිය පියාගෙන් පසු මවටත්, මවගෙන් පසු සිය සොහොයුරියටත් ගිය ආකාරයට සොහොයුරියගෙන් පසු එය තමාට ලැබිය යුතු බව අනුර හැමදාමත් කල්පනා කළේය.
දැන් අනුර ඉන්නේ ඊළග ජනාධිපති වීමේ සිහින ලෝකයකය. අක්කාගේ ධුර කාලය 2005න් අවසන් වූ පසු ඇය විශ්රාම ගතයුතු බව අනුර දනී. අනුරගේ අපේක්ෂාව වී ඇත්තේ ඊළග ජනාධිපති අපේක්ෂකයා වීමය. අනුර ජවිපෙ ලොකුම ආධාරකරුවා වී සිටින්නේ ද ඒ සිහිනය සැබෑකර ගැනීම සඳහාය. දැන් අනුරගේ විශ්වාසවන්ත සගයා වී සිටින්නේ ද විමල් වීරවංශය. දැන් අනුර කතා කරන්නේ ද ජවිපෙට ගැලපෙන හඬකිනි. අනුරගේ වැඩපිළිවෙළ වැරදුණහොත් අනුරට අවසානයේ යන්නට ඉතිරි වනු ඇත්තේ ද ජවිපෙට පමණය.