අවුල පැලැස්තරවලින් විසඳිය නොහැක

June 15, 2003
Publication:
The ethnic conflict needs surgery, not plasters, the editorial argues. Since the New York pre-aid meeting, the LTTE has boycotted the Tokyo conference and rejected the Prime Minister's interim proposal as a renamed version of one it had already refused. Aid can only be used if trust is restored; granting the interim administration the LTTE wants requires opposition support, and if the main parties cannot agree, the alternative is war.

ලංකාවේ ජනවාර්ගික අවුල චාටු කතාවෙන් විසඳිය හැකි අවුලක් ලෙස සැලකිය නො හැකි ය. එය රටේ ගමන් මග අධිනිශ්චය කරන හා සමස්ත දේශපාලන ක්‍රමය ම කුණු කිරීමට හේතුවන තරම් දුරදිග ගිය අවුලකි. එය බලවත් ශල්‍යකර්මයකින් මිස මතුපිට පැලැස්තර ඇලවීමෙන් සුවකළ නො හැකි ය.

අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කරන ප්‍රවේශය එල්ටීටීඊ සංවිධානයේ දැඩි විරෝධයට හේතුවී තිබෙන බව පෙනේ. මතභේද ඇතිවීම ආරම්භ වූයේ නිව්යෝක්හී පැවති පූර්ව ආධාර සමුළුවත් සමග ය. ඉන්පසුව ජපානයේ පැවති ආධාර සමුළුව එල්ටීටීඊය විසින් වර්ජනය කළා පමණක් නොව, එම සමුළුවේදි අගමැතිවරයා ප්‍රකාශ කළ අන්තර් පාලන වැඩපිළිවෙළ ද ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් කියන්නේ එය කලින් තමන් විසින් ප්‍රතික්ෂේප කළ ආයතනයට දෙන ලද අලුත් නමක් පමණක් බව ය.

ඔවුන් තවදුරටත් කියන්නේ ස්වයං පාලන අයිතිය පිළිගන්නා නව ව්‍යවස්ථාවක් තමන් අපේක්ෂා කරන බවත්, එවැන්නක් කිරිමේ හැකියාවක් ආණ්ඩුවට නැති නිසා තමන් අන්තර් පාලනයක් ඉල්ලා සිටින බවත් ය.

මේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භයේදි පැවති සුහදත්වය හා විශ්වාසය විශාල ප්‍රමාණයකට බිඳ වැටී තිබෙන බව පැහැදිලිව පෙනේ. එය තව තව කුණුවෙන්නට ඉඩ නො හැර යළි එකිනෙකා කෙරෙහි විශ්වාසයකින් හා ගෞරවයෙන් කරුණු සාකච්ඡා කරන තැනකට පැමිණීම අත්‍යාවශ්‍ය ය.

ආධාර සමුළුව ශක්තිමත් ආරම්භයක් සඳහා අවශ්‍ය මූල ධනය ලබාදි ඇතත්, ඒ මූල ධනය පාවිච්චි කළ හැකිවනු ඇත්තේ කොටි සංවිධානය සමග ඇතිවී තිබෙන මෙම ගැටලු ලිහාගැනීමට හැකිවේ නම් පමණ ය.

විපතට පත් ප්‍රදේශ නගා සිටුවීම සඳහා අවශ්‍ය තරම් මුදල් ඇතත්, ඒ වැඩපිළිවෙළට තමන්ට ද බලවත් ආකාරයකින් සම්බන්ධවීමට ඉඩක් නො ලැබෙතොත් ඔවුන්ගේ ප්‍රදේශවල ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට ඉඩ දෙනු ඇතැයි සිතිය නො හැකිය.

එල්ටීටීඊය ඉල්ලා සිටින ආකාරයේ අන්තර් පාලනයක් ලබාදිමට හැකි වනු ඇත්තේ ආණ්ඩුවට එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා විපක්ෂයේ සහාය ලබාගත හැකි නම්, පමණ ය. ඒ අර්ථයෙන් ඉදිරිපත් වී තිබෙන එම යෝජනාව ප්‍රධාන පක්ෂ දෙකම මේ මූලික ප්‍රශ්නයේදි පොදු එකගතාවකට ආ හැකි ද යන්න උරගා බැලීමක් කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. පොදු එකගතාවක් ඇති කරගැනීමට නොහැකි වෙතොත්, ඊළගට ඇතිවිය හැකි එකම දේ නැවත දෙපාර්ශ්වයම යුද්ධ කරන තත්ත්වයකට තල්ලුවීම ය. එහෙත් එවැනි යුද්ධයක් පොදුවේ රටට ඇති කරනු ඇති විනාශය හිතාගන්නටත් බැරි තරම් ය.

කොටි සංවිධානය සමග කරන ගනුදෙනුවේ දි ඔවුන් ආයුධ බලය මත පිහිටා ක්‍රියාකරන අන්තවාදි අදහස් දරන සංවිධානයක් බව සේ ම, ඔවුන් සාකච්ඡා මේසයට පැමිණ ඇත්තේ යුදමය වශයෙන් පරාජය කිරීමට නො හැකි වූ සංවිධානයක්ය යන මතය අමතක නො කළ යුතු ය. මෙවැනි සංවිධානයක් සමග කරන ගනුදෙනුවලදි අප විසින් ඔවුන් රවටන්නට උත්සාහ කරන්නේය යන හැගීමක් ඔවුන් තුළ ඇතිවුවහොත් එයින් ඇති කරන ප්‍රතිඵල ඉතා විනාශකාරි විය හැකි ය. අපට ඔවුන් දරුණු මිනීමරුවන් ලෙස පෙනෙන ආකාරයට ම අප ඔවුන්ට පෙනෙන්නේ ද දරුණු මිනීමරුවන් ලෙස ය.

මෙය විසඳ ගැනීමට පහසු නැති සංකීර්ණ අවුලකි. ඔවුන්ගේ ඉලක්කය වෙනම රාජ්‍යයක් නොවේ නම්, ඔවුන්ට පිළිගත හැකි තරම් බලයක් ඇති ස්වයං පාලන තත්ත්වයකි. පෙඩරල් ක්‍රමයක් ඇති කොට ඔවුන්ට එවැනි තත්ත්වයක් ලබාදි මේ ගැටලුව විසඳ ගැනීමට අප අදහස් කරන්නේ නම්, අවදානමක් තිබියදිත් ඒ පිළිගැනීම යම් ප්‍රමාණයකට දැන් සිට ම ඔවුන් වෙත ලබාදිමට සිදුවනු ඇත්තේ ය. එවැනි තැනකට යන්නට අප සූදානම් නැති නම් දෙපාර්ශ්වයට ම ඊළගට තෝරා ගැනීමට සිදුවනු ඇත්තේ යුද්ධයේ මාවතයි.

මේ තීරණාත්මක මංසන්ධියේදිවත් මේ ප්‍රශ්නයට කුමන විසඳුමක් ලබාදිය යුතු ද යන කාරණය අරබයා ප්‍රධාන පක්ෂ දෙකට පොදු එකගතාවක් ඇති කරගත නො හැකි නම්,

එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ රට විනාශ මුඛයට තල්ලුවීම ය.