ජපන් ආධාර සමුළුව

June 15, 2003
Publication:
Despite the LTTE's absence, the Tokyo conference pledged $4.5 billion against the $3 billion sought, huge relative to government revenue, though much of it is loans and past aid use has been poor. The editorial finds the Prime Minister's vision attractive but says good governance must begin with an independent judiciary and a disciplined party, and that the LTTE, having rejected his interim proposal, is unlikely to accept reconstruction outside its control.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සහභාගි නොවූවත්, ජපන් ආධාර සමුළුව ණය ආධාර අර්ථයෙන් අපේක්ෂා කළ තරමටත් වඩා රටට යහපත් ප්‍රතිඵල ලබාදිමට හේතුවී තිබේ. රට අපේක්ෂා කළ ප්‍රමාණය ඩොලර් බිලියන 3ක් වුවත්, ලබාදිමට සහතික වී තිබෙන ප්‍රමාණය ඩොලර් බිලියන 4.5කි. එය රුපියල් කෝටි 45000කට සමාන මුදලකි.

ලැබෙන්න යන මේ සියල්ල ආපසු ගෙවීමට අවශ්‍ය නොවන ආධාර ගණයට නොවැටෙන බව හා ඉන් වැඩි කොටසක් දිර්ඝ කාලීන පදනමක් මත ආපසු ගෙවිය යුතුව තිබෙන බව ද සැබෑය. ඒ නිසා රටේ ඒක පුද්ගල ණය ගැතියාව ඉහළ යනු ඇති බව ද සැබෑය. ඊට ආවේණික එවැනි සීමාවන් ඊට ලැබෙන වැදගත්කම අහෝසි කරන්නේ නැත. ශ්‍රී ලංකාව මුහුණ දි සිටින ප්‍රශ්නවල බරපතළකමේ ප්‍රමාණය අනුව ශක්තිමත් ආරම්භයක් සඳහා සෑහෙන තරම් මූල ධනයක් අවශ්‍ය වී තිබුණේය. ආධාර සමුළුව ඒ මූලික ගැටලුව ජයගැනීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ලබාදි තිබෙන අතර, සාමාන්‍යයෙන් මෙතෙක් සිදුවී තිබෙන ආකාරයෙන් වෙනස්ව (මේ වෙන තෙක් සිදුවී තිබෙන ක්‍රමය අනුව ලැබෙන ණය ආධාරවලින් අප පාවිච්චි කර ඇත්තේ 26%ක් පමණය.) ඵලදායී ලෙස මේ මුදල් ආයෝජනය කිරීමට රට සමත් වේ නම්, දුප්පත්කම, අනාථභාවය, විරැකියාව මුල් කොටගෙන රටට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ගැටලු නිරාකරණය කරගැනීමේ හැකියාව රටට ලැබෙනු ඇත්තේය.

රටේ ආර්ථිකයේ ප්‍රමාණය අනුව ගත්විට ලැබී තිබෙන ආධාර ප්‍රමාණය ඉතා විශාලය. රජයේ සම්පූර්ණ ආදායම 2003 වර්ෂය සඳහා රුපියල් දශ ලක්ෂ 30,000කි. රජයේ මුළු වියදම රුපියල් දශ ලක්ෂ 43,000කි. වසරකට ලැබීමට නියමිත ආධාරවල ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 15,000කි. එය රජයේ මුළු ආදායමෙන් 50%ක් ද, මුළු වියදමෙන් 35%ක් ද වේ. ශක්තිමත් ආරම්භයක් සඳහා මේ ලැබී තිබෙන ප්‍රමාණය ඕනෑවටත් වඩා වැඩි මිස අඩු නැත. එය අර්ථවත් ලෙස ප්‍රයෝජනයට ගෙන ශක්තිමත් ලෙස නැගී සිටීමට නොහැකි නම්, නැවත කවදාවත් ඒ අවස්ථාව හිමිකර ගත හැකිවනු ඇතැයි සිතිය නොහැකිය.

ආධාර සමුළුව අමතා අගමැතිවරයා විසින් කරන ලද කතාවෙන් විකසිත වන දර්ශනය ඉතා යහපත්ය.

අගමැතිවරයාට අනුව ශ්‍රී ලංකාව වර්ගවාදි වෛරයෙන් හා අප්‍රසන්නතාවන්ගෙන් බෙදි යුද්ධයෙන් එකිනෙකා වනසා ගන්නා තත්ත්වයකට පත්ව තිබෙන රටකි. ඒ තත්ත්වය අහෝසි කොට කල්පවත්නා සාමයක් ඇති කිරීම ආණ්ඩුවේ එක් ප්‍රධාන අපේක්ෂාවකි.

ආර්ථික වශයෙන් ද ශ්‍රී ලංකාව ඉන්නේ දණින් වැටුණු තැනකය. අර්ථ ශූන්‍ය යුද්ධයක් පවත්වාගෙන යාමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නැත. ගෝලීයකරණය වූ ලෝකයක ජීවත් වන රටක් වශයෙන් ජනයා ආර්ථික වශයෙන් සමෘද්ධිමත් තැනකට ගැනීම ආණ්ඩුවේ තවත් ප්‍රධාන ඉලක්කයකි.

ශ්‍රී ලාංකික සමාජය දේශපාලනිකව බෙදුණු සමාජයකි. දේශපාලකයින්ගේ අවිනීත ක්‍රියාකලාපයන්ගෙන් සමාජය මුසපත් තත්ත්වයකට පත්ව සිටී. මැතිවරණ සියලු දෙනාට අවශ්‍ය සියලු දේ ලබාදිමට පොරොන්දු දෙන දෙයක් බවට ද බලයේ සිටින රජයක් නැවත තේරි පත්වීම සඳහා රජයේ යාන්ත්‍රණය යොදාගන්නා ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් බවට ද පත්වී තිබේ. මේ විෂම තත්ත්වය අහෝසි කොට ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට අන්‍යොන්‍ය අවබෝධයෙන් හා වගකීමකින් යුතුව ක්‍රියා කරන තත්ත්වයක් ඇති කිරීම ආණ්ඩුවේ තවත් ඉලක්කයකි.

එල්ටීටීඊ සංවිධානය ඉල්ලා සිටින අන්තර් පාලනය ගැන කියා ඇත්තේ ද ඔවුන් කරන ඉල්ලීම හා තමන් දරන අදහස් අතර පරතරයක් නැති බවය. ස්වයං පාලන අයිතිය සහතික කරන සන්ධීය ආණ්ඩු ක්‍රමයක් වෙත ළගා වන තෙක් සංක්‍රාන්තිය හසුරුවා ගැනීම හා පරිපාලනයක් ඇති කිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයට ද විශාල ප්‍රමාණයකට සම්බන්ධ විය හැකි ආකාරයේ අන්තර් පාලනයක් ලබාදිමට තමන් කැමති බවය.

කොටින්ම අගමැති දකින සිහිනය වී ඇත්තේ කටුකොහොලින් පිරුණු රට සුන්දර මල් උයනක් බවට හැරවීමය.

අගමැතිවරයා රටේ අනාගතය පිළිබඳව පළ කරන තිබෙන අදහස් ලස්සනය. එහෙත් ඒවා ප්‍රායෝගික තලයට ගැනීම සරල හෝ පහසු නැත.

රජය වගකීමෙන් යුතුව ක්‍රියාකළ යුතු බවත්, පාර්ලිමේන්තු ක්‍රමයට ගරු කළයුතු බවත් විපක්ෂයට ප්‍රශ්න කිරීමට හා සෝදිසි කිරීමට කාලය ලබාදෙන අතර, තීන්දු ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගත යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි. එවැනි ගමනක් ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවල සභාපතිත්වය විපක්ෂයට ලබාදිම සඳහා ක්‍රියාකර ඇති බවත් ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ මෙන් පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටුවල සභාපතිත්වය විපක්ෂයට ලබාදිම යහපත් ඉදිරි පියවරකි. එහෙත් එපමණකින් විපක්ෂය හා ආණ්ඩු පක්ෂය අතර පවත්නා වෛරසහගත හැගීම් තුනී කළ නොහැකිය. අනෙක් අතට විපක්ෂය සතුටු කිරීම සඳහා රත්නසිරි වික්‍රමනායකට වර දාන දුන්නා මෙන් මහජන වියදමෙන් වර දාන පිළිවෙතක් මහජනයාගේ සතුටට හේතුවන්නේ නැත.

විපක්ෂය සතුටු කළයුතු සේ ම මහජනයා ද සතුටු කළ යුතුය. මහජනයා සතුටු වනු ඇත්තේ ඉතාමත් දූෂිත තත්ත්වයකට පත්ව තිබෙන ආණ්ඩුකරණ ක්‍රියාවලිය පිරිසිදු කොට එම ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය සහතික කිරිමෙන් පමණය.

අද රටේ පවතින්නේ මහජන වියදමින් දේශපාලකයින්ට කප්පම් ගෙවන ක්‍රමයකි. දේශපාලකයන් රටට ඔරොත්තු නොදෙන තරම් බරක් වී තිබෙන අතර, රාජ්‍ය පාලනය මංකොල්ලකරුවන්ගේ විවෘත රජදහනක් බවට පත්වී තිබේ. නිලධරතන්ත්‍රය ද අකාර්යක්ෂම හා අන්ත දූෂිත තත්ත්වයකට පත්ව තිබෙන අතර, අධිකරණයේ පවත්නා දූෂිත තත්ත්වය නීතියේ පාලනය කණපිට හරවන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.

යහපත් රාජ්‍ය පාලනයක් ඇති කරනවා යන්නෙහි තේරුම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් සහතික කෙරෙන ආකාරයේ නීතියේ පාලනයක් ඇති කිරීමය. ඒ තත්ත්වය ආරම්භ කළ යුත්තේ අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරිමෙනි. ස්වාධීන අධිකරණයක් ඇත්නම් දේශපාලකයින්ට, රාජ්‍ය නිලධාරින්ට පිස්සු නටන්නට තිබෙන හැකියාව ද සීමාවේ. එවිට වරදක් සිදුවන අවස්ථාවකදි මහජනයාට අධිකරණය ඉදිරියට යාමේ හැකියාව ලැබෙන්නේ ය.

යහපත් රාජ්‍ය පාලනයක් සඳහා දියත් කෙරෙන ඕනෑම ප්‍රතිසංස්කරණයක් ආරම්භ විය යුතුව තිබෙන්නේ අධිකරණයෙනි. රට තුළ නීතියේ පාලනයක් ප්‍රතිෂ්ඨාපනය වීම ආරම්භ වනු ඇත්තේ එතැන් සිටය. සන්ධීය ආණ්ඩු ක්‍රමයක් සඳහා ද ස්වාධීන අධිකරණයක් නැතුවම බැරි කොන්දේසියකි. කේන්ද්‍රය හා පරිධිය අතර ඇතිවන ආරාවුල් බේරුම් කරන්නාගේ කාර්ය ඉටුකරන්නේ අධිකරණයයි.

අධිකරණයේ පවතින විනාශකාරි තත්ත්වය පිළිබඳව අගමැතිවරයාට බලයට එන්නට පෙර තියුණු විවේචනයක් තිබුණත්, දැන් පවත්නේ අධිකරණයට පිස්සු නටන්නට ඉඩ හැර බලා සිටින තත්ත්වයකි. පස්සා දොරෙන් ගනුදෙනු කළහැකි අධිකරණ ක්‍රමයක් සමග යහපත් ආණ්ඩුකරණයක් ක්‍රියාවට නැගිය නොහැකිය.

අන් සියලු දේට ප්‍රථම සිය කණ්ඩායමේ සාමාජිකයින් විනය ගරුක තත්ත්වයක තබාගන්නේ කෙසේද යන ප්‍රශ්නය අගමැතිවරයා ඉදිරියේ තිබෙන තවත් ප්‍රධාන අභියෝගයකි. කණ්ඩායමේ සමහර සාමාජිකයන්ගේ පිස්සු නැටිල්ල දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා මිස, පාලනය කිරීමට හැකිවී තිබෙන බවක් පෙනෙන්නට නැත.

අගමැතිවරයා යෝජනා කරන අන්තර් පාලනය කොටි සංවිධානය දැනටමත් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ තත්ත්වය යටතේ කොටි සංවිධානය ඉල්ලා සිටින ආකාරයේ අන්තර් පාලනයක් ලබාදිමට හැකිවනු ඇත්තේ ජනාධිපතිනියගේ සහාය ලබාගැනීමට ආණ්ඩුව සමත් වේ නම් පමණ ය.

කොටි සංවිධානය සන්ධීය ආණ්ඩු ක්‍රමයකට එකගතාව ප්‍රකාශ කර ඇතත්, තමන්ට ස්වයං පාලන බලයක් ලැබෙන තෙක් තමන්ගේ ආධිපත්‍යය යටතේ ඇති ප්‍රදේශවල ආණ්ඩුවේ ආධිපත්‍යය ශක්තිමත් කරන ක්‍රමයකට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැකිය. මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කෙරෙන බලකිරිම්වලදි ද ඔවුන් එකග වනු ඇත්තේ ඒ නිසා ඔවුන්ගේ දේශපාලන ආධිපත්‍යයට අභියෝගයක් එල්ල නොවන තාක් දුරකට පමණය.

කොටි සංවිධානය වහා යුදමය ක්‍රියාමාර්ගයකට යොමු නොවනු ඇතත්, තමන්ගේ ඉල්ලීම් ඉටුවන තෙක් ඉතාමත් මටසිලුටු තත්ත්වයකින් ක්‍රියාකරනු ඇතැයි සිතිය නොහැකිය. ආධාර ලැබී තිබෙන්නේ මුළු රටම සඳහා වුවත්, එයින් වැඩි කොටසක් යොමුකළ යුතුව තිබෙන්නේ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ යළි නගා සිටුවීම සඳහාය. ඒ ක්‍රියාවලිය තමන්ගේ පාලනයෙන් පිටස්තරව සිදුවනවා දකින්නට කොටි සංවිධානය කැමති වනු ඇතැයි සිතිය නොහැකිය.

ඒ තත්ත්වය යටතේ ඉදිරියේ මුහුණ දෙන්නට සිදුවන වඩාත්ම අමාරු දේ වනු ඇත්තේ කොටි සංවිධානය සමග පොදු එකගතාවක් ඇති කරගැනීමය. එවැනි එකගතාවක් ඇති කරගත නොහැකි වේ නම් විශාල ලෙස මුදල් ලැබී තිබියදිත්, නැවත රට අස්ථාවර තැනකට තල්ලුවීමේ හැකියාව පවතී.