කොටි සංවිධානය සමග පවත්වාගෙන යන සාම කතා ඇණහිටින තත්ත්වයකට පත්වී තිබේ. එය තාවකාලික දෙයක් ලෙස කෙනෙකුට විස්තර කළ හැකි වුවත්, මතුවී තිබෙන මේ අවුල හරියාකාරව කළමනාකරණය කරන්නට අසමත් වුවහොත් එය තාවකාලික නොවන දෙයක් බවට පත්වීමේ අනතුරක් ද පවතී.
තාමත් මේ අර්බුදය විනාශකාරි තැනකට ගමන් කර නැතත්, එය විනාශකාරි තැනකට තල්ලුවේ නම්, එහි වගකීම අගමැති ප්රමුඛ ආණ්ඩුවත්, ජනාධිපතිනිය ප්රමුඛ විපක්ෂයත් බාරගත යුතු ය. දේශපාලන බල තරගයක් තිබිය යුතු වුවත්, එය මහජනතාවගේ ජීවිත සමග කරන සෙල්ලමක් නොවිය යුතු ය. රටේ ක්රියාත්මක වන ක්රමය තුළ බලයට එන කිසිම ආණ්ඩුවකට මේ ප්රශ්නය විසඳන්නට විපක්ෂය ඉඩ දෙන්නේ නැත. අනෙක් අතට මේ විසඳන්නට උත්සාහ කළ කිසිම ආණ්ඩුවක් විපක්ෂය සමග සහයෝගයෙන් මේ ප්රශ්නය විසඳන්නට බලවත් උත්සාහයක යෙදි ද නැත.
කොටි සංවිධානය ඉතා ගරු කටයුතු අහිංසක සංවිධානයක් වන්නේ නැත. එහෙත් ඔවුන්ගේ ශක්තිමත් පැවැත්මට ඉඩ ලැබී ඇත්තේ රටේ කුණුවෙමින් පවත්නා වාර්ගික අර්බුදය නිසා ය. අප ඔවුන් යුදමය වශයෙන් පරාජය කිරීමට බලවත් ලෙස උත්සාහ කර ඇතත්, කවර හේතු නිසා හෝ යුද්ධය නිසා සිදුවී ඇත්තේ රටේ පැවැත්ම බිඳ වැටෙමින් කොටි සංවිධානයේ යුදමය ප්රචණ්ඩතාව තව ශක්තිමත් වීම පමණ ය.
ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ කුමක් සඳහන් වුවත්, ඔවුන්ට යුද්ධ හමුදාවක්, පාලන යන්ත්රයක් හා තමන්ගේ පාලනයට නතු භූමි ප්රදේශයක් තිබුණි. එක රාජ්යයක් තුළ රාජ්යයන් දෙකක් තිබිය නො හැකි ය. ඒ නිසා ඒ රාජ්ය යටපත් කිරීමට අපි දිර්ඝ කලක් යුද්ධ කළත් එය සාර්ථක වූයේ නැත. ඉන්පසු ඔවුන් සමග සාකච්ඡාවට ගියේ ඒ අවුල සාකච්ඡා මගින් විසඳ ගැනීමට ය. එහිදි නීති විරෝධී තත්ත්වයක තිබෙන ඔවුන්ගේ රාජ්යය නීත්යනුකූල රාජ්යයට අන්තර් ග්රහණය කරගත හැකි වනු ඇත්තේ ඒ රාජ්යය තුළ ඔවුන්ගේ බලය හා පැවැත්ම ද පිළිගැනීමට අප සූදානම් නම් පමණ ය. නැතහොත් අන්තර්ග්රහනය අමතක කොට තමන්ගේ රාජ්යයේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ඔවුන් ද අවශ්ය වෙතොත්, නැවත යුද්ධ කරන තැනකට තල්ලුවී යා හැකි ය.
මේ අවුල ඉදිරියේ මහත් වගකීමකින් යුතුව ක්රියාකිරිමේ යුතුකමක් ආණ්ඩු පක්ෂයට සේ ම විරුද්ධ පක්ෂයකට ද ඇත්තේ ය. රට විනාශ වන්නට ඉඩ දෙනවා ද, නැතිනම් සියලු දෙනා එකට එකතු වී විසඳුමක් ඇති කර ගැනීම සඳහා පොදු එකගත්වයක් ඇති කරගන්නවාද යන්න මේ දෙපිරිස එකට එකතු වී තීන්දු කළ යුතු ය.
මේ පුංචි රටේ රාජ්යයන් දෙකක් ඇතිවීම සුදුසු නැත්නම් එය වළකා ගත හැකිවනු ඇත්තේ තමන්ගේම රාජ්යයක් වෙනුවෙන් සටන් කරමින් සිටින පෙඩරල් ක්රමයක් ලබාදෙන්නේ නම් වෙනම රාජ්යයක් වෙනුවෙන් පෙනී සිටීම අත්හැරිමට සූදානම් බව ප්රකාශ කර සිටින ඔවුන්ට ස්වයං පාලන බලයක් ලබාදෙන ක්රමයක් සඳහා පොදු එකගතාවක් ඇති කරගැනීමෙන් පමණ ය. එවැනි ක්රමයක් ඇති කරන තෙක් අන්තර්කාලීන පාලන වැඩපිළිවෙළකට යා යුතු ය. එවැනි වැඩපිළිවෙළක් රට පාවාදිමක් ලෙස සලකන්නේ නම්, අවසාන ප්රතිඵලය වනු ඇත්තේ නැවත රට බිහිසුණු යුද්ධයකට තල්ලුවීම ය.