උදාවන සෑම දිනකම රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා “මරුවා” සිටින දිශාව ජනතාවට නොමිලේ කියා දෙන එකම රට ශ්රී ලංකාවය.
මරුවා සිටින දිසාව කියා දෙන ක්රමයක් මීට පෙර තිබුණේ නම්, විජය කුමාරතුංග, රෝහණ විජේවීර, රංජන් විජේරත්න, ලලිත් ඇතුලත්මුදලි, ආර්. ප්රේමදාස, ගාමිණී දිසානායක වැනි අයගේ ජීවිත ආරක්ෂා වන්නට පවා ඉඩක් තිබුණේය.
මරුවා සිටින දිසාව කීමේ හැකියාවක් රටට ඇතත්, ඇතිවන්නට යන වැස්සක ඝනකම කීමේ හැකියාවක් රටට නැත. ගංවතුරෙන් පසුව කාලගුණ ලොක්කා රටට කීවේ වැස්සක් ඇතිවීමේ හැකියාව මිස, එහි ඝනකම කීමේ හැකියාවක් නැති බවය. එහෙත් ශ්රී ලංකාවට බරපතළ හානි ඇති කිරීමට හේතුවිය හැකි ඝන වැස්සක් ඇතිවීමට නියමිත බව සී.එන්.එන්. සේවය කල්තියා ප්රකාශ කළේය.
ගංවතුරෙන් අනාථ වී මුළු රට ම වික්ෂිප්ත තත්ත්වයකට පත්ව සිටින අවස්ථාවක රූපවාහිනී නාලිකාවකින් රටට හඳුන්වා දුන් පුද්ගලයෙකු කොළඹට ඇතිවන්නට යන මහා භූමිකම්පාවක් ගැන කී අනාවැකිය අසා අසරණභාවයට පත් මිනිසුන් වඩා අසරණ තත්ත්වයකට ඇද වැටුණි. මේ අනාවැකිකාරයා සාත්තරකාරයෙකු වුවත්, රූපවාහිනී නාලිකාව ඔහු රටට හඳුන්වා දුන්නේ භූ විද්යාඥයෙකු ලෙසය.
ජනතාව අතර මිථ්යාව වපුරන මේ යෝධ ව්යාපාරයට විප්ලවකාරින් ලෙස පෙනී සිටින පිරිස් ද දැන හෝ නොදැන එකතු වී සිටින බවක් දැකිය හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ අනුග්රහයෙන් පළ කෙරෙන “ලංකා” පුවත්පත රටට සමාජවාදය කියා දෙනවාට අතිරේකව මලයාලි ගුරුකම් ද කියා දෙයි. ඒ අනුව සමාජවාදය අපේක්ෂා කරන අය විමල් වීරවංශ වෙතත්, දින 07ක් තුළ තමන් අපේක්ෂා කරන ස්ත්රිය හෝ පුරුෂයා සිය පය පාමුලට ගෙන්වා ගැනීමට කැමති අය පුවත්පත නිර්දේශ කරන මන්ත්රාචාර්යවරයා වෙතත් යා යුතුය.
හොරකම හා තක්කඩිකම ගැන කියන වැදි බණ
පොළොන්නරුවේ ශිෂ්ය පිරිසක් වෙනුවෙන් පවත්වන ලද ශිෂ්යත්ව ප්රධාන උළෙලක් අමතා කතා කළ ජනාධිපතිනිය අතීත දේශපාලකයින්ට සාපේක්ෂව වත්මන් දේශපාලකයින් ඇද වැටී සිටින අධම තත්ත්වය පිළිබඳ විග්රහයක් කිරීමට උත්සාහ දරා තිබුණි.
අතීත දේශපාලකයා ගැන ජනාධිපතිනිය කියන කතාව නිවැරදිය. අතීත දේශපාලකයා දේශපාලනය කළේ බඩ වඩා ගැනීම පිණිස නොව ගෞරවය පිණිසය. ඒ සඳහා ඔවුන් සිය පෞද්ගලික ධනය නැතිභංග කරගත්තා විනා, දේශපාලනය මුදල් උපයන මාර්ගයක් බවට පත්කර ගත්තේ නැත.
එහෙත් වත්මන් දේශපාලකයා ඊට වෙනස්ය. ඔවුන් දේශපාලනය කරන්නේ මහජනයාට සේවය කිරීම පිණිස නොව ධනය උපයා ගැනීම සඳහාය. වර්තමානයේ දේශපාලනය ධනය උපයන ප්රධාන මාර්ගයකි.
වත්මන් දේශපාලකයාට ආවේණික මේ තක්කඩි ලක්ෂණය ඒ ගැන රටට බණ කියන ජනාධිපතිනියට ද අදාළය. දේශපාලන ලෝකය හොරුන්ගේ හා තක්කඩින්ගේ රජදහනක් බවට පත්ව තිබෙන්නේ හොරකම හා තක්කඩිකම පාලනය කිරිමේ වගකීම පැවරි ඇති රාජ්ය නායකයින් ද හොරකමට හා තක්කඩිකමට යොමුවී තිබෙන නිසාය.
රාජ්ය නායකයින් හොරකම් කරයි නම්, ඊට පහළින් සිටින ගෝල බාලයින් පාලනය කිරීමට හැකිවන්නේ නැත.
ජනාධිපති ජයවර්ධන වැඩි උනන්දුවක් දැක්වූයේ වස්තුව කෙරෙහි නොව, බලය කෙරෙහිය. එහෙත් ඔහු පවා හොරකමට ඉඩදි බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කළා පමණක් නොව, තමන් වෙත ගාම්භීරත්වයක් ආරෝපනය කරගැනීමට හේතුවන ව්යාපෘති වෙනුවෙන් මහජන මුදල් යොදාගන්නා පිළිවෙතක් අනුගමනය කළේය.
ජේ.ආර්. ජයවර්ධනගේ පියාට අයත් කොළඹ 07, ධර්මපාල මාවතේ, අංක 141 දරන ස්ථානයේ තිබුණු නිවස හා ඉඩම 1959දි චීන තානාපති කාර්යාලයට විකුණන්නට සිදුවුයේ පවුලේ අයට මුහුණ දෙන්නට සිදුවී තිබුණු ආර්ථික අගහිගකම් නිසාය. එදා ඒ නිවස හා ඉඩම විකුණූ මිල රුපියල් ලක්ෂ 07ක් විය.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව තමන් සඳහා වන කෞතුකාගාරයක් ඇති කිරීම සඳහා මේ නිවස හා ඉඩම ආපසු ලබාගන්නට අවශ්ය වී ජනාධිපතිවරයා කළේ ඒ වෙනුවෙන් රජයේ ඉඩමක් ද දි, ඒ නිවස හා ඉඩම ආපසු ලබාගැනීම සඳහා මහජන මුදලින් රුපියල් ලක්ෂ 500ක් ගෙවීමය.
ගාමිණී දිසානායක මහතාගෙන් අසන්නට ලැබුණු කතාවකට අනුව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 82 ජනාධිපතිවරණය සඳහා අවශ්ය අරමුදල් සොයාගත්තේ කෝස්ටික් සෝඩා ටෙන්ඩරයකිනි. ටෙන්ඩර්කරු ජනාධිපතිගේ මුදල් අවශ්යතාව සපුරා තමන්ගේ ලාභ උපරිම කරගැනීම සඳහා එකවර අවුරුදු ගණනකින්වත් ඉවර කළ නොහැකි තරම් කෝස්ටික් සෝඩා තොගයක් ලංකාවට ගෙනාවේය.
ඊළගට පැමිණි ප්රේමදාස මහතා ද වැඩි උනන්දුවක් දැක්වූයේ ධනයට නොව බලයටය. එහෙත් බලය සඳහා ධනය අත්යාවශ්ය බව තේරුම් ගනිමින් තමන්ට අවශ්ය අවස්ථාවලට ධනය ලබාගත හැකි පුද්ගලයන් හඳුනා ගනිමින් එවැනි අයට උපරිම ලෙස ධනය උපයා ගැනීමට දුන්නේය. ජනාධිපතිවරයා ඝාතනයට ලක්වන අවස්ථාව වනවිට සුචරිතයේ තිබුණු මුදල් ප්රමාණය (ඒවා මැතිවරණ කටයුතු සඳහා ළග තබාගත් මුදල් විය හැකිය) රුපියල් ලක්ෂ 3500කි.
මෙතෙක් බිහිවූ සියලු ජනාධිපතිවරුන් අතරින් මුදු මොළොක් හා අහිංසකම ජනාධිපතිවරයා ලෙස සැලකිය හැක්කේ විජේතුංග ජනාධිපතිවරයාය. එහෙත් ඒ අහිංසක ජනාධිපතිවරයා ලොබ කළේ බලයට වඩා ධනයටය. බලය අහම්බෙන් කඩා වැටුණු දෙයක් බව තේරුම් ගනිමින් ඒ බලය ධනය උපයා ගැනීමට උපරිම ලෙස යොදා ගත්තේය.
ඉන්පසු බලයට එන චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ධනවත් පවුල් පසුබිමකට උරුම කීවත් දිළිඳු තත්ත්වයක සිට බලයට පැමිණි ජනාධිපතිවරයෙකු ලෙස සැලකිය හැකිය. ඇයම ප්රකාශ කර ඇති පරිදි ආරක්ෂාව සඳහා විදේශගතවී සිටියදි ජීවත්වීම සඳහා පරවැඩ කරන්නට පවා ඇයට සිදුවූවාය. සිය දරුවන්ට වෙනත් අය ඇඳි ඇඳුම් කඩමාලු අන්දවන්නට සිදුවූවාය.
එහෙත් චන්ද්රිකා කුමාරතුංග මහත්මිය දැන් දුප්පත් නැත. බැලු බැල්මට පෙනෙන්නේ හුගාක් පොහොසත් බවය. ඇය හිතේ හැටියට වස්තුව හරිහම්බ කිරීමට බලය උපරිම ආකාරයකින් පාවිච්චි කළාය. තමන්ගේ සමීපයින්ට ද හිතේ හැටියට හරි හම්බ කිරීමට ඉඩ දුන්නාය. තම පියාමෙන් තමන් ද දේශපාලනය සඳහා තමන් සතු පෞද්ගලික ධනය නැති භංග කරගත්තේ යැයි කියන්නට ඇයට හැකියාවක් නැත. ඒ නිසා ඇය අවංකභාවය ගැන කියන බණ සැලකිය යුත්තේ වැදි බණ ලෙසය.
බලයේ සිටින විට ජනාධිපතිවරුන් තමන් ගැන මොන මොනවා කියාගත්ත ද රටේ සියලු රාජ්ය නායකයින් ගමන් කරන දිසාව අඩු වැඩි වශයෙන් එක සමානය. එය පොදු වස්තුව කොල්ලකෑමට ලැබෙන නිල වරමක් බවට පත්වී තිබේ.
අගමැතිගෙන් හිටපු අගමැතිට
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුවට තිබුණු උත්තරිතර තත්ත්වය සීමා කොට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සතුටු කිරීම පිණිස ඔවුන්ට මහජන වියදමෙන් හිතේ හැටියට කප්පන් ගෙවන ක්රමයක් ඇතිකර දිමෙන් නොනැවතී, තමා හා තමාගෙන් පසු බිහිවන ජනාධිපතිවරුන් ද මහජන වියදමෙන් නඩත්තු කරන මජර ක්රමයක් ඇති කළේය.
ජනාධිපති ජයවර්ධන ඒ කාලේ තර්ක කළේ රාජ්ය නායකයා ඉතාමත් ගරු කටයුතු පුද්ගලයෙකු වන නිසා, ධුර කාලයෙන් පසුව යම් හෙයකින් හෝ ඔහු අමාරුවෙන් ජීවත් වන තත්ත්වයකට පත්වුවහොත් එය ඔහු දැරූ ධුරයේ ගෞරවයට සේ ම රටේ ගෞරවයට ද හොඳ නැති නිසා ධුර කාලය අවසන් වී විශ්රාම යන ජනාධිපතිවරයාට ගරු කටයුතු විශ්රාමික ජීවිතයක් සහතික කිරීම අවශ්ය බවය.
එහෙත් එවැනි ක්රමයක් ලෝකයේ කවර රටකවත් නැත. ලෝකයේ බලවත්ම විධායක ජනාධිපති ඉන්නේ ලංකාවේ නොව ඇමරිකාවේය. එහෙත් ඇමරිකාවේ විධායක ජනාධිපතිවරුන් විශ්රාම ගැනීමෙන් පසු මහජන වියදමෙන් නඩත්තු කරන ක්රමයක් ඇමරිකාවේ නැත. ජීම් කාටර්, බිල් ක්ලින්ටන් වැනි හිටපු ජනාධිපතිවරුන් වෙනත් රක්ෂා කරන තත්ත්වයක සිටියත්, එය ඇමරිකාවේ අගෞරවයට හේතුවූ කාරණයක් වී නැත. එංගලන්තයේ ද විශ්රාම ගිය අගමැතිවරුන් ගණනාවක් අදත් ජීවත් වේ. එහෙත් ඔවුන් මහජන වියදමෙන් නඩත්තු කරන ක්රමයක් එංගලන්තයේ නැත.
එහෙත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඇති කර තිබෙන ක්රමය තුළ විශ්රාම යන ජනාධිපතිවරුන් පමණක් නොව, ඔවුන්ගේ අඹුවන් ද නඩත්තු කිරීමට සිදුවී තිබෙන්නේ මහජනයාටය. 1995 වසරේදි හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු ද, හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිඳක් ද නඩත්තු කිරීමට මහජනයාට සිදුවිය.
ඒ වෙනුවෙන් මහජනයාට දරන්නට සිදුවී තිබෙන වියදම් ද සරල වියදමක් වන්නේ නැත. 2003 වසර සඳහා හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා නඩත්තු කිරීම සඳහා අය වැයෙන් වෙන් කළ වාර්ෂික වියදම රුපියල් ලක්ෂ 54කි. එය මසකට රුපියල් හාර ලක්ෂ පනස් දහසකට සමානය. 2005දි මේ පෝලිමට චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ද එකතුවීමට නියමිතය.
අප රටේ ජනගහනයෙන් අඩක්ම ඉන්නේ සමෘද්ධි ආධාර ලැබිය යුතු තරම් දුප්පත් තත්ත්වයකය. එවැනි දුප්පත් මිනිසුන් සිටිනා රටක් විශ්රාම යන පොහොසත් ජනාධිපතිවරුන් සිය වියදමෙන් නඩත්තු කළ යුත්තේ ඇයි? කිසිම ජනාධිපතිවරයෙක් ජනාධිපති ධුරයට පත්වීම නිසා වැඩි වශයෙන් පොහොසත් වී ඇතිවා මිස හිගන තත්ත්වයකට පත්වී නැත. එවැනි පසුබිමක් තුළ විශ්රාම යන පොහොසත් ජනාධිපතිවරුන් නඩත්තු කිරිමේ බරපැන මහජනයා මත පටවන ක්රමයක් සාධාරණවන්නේ කෙසේද?
අලි මදිවට කොටි කියන්නාක් මෙන් මේ ආත්මාර්ථකාමී අවලස්සන ක්රමය අහෝසි කරනවා වෙනුවට ඊට තව තව අලුත් අංග එකතු කරන ක්රමයක් ක්රියාත්මක වෙමින් පවතී. අගමැති රනිල් වික්රමසිංහට හිටපු අගමැති රත්නසිරි වික්රමනායක සංතෝෂ කිරීමට අවශ්ය වී ජනාධිපතිවරුන්ට අතිරේකව විශ්රාම යන අගමැතිවරුන් ද මහජන වියදමෙන් නඩත්තු කරන ක්රමයක් ඒ සඳහා ඇති කරමින් පවතී.
ඉදිරි අය වැයෙන් හිටපු අගමැති රත්නසිරි වික්රමනායක මහතා නඩත්තු කිරීම සඳහා වෙන් කරන්නට යන වාර්ෂික වියදම රුපියල් ලක්ෂ 30කි. ඊට අතිරේකව විශ්රාම ගිය අගමැතිගේ නිල නිවස ප්රතිසංස්කරණය කිරීම සඳහා දැනටමත් වැය කර තිබෙන මුදල රුපියල් ලක්ෂ 15කි. එවිට වාර්ෂික වියදම ලක්ෂ 45ක් වී වික්රමනායක මහතා නඩත්තු කිරීම සඳහා මාසිකව රුපියල් ලක්ෂ 4ක තරම් වියදමක් ඉසිලීමේ වගකීම මහජනයා වෙත පැටවෙනු ඇත්තේය.
ඇත්තටම රටට අවශ්ය වී ඇත්තේ හිටපු ජනාධිපතිවරුන් හා අගමැතිවරුන් මහජන වියදමින් හුරතල් කරන ක්රමයක් නොව, ඒ වැදගත් නිල තනතුරුවලට පත්වූ පසු ඔවුන් අයථා ලෙස ධනය හරිහම්බ කොට ඇත්තේ ද යන්න සොයා බලා ඔවුන් අතර එවැනි වැරදි කර ඇති අය සිටී නම්, ඔවුන්ට අනුකම්පා විරහිතව දඬුවම් පමුණුවන ක්රමයකි. දැන් ඇති කෙරෙමින් තිබෙන්නේ හොරුන්ට ආරක්ෂාව ලබාදෙනවාට අතිරේකව ඔවුන් අපේ වියදමින් නඩත්තු කිරීමට අපට බල කෙරෙන ක්රමයකි.